උත්තරේ 13 නම් ප්‍රශ්නෙ පුද්ගලිකයි!

මේ රටේ දශක පහකට අධික කාලයක් පුරා වරින් වර යුද්ධයත් සාමයත් අතර දෝලනය වෙමින් මිනිස් සංහාරයන් මැදින් ඉදිරියට ඇදී ආ ජාතික ප්‍රශ්නයට ස්ථීරසාර විසඳුමක් ලබාදීමට මෙතෙක් බලයට පැමිණි කිසිදු පාලන අධිකාරයක් සමත් නොවීය. එය රටේ අනාගතය සම්බන්ධයෙන් අදටත් ඉතා ඛේදනීය තත්වයකි. එවැනි වටපිටාවක, ජාතික ප්‍රශ්නයට දේශපාලන විසැඳුමක් ලබාදීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති 13 වෙනි සංශෝධනය පිළිබඳ යළි කතිකාවක් නිර්මාණය වෙමින් තිබේ. එය වසර 35කට වඩා පැරණි විසඳුමක් වුව ද අදටත් ලිඛිතව සහ වාචිකව නඩත්තු කරනවා විනා ඉන් ඔබ්බට නිසි ක්‍රියාකාරීත්වයකට යොමු නොකිරීමට සියලු වගකිවයුත්තෝ හැමවිටම පරිස්සම් වූහ.

දිගුකලක් ඇදි ඇදී ආ මෙරට ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීමේ අරමුණින් 1987 ජූලි මස 29 දින එවකට ජනාධිපති ඡේ.ආර්.ජයවර්ධන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය රාජිව් ගාන්ධි එක්ව ඉන්දු – ලංකා සාම ගිවිසුම අත්සන් කර සිටියේය. එකී ගිවිසුම් ප්‍රකාරව රාජ්‍ය බලය විමධ්‍යගත කොට පළාත් මට්ටමින් පරිපාලන ඒකක නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල කෙටුම්පත් කොට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියේ 1987 නොවැම්බර් 12 වන දාය. එහිදී ඊට පක්ෂව 138ක් ද විපක්ෂව ඡන්ද 11ක් ද ලැබිණි.

13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය

මෙකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙරට දෙමළ ජනතාවගේ මූලික ඉල්ලීම් දෙකක් වූ සමාන භාෂා අයිතිවාසිකම් සහතික කිරීම හා පුළුල් බලය බෙදාහැරීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම යන අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කෙරිණි. ඒ අනුව සමාන භාෂා ආයිතිවාසිකම් යටතේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස සහතික කිරීමටත් බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදයක් ලෙස පළාත් සභා ආකෘතිය ඇතුළේ ආයතනික ව්‍යූහයක් ස්ථාපිත කිරීමටත් පියවර ගැනිණි.

ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් ඒකක 8කට බෙදා පරිපාලන ව්‍යුහයන් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබුණත් පසුව ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් එය පළාත් 9ක් ලෙස තීන්දුකරන ලදී. ඒ අනුව උතුර, නැගෙනහිර, බස්නාහිර, දකුණ, උතුරු මැද, ඌව, වයඹ සහ සබරගමුව යන පළාත් 9 සඳහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවීමට කටයුතු කරන ලදී.

සෑම පළාත් සභාවක් සඳහාම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයකු පත් කරනු ලබන අතර ඔහුගේ ධුර කාලය වසර 5 කට සීමා වේ. ඔහුගේ කාර්යය වනුයේ, පළාත් සභාව සඳහා ප්‍රධාන අමාත්‍යවරයකු පත්කිරීම, පළාත් සභාව කැඳවීම, වාර අවසාන කිරීම සහ විසුරුවා හැරීම වේ. පළාත් සභාවේ සංයුතිය 4දෙනෙකුට නොවැඩි පළාත් ඇමතිවරු සංචිතයකින් යුක්ත වේ.

