හතලිස් අටේ මගහැරුණු හතලිස් අටේ සිහිනය

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍යයි, ලෝක බැංකුවේ ආධාර අවශ්‍යයි, අපට ඩොලර් බිලියන 07ක් ලබා ගැනීමට අවශ්‍යයි කියා එක්සත් ජාතික පක්ෂයේ 2020 මැතිවරණ ප්‍රකාශයේ අප එදා සඳහන් කළා. අපි විතරයි පක්ෂයක් ලෙස එම කරුණු සඳහන් කළේ. අනෙක් සියලු‍දෙනාම ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා කියලා දැන, දැනත් ඉටු කළ නොහැකි විවිධ පොරොන්දු ලබා දුන්නා. එහි ප්‍රතිඵලය කුමක්ද, ඇත්ත කිව්ව එක්සත් ජාතික පක්ෂය අවසානයේ ජාතික ලැයිස්තුවකට වැටුණා”‍ මෙම ප්‍රකාශය උපුටා ගනු ලැබුවේ ජනාධිපතිවරයා පසුගිය මැයි 01 වනදාට යෙදුනු ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් කළ ප්‍රකාශයෙනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලනය සහ ආර්ථිකය ගැන ටක්කටෙම හරියන අනාවැකි කීමෙහි සූරයකු බව ඔහු බෝහෝ අවස්ථාවලදී පෙන්වා ඇත. පසුගිය ගෝඨාභය පාලන සමයේදී රට මුහුණ දීමට නියමිතව තිබු අර්බුදය ගැන ඔහු කීවේ ඊට බොහෝ කලකට පෙරය. දාන් ඇදීමේ ප්‍රවීණයකුට අනෙකෙකු දාන් ලෑල්ලේ ඉත්තතෝ අදින විදිහෙන් ජය ගන්නවාද පරදිනවාද කියා කලින්ම දැන ගැනීමේ හැකියාව ඇත. දේශපාලනයේදීත් ආර්ථිකයේදීත් ඒ ප්‍රවීණයාට අනාවැකි ලෙහෙසියෙන් වරදින්නේ නැත.

ඉතිහාසයේ පෙර නොවූ විරු අර්බුදයකට රට මුහුණපාන බවත් එයින් ගොඩ ඒමත් ඉතිහාසයේ දැවැන්තම අභියෝගය වන බවත් රනිල් කලින්ම ප්‍රකාශ කර සිටියා පමණක් නොව ඊට මුහුණ දීම සඳහා කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන්නත් පෙන්වා දෙනු ලැබීය. නමුත් ඒ පිළිගැනීමට ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය එදා කටයුතු කළේ නැත. වෙනදා කරන සුපුරුදු පැලැස්තර විසඳුම්, ගැලරි චූන් කරන ජනප්‍රිය විසඳුම්වලින් මේ ප්‍රශ්න ගොඩින් බේරා ගත හැකි බව විශ්වාස කළේය. නමුත් සිදු වූයේ අනෙකකි. කෙසේ වෙතත් වගකිව යුතු දේශපාලන පක්ෂ හා දේශපාලන නායකයින් සියලු‍දෙනා මෙම අභියෝගයට මුහුණ දීමට නොහැකිව පියවර ගණනාවක් පසුපසට යද්දී රනිල් වික්‍රමසිංහටම මෙම අභියෝගයට මුහුණ දී අර්බුදය විසඳීමට ඉදිරිපත් වන්නට සිදු විය. ඊට කෂේරුකාවත් තිබුණේ ඔහුට පමණි.

අගමැතිවරයා ලෙසත් ජනාධිපතිවරයා ලෙසත් මෙම අභියෝගයට රට සාර්ථකව මුහුණ දිය යුත්තේ කෙසේදැයි නොසඟවා ප්‍රකාශ කළේය. ඔහු සැමවිටම ප්‍රකාශ කළේ ගත යුතු ක්‍රියාමාර්ග වඩාත් දුෂ්කර වෙනු ඇති බවය. ජනප්‍රිය නොවනු ඇති බවය. එසේම ඉදිරිය තවදුරටත් අසීරු වනු ඇති බවය. මෙය බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වූ නමුත් සත්‍යය එය පමණක්ම විය. පසුගියදා එක්සත් ජාතික පක්ෂ මැයි දින සමුළුවට සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා පැහැදිළිවම ප්‍රකාශ කර සිටියේ ආසියාවේ දෙවැනි තැනට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගු ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සහ විවෘත ආර්ථිකය සමඟ රට ඉදිරියට ගෙන ගිය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව එමඟ යමින් ශ්‍රී ලංකාව යළි ගොඩ නැගිය යුතු බවයි.

