ගිවිසුම්ගත කිසිදු සමාගමක් රටින් පිටව ගොස් නෑ – දිනේෂ් වීරක්කොඩි
සභාපති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
■ මොකද්ද මේ ගාමන්ට් වැහෙනවා, ආයෝජකයෝ රට දාලා යනවා කියලා යන කතාව?
සමාජ මාධ්‍යවල සහ අනෙකුත් මාධ්‍යවල නම් එහෙම කතාවක් ඇහුණා, ඒක ඒ මෙහොතත් සමග සාකච්ඡාවට බදුන් වූ තත්ත්වයක ප්‍රථිපලයක් මිසක් ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගත වූ කිසිදු සමාගමක් ඔවුන්ගේ සම්පූර්ණ ක්රියාකාරීත්වයම රටින් ඉවත් කරගැනීමට කටයුතු කරලා නැහැ. එවැනි දැනුවත් කිරීමක් ආයෝජන මණ්ඩලයට සිදුකරලත් නැහැ.
ඒ නිසා සමහර මාධ්‍යයන්වල සදහන් වන විදිහට විශාල ව්‍යසනයක පෙර නිමිතිවත් දකින්නට නැහැ. ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය වශයෙන් අපි අපේ ආයෝජකයින් සමග එක්ව ව්‍යාපෘති සක්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා.
නමුත් සමහර අවස්ථාවල ලෝකයේ පවතින ඇතැම් තත්ත්වයන් අනුව සමාගම් ක්‍රියාත්මක වන සංයුතිය වෙනස් කිරීම කරනවා. නව ක්‍රියාමාර්ග තුළින් සමාගම්වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට එම සමාගම් කටයුතු කරනවා. වර්තමානයේ ගෝලීය වශයෙන් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇණවුම් ලැබීමේ අඩුවක් වෙලා තියෙනවා. මේ නිසා සුළු සමාගම් කිහිපයක් තාවකාලිකව ව්‍යාපෘති පවත්වාගෙන යාමේ ව්‍යූහය වෙනස් කරනවා. තාවකාලිකව සිදුකරන එවැනි වෙනස් කිරීම් ව්‍යාපාරික ක්ෂේත්රයේ සාමාන්‍යය තත්වයක්.
කොහොම උනත් දේශීය සහ විදේශීය සමාගම් සමඟ ගිවිසුමකට එළඹීමෙන් පසුව අපි නිරන්තරයෙන්ම ඒ සමාගම් සමග සියලු ක්‍රියාකාරකම්වල දී සක්‍රීය දායකත්වයක් ලබාදෙමින්, අධීක්ෂණය කරමින්, ඒ ව්‍යාපාර පවත්වාගෙන යාමට උදව් කරනවා.
■ විපක්ෂයේ සමහරු කියන්නේ ජනපති සිදු කළ ප්‍රකාශයක් නිසා මෙහෙම වෙනවා කියලා?
විපක්ෂය කියන ලද දේ පිළිබඳව නම් මට පැහැදිලි අදහසක් නැහැ. වර්තමානයේ මම ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ලෙසත් කටයුතු කරනවා. එතුමා ආර්ථිකය හසුරවන ආකාරය හා ඒ සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග හා එතුමාගේ ආර්ථික දැක්ම පිළිබදව මනා අවබෝධයක් මට තියෙනවා. මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් පවා අසන්නට ලැබෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩ පිළිවල සාර්ථකයි කියලා.
ජනාධිපතිතුමා කිසි විටකත් ආයෝජකයන් අපහසුවට පත්වන ප්‍රකාශ සිදු කර නැහැ. හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පු සහ කාර්යාල සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදීත් එතුමා පැහැදිලිව කියා සිටියා ශ්‍රි ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරනවා කියලා.
රටේ ආර්ථික උන්නතියට වඩා වැදගත් වන්නේ විදේශ ණය නෙවෙයි, විදේශ ආයෝජන වඩා වැදගත් බව එතුමා ප්‍රකාශ කළා. මහ කොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබූ නීති පද්ධතිය නැවත සක්‍රීය කර, වඩාත් ක්‍රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බවත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ පැවසුවා. ජනාධිපතිවරයා සැමවිටම අපට උපදෙස් ලබා දෙන්නේ විදේශ ආයෝජකයකු පැමිණි සැනින් ඔහුට අපහසුවෙන් තොරව කඩිනමින් තම ව්‍යපෘතිය ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙසයි.
■ විදෙස් ආයෝජකයන් ආකර්ශනය කරගන්න වැඩපිළිවෙලක් හදන්න තව කොච්චර කල් යයිද?
දැනටමත් මේ සඳහා කෙටිකාලීන හා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් හදුනාගෙන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමටත් ආයෝජකයින්ගේ පහසුවටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව පියවර කිහිපයක් ඉදිරියට තබා තිබෙනවා. ආයෝජක පහසුකම් මධ්‍යස්ථානය (ෂත්‍ක්) පිහිටුවීම, තොරතුරු තාක්ෂණ සේවා සමාගම් 100 ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, දැනට පවතින ඊධෂ සමාගම් 50ක් නැවත ආයෝජනය කිරීමට දිරිගැන්වීම මින් කිහිපයක්.