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවකට පැවරෙන බලය මූලික ලැයිස්තු 3ක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ පළාත් සභාවේ බලතල, සංවෘත්ත ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව වශයෙනි. මෙහි සංවෘත්ත ලැයිස්තුව යටතේ සඳහන් කර ඇති කවර හෝ විෂයයක් සම්බන්ධයෙන් ප්‍රඥප්ති, අණපනත් සැකසීමට පළාත් සභාවට බලයක් නොමැත. එසේම සංවෘත්ත ලැයිස්තුව යටතේ සඳහන් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී පළාත් සභාව මධ්‍යම ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය. එසේ ක්‍රියාත්මක කළයුතු පළාත් සභා ලැයිස්තුවේ විෂය 36 ක් නම් කොට ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්ති 17 ක් යටතේ සඳහන් කොට ඇත.

13ට ඇති විරෝධය

13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතිකාව රට තුළ නිර්මාණය වූ වකවානුවේ වාමාංශික ව්‍යාපාරක්වූ ජනතා විමුක්ති පෙරමුණ ඉන්දීය ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට ලංකාව පත් කිරීමට ජේ.ආර්. ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරන බවට සමාජ භීතියක් ඇති කළේය. එසේම රට බෙදා වෙන්කිරිමට කටයුතු කරන බව කියමින් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත සන්නද්ධ අරගලයක් දියත් කළේය. ව්‍යසනකාරී සිවිල් යුද ගැටුම අවසානයේ එහි ප්‍රතිඵලය වූයේ හැට දහසකට අධික තරුණ තරුණියන් ඇතුළු පුරවැසියන්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමයි.

ආණ්ඩු විරෝධී සිවිල් යුද්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත්වුවද ඉන් නොනැවතුන මෙරටේ බලය බෙදීමට එරෙහි වූවෝ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී බලවේග ඒකරාශී කරමින් ඒකපාර්ශ්වීය ජාතිකවාදී අන්තයක සිට විවිධ කතිකාවන් ගොඩනගමින් දිගින් දිගටම 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විරෝධතා පළකරන්නට විය. එකී විරෝධතා සමස්තය සැලකීමේ දී මූලිකව ප්‍රධාන කරුණු තුනක් වටා මෙම විරෝධතා දියත් කරමින් සිටින බව පැහැදිලිය. එය මෙසේ සංශිප්තව දැක්විය හැක.

1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි වගන්ති ප්‍රකාරව ඇති ඒකීය රාජ්‍ය සංකල්පය උල්ලංඝනය කිරීම,

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්ති ප්‍රකාරව ඇති පුරවැසියාගේ ස්වාධිපත්‍ය තහවුරු කෙරෙන වගන්තිය උල්ලංඝනය වීම,
  2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්ති ප්‍රකාරව ඇති බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදීමට අහෝසි වීම,

මෙසේ දේශපාලනිකව වගේම ව්‍යවස්ථානුකූලවත් විවිධ පාර්ශ්වයන් විසින් විරෝධතා ගොනුකරමින් සිටිය දී ඇතැම් පුද්ගලයන්, කණ්ඩායම් හා දේශපාලන පක්ෂ විසින් අධිකරණය ඉදිරියේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එරෙහිව නඩා පවරන්නට යෙදුණි. ඒ අනුව 09 දෙනෙකුගෙන් යුත් ශේෂ්ඨාධිකරණ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාග විය. එහිදී විනිසුරු මඩුල්ලේ බහුතර මතය වූයේ, යෝජිත පළාත් සභා ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට කිසිදු බලපෑමක් නොවන බවයි. එහිදී පළාත් සභාවක් යන්න අර්ථ ගන්වා තිබුණේ මෙසේය,

ස්වෛරී ව්‍යවස්ථාදායක බලතල ක්‍රියාත්මක නොකරන සහ පාර්ලිමේන්තුවට යටත්ව සීමිත බලතල ක්‍රියාවේ යොදවන අප්‍රධාන ආයතන සමූහයක් වශයෙනි.

13 වන ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීම.

ජාතිකවාදී අදහස්වලින් සමාජ මත පෝෂණය කිරීමට හවුල් වූ බොහෝ දෙනා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එමගින් බලය බෙදාහැරෙන පළාත් සභා ක්‍රමයට හැකි සෑම ආකාරයකින්ම විරෝධතා ගොනු කළ පසුබිමක එවකට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සැලසුම වූයේ කෙසේ හෝ 13 ව්‍යවස්ථාවෙන් යෝජිත පළාත් සභා පිහිටුවීමට කටයුතු කිරීම ය. ඒ අනුව එකී උත්සහාය සාර්ථක කර ගැනීමට 1988 අප්‍රෙල් මස 28 වෙනි දා සමත් විය.

