රට අල කරන විපක්ෂයේ ගල් ගැසීම

දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේදී නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන පොහොට්‍ටු පක්ෂයේ පත් කළ මන්ත‍්‍රීවරයකුද වන, පොහොට්‍ටු පක්ෂයේ තවමත් සභාපති කියාගන්නා ජී.එල්. පීරිස් අපූර්ව ප‍්‍රකාශයක් කර තිබිණි. ඔහු පනතේ අඩුපාඩු ගැන කියමින් කීවේ පහුගිය කාලයේ මහා පරිමාණ වංචා ¥ෂණ කර විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත ගෙන්වා ගැනීමේ ක‍්‍රමවේදයක් මෙහි නැති බවය. එහෙම හොරකම් කළ ධනය විදේශ බැංකුවල තැන්පත් කර තිබෙන බවත් කීවේය. පනතේ අඩුපාඩුව කවරක් වුණත් මොහු මේ කතාව කීම වැදගත්ය. මහාචාර්යවරයා මේ හොරකම් කර ඇතැයි කියන ධනය සම්බන්ධයෙන් දැන් කියන කතාව ඔහුත් ප‍්‍රමුඛ භූමිකාවක් රඟ දැක්වූ රාජපක්ෂ යුගයේදී කිව්වේ නැත. මේ අනුව එහෙම හොරකම් කළ ධනයක් විදේශ බැංකුවල තැන්පත් කර තිබෙන බව ඔහු නිශ්චිතවම දැනගෙන සිටි දෙයක් බවත් පැහැදිලිය. අපරාධයක් කිරීම මෙන්ම අපරාධය පිළිබඳ දැනගෙන එය වසං කරගෙන සිටීමත් නීතිය අනුව එක හා සමාන වරදවල් වෙන අතර ඊට දඬුවම්ද නීතියෙන් නියම කර තිබේ. හොරකම් කළ වුන් අල්ලනවා නම් එය වසං කරගෙන සිටි අයත් අල්ලා දඩුවම් දිය යුතුය. ඒ නීතිය, නව දුෂණ විරෝධී පනතේ අඩංගු දැයි ඔහු පෙන්වා දුන්නේත් නැත.


මේ අතර තවත් නීතිඥයකු වන සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ මෙම පනත අතීතයට බලපාන ලෙස පැනවිය යුතු බවය. මෙරට අතීතයට බලපාන ලෙස නීති සැකසීම කරන්නේ නැති බව ඔහු නොදැන මේ කතාව කිව්වා විය නොහැක. නමුත් මෙහෙම ගොන් කතාවක් කීවේ මෙම දුෂණ විරෝධී පනතෙන් හිටපු හොරු අල්ලන්නේ නැති බව කීමටය. ඒ මෙම පනතෙන් වැඩක් නැති බව මහජනයාට ඒත්තු ගන්වන්නටය. එහෙත් මෙම පනත ඔහු කියනවාක් මෙන් අතීතයට බලපාන ලෙස සකස් කළහොත් ඔහුටද හිරේ විලංගුවේ වැටෙන්න වුව ඉඩ තිබේ. එමෙන්ම ඔහුගේ පක්ෂයේ බොහෝ දෙනෙකුටද එම ඉරණම අත්විය හැකිය. පෙර යුගවල නීතියේ සිදුරුවලින් රිංගා ගිය බොහෝ දෙනෙකු ද වරදකරුවන් විය හැකිය. මන්ද නව දුෂණ විරෝධී පනත සකස් වන්නේම එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ජාත්‍යන්තර සම්මුතිය අනුව ඉදිරිපත් කර තිබෙන බලගතු නීති රීති රැසක් එකතු කරගෙන නිසාය.


