වැටෙනකොට නැගිට්ටවන්න හැමදාම කවුරු හරි එන්නේ නෑ..
පහුගිය දිනවල අයවැය යෝජනා සමඟ ලංකාවේ ආර්ථිකය පිළිබඳ බොහෝ තැන්වල කතාබහට ලක්වනු දක්නට තිබිණි. ආර්ථිකය කඩා වැටීම පිළිබඳ මෙන්ම ආර්ථිකය වර්ධනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ද ගමේ ගොඩේ, කඩ පිලේ මහමඟ දුම්රියේ බස් එකේ මේ කොයි තැන්වලත් කතා බහට ලක්වෙනු පෙනෙන්නට තිබිණි. ඒ ඇතැමුන් කියන්නේ ජේ.ආර් ගේ විවෘත ආර්ථිකය ලංකාව විනාශ කළ බවය, තවත් අය කියන්නේ ජේ.ආර් ගේ වැඩේ හරියට කරා නම් ලංකාව සිංගප්පූරුවක් කියාය. මේ අතර තවත් සමහරු කියන්නේ සිරිමා ගේ ආර්ථික ප්‍රතිපත්තිය තිබුණා නම් කන්තලෙන් සීනී හදාගෙන කන්කසන්තුරෙන් සිමෙන්තිත් ගෙනත් තුල්හිරියෙන් රෙදිත් හදා ගෙන දෙයියනේ කියලා ඉන්න තිබුණා කියාය.
තවත් සමහරු කියන්නේ ප්‍රේමදාස ආරම්භ කරන ලද පුද්ගලිකකරණ වැඩසටහන ඉදිරියට ගියා නම් රට මෙලහකට හරි පාරට එන්න තිබුණා කියාය. ඇත්තටම මේ සියලුම කතා වල පිටුපස තිබෙන යථාර්ථය කුමක් ද ? ඒ විමසා බැලීම දේශපාලන ආර්ථිකය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී වැදගත් වනු ඇත.
ඉහත ගමේ ගොඩේ කඩපිලේ කතාවන සාමාන්‍ය කතා බහේ මූලික හරය වන්නේ අප වසර 75 කට ආසන්න කාලයක් මුළුල්ලේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් හෝ හරියට ක්‍රියාත්මක නොකර එකතැන පල්වෙන ජීවිතයක් ගෙවන රටක් බවට පත්ව ඇති සෙයකි. මේ සම්බන්ධව සාකච්ඡා කරන විට අපට ලංකාවේ නිදහසින් පසු ආර්ථික ඉතිහාසය සොයා යාමට සිදුවේ.
ඩී.එස් ලංකාව භාර ගන්නා විට ලංකාවේ විදේශ වත්කම් දෙවෙනි වූයේ ජපානයට පමණක් වන බව ප්‍රසිද්ධ කරුණකි. ඒ සඳහා මූලිකව බලපාන ලද්දේ අපගේ තේ,පොල් රබර් සඳහා ඉහල වටිනාකමක් ලෝක වෙළඳපොළ තුළ හිමිවීමත් දෙවන ලෝක යුද්ධය සමයේ අපගේ ආනයන බෙහෙවින් අඩුවී තිබීමත් ය. එම සමයේ ලෝක වෙළඳපොළේ තේ මිල අසීමිතව ඉහළ යාම සඳහා එවකට පැවැති කොරියානු යුද්ධයද බෙහෙවින් බලපාන ලදී. කෙසේ වෙතත් 1951 න් පසුව ශ්‍රී ලංකාව ධනේෂ්වර ආර්ථික රටාවක් සමඟ ක්‍රමිකව ඉදිරියට ඒම දක්නට ලැබෙයි. විශාල වතු සමාගම්, ප්‍රවාහන සමාගම්, ව්‍යාපාර වර්ධනය වෙමින් ඉදිරියට එනු මෙසමයේ දක්නට ලැබිණ. එහෙත් ශ්‍රී ලංකාවේ එම ආර්ථික ගමන වෙනස්ම මාවතකට ගමන් කරන්නේ 1956 පෙරළියත් සමඟය.
