මහා රාජ්‍යයකට පදනම දමන මහා විහාර විශ්වවිද්‍යාලය

වසර දහස් ගණනකට පෙර යුගවල සිට මිනිසා විවිධ දර්ශනවාදයන් ආගමික මතවාදයන් මෙන්ම විද්‍යාත්මක මතවාදයන්ද ගොඩ නගන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික සහ භෞතික ජීවිතයේ විමුක්තිය උදා කරගැනීම වෙනුවෙන් ගන්නා මහන්සියක ප‍්‍රතිඵල ලෙසය. එම පැරණි සමාජය අද මෙන් සංකීර්ණ තත්වයක නොවුවත් අද සංකීර්ණ පීඩාකාරී කළබලකාරී සමාජ වටපිටාව තුළ මිනිසා සිය ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් වැඩි නැඹුරුවක් දැක්වීම පෙනෙන්නට තිබෙන ප‍්‍රවණතාවයකි. විශේෂයෙන්ම සංවර්ධිත රාජ්‍යයන්හී මෙය වැඩිමනත් දකින්නට ලැබේ. මේ සංකීර්ණ වටපිටාව තුළ වෙහෙසට පත්ව සිටින මිනිසා ආධ්‍යත්මික විමුක්තිය වෙනුවෙන් යළි සත්‍යය සොයා යෑමට පෙළඹී ඇති මොහොතක ථේරවාදී බෞද්ධ ධර්මයට හිමිව ඇත්තේ වැදගත් ස්ථානයකි.

ථේරවාදය යනු දර්ශනයකි. එය මූලික වශයෙන් ජීවිතය ගැන නොනැනවතී කෙරෙන විශ්ලේෂණ ක‍්‍රියාවලියක් බව බෞද්ධ ග‍්‍රන්ථයන්හි සදහන් වේ. එය ආචාර ධර්ම මාලාවක් සහ ප‍්‍රතිපත්ති මාලාවක් පමණක් නොවේ. එහි පරම සිද්ධාන්තය ලෙස ගැනෙන්නේ ”චත්තාරි අරියසච්චානි” නොහොත් චතුරාර්ය සත්‍යය යන්නයි. ඉතාමත් සරල ආකාරයකින් විස්තර කරන්නේ නම්, ගැටළුව, හේතුව, විසඳුම සහ විසඳුම කරා යන මාර්ගය ලෙසින් හැඳින්විය හැකියි. මෙහි වන මූලික මිනිස් ගැටලූ‍ සදහා ආධ්‍යාත්මික පිළිතුරු සොයායාමේ දී බුදු දහම ඉදිරිපත් කරණ විසඳුම් සම්බන්ධයෙන් ලොව අවදිවී ඇති බව පැහැදිලිවන කරුණකි.

කෙසේ නමුත් උදේ සවස බණ අසන ඒ අනුව ජීවත් වන බව ලෝකය හමුවේ පෙන්වා සිටින ලංකාවාසී බෞද්ධ ජනතාව මෙහි දාර්ශනික හරය වටහා ගත්තේද යන්න ගැටළුවකි. එය ගිහි ජනතාව මතින් නොව දහම ප‍්‍රචාරය කිරීම සදහා බුදුන් විසින් පවරා ඇති භික්ෂු සංඝයා කෙරෙන්ද විද්‍යාමාන නොවීම අතිශය ඛේදජනක තත්වයකි. මෙය සමාජය විවධ ගැටළුකාරිත්වයන්ට ඇද දැමීම සිදුව තිබේ. මෙයට පිළියමක් ලෙස මූලිකවම භික්ෂූන් අරඹයා යළි ධර්ම සංඝායනාවක් විය යුතුව තිබෙන බව උගත් භික්ෂූන් වෙතින්ම පැමිණ තිබෙන යෝජනාවකි. මේ වෙනුවෙන් පුළුල් අධ්‍යයන මධ්‍යස්ථානයක අවශ්‍යතාවය මතුවු අතර ථේරවාදී බුද්ධ ධර්මය අධ්‍යයනයට මහාවිහාරික විශ්වවිද්‍යාලය පිළිබඳ යෝජනාව ඒ අනුව මතුවූවකි.