මෙතුවක් කල් මෙරට ක‍්‍රියාත්මක නොවී තිබුණු නීති ප‍්‍රතිපාදන රැසක් මෙහි ඇතුලත් කර තිබේ. ඒ අනුව මෙරට ඉතිහාසය තුළ දූෂණ වංචා වැලැක්වීම වෙනුවෙන් ගෙන එන බලගතුම පනතේ වටිනාකම් හෑල්ලූ‍ කිරීමට අවශ්‍ය නිසා ජී.එල්.ලා කිරිඇල්ලේලා ඇතුලූ‍ විපක්ෂය කෑ ගසන්නේ එහි ගෞරවය රනිල් වික‍්‍රමසිංහට යෑම වැළැක්වීමටය. අපි හොරු අල්ලනවා, හොරු හිරේ දානවා, හොරා කාපු සල්ලි ගෙනත් දෙනවා… යැයි විපක්ෂය, විශේෂයෙන්ම සජබය සහ ජාජබය තමන්ගේ ප‍්‍රධාන මැතිවරණ සටන් පාඨයක් කරගෙන තිබෙන විට ඒ සටන් පාඨයෙහි වලංගු භාවය මෙම නව පනත සමඟ අභියෝගයට ලක්වීම විපක්ෂයට දරා ගත නොහැකිව තිබෙන බව මේ අනුව පැහැදිලිය.


කොහොමටත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ බංකොලොත් රට භාරගෙන එය එතැනින් මුදවා රටේ සංවර්ධනය ඉලක්ක කර, ගෙන යන වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය නිසා විපක්ෂයට කරකියා ගන්න දෙයක් නැති බව මෑත කාලයේ ඔවුන් කරන කියන දේවල්වලින් පෙන්නුම් කර තිබේ. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට එරෙහිවීමේ හෝ විවේචනය කිරීමේ හැකියාවක් ඔවුන්ට ඇත්තටම නැත. මන්ද එය වඩාත් නිවැරදිව සිදුවෙමින් රාජ්‍යයේ අපේක්ෂා මුදුන් පමුණුවන තැනක තිබෙන බව ඇස් පනා පිට පෙනෙන්නට තිබෙන නිසාය.


ජවිපෙ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු වන නලීන් හේවගේ පසුගියදා ප‍්‍රසිද්ධියේ කියා තිබුණේ රනිල් රට තවත් අල කළොත් මාලිමාවට ආණ්ඩුව බලය ජනතාව ලබා දුන්නත් තමන් එය භාර නොගන්නා බවය. මෙය අඩන්න බැරිකමට හිනා වෙනවා වැනි වැඩකි. රනිල් මේක අල කරනවාද ගොඩදානවාද යන්න අමුතුවෙන් පෙන්වාදිය යුතු නැත. රට බංකොලොත් බව ප‍්‍රකාශ කරන්නත් කලින් හිටපු ජනාධිපති ගෝඨාභය තමන් මුහුණ දුන් අසරණභාවය හමුවේ රට භාරගෙන එය බේරාගන්නා ලෙස ජවිපෙ, සජබ ඇතුළු සමස්ත විපක්ෂයෙන්ම ඉල්ලා සිටින විට ඒ අභියෝගය භාරගන්න කොන්දක්, දැක්මක්, වැඩපිළිවෙලක් නොතිබුණු අය, මේ යන්තම් ගොඩදාපු රට හෝ භාර ගන්නේ නැති බව සහතිකය. එදා රට මුහුණ දී තිබු තත්වය හා සසඳා බැලීමේදි අද රට ඉතා යහපත් තැනක තිබියදී සහ එය තවදුරටත් වර්ධනය වන තත්වයන් හමුවේ වුවත් ජවිපෙට රට භාරගන්න තරම් හැකියාවක් නැති බවත් නලීන්ගේ ප‍්‍රකාශයෙන් පමණක් නොව මීට පෙරත් එය පෙන්වා දී ඇත. ඒ ජනාධිපති චන්ද්‍රිකා යුගයේදී ඇමැතිකම් තුනක් භාරගෙන එය කරගන්නවත් නොහැකිව සිටියදී සුනාමි සහන මණ්ඩලයක් පෙන්වා ආණ්ඩුවෙන් ඉවත් වූ ඉතිහාසයකුත් ජවිපෙට තිබෙන නිසාය. යළිත් ඒ නොහැකියාව ප‍්‍රකාශ කිරීමත් වැදගත්ය. ඔවුන්ට භාර ගන්න පුළුවන් තරමට සංවර්ධිත රටක් රනිල් හදලා