1956 දී එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු රජය එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික සමාජ හා සංස්කෘතික ප්‍රතිපත්තීන්ට එරෙහිව පෙරළියක් සිදුකරමින් ජාතිකවාදී සහ වාමවාදී පදනමක සම්මිශ්‍රණයක් ලෙස බලය ලබා ගන්නා ලදී. එම පෙරළියත් සමඟ මහජන එක්සත් පෙරමුණු රජය විසින් දස අවුරුදු ආර්ථික සැලසුමක් ඉදිරියට ගෙන එන ලද අතර එම ආර්ථික සැලසුම වඩාත් සමීප වූයේ එවක සෝවියට් රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ අභාෂය ලැබූ රටවල් විසින් පවත්වාගෙන ආ රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය කෙරෙහි ය. ඒ අනුව එතෙක් ඩී.එස් ගෙන් ආරම්භව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරියට ගෙන ආ ආර්ථික රටාව ආපසු හරවමින් පෙරළියක් කිරීමට බණ්ඩාරනායක උත්සහ දරනු දක්නට විය.
එහිදී බොහෝ ව්‍යාපාර ක්ෂේත්‍ර ජනසතු කරන මුවාවෙන් රජයට පවරා ගැනීම, රජය මහා පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීම, ව්‍යාපාර සිදු කිරීම ඇතුළු සියළු ආර්ථික තීරණයන් හි ප්‍රධාන සහ ගාමක බලවේගය බවට රජය පත්වීම දක්නට ලැබිණ. එම තත්වය යටතේ බස් සමාගම්, වතු සමාගම් වැනි විශාල ලාභ ලැබූ සමාගම් දේශපාලන හේතූන් මත ජනසතුකරණය වීම ලංකාවේ දේශපාලන ආර්ථිකය පිළිබඳ හැදෑරීමේ දී හැරවුම් ලක්ෂයක් ලෙස සැලකිය හැකිය. අදටත් ඉතා නොදියුණු අකාර්යක්ෂම ප්‍රවාහන සේවයක් භුක්තිවිදින අප බොහෝ විට ගමන් බිමන් යන්නේ ඉන්දියානු ලොරි චැසියකට බස් බොඩියක් සවිකරන ලද රථයකිනි.
කිසිඳු සුවපහසුවක් නොමැති ඉන්දියානු දුම්රිය මැදිරියක් හෝ පැරණි චීන දුම්රිය මැදිරියකිනි. එහෙත් 1958 දී ජන්සතුකරණය කරන ලද ප්‍රථම බස් රථය බෙන්ස් වර්ගයේ එවක සුවපහසු බස් රථයකි. එවක අප භාවිතා කරන ලද දුම්රිය ජර්මානු තාක්ෂණය මත පදනම්ව නිෂ්පාදනය කරන ලද එවක ලෝකයේ ප්‍රමුඛ නිෂප්දනයන් ය. අදටත් එම දුම්රිය එන්ජින් භාවිතයේ පවතී.
1959 දී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ ඝාතනයත් සමඟ බලයට පැමිණි සිරිමා රත්වත්තේ අග්‍රාමාත්‍යවරියගේ ආණ්ඩුව ද රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන ලදී. එවක සෝවියට් සංගමයේ රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිය රටවල කර්මාන්ත සඳහා නවීන තාක්ෂණික උපක්‍රම භාවිතා කරද්දී, ගලවා ඉවත් කරන පැරණි යන්ත්‍ර සූත්‍ර ලංකාවට ලබා දෙන ලද්දේ ලංකාවේ තැන තැන රජයේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ය. තුල්හිරියේ පේෂ කර්මාන්ත ශාලාව, කන්තලේ සහ පැලවත්තේ සීනි කර්මාන්ත ශාලා, කන්කසන්තුරේ සිමෙන්ති සහ කැලණියේ ටයර් කර්මාන්තශාලා වැනි කර්මාන්ත ඉදිවන්නේ මේ ඔස්සේය.