මෙහිදී ජනාධිපතිවරයා යළිත් අවධාරණය කළේ 2048 වන විට ලොව දියුණු ආර්ථිකයක් හිමි සංවර්ධිත රටක් බවට පත් කළ යුතු බවයි. එය කළ හැකි බවයි. එහෙත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය උපුටා ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ 2048 වෙන තුරු තමන්ට බලා සිටිය නොහැකි බවයි. අද හෙටම රට සංවර්ධිත රාජ්‍යයක් කළ හැකි බව ඔහුගේ විශ්වාසය වී ඇත. මේවා ගැලරි චූන් කරන කතාවලටත් වඩා විපක්ෂයේ අඳ බාල දේශපාලනයේ තරම පැහැදිළි කරන මුග්ධ ප්‍රකාශයන්ය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සමස්තය ගෙන බැලූ කළ ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ 2048 යනු ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය යටත් භාවයෙන් නිදහස ලබා සියවසක් සම්පූර්ණ කරන වසර බවත්, ඒ වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුවාක් මෙන්ම එය තිරසර ආර්ථිකයක් විය යුතු බවයි. නිදහසින් වසර සියයක් සැපිරීම ඉලක්ක කර ගනිමින් ඉන්දියාව 2047දීත්, චීනය 2049දීත් අති දැවැන්ත සංවර්ධිත ආර්ථිකයක් කරා ගමන් කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව ද නිදහසේ සියවස වන 2048 වන විට සංවර්ධික ආර්ථිකයකට හිමිකම් කීමේ ඉලක්කය සහිතව ගමන් කළ යුතුය. එසේ රට ගොඩනගන්නේ වත්මන් පරපුරට පමණක් නොව අනාගත තරුණ පරපුරට හා දරුවන්ටය.

මේ වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග රැසක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත. ඒ අනුව මූලික වශයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි කළමණාකරණය කරමින් ශක්තිමත් කිරීම සිදුවෙනු ඇත. රාජ්‍ය ආදායම් වර්ධනය සහ වියදම් අවම කිරීම වෙනුවෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනු ඇත. රජය විසින් ව්‍යාපාර නොකළ යුතු බවට වන රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව පෞද්ගලික අංශය වෙත ආර්ථික වර්ධනයේ වැඩිම බර තබනු ඇත. රජය විසින් ඊට පහසුකම් සලසමින් එය නියාමනය කිරීම පමණක් කරනු ඇත, කිසිදු අවස්ථාවක රාජ්‍ය ව්‍යාපාර පාඩු මහජනතාවගේ හිස මතට නොපැටවිය යුතුය යන ස්ථාවරය මත අසීරු, නමුත් කළ යුතු ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාමාර්ග වෙත අවතීර්ණවීමට කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

මෙම ක්‍රියාවලිය හැංගි හොරා නොකොට ඉතා විවෘතවත් සෘජුවත් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ සිය දේශපාලන දිවිය දෙවෙනි තැනට තල්ලු‍ කරමින් රට පෙරට ගෙනය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹුණු ගිවිසුම අනුව වූ කොන්දේසි සැපිරීමක් යැයි විවිධ චෝදනා ඉදිරිපත්ව තිබෙන මුත් ජනාධිපති රනිල් මේ වෙනුවෙන් කතා කළේ වැඩ කළේ අද ඊයෙක සිට නොවේ. 2002 යළි පුබුදමු වැඩසටහන මගින් අරමුණු කළේද මෙම පියවරයන්මය. යහපාලන යුගයේ අරමුණ වූයේත් මෙයමය.

කොහොම නමුත් මේ වෙනුවෙන් වඩාත් පිටුබලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹුණු ගිවිසුම මගින් ලැබී ඇත. අගාධයට වැටුණු රට ගොඩගෙන ඉදිරියට යාමට අවශ්‍ය ජාත්‍යන්තර සහය සලසා දීමට මෙම ගිවිසුම අවස්ථාව ලබා දී ඇත. එමෙන්ම මෙම ගිවිසුම පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් අනුමත කරනු ලැබීම රටක් ලෙස අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව මෙම ගිවිසුම ප්‍රකාරව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ස්ථායිතාවය සංවර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුව එකඟය. මේ අතර අනුමැතිය හිමි වූ එකඟතාවයට අදාල ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ අතර, ඒ අනුව වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුමට අනුව කටයුතු කිරීම ආරම්භ කිරීමෙන් නොනැවතී එය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වටපිටාව සකස් කර ඇත.