දුන්නොත් එය භාර ගැනීමට ඔවුන් සූදානම් බවත් මෙම ප‍්‍රකාශයෙන් කියවෙන අනිත් දෙයයි. ගොඩනැගුනු සංවර්ධිත රටක් භාරගන්න නම් එහි තව හදන්න දෙයක් නැත. රාජ්‍ය පාලනය අභියෝගාත්මක හෝ අසීරු වන්නේ නැත. රනිල් මෙන් දුෂ්කර අමාරු ජනප‍්‍රිය නොවන තීන්දු ගන්න වන්නේ නැත. වැරදුනු සිස්ටම් වෙනස් කර අලූ‍ත් සිස්ටම් එකකට රට ගොඩනගා රාජ්‍ය පාලනය යම් දශක කිහිපයක් දක්වා නොවෙනස් ස්ථිර ප‍්‍රතිපත්තිමය මුලධර්මයක් මත නිවැරදි මාවතේ ගමන් කිරීමට වැඩපිළිවෙල සැකසූ පසුව යළි අමුතුවෙන් රට හදන්න ඉල්ලීම විකාරයකි. හය හතර නොතේරෙන ළමයකුට වුවත් එවැනි රජයක් පාලනය කළ හැකිය. මේ නිසා අභියෝග භාර නොගෙන ඇඳන් යට සැඟවුනු නායකයන්ට හදපු රටක් මිස කඩා වැටී යළි හදන්න අවශ්‍යව තිබෙන රටක් භාර ගැනීමේ හැකියාවක් කොහොමටත් නැති බව ජවිපෙ පෙන්වා දෙන ඔවුන්ගේ ඇත්තය. ඒ වගේම මෙහිදී නලීන් හේවගේ තව දුරටත් කියන විදිහට රනිල් වික‍්‍රමසිංහ අල කළ රට නැවත ගොඩගැනීමට කියා රට භාර ගතහොත් එය තමන්ට කළ නොහැකි නිසා රටේ මිනිස්සු ගෝඨා පාලනය පැන්නුවා සේ මාලිමාවේ සාමාජිකයන්ටද පහර දෙනු ඇති බවත් පවසයි. මේ අනුව ගෝඨාභය අගමැතිකම දෙන්න කතා කරපු මොහොතේ අනුර කුමාර සැඟවුනේ මේක භාරගෙන කරන්න බැරිවෙන කොට මිනිස්සු ගහල පන්නයි කියන බිය සහිතව සිටි නිසා බවත් පැහැදිලිය. මෙය ජවිපෙට පමණක් නොව සමස්ත විපක්ෂයටම අදාල කතාවකි. කොහොම නමුත් රට හදන්න අපිට දෙන්නැයි කියන විපක්ෂ කට්ටියගේ කෙරුවාවේ තරම ඔවුන් විසින්ම මෙහෙම පැහැදිලි කර දෙන එක ජනතාවට හොඳය. නැවත වැරදී තීන්දු තීරණ අරගෙන තමන්ගේ ඡුන්දය අපතේ නොයවා රට ඇත්තටම හදන්න පුලූ‍වන් අයට ඡුන්දය පාවිච්චි කර ඊට අතිරේක වටිනාමක් එකතු කර ගැනීම දැන් අපහසුවකින් තොරව ජනතාවට සිදු කළ හැකිය. විපක්ෂය මේ මොන නරිනාටක නැටුවත් ඒවා බාධක කර නොගනිමින් ජනාධිපති රනිල් ප‍්‍රමුඛ ආණ්ඩුව රට ගොඩ නැගීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් තිබේ. හරියටම මීට වසරකට පෙර රට තිබූ තත්වය හා සසඳා බැලීමත් ඊට ප‍්‍රමාණවත්ය. පසුගිය වසරේ තෙල්, ගෑස් පෝලිම්, ආහාර හිඟය, ඖෂධ හිඟය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟතාවය අතරතුර රටේ උද්ධමනයද ලෝකයේ වැඩිම උද්ධමන අනුපාතික සහිත රටවල් තුන හතරට අයත් විය. පසුගියදා ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, 2023 මැයි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 22.1% ක් බව නිවේදනය කර තිබිණි. එම මැයි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 7.3ක්ද ආහාර නොවන කාණ්ඩයේ සියයට 14.9ක්ද විය. එය පසුගිය අපේ‍්‍රල් මාසය