අඳුරු දශකයක් පාමුළ ජවිපෙ දකින මැතිවරණ සිහින

මේ පාර කොහාටද ඇහුවාම ජවිපෙ සහෝදර සහෝදරියන් කියන්නේ මාලිමාවට කියාය. නමුත් පාර මාලිමාවට වුණාට ඒ පාරේ යන නොයන එක තීරණය කරන්නේ අහන මිනිහාය. ඒ කියන්නේ පාර අහන හැමෝම ඒ පාරේ නොයන බවය. අතරමං නොවී තමන්ගේ අරමුණට යන්න නියම පාර හොයාගෙන යන අයත් සිටී.

පසුගිය 2019 ජනාධිපතිවරණයෙන් අනුර සහෝදරයා ජනාධිපති වෙනු ඇතැයි ජවිපෙ සහෝදර සහෝදරියන් වගේම මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා වුණු ජවිපෙ සහ ජාජබයේ නායක අනුර සහොදරය පවා සිතා සිටියේය. ගාලු මුවදොරට රැස් කළ සෙනඟ කන්දරාවට අනුරත් රැවටුනා කිව්වොත් හරිය. නමුත් ඡන්දයෙන් පසුව ලැබුණේ සියයට 3 කි. කොහොම නමුත් මෑත කාලයේ ජවිපෙ ඡන්ද පදනම සියයට 5 කට ආසන්නව පැවැතිනි. 2018 පළාත් පාලන මැතිවරණයේදීත් 5.75 ක ප්‍රතිශතයක් ලබා තිබිණි. ඒ උග්‍ර ආණ්ඩු විරෝධයක් ජවිපෙ විසින් නඩත්තු කරගෙන තිබුණු වකවානුවේදීය.

කොහොම නමුත් මාලිමාව අතේ තියන් එන ජවිපෙට අනුව මෙවර බහුතර බලයක් දිනාගෙන, පසුව පාර්ලිමේන්තු මැතිවරණයෙනුත් ජය ගෙන මීලඟ ජනාධිපතිවරයා ලෙස අනුර පත් වීමට නියමිතය. මේවා කොහොම මවා ගන්නා සිහින වුවත් ප්‍රායෝගික තත්වය නැතිනම් මැතිවරණයක දී ඡන්ද දායකයාගේ හැසිරීම ගැන සලකා බැලිමේදී මේවාට කියන්නේ දවල් සිහින කියාය.

ජවිපෙට මෙවර පළාත්පාලන මැතිවරණය බහුතර බලයකින් ජයගන්න නම් සියයට 50 ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලැබිය යුතුය. තියෙනවාය කියන රැල්ලෙ හැටියට අඩුම තරමින් තමන් ඉහළ ජයග්‍රහණයක් වාර්තා කළා කියන්න සියයට 30 ක වත් ඡන්ද ප්‍රතිශතයක් ලැබිය යුතුය. 2018 පළාත්පාලන මැතිවරණයේදී ප්‍රතිශතය ලෙස 5.75 ක් ලබා ගන්නේ ඡන්ද 7,10, 932 ක් ලබා ගනිමිනි.

මෙවර ඡන්දදායකයන් ප්‍රමාණය 2022 වසරේ ලියාපදිංචි ලේඛන අනුව 1,66,92,398 කි. පළාත්පාලන මැතිවරණයකදී ජාතික මැතිවරණයක තරම් ඡන්දදායකයන් ඊට උනන්දු නොවීමත්, භාවිත ඡන්ද ප්‍රමාණය සුළු පහත වැටීමක් පෙන්වන බැවින් මෙවරත් සියයට 75 ක සාමාන්‍යයක් ඡන්දය පාවිච්චි කරන්නේ නම් එය සංඛ්‍යාත්මකව ඡන්ද 1,30,00,000 කට ආසන්න අගයකි. මේ අනුව බහුතරය ලබාගන්න නම් ලක්ෂ 65 ඉක්මවා ඡන්ද ලැබිය යුතු වෙයි. ඒ කොහොම නමුත් මෙවර මැතිවරණය ජනතා ඉල්ලීමක් නොවීම, මේ අර්බුද මොහොතේ ඡන්දයක් පැවැත්වීම ගැන වන කනස්සල්ල, දේශපාලනය ගැන කළකිරීම, ඡන්දයට වඩා විසඳගන්න ගැටළු තිබීම ආදිය නිසා ඡන්ද පොළට යන පිරිසේ සැලකිය යුතු අඩුවක් මෙන්ම ඡන්දය කටු ගෑමේ ප්‍රවණතාවයනුත් දකින්න හැකි වෙතැයි උපකල්පනය කළ හැක. එය නොතකා හැරිය නොහැක. පසුගිය මහමැතිවරණයේදී 7 % කට වැඩි ඡන්ද ප්‍රමාණයක් අපතේ යෑම සහ තවත් එවැනිම ප්‍රමාණයත් ඡන්ද පොළට නොයෑම නිරීක්ෂණය විය. ඒ තත්වය අවසන් ප්‍රතිපළයට බලපා තිබිණි. මෙවර තත්වය එදාට වඩා බරපතල බවත් දැනට කල්පනා කළ හැක.