ඉතිහාසය පුරාම අප විසින් අත්දැක ඇත්තේ කාලයෙන් කාලයට බලය හිමිකර ගන්නා දේශපාලන පක්ෂ විසින් සිය දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් තමන්ගේ සුඛවිහරණය ඇති කර ගත්තා මිස රටේ තිරසර සංවර්ධය වෙනුවෙන් කටයුතු කිරීමක් නොවේ. ජනතාවට ඒ ඒ කාලයන්ට අනුරූපීව විවිධ වරදාන වරප්‍රසාද හිමිකර දෙමින් කෙටි කාලීන ප්‍රතිපත්ති මත කටයුතු කිරීමක් හැර අන් කිසිවක් නොවේ. එකී කෙටිකාලීන ප්‍රතිපත්ති මත කටයුතු කිරීමේ විපාක අද අප භුක්ති විඳිමින් ඇත. රටක තිරසර දියුණුව ඇති කිරීමට නම් කෙටිකාලීන තීන්දු ප්‍රමාණවත් නොවේ. ඒ වෙනුවෙන් දිගුකාලීන සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති සමඟ රට ඉදිරියට ගෙන යා යුතුය. “‍ජයගමු 2048”‍ යනුවෙන්ම වන වැඩපිළිවෙළ ඒ වෙනුවෙනි. එමෙන්ම එම වැඩපිළිවෙල යටතේ වන නව ආර්ථිකය වෙළදපොළ තරගකාරීත්වය මත පදනම් වන ආර්ථිකයක් විය යුතුය. සමාජ සාධාරණත්වය පදනම් කරගත් කිසිවකුත් අත් නොහැරෙන ආර්ථිකයක් විය යුතුය. විශේෂයෙන්ම අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයක් මෙන්ම හරිත හා ඩිජිටල් ආර්ථිකයක් විය යුතුය. ඒ වෙනුවෙන් රජය මේවන විටත් බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇත.

ඒ අතර වත්මන් තාක්ෂණය හා සබැඳි ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට අදාල කටයුතු සම්පාදනය කර ඇති අතර, රාජ්‍ය යාන්ත්‍රණය, ඩිජිටල් යාන්ත්‍රණයකට මාරු වෙනු ඇත. එහි ප්‍රමුඛ ක්‍රියාමාර්ගයක් ලෙස කෘත්‍රිම බුද්ධිය (්රඑසසෙජස්ක ෂබඑැකකසටැබජැ) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් දැනටම ක්‍රියාත්මකය. එමෙන්ම දියුණු ආර්ථික ඉලක්කයන් ජය ගැනීමේදී ඒහා සමගාමීව පරිසරය සුරැකීම වෙනුවෙන් විශේෂිත ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කර ඇත. හරිත ආර්ථිකයක් ලෙස ස්ථාපිතවීමට ශ්‍රී ලංකාවට නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, ඒ වෙනුවෙන් අදාල ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් කිරීමටත් අවශ්‍ය පියවර සකස් කර ඇත. දේශගුණික විපර්යාස අවම කිරීම වෙනුවෙන් වන ජාත්‍යන්තර වැඩපිළිවෙලට සමගාමීව දේශිය වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකව තිබේ.

ශ්‍රී ලංකාව දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඉදිරි 25 වසරේ වර්ධනයන් සමඟම එහි ප්‍රතිලාභ රටට අත්පත් කරගැනීම වෙනුවෙන් රට ඉන්දියානු සාගර කලාපයේ නාවික හා ගුවන් කේන්ද්‍රස්ථානය කිරීම වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් රැසක් වෙනුවෙන් දැනටම සැලසුම් සකස් කරමින් තිබේ. එසේම කලාපයේ උසස් අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවටද රට පරිවර්තනය කෙරෙනු ඇත. මෙලෙස ‘ජයගමු 2048’ තේමා පාඨය සිහිනයක් නොවී යථාර්ථයක් කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මකකරන වැඩපිළිවෙල තවත් විශාලය. එය අඛණ්ඩව කවර අනාගත පාලකයන් වෙතිනුත් සිදු විය යුතුය. නැවත පටු දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් රට කැළෑවට දැක්කීම නොසිදුවිය යුතුය.

අවධාරණය කළ යුතු වැදගත්ම දේ නම් 2048 වෙනුවෙන් මේ ඉදිරිපත් කරන වැඩ සටහන ඇත්ත වශයෙන්ම 1948 දී ක්‍රියාත්මක විය යුතුව තිබුණක් බවය. එදා ඒ වෙනුවෙන් මීට වඩා පහසු පරිසරයක් තිබිණි. එදා ආසියවේ දෙවන ආර්ථිකය වූ රටට අද වන විට ලෝකවේ දියුණුම රාජ්‍යයක් බවට පත් වීමේ සක්‍යතාවය තිබිණි. නමුත් මජර දේශපාලනය විසින් ඒ අවස්ථාවන් මඟ හැර ගත්තේය. එය යළිත් නොවිය යුතුය. 2048 ඉලක්ක කර ගත් තිරසර ආර්ථිකයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙක් ක්‍රියාවට නැන්වීම ආරම්භ කර ඇති මොහොතේ ඊට බාධා නොකළ
යුතුය.

  • රිද්ම අනුරාධ ගමගේ