රජය කර්මන්ත ශාලා සේවකයින් බඳවා ගැනීම සහ නඩත්තුව සිදු කළ අතර නිෂ්පාදන බොහෝ විට දේශීය වෙළඳපොළේ ආනයන ආදේශන ඉල්ලක කෙරෙහි යොමුවනු දක්නට ලැබිණ. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ අද අප මුහුණ දෙන විදේශ විනිමය සංචිත අර්බුදය වැනි අර්බුදයකට අප රටට 1964 වන විට මුහුණ දීමට සිදුවීමයි. එසේ වූයේ බොහෝ රාජ්‍ය කර්මාන්ත ශාලා එම නිශ්පාදන ලෝක වෙළඳපොළ ඉලක්ක නොකිරීමය. ලෝක වෙළඳපොළ සඳහා අඩු පිරිවැයක් සහිතව නිෂ්පාදනය කළ හැක්කේ කුමක් ද යන්න පිළිබඳ සලකා බැලීමක් කළේ නැත. මේ නිසා ආනයන ආදායම් අවමවීම තුළ අපගේ විදේශ සංචිත බෙහෙවින් පහළ යාමට පටන් ගෙන තිබිණි.
එම අර්බුදයෙන් රට මුදවා ගැනීමේ වගකීම 1965 දී භාරගැනීමට සිදුවන්නේ ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවටය. එවක මුදල් අමාත්‍යවරයා වූයේ ජේ ආර් ජයවර්ධනය. 1965 දී ඉන්දියානු ආර්ථික විශේෂඥ බී.ආර් ෂනොයි ගේ මග පෙන්වීම යටතේ විධිමත් ආර්ථික සැලසුමක් ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා සකස් කරන ලදී. පෞද්ගලික අංශය සඳහා කර්මාන්ත ආරම්භ කිරීමට සහන ලබා දීම මේ යටතේ ප්‍රමුඛ කාර්යයක් ලෙස ක්‍රියාත්මක විය. 1992 දී ඉන්දියාවද දැඩි විදේශ විනිමය අර්බුදයක සිරවූ මොහොතේ එවක අග්‍රාමාත්‍ය නරසීහ රාඕ විසින් ආචාර්ය මන් මොහාන් සිං එම අර්බුදය කළමනාකරණය සඳහා පත්කරන ලද අතර ඔහු විසින් ද අනුගමනය කරන ලද්දේ ද බී.ආර් ෂනොයි ගේ ආර්ථික උපායමාර්ගයන්ය. අද ඉන්දියාව සමස්ත ආසියාවේ නොව ලෝකයේම බලවත් ආර්ථික කිහිපය අතරට එක්වෙමින් තිබේ.
එහෙත් අවාසනාවකට 1970 දී ඩඩ්ලිගේ ආණ්ඩුව පෙරළා බලයට පැමිණි සිරිමාගේ සමගි පෙරමුණු හවුල් ආණ්ඩුව සම්පූර්ණයෙන් එම ආර්ථික මොඩලය වෙනස් කොට වැසුනු ආර්ථික ප්‍රතිපත්තියකට ගියේය. එවක ලංකාවට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන ලද වතු සමාගම් සියල්ලම රජයට පවරා ගනිමින් රාජ්‍ය අංශය විශාල ලෙස පුළුල් කරන්නට කටයුතු කළේය. එපමණක් ද නොව එවක ස්වාධීනව පැවතී රාජ්‍ය සේවයේ පත්කිරීම් සිදුකිරීම කැබිනට් මණ්ඩලය යටතට පවරා ගනිමින් රාජ්‍ය අංශයේ සියලු ආයතන සඳහා දේශපාලන වුවමණා මත පත් කිරීම් සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කෙරිණි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ආකාර්යක්ෂම රාජ්‍ය සේවයක්, විශාල කර්මාන්ත ශාලා ප්‍රමාණයක් සහ සේවක පිරිසක් නඩත්තු කරන, කිසිඳු ඩොලරයක් අතිරේකව නොඋපයන බංකොළොත් රාජ්‍ය ධනවාදී ආර්ථිකයක් ශේෂ වීමය.