ඒ කොහොම නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී මාලිමාවට ලැබුණු 4,18,533 ක ඡන්ද වන අතර මහ මැතිවරණයේදී 4,45,958 ක් ලැබිණි. ඒ අනුව මෙවර 65 ලක්ෂය ඉක්මවා යෑමට නම් එමෙන් 15 ගුණයක පමණ නැතිනම් ආසන්න වශයෙන් සියයට 1500 කින් ඡන්ද පදනම වැඩි විය යුතුය.

මාලිමාවට ඡන්ද අමුතුවෙන් පහළ වෙන්නේ නැත. මෙරට ඡන්දදායකයන්ගේ ඡන්දවලින්ම මෙය සම්පුර්ණ කර ගත යුතුය. එනම් පෙර වතාවන් හී දී අනෙක් දේශපාලන පක්ෂයකට ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන් මෙවර මාලිමාව තෝරා ගත යුතුය.

දැන් එහෙම මාලිමාව තෝරාගන්න පෙළඹෙනු ඇත්තේ පෙර කවර පක්ෂයකට ඡන්දය පාවිච්චි කළ අයද යන්න සලකා බැලිය යුතුය. පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵලය බැලුවොත් පොහොට්ටුව 68,53,690 (59.09%) ක්ද සමගි ජන බලවේගය 27,71,980 (23.09%) ක්ද ලබා ඇත. දෙමළ ජාතික සන්ධානය 3,27,168 (2.82%) ක්, එජාපය 2,49,435 (2.15%) ක්ද ලබා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ හෝ එජාපයේ ඡන්ද මාලිමාවට හැරෙන්න ඉඩක් නැති තරම්ය. එමෙන්ම එය අගයෙන් කුඩාය. ඒ අනුව පොහොට්ටුවේ සහ සජබයේ ඡන්ද පදනම කඩා දමා එයින් මාලිමව පිරවිය යුතුය.
එහෙත් සජබයද අද සිටින්නේ ජනප්‍රිය තලයකය. නව පක්ෂයක් ලෙස මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂය 27.7 ක් සමඟ 23% ක ප්‍රතිශතයක් ලැබීය. ඔවුන්ගේ චම්පික, කුමාර වෙල්ගම කණ්ඩායම සහ දෙමල මුස්ලිම් කණ්ඩායම් වෙන් වෙන්ව තරග කළත් ඔවුන්ගේ ඡන්ද පදනමට බරපතල හානියක් වී ඇතැයි උපකල්පනය කළ නොහැක. පසුගිය කාලයේ ග්‍රාමීය මට්ටමෙන් වන ජනප්‍රියතාවය වර්ධනය කරගැනීමක් පෙන්වන බැවින් කොහොමටත් 33 -35 % ක සීමාවේ ඉලක්කමකට යා හැකි බව මැතිවරණය ගැන කෙරුනු සමීක්ෂණ වාර්තා අනුවත් පෙන්නුම් කරයි. එය පුරවනු ලබන්නේත් පොහොට්ටුවට ඇදී ගිය පාවෙන ඡන්ද වලිනි.