ඒ මෙරට පළමු පළාත් සභා ඡන්ද විමසීම සිදුකරමිනි. එදින වයඹ, උතුරු මැද, ඌව සහ සබරගමු පළාත් සභා සඳහා මෙම ඡන්ද විමසීම සිදුකරන ලදී. ඉන් අනතුරුව පිළිවෙලින් මැයි දෙවනිදා බස්නාහිර හා මධ්‍යම පළාත් සභා ද මැයි 09 දකුණු පළාත් සභාව සහ 1988 නොවැම්බර් 19 උතුරු නැගෙනහිර පළාත් සභාව සඳහා ද ඡන්ද විමසීම් සිදුකරන ලදී. එතැන් පටන් අද වන විට වාර 5ක දී පළාත් සභා ඡන්ද විමසීම් සිදුකර ඇත. ඒ 1993 -94, 1999, 2004, 2008, 2012-14 වර්ෂවලදී ය.

කෙසේ වෙතත් මෙම පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වුවද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යෝජිත පළාත් සභාවකට හිමිවිය යුතු බලතල ලැයිස්තුවට අදාළ ඉඩම් හා පොලිස් බලතල හිමිකර නොදීමට හා සෑම ආණ්ඩුවක්ම පියවර ගැනීම මෙහිදී විශේෂත්වයක් විය. ඊට හේතු වූ මූලික කරුණ වූයේ බලය බෙදීමට එරෙහි වූ බොහෝ දෙනාගේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ සහ ජාතිකවාදී කල්ලි කණ්ඩායම්වල බලපෑමේ වැඩි බරක් මෙම කරුණ කෙරෙහි යොමු වීම ය.

13 සංශෝධනය යටතේ පොලිස් බලතල ගැන සඳහන්ව ඇත්තේ, පළාතේ නීතිය හා සාමය රැකීමට අදාළ අධිකාරිමය බලයක් වශයෙනි. ඉඩම් බලතල පළාතේ ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් බලපානු ලබන අතර පළාතේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස් බලතල ඉවහල් වනු ඇත. පොදුවේ මේ විෂයයන් දෙකම මධ්‍යම ආණ්ඩුව පනවා ඇති සීමාවන් යටතේ ඒ ඒ පළාත්වල කාර්යයන්ට අදාළව ක්‍රියාත්මක කිරිමට මිස ඉන් එහා අනිසි බලපෑමක් සිදුකිරීමට කිසිවකුට ව්‍යවස්ථාමය බලයක් හිමි නොවේ. අනෙක උතුරට හෝ නැfÛනහිරට පමණක් නොව අනෙක් පළාත් 7ටම මෙම බලතල අදාළ වේ.

මේ වන විටත් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ප්‍රවාහන, මාර්ග සංවර්ධන ආදී නොයෙක් විෂයය ක්ෂේත්‍රයන් පළාත් සභා යටතේ ක්‍රියාත්මකයි. සමස්තය තුළ ඇති ගැටලු මිසක් ඒවා සම්බන්ධයෙන් විශේෂිත ගැටලු අද දක්වා ඇති වූ බවට වාර්තා වී නොමැත. තවද ජාතික මට්ටමේ කවර ව්‍යාපෘතියකට හෝ ඒවායින් බාධාවක් වී නැත.

13 අලුත් ආරම්භය

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය ධුරයට පත්ව ඉතා කෙටි කලක් ඇතුළත මෙරට ගිලගනිමින් තිබූ දැඩි ආර්ථික පීඩනය සමහන් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් ක්‍රියාත්මක කරමින් යම් අස්වැසිල්ලක් සමස්ත ජනතාවට හිමිකර දීමට සමත් විය.