ඒවගේම ඔබ දන්නවා ආයෝජන ප්‍රවර්ධනය සඳහා තරගකාරී රටවල් බදු සහන බහුලව භාවිතා කරනවා. විශේෂයෙන් මූල්‍ය දිරිගැන්වීම් ලබා දී ඇති කලාපයේ රටවල් කිහිපයක් ඉහළ ආයෝජන ආකර්ෂණය කරගැනීමට මේ වන විටත් සමත් වී තිබෙනවා. මෙම රටවල් තෝරාගත් අංශ සඳහා විවිධ බදු සහන ලබා දෙනවා. නමුත් අපේ රටේ පවතින මූල්‍ය තත්වය මත අපට විශාල බදු සහන වැනි ආකර්ෂණයන්ට යා නොහැකියි. පවතින රාමුව තුළ උපරිම දේ කිරීමට අපට සිදු වී තිබෙනවා.
ඒ විදිහට හඳුනාගත් අංශ සඳහා උපදේශක සභා පිහිටුවීම, ප්‍රධාන ආයෝජක සේවා ඩිජිටල්කරණය, ජාත්‍යන්තර හරිත ප්රමිතීන් සපුරාලීම සඳහා පවතින කලාප නවීකරණය කිරීම, හවුල්කාරීත්ව සොයා ගැනීමේ දත්ත ගබඩාව හඳුන්වාදීම (ඡ්රඑබැරියසච ත්සබාැර), පස් අවුරුදු නේවාසික වීසා වැඩසටහන ක්‍රියාත්මක කිරීම වගේ කාර්යයන් රැසක් මේ වනවිටත් සිදුකර තිබෙනවා.
ස්ථාවර ආයෝජන ප්‍රතිපත්තියක් සහ ඒකාබද්ධ ආයෝජන නීතියක් ක්‍රියාත්මක වීම, ආයෝජන ආකර්ෂණය කරගැනීමට ප්‍රබල සාධකයන් බව අප හඳුනාගෙන තිබෙනවා. එවැනි දෙයක් ඇති කරගැනීම සම්බන්ධයෙන් අප ක්‍රියාකරමින් ඉන්නවා. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආයතනවල උපදේශකත්වය යටතේ ඒ සඳහා කටයුතු දැනටමත් කෙරෙමින් පවතිනවා.
■ ආයෝජකයන් පැමිණිමට අදිමදි කරන හේතු හඳුනාගෙන තියෙනවද?
ඔව්. ඕනෑම රටකට ආයෝජකයන් එන විට රටතුල දේශපාලනික ආර්ථික ස්ථාවරත්වය පිළිබදව සොයා බලනවා. පසුගිය වසර දෙක පුරාම රටතුල අස්ථාවරභාවයන් පැවතියද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව විස්තීරණ ණය යෝජනා ක්‍රමය ලැබීමත් සමඟම, ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණ වැඩපිලිවෙලකට යොමු වී ඇති බව ස්ථිර කරනු ලැබුවා. එවගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වයක් ක්‍රමානූකූලව ලැබෙමින් පවතිනවා. ඒ නිසා ශ්‍රී ලංකාව පිළිබද ජාත්‍යන්තර ප්‍රතිරූපය සුබවාදී ලෙස වර්ධනය වෙමින් පවතිනවා. ජාත්‍යන්තර වෙළද සන්නාම හා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙනුත් ශ්‍රී ලංකාවේ ආයෝජනයන් පිළිබද සොයා බැලීමේ නව ප්‍රවණතාවයක් දැන් දකින්න ලැබෙනවා.
■ ගෝලීය ආර්ථික අවපාතය ලංකාවේ අපනයනය සම්බන්ධයෙන් ඇති කරල තියෙන බලපෑම කුමක්ද?
ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මෙය සමස්ථ ලෝකය පුරාම ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඇති වු තත්වයක්. පශ්චාත් කෝවිඩ් තත්වය, යුක්රේන රුසියා යුද්ධය, බටහිර රටවල්වල පෙර නොවු විරූ උද්ධමනය වැනි තත්වයන් හේතු කොටගෙන විරැකියාව ඉහළ අගයක් ගෙන තිබෙනවා. යුරෝපයේ එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය යන රටවල්වල රෙදිපිළි ආහාර ගෘහභාණ්ඩ ආදි අංශවල සියයට 40 ක ඉහල උද්ධමනයක් පවතිනවා. මේ නිසා භාණ්ඩ හා සේවා සදහා විශාල වශයෙන් ඉල්ලුම අඩුවීමක් දක්නට ලැබෙනවා. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකා ඇඟලුම් සදහා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය යන රටවලින් 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේ ඉල්ලුම සියයට 18 කින් අඩු වී තිබෙනවා. සමස්තයක් වශයෙන් ගෝලීය ආර්ථික අවපාතය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය කෙරෙහි යම් බලපෑමක් ඇති කළ හැකියි.
– අසන්ත අතපත්තු