මේ අනුව මාලිමාවට ඉතුරු වන්නේ ඉතිරි සියයට 65 න් පොහොට්ටුවට පාවිච්චි වූ ඡන්ද ප්‍රමාණයෙනුත් කොටසක් පමණි. ගෝඨාභය පාලන සමය නිසා පොහොට්ටු ඡන්ද පදනමට මෙවර විශාල හානියක් වී ඇත. ඒ අතර 2020 මහ මැතිවරණයේ දී එකට සිටි කණ්ඩායම් ගනනාවක් මෙවර වෙන්ව ගොස් ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලනීපය සහ වීරවංශ ගම්මන්පිල සහ වාමාංශික පක්ෂ සමඟ වියත් මඟ පිරිසත් පොහොට්ටුවේ සිටි ප්‍රබල චරිත ගනනාවක්ව එයින් වෙන් වී හෙලිකොප්ටරය ලකුණෙන් එක්ව සිටී. ශ්‍රී ලනීපය පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඡන්ද 12 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ 12 % ක පමණ ප්‍රතිශතයක් සමඟය. එසේම හෙලිකොප්ටර් පාර්ශ්වය කියන්නේ පොහොට්ටුවේ ජාතිකවාදී මතවාදය ගොඩනැංවූ පාර්ශ්වයයි. කොටින්ම රාජපක්ෂවරුන්ගේ හඬ වී තිබුණේ ඔවුන්ය. ගෝඨාව බලයට ගෙන ඒමේ පදනම සැකසූවේ ඔවුන්ය. එසේම වර්තමානයේ ජාතිකවාදී මතය නියෝජනය කරන ප්‍රමුඛතම නැතිනම් එකම කණ්ඩායම ලෙසත් ඔවුන්ව හැඳින්වූවාට වරදක් නැත. මේ නිසා මෙම පිරිසත් සුළු කොට තැකිය නොහැක. ඔවුන් ඔවුන්ගේ උපරීමය කිරීමට මෙවර උත්සහ ගනිමින් තිබේ.
එමෙන්ම වතුකරයේ තොන්ඩමන් පාර්ශ්වය නැතිනම් ලංකා වතු කම්කරු සංගමයද මෙවර වෙනමය. මෙම සියළු දෙනා වෙන් වෙන්ව හෝ අත්පත් කරගන්නේ පොහොට්ටුවේ ඡන්දය. එය සියයට 15 කට ආසන්නව තිබිය හැකිය. එසේම බොහෝ විට දත්ත විශ්ලේෂණයේදී නොසලකා හැරෙන කණ්ඩායමක්ද මෙවර පොහොට්ටු ඡන්ද ප්‍රමාණයකට වගකියනු ඇත. ඒ ස්වාධීන කණ්ඩායම්ය. මෙවර අති විශාල ස්වාධීන අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන බැවින් මෙවර පොහොට්ටු පදනමට දැනෙන බලපෑමක් කරනු ඇත. ස්වාධීන කණ්ඩායම් බොහොමයක් නියෝජනය කරන්නේ මීට පෙර පොහොට්ටුවේම මන්ත්‍රීවරුන් හෝ පාක්ෂිකයන් ලෙස කටයුතු කර ඉන් ඉවත්වූ පිරිස් වීම තුළ එම බලපෑම තදින් දැනෙනු ද ඇත. 2018 පළාත් පාලන මැතිවරණයේදීත් ඡන්ද 3,74,132 ක් ආසන 274 ක් සමඟ සියයට 3 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ස්වාධීන කණ්ඩායම් අත්පත් කරගෙන තිබිණි. මෙවර එම තත්වය 5% ක්වත් ලෙස ඉහළ යනු ඇත.

මේ තත්වයන් හමුවේ පොහොට්ටුවේ ඡන්ද පදනමෙන් සියයට 25 ක් පමණවත් ඉන් ඉවත්වෙනු ඇත. මේ අනුව පොහොට්ටුවට මහ මැතිවරණයේ ලැබුණු 59% න් ඉතිරි වන්නේ සියයට 34 ක පමණ ඡන්ද ප්‍රතිශතයෙකි. ඒ සියල්ල මාලිමාව අත්පත් කරගත්තත් සියයට 40 හෝ ඉක්ම වන්නෙ නැත. සත්‍ය තත්වය කතා කළහොත් අවසානයේ පොහොට්ටුවට ඉතිරි වන ඡන්ද ප්‍රමාණයෙන් බහුතරය පොහොට්ටුවට අහිමි වන්නේ නැත. එමෙන්ම කලින් පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කළ රාජපක්ෂ පාක්ෂිකයන් ලෙස හැඳින්විය හැකි නමුත් මෙවර කිසිදු පක්ෂයකට ලබාදීම ගැන තවම තීරණයක් නැති නිද්‍රාශිලී ප්‍රතිශතයද ඉහළ අගයක තිබේ. සමීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ එය සියයට 7 -10% අතර පවතින බවය. 2020 මහ මැතිවරණයේ දී එජාපය කැඩී වෙන් වීම තුළ කලින් එජාපයට ඡන්ද දුන් නමුත් වෙනත් කිසිදු පක්ෂයකට ඡන්දය පාවිච්චි නොකළ කළකිරුණු පිරිසක් ගෙදර නතර විය. එය සජිත්ට හෝ ජවිපෙට හෝ පොහොට්ටුවට ගියේ නැත. මෙවර ඒ ඉරණම පොහොට්ටුවට හිමිය. නමුත් මෙවර කලින් එජාපයට පාවිච්චි නොවු ඡන්ද සහ පොහොට්ටුවෙන් සහ සමගියෙන් කැඩී වෙන්වූ යම් ඡන්ද ප්‍රමාණයක් එජාපයට එකතු වෙනු ඇත. එය කෙසේ වුවත් පොහොට්ටු රාජපක්ෂ හිතවාදී නිද්‍රාශිලී ඡන්ද ප්‍රමාණය මෙවර අත්පත් කරගැනීමට මාලිමාව සමත්වීමේ ඉඩ කඩ සීමාසහිතය.