මේ තත්වය යටතේ 1977 දී ජේ ආර් ජයවර්ධන බලයට පත්වන්නේ චීනයේ ඩේන් සියා ඕ පිං ජනාධිපතිවරයා බලයට පත්වන සමයේ දීමය. එහෙත් ඩේන් සියා ඕ පිං චීනය වෙනස් කළද ජේ.ආර්ට ඒ ඉඩ රටේ ජනතාව දුන්නේ නැත. ජේ ආර් විවෘත ආර්ථිකය හඳුන්වා දී මහ කොළඹ ආර්ථික කොමිසම හරහා විදේශ විනිමය වඩා පහසුවෙන් පිරිවැය ඵලදායී ලෙස ඉපයීම අරමුණු කරගෙන විශාල ආයෝජන කලාප ඉදිකරන ලදී. විශාල කර්මාන්ත ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ ආයෝජන සහ විදේශ ආයෝජන මත ආරම්භ කරන ලදී.
එහෙත් දේශපාලන වුවමණාවන් මත වැඩවර්ජන, ජාතිවාදී ගිනි ඇවිළවීම් නිසා ජේ ආර්ගේ ගමන අඩාල විය. උතුරෙත් දකුණෙත් විශාල සන්නද්ධ නැගිටීම් දෙකකටත් මුහුණ දීමට ජේ.ආර් ට සිදුවිය. රට දෙකොණ පත්තු වෙන විලක්කුවක් බවට පත්කර තිබිණි. එලෙස සිදු නොවුණා නම් සෝනි එරික්සන්, මොටරෝල්ලා වැනි කර්මාන්ත ශ්‍රී ලංකාවට ආයෝජන ලෙස පැමිණීමට බොහෝ සෙයින් ඉඩ තිබිණ. එසේ වූවා නම් අද දකුණු කොරියාව සිටින ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාව ය.
කෙසේ වෙතත් ජේ.ආර්ගෙන් පසුව පෞද්ගලීකකරණය ඉදිරයට ගෙන යමින් ඊට සමගාමීව සමාජ සුබසාධනය ද ඉදිරියට ගෙන ගිය ආර්.ප්‍රේමදාසව මහමඟ ඝාතනයට ලක්වීමට ඉඩ හැරි ශ්‍රී ලංකාවේ ඉතිහාසය 1994 දී විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදීමට චන්ද්‍රිකා බණ්ඩාරනායකව ජනාධිපති කර සිරිමා රත්වත්තේව නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්කරන ලදී. එම ධුර කාලයේ අවසාන භාගය සනිටුහන් වන්නේ 2001 දී ලංකාව පැය 10 කට ආසන්න කාලයක් විදුලිය කපන සෘණ ආර්ථිකයක් හිමි රටක් බවට පත් කරමිනි.
2001 දී නැවත රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් දීර්ඝ කාලීන සාමයක් සහ වේගවත් ආර්ථික වර්ධනයන් අරමුණු කරගෙන පෞද්ගලික ව්‍යවසාය සමඟ ඉදිරියට යන ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී. එතෙක් ඉවක් බවක් නැතිව ලක්ෂ 10 කට ආසන්නව වර්ධනය කර තිබු රාජ්‍ය සේවය ලක්ෂ 6 ක් දක්වා අඩුකර රාජ්‍ය සේවයේ ඵල්දායීතාව වර්ධනය කෙරෙහි අවධානය යොමු කරවන ලදී. එහෙත් ප්‍රතිඵලය වූයේ 2004 දී එම ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් රජයක් බිහිකර ගැනීමට ලංකාවේ ජනතාව කටයුතු කිරීමය.