කෙසේ වෙතත් තවදුරටත් මෙරට ආර්ථික සංවර්ධනය පවත්වාගෙන යාම හෝ ආර්ථික මට්ටම ඉහළ තලයකට ඔසවා තැබීමට නම් රට තුළ ඇති අභ්‍යන්තර අර්බුද නිමා කළ යුතුය යන්න අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් සහිත ඕනෑම පුරවැසියකු පිළිගන්නා සත්‍යයකි. එකී අවබෝධය සහිතව ජනාධිපතිවරයා වරෙක පාර්ලිමේන්තුවේදී සියලු මන්ත්‍රීවරුන්ගෙන් විමසා සිටියේ මෙරට ජාතික ගැටලුව විසඳීම සඳහා ඔබ සූදානම් ද යනුවෙනි. ඒ දැනට වසර 37ක කාලයක් පුරා ක්‍රියාත්මක වෙමින් තියෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමණින්නම බලාත්මක කිරීමට එකඟ ද යන්නය.

එහි දෙවන පියවර වූයේ ජනාධිපතිවරයාගේ උතුරු සංචාරයේ දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමණින්ම බලාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවසීමය. ඉන් නොනැවතුණ ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ අතර එහිදී ඊට විරෝධය දැක්වූ ඇතැම් පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා පවසා සිටියේ,

”විධායකය ලෙස මට පැවරී තිබෙන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමයි. 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වසර 37ක පමණ කාලයක සිට තිබෙනවා. මම එය ක්‍රියාත්මක කළ යුතුයි. මම එය ක්‍රියාත්මක නොකරන්න නම් කවුරුන් හෝ 22 වෙනි සංශෝධනයක් ගෙනවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. එසේ නොමැති නම් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි.” යනුවෙනි.

ජාතිකවාදීන්ගේ නැගිටීම

ජනාධිපති රනිල් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු කරන බවට කරන ලද ප්‍රකාශය පාදක කරගනිමින් එදා රාජපක්ෂවාදී කඳවුර නියෝජනය කළ සිංහල බෞද්ධ ස්වොත්තමවාදී කල්ලි කණ්ඩායම් නැවත වටයකින් අලු ගසා නැගිටිමින් සිටින බව පෙනෙන්නට තිබේ.

විශේෂයෙන් ජාතික ප්‍රශ්නය දෙස ධර්මය නොව ආගමික මූලයන් මත පිහිටා තීන්දු තීරණ ගන්නා භික්ෂුහු ද සිය දේශපාලන පැවැත්ම සිංහල බෞද්ධ අන්තවාදය මත තහවුරු කරගැනීමට උත්සාහ දරණ වීරවංශ පන්නයේ අන්තවාදී දේශපාලකයන් ද එකී දේශපාලකයන්ට යහමින් ආවඩන ජාතික සංවිධාන එකමුතුව වැනි ගෝත්‍රවාදී කල්ලි කණ්ඩායම් ද 13ට එරෙහි පෙරමුණ ගෙන තිබේ.

එසේම මෙතක් කලක් ජනතා විමුක්ති පෙරමුණ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාරාන්තික විරෝධයක සිට කටයුතු කළ බව නොරහසකි. කෙසේ නමුත් අද ඔවුන් ප්‍රමුඛ කොටගත් ජාතික ජන බලවේගය ප්‍රකාශ කොට ඇත්තේ, ජාතික ගැටලුවට විසඳුමක් ලෙස එය මුළුමනින්ම බලාත්මක කිරීමට එකඟතාව පළකර සිටින බවයි. එය ඔවුන්ට සහ රටට දේශපාලනිකව වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.

13න් උපන් දේශපාලන මනෝ ව්‍යාධිය

උතුරු නැගෙනහිර ප්‍රමුඛ රට පුරා සුළුතරයක් වූ දෙමළ ජනතාව මේ රටේ බහුත්වවාදීන්ගේ අනේකවිධ අඩත්තේට්ටම් වලින් දිගින් දිගටම පීඩාවට පත්වෙමින් සිටියදී ඊට පිළියම් සෙවීමේ අරමුණින් ගෙන ආ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය දැක්වූ හෝ දක්වන කිසිම පුද්ගලයකු, කණ්ඩායමක් හෝ දේශපාලන පක්ෂයක් අද වන තුරු පිළිගත හැකි, නිවැරදි විසඳුම් යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමත් නොවීම ද මෙහිදී විශේෂිත කරුණකි.

