අපේ රටේ බතික් නිෂ්පාදනවලින් ජපානයේ ශ්‍රී ලංකා ෆෙස්ටිවල් හැඩවෙයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා සහ කමගයා නගරාධිපති ශිවෝතා හීරෝමි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ෆෙස්ටිවල් (Sri Lanka Festival) -2023 උත්සවය පසුගියදා ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.

ජපන් ජාතිකයන් අතර ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමත්, ශ්‍රී ලාංකික නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධන කිරීමත් අරමුණු කොට ගනිමින් ජපන් ශ්‍රී ලංකා සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.

ශ්‍රී ලාංකික නර්තන හා සංගීතයෙන් වර්ණවත් වූ මෙම උළෙල නරඹන්නට ජපන් වැසියන් හා ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් එක්වූ අතර ශ්‍රී ලාංකික ආහාර පාන ලබා ගැනීමටත් , ශ්‍රී ලාංකික වෙනත් නිෂ්පාදනයන් මිලදී ගැනීමටත් ජපන් වැසියන් තුළ විශාල උනන්දුවක් පවතිනු දැකගත හැකිවිණි. එහිදී සුවිශේෂී ලෙස ශ්‍රී ලාංකේය බතික් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් ජපන් ජාතිකයන් අතර විශාල ඉල්ලුමක් පවතිනු දැකගත හැකිවූ බතික් ඇදුම් වලින් ජපන් ජාතිකයන් හැඩවෙනුද දැකගත හැකිවිය. එලෙස ජපන් ජාතිකයන් අතර අපේ රටේ බතික් නිෂ්පාදන වෙනුවෙන් ඇති වූ එම උනන්දුව මෙරට බතික් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත නිර්මාණකරුවන්ට මෙන්ම එම නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයින් හටද එය බෙහෙවින් සුබදායී පුවතක් වනු ඇත.

මෙම උත්සවය සාර්ථක කරගැනීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මගපෙන්වීම , ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය, වාහන අපනයන කරුවන්ගේ සංගමය ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය නොපිරිහෙලා ලැබී තිබුණු අතර මෙම අවස්ථාවට ජපන් ශ්‍රී ලාංකික සංගමයේ සභාපති සමන් ප්‍රියංකර මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයන් හා ජපන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.