ඒ වැඩෙත් හරි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වූ එකඟතා අනුව මෙරට විදේශීය සහ දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ ක්‍රියාවලියට අදාලව දේශීය ණය කොටස සම්බන්ධයෙන් රජයේ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. (පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට පාර්ලිමේන්‍තු විවාදය පැවැත්වෙමින් තිබිණි) කෙසේ නමුත් මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් විපක්ෂ කොටස් විසින් මහා බිල්ලකු මවමින් මෙම ක්‍රියාවලිය සමඟ සමස්ත බැංකු පද්ධතියක කඩාවැටීමක් සිදුවන බවත්, තැන්පත්කරුවන්ට තමන්ගේ ඉතුරුම් ධනය අහිමි වන බවත් සහ සේවක භාරකාර අරමුදල වැනි අරමුදල්වල මුදල් අහෝසි වන බවටත් ආදී වශයෙන් ගෙන ගිය ප්‍රචාරයන් සියල්ලම පුස්සක් බවත් මේ වන විට තහවුරුව පවතී. රජය ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙල තුළ එවැනි අනතුරක සේයාවක් හෝ නොමැති බව නිශ්චිතවම තහවුරුව පවතී. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් රටේ ආර්ථිකයට දරන්න වී තිබූ විශාල පීඩනයක් අහෝසි කරගැනීම සිදුවන අතර ඒ අනුව රටේ ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පීඩනයකින් තොරව සංවිධානය කරගැනීමේ හැකියාව ලැබී තිබේ. එසේම පැවැති පීඩාකාරිත්වය මත බැංකු පද්ධතියට සිදුවීමට නියමිතව තිබු අනතුරුදායක තත්වයද මෙමඟින් පහව ගොස් ඇත.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයේ සාර්ථකත්වය මත විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුද සාර්ථක වනු ඇති බව ආර්ථිකය සම්බන්ධ ප්‍රාමාණිකයන්ගේ උප්කල්පනයය. මන්ද ඒ සඳහා තිබු බාධාව වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කඩඉම පැන ගැනීම පමණක් වීමය. ඒ අනුව විදේශීය ණය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවට විශාල සහනයක් හිමිවනු ඇත. මෙම වැඩකටයුතු එළැඹෙන සැප්තැම්බර් වන විට සම්පුර්ණ වීමත් සමඟ රජය දැනට සැලසුම් කර තිබෙන ආර්ථිකයේ ඉදිරි වර්ධනයන්ට අදාල සැලසුම් ක්‍රියාත්මකවීම ඇ‍රඹෙනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ මෙරට ඉදිරි ආර්ථික ගමන් මාර්ගයට අදාල මාර්ග සිතියම ඉදිරිපත් කළ අතර මෙම වසර අවසානයට පෙර ඊට අදාල ජාතික සැලසුම ඉදිරිපත් කරන බව දන්වා සිටියේය. ජනාධිපතිවරයා අතිශය සැලසුම් සහගත ලෙස මෙම කටයුතු ඉදිරියට ගෙන යමින් පෙර දැනුම් දී ඇති පරිදි නියමිත කාල වකවානු අනුවම අදියරෙන් අදියර ඒ සාර්ථකත්වය කරා ගෙන යමින් තිබෙන බව පැහැදිලිය.
මේ අනුව 2048 දක්වා වන පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා වන වැඩපිළිවෙලද සාර්ථක ප්‍රතිපල අත්පත් කර ගනු ඇතැයි කල්පනා කළ හැකි නමුදු ඒ සඳහා ස්ථිර සාර නොවෙනස්, ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල රට භාර ගැනීමට සිටින අනාගත පරපුර විසින් ද ක්‍රියාවට නැගිය යුතුව ඇත. නමුත් ගැටළුව ඇත්තේ ප‍ටු දේශපාලනික වුවමණාවන්, සිල්ලර ජනප්‍රිය දේශපාලනය, වර්ගවාදී වුවමණාවන් මත බලය ඩැහැගැනීම පමණක් අරමුණු කරගෙන ත්‍රාඩ තුච්ඡ ලැජ්ජා සහගත අවස්ථාවාදී තක්කඩි දේශපාලනයක යෙදෙන කල්ලි කණ්ඩායම් වෙතින් මෙම අරමුණ ඉ‍ටු කර ගැනීමට හැකිවේවිද කියන සැකයය.

මේ නිසා අද රජයටත් වර්තමාන පුරවැසියාටත් මේ දීර්ඝ කාලීන වුවමණාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අවශ්‍ය ශක්තිමත් පදනම සාර්ථකව ගොඩ නැගීම වෙනුවෙන් වන වගවීමක් තිබේ. ඒ වගවීම සැකයකින් තොරව විශ්වාසයෙන් යුතුව දැරීමට ජනතාවට ඉඩකඩ විවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිය අවංක ක්‍රියාකාරිත්වය මතින් සිදු කර ඇති අතර දැන්විය යුතුව තිබෙන්නේ තවදුරටත් ඔහුට අවශ්‍ය සහය ලබාදී ඔහුව ශක්තිමත් කිරීම පමණය.

ජයතුංග බණ්ඩාර