ඒ අනුව එම ප්‍රමාණයත් අඩුකළ විට මාලිමාවට තරග කරන්න වෙන්නේ පොහොට්ටුවේ ඉතිරි 25 % කට ආසන්න ඡන්ද ප්‍රමාණයටය. නමුත් මෙයින් බහුතරය සුපුරුදු ලෙස පොහොට්ටුවම තෝරාගනු ඇත. මේ එහි ස්ථාවර ඡන්ද පදනමය. යම් ආශ්චර්යයකින් එයින් සියයට10 ක් අත්පත් කරගන්න මාලිමාව සමත් වුවත් මාලිමාවේ ඡන්ද ප්‍රතිශතය සියයට 15 ක ආසන්න තැනකට සීමා වෙනු ඇත.

මේ වන විට පෙනෙන්න තිබෙන සත්‍ය තත්වය එසේය. මැතිවරණ උණුසුම ක්‍රමයෙන් වැඩි වෙද්දි මේ තත්වයන් වෙනස් විය හැකි නමුදු විශාල වෙනසක් වීමට නියමිත නැත. විශේෂයෙන්ම පොහොට්ටු මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට අවතීරණය වී තවම සතියකට වඩා ගෙවී නැත. එජාපය තවමත් නිශ්ක්‍රීයය. මාලිමාව සහ සජබය පමණක් සක්‍රීයව මැතිවරණ බිමේ සිටිති. ඒ කොහොම නමුත් මේ වන විට සමාජ ජාලා වල මෙන්ම මහ පොළවෙත් මීට සති කිහිපයකට පෙර තිබූ රැලි දැන් අඩු වෙමින් පවතින බවත් නිරීක්ෂණය වේ. මේ අනුව රටේ බලය අල්ලාගැනීමට විපක්ෂය දකින දවල් සිහිනවලට වෙන්නෙ කුමක්ද යන්න පැහැදිලිය.

රැලි පිට රැලි ආවට ඒවා සුනාමි වන්නේ නැත. මුලින් එන රැලි ආවාට වඩා වේගයෙන් අතුරුදන් වෙන්නේ පසුව එන ලොකු රැළිවලට යටවෙමිනි. දේශපාලන රැලිද එසේය. ඒ කොහොම නමුත් මෙවර ඡන්ද ප්‍රතිපලය මඟින් කියවෙන්නේ කිසිදු පාර්ශ්වයකට බහුතර බලයක් අතපත් කරගැනීමට නොහැකි වනු ඇති බවය. එය ඉතා පැහැදිලිය. මේ මොහොත වන විට ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් සතුව 30%ක ඡන්ද ප්‍රතිශතයක් නැත. කුමන ප්‍රචාරක ව්‍යාපාරය සිදුකළද ඉදිරි මාසය තුළ කිසිවෙකුට 35% ඉක්මවා යා නොහැකි තත්වයක් ද නිර්මාණය වෙමින් ඇත. පළාත් පාලනයේ ඒ ප්‍රතිපලයම ඉදිරියේදී වන මහ මැතිවරණයක ප්‍රතිපළය ගැනද දළ අදහසක් ගැනීමට ප්‍රමාණවත්ය. ගැටළුව ඇත්තේ එතැනය. බහුතර බලයක් සහිත සථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි වුවහොත් රට පත්වන්නේ ඉතා අනතුරුදායක තැනකටය. රාජ්‍ය පාලනය පක්ෂ අතර කුලල් කා ගැනීමක් වෙනු ඇති අතර සිවිල් කැරලිකාරිත්වයන්ද යළි ඇති විය හැකිය. එම තත්වයන් මත ජාත්‍යන්තර ප්‍රජාවේ සහයත් අහිමි වෙනු ඇත. ඒ අනුව ආර්ථික අර්බුදය විසැඳීමට මෙතෙක් සාර්ථකව ගෙන ඇති දිගුකාලීන පියවරයන් සියල්ල යළි විනාශවීමේ විශාල ඉඩක් ඇතිවීම වැලැක්විය නොහැකි වෙනු ඇත.