හා සැසදිමේදීත් විශාල අඩුවීමකි. නමුත් වසරකට පෙර මේ ඉලක්කම් හැට හැත්තෑ ගණන් අසූ ගණන්වලින් කියැවිණි. භාණ්ඩ මිල අද මෙතරම් අඩු වෙමින් පැවැතියද ඩොලරය අඩු වුණාට බඩු මිල අඩු වුණේ නැතැයි කියන මැසිවිල්ල විපක්ෂය විසින් නැගුවත් මේ වන විට ඩොලරය අඩුවීමේ වාසිය ක‍්‍රමයෙන් ජනතාවට ලැබෙමින් පවතී. එය එසේ නොවන තැනක තිබෙන්නේ තවදුරටත් ඇතැම් වසල කුලයේ වෙළදුන් විසින් ඉතා අසාධාරණව බඩු මිල ඉහළ මට්ටමක තබාගනිමින් සිටීම මතය. සාධාරණ වෙළඳාමක් කරන වෙළඳ ව්‍යාපාරිකයන් භාණ්ඩ මිල අඩු කිරීම සිදු කරමින් තිබෙන තත්වයන් හමුවේ මේ වසල කුලයේ අයටත් ඉදිරියේදි මිල අඩුකිරීම සිදු කිරීමට වෙනු ඇති අතර රජය විසින් ද ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් තිබේ.
කොහොම වෙතත් රජයේ අපේක්ෂාව මේ වසර අවසන් වන විට තවදුරටත් ජනතාව මුහුණ දෙමින් සිටින පීඩාවන් අවම කිරීමටය. ජුලි මාසයේදී විදුලි බිලෙහි අඩුවීමක් සිදු කිරීමට නියමිත අතර එළැඹෙන ජනවාරියේදී ඊට වඩා සහනයක් හිමි වන බව විදුලිබල ඇමැති කංචන විජේසේකර පසුගියදා ප‍්‍රකාශ කර තිබිණි. එමෙන්ම ආනයන තහංචි දමා තිබු භාණ්ඩ රැසක් නිදහස් කිරීම මේ විටත් සිදු කර ඇති අතර ඒ අනුව දැනට තිබෙන ආනයනික භාණ්ඩ හිඟය ක්ෂය වෙමින් සහ මිල අඩුවීම සිදුවෙමින් තිබේ. මේ අනුව විවිධ ගැටලූ‍වලට මුහුණදෙමින් තිබු ව්‍යාපාර කර්මාන්ත ආදිය යළි පණ ගසා නැගිටීමට පටන් ගෙන ඇත.

ඒ අනුව රැකියා අහිමි වූවන්ට ආදායම් අහිමි වූවන්ට යළි එම අවස්ථා නිර්මාණයවීමත් සිදුවෙනු ඇත. එසේම කොවිඞ් වසංගත තත්වය හා ආර්ථික අර්බුදය නිසා ආදයම් අහිමි වූවන්ට සහ දරිද්‍රතාවයට පත් වූවන් සියළු දෙනාට ජුලි මාසයේ සිට ක‍්‍රියාත්මක නව සමාජ ආරක්ෂක වැඩපිළිවෙල නිසා යළි කෙළින් කටින් හිටගෙන රටේ ආර්ථිකයට දායකවීමේ අවස්ථාව හිමි වෙනුද ඇත. එසේම සැප්තැම්බර් මාසය වන විට රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩිවීමක් සිදු කිරීමට අපේක්ෂිත බවත් ජනාධිපතිවරයා පවසා තිබිණි. ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් හා ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මකවීමත් මේ වන විටත් ලැබෙමින් පවතින ජාත්‍යන්තර ආධාර සහ අපේක්ෂා කරන ජාත්‍යන්තර ව්‍යාපාර ආයෝජන ලැබීම් ආදිය මත රට තවදුරටත් බංකොලොත් භාවයේ වළපල්ලෙන් ඈතට ගමන් කරනු ඇත. කිසිවකුත් රනිල් රට අල කරනකම් බලන් හිටියාට එහෙමවීමට නියමිතව නැත. ඒ වගේම රනිල් හදන රට භාරගන්න බලන් හිටියාට මිනිස්සු රනිල්ගෙන් ගලවා වෙන කාටවත් රට භාරදීම නොකරනු ඇත. අත්දැකීම්වලින් ඉගෙන ගෙන තිබෙනවා නම් 2019දී කළ මෝඩකම යළි සිදු නොකරනු ඇත.
