තුර් කියට දෙවන භූ කම්පනයක්

අද උදෑසන සිදු වූ භූ කම්පනයෙන් පසුව තවත් භූකම්පනයක් තුර්කියට බලපැවැත්වී ඇති බව විදෙස් පුවත් වාර්තා කර සිටී. එය සිදුවී ඇත්තේ ගිනිකොනදිග තුර්කියේ කහරමන්මාරස් පළාතේ එල්බිස්තාන් දිස්ත්‍රික්කයේය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 7.5ක් ලෙස ගණන් බලා ඇති බව ය.

එල්බිස්තාන් පිහිටා ඇත්තේ, අද උදෑසන පළමු භූමිකම්පාව සිදු වූ ගාසියන්ටෙප් සිට උතුරු දෙසින් සැතපුම් 80ක් පමණ දුරින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම දෙවන භූමිකම්පාව එරට වේලාවෙන් දහවල් 1:24ට සිදු වී ඇත. තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරියේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, එය “පසු කම්පනයක්” නොවන බව ත් අද උදෑසන භූමිකම්පාව හේතුවෙන් ඇති වූ කම්පනයක් නොවන බව ත් ය.

පළමු භූමිකම්පාවෙන් පසු කහරමන්මාරස් ප්‍රදේශයේ අවම වශයෙන් මරණ 70ක් දැනටමත් වාර්තා වී ඇත.

පුද්ගලයන් 1,200 කට වැඩි පිරිසක් මිය ගිය අද අලුයම ඇති වූ කම්පනයෙන් පසු මෙම දෙවන භූමිකම්පාවෙන් සිදු වූ බලපෑම කුමක් ද යන්න තවමත් අපැහැදිලි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.