ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රි ලංකා රජය අතර වූ විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සදහා වන එකඟතාවය සම්බන්ධ පසුගිය 28 වනදා පැවැති පාර්ලිමේන්තු ජන්ද විමසීමේදී එකඟතාවයට පක්ෂව ජන්ද 120 ක් ලබාගනිමින් එම යෝජනාව ජයග්‍රහණය කළේය. මෙහිදී විපක්ෂව ජන්ද 25ක් ලැබිණි. එහි වූ

විශේෂත්වය වූයේ නිතර කොන්ද ගැන කතා කරන විපක්ෂ නායක ඡන්දය විමසීම අවස්ථාවේ පාර්ලිමේන්තුව සභාවෙන් පලා ගොස් සිටීමය. ඒ අන් කිසිවක් නිසා නොව IMF යෝජනාවට පක්ෂ ද විපක්ෂ ද යන්න හරි තීරණයක් ගැනීමට ඇති බැරිබැරියාව මිස අන් කිසිවක් නොවේ ය. මේ හැර විපක්ෂ නායක සජිත් යළි තහවුරු කර සිටියේ තමන් අකලට පැසුණු හිස් කෝම්බයක් මිස අභියෝගයකට මුහුණ දීමට හෝ තීරණාත්මක අවස්ථාවක සෘජු තීරණයක් ගැනීමට හැකි පරිණත දේශපාලනඥයෙකු නොවන බවයි.

කෙසේ නමුත් මුල්‍ය අරමුදල සමග වන එකඟතා ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීම සුවිශේෂී අවස්ථාවකි. මේ අනුව මෙම ගිවිසුම ප්‍රකාරව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ස්ථායිතාවය සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුව එකඟවේ. එසේම එම එකඟතාව අනුව ශ්‍රීලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නැවත වතාවක් ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට හැකිවෙයි.

කෙසේ නමුත් විපක්ෂය මෙම එකඟතාවයට එරෙහිව ජන්දය පාවිච්චි කිරීම සහ එය මඟහැරීමට කටයුතු කිරීමෙන් පැහැදිලි වන්නේ රට අර්බුදයෙන් ගලවාගැනීම සම්බන්ධයෙන් ඇති නොකැමැත්තය. මන්ද මෙම එකඟතා ගිවිසුම අනුව මෙරට ආර්ථිකය යළි ගොඩනැංවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ හැර වෙනත් කිසිදු විකල්ප විසඳුම් විපක්ෂය ඉදිරිපත් කළේ නැත. ඒ අනුව පැහැදිලි වන්නේ මෙම ගිවිසුම පිළිගන්නවා හැරවෙනත් විසඳුම් විපක්ෂයට නොමැති බවය. එහෙත් ගිවිසුමට පක්ෂ වුවහොත් එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණයක් වීම නොවැලැක්විය හැකි වීම මත, රටත් ජනතාවත් කවර ඉරණමකට ගොදුරු වූවත් එය නොතකා ගිවිසුමට පක්ෂව ජන්දය පාවිච්චි නොකිරීමේ තීන්දුව ගත් බව පැහැදිලිය.

එමෙන්ම අරමුදලේ එකඟතාවයට එරෙහිවීම වෙනුවෙන් විපක්ෂය ගෙන ආ බොහෝ තර්ක විතර්ක පදනම් වූයේ ගිවිසුමේ අන්තර්ගතයෙන් පරිභාහිර කරුනු කරනාය. එනම් ගිවිසුම ප්‍රකාරව රජය විසින් ක්‍රියාත්මක කලයුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ගන්නා පියවරෙහි ඇති අඩුපාඩු මතු කිරීම, විපක්ෂය කියපු කාලයේ අරමුදලේ සහය ලබා නොගැනීම , ජනාධිපති මහජන ජන්දයෙන් පත් නොවීම, රාජපක්ෂවරුන්ගේ සහය ජනාධිපතිට ලැබීම ආදී අවශේෂ කරුණුය. එහෙත් ඒ කිසිවක් රට මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් වන මුල්‍ය අරමුදලේ නිර්දේශ ප්‍රතික්ෂේප කිරීමට අදාල නොවේ. ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව වෙනස් වූවත් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට එරෙහි වීම යනු රටට, ජනතාවට එරෙහි වීමකි.

කෙසේ නමුත් මේවන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ගිවිසුමට අනුමැතිය හිමිවීම හමුවේ, ඒ අනුව ක්‍රියාත්මක වී රට ජයග්‍රහණ තෙක් රැගෙන යාමේ අභියෝගය තවදුරටත් ජනාධිපතිවරයා මත පැවරී තිබේ. 2048දී සංවර්ධිත ශ්‍රීලංකාවක් වෙනුවෙන් වන ඔහුගේ අරගලය ජයගැනීම සදහා සහය වීම මෙරටේ වැඩකරන ජනතාවගේ යුතුකම සහ වගකීම වනු ඇත. මන්ද රටවල් ගොඩනැගුවේ බොරු කයිවාරුකරුවන්ගේ වචනවලින් නොව, වැඩකරන ජනතාවගේ දහඩිය මහන්සියෙන් වන නිසාය. ඊට අවශ්‍ය නිවැරදි නායකත්වය සහ වැඩපිළිවෙළ දැන් රට සතුව තිබේ.