මේ දිනවල සජබය තවත් විගඩමක් කරමින් සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩපිළිවෙල ගැන රජයේ එකඟතාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡුන්ද විමසීමේදී ඊට එරෙහි නොවී සිටි සජබය, දැන් එම එකඟතා අනුව සාකච්ඡුා මට්ටමේ ඇති දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ගැන ඊට විරුද්ධ ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ. මේ කිසිදු පදනමකින් තොර තක්කඩි වැඩකි. දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම නිසා බැංකු කඩා වැටෙනවා, තැන්පත්කරුවන්ගේ මුදල් අහිමි වෙනවා සේවක අර්ථ සාධකය ඉවර වෙනවා.. ආදී වශයෙන් බොරු බේගල්රැ සක් ඇද දමමින් යළි රට අවුලෙන් අවුලට පත් කිරීමට විපක්ෂය වෑයම් කරමින් සිටී. නමුත් ණය ප‍්‍රතිවුහගත කිරීම ගැන රජය මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත. කොටින්ම මෙහි අනිවාර්ය අවශ්‍යතාවයක් ඇතිවීම ගැනවත් තවම පැහැදිලි නැත. ආර්ථිකය හිතුවාට වඩා වේගයෙන් යහපත් අතට හැරෙමින් පවතින ලකුණු පහළ වී ඇති නිසා දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම ඒ වචනවල බරෙන්ම සිදු නොවනුද ඇත. කොහොම නමුත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පසුගියදා පැහැදිලිව පවසා සිටියේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවන බව නොවේ. එය ණය ප‍්‍රශස්ථකරණයකි. ඒ අනුව දේශීය ණය කපා හැරීමක් කිසිසේත්ම නොවන බව පැවැසීය. සිදු විය හැක්කේ දේශීය ණය කල්පිරීමේ දිගුවකට, පොලී අනුපාත අඩු කිරීමට හෝ සහන කාලය දීර්ඝ කිරීමට පමණක් යටත්ව එය සිදුවිය හැකි බවය. මේ අනුව බැංකු තැන්පත්කරුවන්ට ඔවුන්ගේ ඉතුරුම් සම්බන්ධයෙන් කිසිදු ගැටලූ‍වකට මුහුණ දීමට සිදු නොවන බවට රජය සහතික වන බවත්, සේවක අර්ථ සාධක වැනි සාමාජික අරමුදල් ණය ප‍්‍රශස්ථකරණය අනුගමනය කිරීමෙන් පසු සාමාජික ඉතුරුම් හෝ පොලී අනුපාත අඩු කිරීම්වලට මුහුණ නොදෙන බවත් ඔහු පැවසීය. මේ අනුව බොරු බේගල් පතුරුවා බැංකු කඩා වට්ටවා මහත් ව්‍යවසනයක් සිදු කිරීමට බලා සිටි විපක්ෂයට එම අවස්ථාවත් මඟ හැරෙනු ඇත.


ජනාධිපති රනිල් තමන් භාරගත් වැඬේ හරියට සිදු කරමින් පැවැතීම විපක්ෂයේ පැවැත්මට දිනෙන් දිනම හානි කරමින් තිබීම නිසා අද විපක්ෂයට තමන්ගේ පැවැත්ම ආරක්ෂාකර ගැනීමට බොරු බේගල්වලම එල්ලී සිටීමට බලකර ඇති බව මේ සියළු සිදුවීම් අනුව පැහැදිලිය. මේ අතර ජාත්‍යන්තරයත් විපක්ෂයට ඔළුව උස්සන්න දෙන්නේ නැති වග පෙනෙන්නට තිබේ. සිය පැරිස් සංචාරය අතරතුර ජනාධිපති රනිල්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටලීනා ජෝර්ජියේවා හමුවී තිබුණි. ඒ සම්බන්ධයෙන් ඇය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, වර්තමාන ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ලක් රජය දරණ ශක්තිමත් ප‍්‍රයන්ත පිළිබඳව සතුටුවන අතර මෙරට ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මූල්‍ය අරමුදල අඛණ්ඩව කැපවන බවය.