ථේරවාදී බුද්ධ ධර්මය දැනට පවතින පැරණිතම බෞද්ධ සම්ප‍්‍රදායයි. ථේරවාදය යන්න වචනානුසාරයෙන් ගත් කළ, ”‍තෙරණුවන්ගේ ඉගැන්වීම්”‍ හෝ ”පැරැන්නන්ගේ හෝ වැඩිහිටියන්ගේ ඉගැන්වීම්”‍ය. එය මුල් යුගයේ බුද්ධ ධර්මය හා ඉතා සමීප වේ. මෙම සම්ප‍්‍රදාය ආරම්භ වුයේ ඉන්දියාවේ ධර්මාශෝක රජු සමයේ, එනම් ක‍්‍රි.පූ. 250 පමණ පැවති තුන්වන ධර්ම සංඝායනාවේදී ඇති වු වැඩිහිටි භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් වන විභජ්ජවාද කණ්ඩායමෙනි. පසුකාලීනව මෙම විභජ්ජවාදීන් කණ්ඩායම් හතරකට පරිනාමය වී ඇත. ඒ මහීසාසක, කාශ්‍යපිය, ධර්මගුප්තක සහ තාම‍්‍රපර්ණිය ලෙසය. ථේරවාද පැවත එන්නේ තාම‍්‍රපර්ණිය නොහොත් ”ලංකාවේ පෙළපතෙනි”‍ යනුවෙන්ද පිළිගැනීමක් ඇත. ඒ කෙසේ නමුත් විභජ්ජවාදය යනුවෙන් හැඳින්වෙන්නේ විමර්ශනයෙන් අනතුරුව පිළිගැනීමය. එනම් යමෙකු පළකරන මතයක් අන්ධ භක්තියෙන් නොව අත්දැකීමෙන් විශ්ලේෂණයෙන් හා හේතු සහිතව පිළිගත යුතුය යන්නය. මේ අනුව ථේරවාදී බුද්ධ ධර්මය සම්බන්ධයෙන් මෙරට අධ්‍යයන මධ්‍යස්ථානයක් බිහිවීම තුළ ‌ඓතිහාසිකව තර්කානුකූල බවක්ද තිබේ.

කෙසේ නමුත් මෙකී කටයුත්ත සදහා පසුගියදා මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා මහා විහාරික ථේරවාදී බෞද්ධ විශ්වවිද්‍යාලයක් ලංකාවේ ආරම්භ කිරීම සදහා වන යෝජනාව ඉදිරිපත් කර සිටියේය. මෙය කාලීන ලෙස බුදු සසුනට මෑත කාලයේ රාජ්‍ය පාලකයෙකු ලෙස ගෙන අනභිබවනීය යෝජනාවකි. හේතූන්ට පිළිතුරු සෙවීමට බුදුරදුන් අනුදත් දේශනාවක් වන්නේ යම් ගැටළුවක් ඇතිවී නම් එහි මූලය සොයා එයට පිළියම් යෙදීම අනිවාර්යය බවයි. ඒ් අනුව ජනාධිපතිවරයා මෙකී සංඝ සංස්ථාවේ හා බුද්ධ ධර්මයෙහි පරිහානියට හේතුව සොයාගත්තේය. එයට මූලික පිළියම් යෙදීමක් ලෙස පසුගිය කාලයේ සංඝ කතිකාවක් ඇති කිරීම සදහා රාජ්‍ය මැදිහත්වීමට අවශ්‍ය කටයුතු ද සිදු කළේය. අනතුරුව ථේරවාදී බෞද්ධ දර්ශනය අධ්‍යයනය සහ අධ්‍යාපනය සදහා වන මහාවිහාරික විශ්වවිද්‍යාලය යෝජනා කළේය.