2005 සිට 2015 දක්වා චීන ණය උගුලක ලංකාව සිරකර මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, මිහින් ලංකා වැනි අසාර්ථක ව්‍යපෘති ගණනාවක බර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලකාවේ ජනතාව මත පටවා රාජ්‍ය සේවය නැවත ලක්ෂ 15ක් දක්වා වැඩිකර බරපතල ආර්ථික ආර්ථික අර්බුදයක රට සිරකරන ලද පසුබිමක 2015දී නැවත ආණ්ඩු පෙරළියක් සිදුවිය.
නව ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගීව සාර්ව ආර්ථික කළමනාකරණ රාමුවක් ඔස්සේ පෞද්ගලික ව්‍යවසාය ද ශක්තිමත් කරමින් ඉදිරියට යන විට එක්ටා සීපා වැනි විදේශ වෙළඳ ගිවිසුම් ඵක්‍ක් ආධාර ව්‍යාපෘතිය, ජපාන ආධාර යටතේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැනි ව්‍යපෘති ඔස්සේ ක්‍රමයෙන් සංවර්ධන දිශාවට ගමන් කරනවා විට එම ආණ්ඩුව විජාතික භාවයේ ගැති ආණ්ඩුවක්ය යන සටන් පාඨය වර්ධනය වූ අතර 2019 දී නැවත ආණ්ඩු පෙරළියක් සිදුවිය.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගන්නා ලද ආර්ථික ක්‍රියාමාර්ග විසින් ලංකාව පැය 14 ක් අඳුරේ සිටින දින 10 කට ආසන්න කාලයක් ඉන්ධන, ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැදී සිටීමට සිදුවන රටක් බවට පත් කරන ලදී. ඒ පිළිබදව මෑත කාලීන අත්දැකීම් අප මේ මොහොත වන විටත් භුක්ති විඳිමින් සිටිමු.
මේ තත්වය යටතේ අප තේරුම්ගත යුතු කරුණ වන්නේ මෙය හුදෙක් එජාප ශ්‍රීලංකා බලපෙරළි පිළිබඳ ඉතිහාසයක් නොවන බවයි. දේශපාලන ආර්ථික පෙරළි පිළිබඳ ඉතිහාසයක් වන බවයි. පෞද්ගලික ව්‍යවසාය මත පදනම්ව රාජ්‍ය නියාමනය සහ සුභ සාධනය සඳහා වන කාර්යභාරයේ යෙදෙමින් ආර්ථිකය හසුරුවන නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක සහ ජාතිකත්වය මත පදනම්ව දේශපාලනය ද රාජ්‍ය කේන්ද්‍රීයව ආර්ථිකය ද හසුරුවන්න ගොස් ජනතාව ආර්ථික ආර්බුද ගණනාවක පතුලේ සිරකරවනු ලැබු ක්‍රම දෙකක ගැටුම්කාරී ඉතිහාසයකි.
1948 සිට මේ දක්වාම ඉතිහාසය ගොඩනැගෙන්නේ මෙම ගැටුම මත බව මානව පැහැදිලි වේ. යළි යළිත් මේ චක්‍රය තුළ සිටීමෙන් වගතුවක් වෙන්නේ නැති බව ඉතිහාසයේ කවර යුගයකටත් වඩා අද ඉතා හොඳින් පැහැදිලිය. අද වෙනස් යමක්, වෙනස් ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමෙන් තොරව ඉදිරියට යෑම කළ නොහැකි බව පෙන්වා දී තිබේ. 2048 දී බලාපොරොත්තුවන සංවර්ධිත අනාගතය වෙනුවෙන් මේ වැරදි කළ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යෑම විය යුතුය.