සැබෑ කරුණ නම් ඔවුන්ට මෙරට දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් හෝ රට තුළ ඇති එවැනි ගැටලුවක් පිළිබඳ සැබෑ වැටහීමක් ඇත්දැයි සැක සහිතය. අනෙක 13 බලාත්මක කිරීමෙන් මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වන බවත්, බුද්ධාගම විනාශ වන බවත්, රට දෙකඩ වන බවත් ආදී තර්කයන් ගොඩ ගනන්නේ ද සිය දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමේ අරමුණින් මිස ප්‍රශ්නය විසඳුම් සෙවීමේ අරමුණින් නොවන බව පැහැදිලිය.

කෙසේ වෙතත් ජනපති රනිල් තමන්ට දේශපාලනිකව සිදුවන හානිය හෝ වාසිය නොතකා මීට මැදිහත් වන්නේ ම දශක පහකට අධික කාලයක් මුළු රටම වරින් වර ව්‍යසකාරීව ගිලගනිමින් ඇති ජාතික අර්බුදයට විසඳුම් ලබා නොදී තවදුරටත් රට ඉදිරියට ගෙන යා නොහැකි බව වටහා ගෙන ඇති බැවිනි. ඒ අනුව ජනාධිපතිගේ ඉල්ලීම වූයේ, 13 ක්‍රියාත්මක කිරීමට අකමැතිනම් පුද්ගලික මන්ත්‍රී යෝජනවක් ඉදිරිපත් කර හෝ ඉවත් කරන්න, නැතිනම් බලාත්මක කිරීමට කටයුතු කරන්න යනුවෙනි.

මේ කරුණු දෙකෙන් එකකට හෝ විරෝධතා දක්වන අන්තවාදීන් කටයුතු නොකරනු ඇත. මන්ද ඔවුන්ගෙ පැවැත්ම හෝ වෘත්තීයභාවය ආරක්ෂා වන්නේ, අංගවිකල 13 ක් සක්‍රීය ව ඇති වටපිටාවක වන බැවිනි.

කෙසේ වෙතත් 13 කියන්නේ, මේ රටේ ජාතික ගැටලුවට යෝජනා වූ දේශපාලනික විසඳුමක් මිස හුදු තනි පුද්ගලයකුගේ කැමැත්තක් නොවේ. එය දේශපාලන අවබෝධයක් සහිත මිනිසුන් විසින් ගත යුතු තීන්දුවක් මිස, පුද්ගලයකුගේ දෙන්නෙකුගේ වුවමනාවට ඉවත දැමිය යුත්තක් ද නොවේ. තවදුරටත් මේ පිළිබඳ සැලකීමේ දී පළාත් සභා තුළ අන් සියලු අංශ ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වෙන තත්වයක් තුළ ඉඩම් – පොලිස් බලතල ලබාදීම පිළිබඳ සමාජය මත මුදාහැර ඇති භීතිය හුදු මනෝ ව්‍යාධියකි. එය පැහැදිලිවම මනෝ විශ්ලේෂණයට ලක්කිරීම ඉතාමත් වැදගත් වනු ඇත. එවිට මේ පිළිබඳ ඇති අනිසි බිය තුරන් වනු ඇත.

එසේම අද LTTE යක් මහ පොළොවේ නැති බවත්, TNA යනු දෙමළ ජනයාගේ එකම උරුමක්කාරයා නොවන බවත් සිංහල සහ මුස්ලිම් ජනයාට ද එවැනි එකම උරුමක්කාරයෙක් නොමැති බවත් තේරුම් ගැනීම වගේම මේ සියල්ලෝම එකම ශ්‍රී ලාංකේය පුරවැසියන්ය යන්න අවබෝධයක් සහිතව මීට මැදිහත් වීම වැදගත් ය. ඒ නිසා 13 පිළිබඳ අනිසි බියකින් කල් මරනවාට වඩා ගැඹුරු සාකච්ඡාවකට ගොස් ඒ පිළිබඳ සුදුසු තීන්දුවක් ගැනීම හෙට රටට සුවදායක වනු ඇත.