“කෘත්‍රිම බුද්ධිය සංවර්ධනයට රු. බිලියනයක් වෙන් කරනවා” – ජනපති

කෘත්‍රිම බුද්ධිය ගැන අවධානය යොමු කර එය වැඩිදියුණු කිරීමට තමා ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රජය මෙම වැඩපිළිවෙළට මුලපිරීම සඳහා ඉන්ජිනේරුවන් 10,000ක් හා වෛද්‍යවරුන් 5,000ක් සම්බන්ධ කර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

එසේ ම, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට තොරතුරු තාක්ෂණ කාර්මිකයන් සහ අනෙකුත් වෘත්තිකයන්ගෙන් සමන්විත දක්ෂ ශ්‍රම බළකායක් අවශ්‍ය වන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

රජය දැනට වෘත්තීය හා තාක්ෂණික පුහුණු ආයතන 400ක් පමණ පවත්වාගෙන යන බව පැවසූ වික්‍රමසිංහ මහතා පුහුණු ශ්‍රමිකයන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා සේවා මුර දෙකක් පවත්වාගෙන යාමටත්, ඒ සඳහා පෞද්ගලික අංශය හවුල් කර ගැනීමටත් අවශ්‍ය වී ඇතැයි කීවේ ය.

ඒ අනුව රටේ ව්‍යාපාරිකයන් මෙම ක්‍ෂේත්‍රය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගිය දා (අප්‍රේල් 20) පැවති “බිස්නස් ටුඩේ” සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.

රටේ ආර්ථිකය විවෘත කරන විට එහි වර්ධනයේ වගකීම පෞද්ගලික අංශයට පැවරෙන බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා ඉදිරි මාසවලදී ව්‍යාපාරිකයන්ගේ දායකත්වය සහ සහභාගීත්වය අත්‍යවශ්‍ය වන බව සඳහන් කළේ ය.

පෞද්ගලික අංශය රටේ ආර්ථික වර්ධනය පිටුපස සිටින ප්‍රධාන බලවේගය වීමට අවශ්‍ය නම්, සැලැස්මක් සකස් කර ප්‍රතිඵල ලබා දිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

මෙතරම් කෙටි කාලයක් තුළ රටේ තත්ත්වය වෙනස් කළේ ප්‍රායෝගික බුද්ධිය නිසා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවට දරාගත යුතු වූ දැඩි තීරණ ගැනීමට සිදුවූ මෙම කාලය තමාගේ ජීවිතයේ දුෂ්කර ම අවධිය වන බව කීවේ ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපතිවරයා පැවසීය.