රටේ නව ආර්ථික ප්‍රතිසංස්කරණයන් ස්ථාවර බවට සහතිකයක් ලබාගැනීම නැතිනම් ෂඵත්‍ අභියෝගය ජයගැනීමේ අසීරුම කඩඉම පැනගැනීමට ජනාධිපතිවරයා සමත්වන බව දැන් පැහැදිලිය. එහෙත් එතැන් සිට තවත් වසර 10ක පමණ කාලයක් මෙම ප්‍රතිසංස්කරණයන් එකම පීල්ලක රැගෙන යායුතුය. ඒ සදහා අවශ්‍ය සංයමය දේශපාලනය තුළ හෝ ලංකා සමාජය සතුව ඇත්ද යන්න අවිනිශ්චිතය. මේ වන විටත් මැතිවරණ උණුසුම උත්සන්න තත්වයන් අවුල් කිරීම සිදුවෙමින් පවතී.
අනිවාර්යයයෙන්ම ජය ගත යුතු ජාතික න්‍යාය පත්‍රය වෙනුවට කෙසේ හෝ මැතිවරණ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ගෙන එන බොළඳ සටන් පාඨ වැළඳ ගන්නා ආකාරය පෙනෙන්නට තිබේ. ගෝඨා රැල්ලෙන් පාඩම් ඉගෙන නොගත් සමාජයක් නැවත රෑ වැටුණු වළේම දවලුත් වැටෙන්න ආසන්නව සිටී. රටේ අනාගතය අඳුරු දශකයක පාමුළය. මෑත ඉතිහාසයේ ග්‍රීසිය ලෙබනනය වැනි රාජ්‍ය මීට සමාන ඉරණමකට ගොදුරුවිය. වසර ගනනාවක් තිස්සේ තවමත් ඒ ඇතිවූ අර්බුයන්ගෙන් ගොඩ ඒමට හැකිවීද නැත. මෙරට විපක්ෂයේ බලලෝභී ක්‍රියාකාරිත්වය අනුව මෙරටටද උරුම වීමට නියමිතව ඇත්තේ එයමය.
පසුගිය 08 වෙනි දිනත් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ආයාචනය කරසිටියේ රට එතැනට ඇද දමන්න එපාය කියන එකය. අර්බුදයයන් විසඳාගැනීමට යම් කාලයකට එක වැඩපිළිවෙලක් මත එකතුවී වැඩකරමුය කියන යෝජනාව නැවත වරක් කරන ලදී. දේශපාලනික පරිණතකම නූතන දැනුම අවබෝධය මත ජනාධිපතිවරයා අනාගතය දැකීමෙහි සුරයෙකි. ඔහු හරියටම ගනන් හදා විසඳුම් සෙවීමේ සමතෙකි. ඔහු ඒ පැවැසු දේවල් බොරුවී නැත. ඇත්ත සමඟ සිට ගන්නවා නම් මේ මොහොතේත් විපක්ෂයට රට වෙනුවෙන් වගවීමේ අවස්ථාවක් තිබේ.

සංවේදී සමාජ ස්ථර මත සංවාදයක් අරඹා සියළු දේශපාලන පක්ෂ අතර ජාතික න්‍යාය පත්‍රයක් පිළිබද එකගතාවයක් ගොඩනැගිය යුතුය. කවුරු බලයට ආවත් නොවෙනස්ව ක්‍රියාත්මක කරන මූලික ප්‍රතිපත්ති රාමුවක්, නැත්නම් පක්ෂ අතර එකඟතාවයක් එනම් සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩු වැනි ආකෘතියක් වෙත යෑම යන ආකාර දෙකකින් ජාතික එකගතාවයක් ගොඩනඟගත හැක.

එහෙත් වැඩියෙන්ම බොරුකීමේ, ජනතාව රැවටවීමේ දක්ෂතාවය මත වෙනත් කවුරුන් හෝ ආණ්ඩු බලයගැනීම යනු තව වසර කිහිපයකටම යළි කෙලවාගැනීම හැර වෙනකක් නොවේ. එමෙන්ම රනිල් නැති තැන මේක බේරගන්න තරම් නායකත්වයක් පෙනෙන තෙක් මානයකද නැත. එදාට රටට දෙවියන්ගේ පිහිටයි කියා කියනවා හැර වෙන කියන්න දෙයක් ඉතිරි වන්නේ නැත.

ජයතුංග බණ්ඩාර