එය තවත් එක් විශ්වවිද්‍යාලයක් වෙනුවට භික්ෂු අධ්‍යාපනය වන පිිරිවෙන් ආකෘතියෙන් ඔබ්බට ගොස් ලෝකය පිළිබද දැනුම ගොඩ නැගීම හා එය අධ්‍යයනය කිරීම මූලික කොට ගත් ස්ථානයකි. බෞද්ධ දර්ශනය හැදැරීමට අතීතයේ සිට විදෙස් භික්ෂූන් හා වෙනත් පිරිස් ලංකාවට පැමිණේ එහෙත් ඔවුන්ට අවශ්‍ය අදාළ අධ්‍යාපනික පහසුකම් හරියාකාවර ඇති අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් අද නොමැත. මෙරට ඉතිහාසයේ එවැනි ස්ථානය කිහිපයක් ලෙස අනුරාධපුරය කේන්ද්‍රගතව තිබූ අභයගිරිය මහාවිහාරය ජේතවනය අශ‍්‍රිතව තිබු විශ්වවිද්‍යාල හැදින්විය හැකි අතර එහි අධ්‍යාපනය හැදෑරීමට වෙනත් රාජ්‍යයන්ගෙන් සිසුන් මෙන්ම භික්ෂූන්ද පැමිණ ඇති බවට ඉතිහාසයේ සාක්ෂි ඇත. දකුණු ආසියාවේ එවැනි තවත් එක් ස්ථානයක් ලෙස හැදින්විය හැක්කේ ඉන්දියාවේ පැවැති නාලන්දා හා වික‍්‍රමශීලා විශ්වවිද්‍යාලයන්ය. මෙහි දහස් ගණනක් සිසුන් බුදු දහම හා අනෙකුත් විෂයන් සම්බන්ධව අධ්‍යයන කටයුතු සිදුකොට තිබිණි. ඒවා විවිධ ගැටළු හේතුවෙන් කාලෙන් කාලෙට විනාශව ගිය පසු ආසියාවේ එවැනි දැවැන්ත දාර්ශනික අධ්‍යයනයන් වෙනුවෙන් වූ විශ්වවිද්‍යාලයක් නොමැති විය. විශේෂයෙන්ම මේ ආසියානු උරුමය නැතිනම් පෙරදිග චින්තන ධාරාවන් අධ්‍යයනට විධිමත් පුළුල් ආයතනයක් නොමැති විය. ඒ අනුව ශතවර්ෂ ගණනාවක පසුව ලංකාව තුළ මේ බිහි වන්නේ නවීන පන්නයේ ඉහළම මට්ටමේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයකි. එය ථේරවාදය ඉගැන්වෙන ආයතනයකට වඩා ඔබ්බට ගිය අරමුණු සහිත ව්‍යාපෘතියකි. අර්බුද රැළි පෙරළි පිට යළි නැගි සිටින්නට වෙර දරණ රටක් ලෙස ශ‍්‍රී ලංකාව ලෝකයේ අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලක කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය දියත් වේ. මෙය ජාත්‍යන්තර මට්ටමින් අතිශය වැදගත්කමක් මෙරටට අත්පත් කර දෙන ව්‍යාපෘතියකි.

මේ වන විට අනෙක් පසින් ලෝකයේ දැඩි තර්ජනයට මුහුණ දී ඇති පාරිසරික පද්ධතීන් හා සාගර කලාප සුරක්ෂිත කිරීම ස`දහා වන දේශගුණික විපර්යාස පිළිබද අධ්‍යනය කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමේ මුලික කටයුතුද මේ වන විට සිදුවෙමින් පවතී. එම විෂය සම්බන්ධයෙන් ලොව පළමු විශ්වවිද්‍යාලය එය වෙනු ඇත. මහා විහාර විශ්වවිද්‍යාලයද ථේරවාදී බුදුදහම අධ්‍යයනය සඳහා වන ලොව ඒකම විශ්වවිද්‍යාලය වෙනු ඇත. මේ අනුව මෙමගින් ලැබෙන ආර්ථික, සාමාජීය, හා ජාත්‍යන්තර වාසීන් ගණනාවකි. මෙහි විෂය හදාරනු ලබන්නේ දේශීය සිසුන් පමණක් නොවේ. එසේම ඉගැන්වීම් සහ අධ්‍යයනයට සහභාගී වන්නේ ද දේශීය විද්වතුන් ආචාර්යවරුන් පමණක් නොවේ. මෙයට විදේශ සිසුන් මෙන්ම විදේශීය ආචාර්යවරුන්ද පැමිණෙති. එසේම ලොවට විවෘත වූ අධ්‍යාපන මධ්‍යස්ථාන කිහිපයක් බිහිවීම මත විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයද මෙරටට ලැබෙනු ඇත. ඒ අනුව සංචාරක ව්‍යාපාරයේ දියුණුවට අතිරේක වාසියක් සැලසේ. එමගින් විදෙස් විනිමය රටට ගලා ඒම සිදුවේ. මෙහි ඇති වැදගත්ම දේ නම් ශ‍්‍ර‍්‍රී ලංකාව වැදගත් ශිෂ්ට සම්පන්න රටක් ලෙස යළි ලෝකය හමුවේ තහවුරුවීමය.

මේ අනුව මෙම විශ්වවිද්‍යාල ආරම්භ කිරීමත් සමග ලංකාව ඉදිරි දශක කිහිපය තුළ අත්පත් කර ගනු ලබන්නේ වෙනස් තත්වයකි. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් ස`දහන් කරන ”‍ඇත්තටම අපි විනාශය කරා ඇවිත් තියෙන්නේ. මේ තුවාලය හැමදාමත් පවත්වාගෙන යන්න කැමැති අයත් ඇති. ඒත් මම ඒකට කැමති නැහැ. අපි සැත්කමක් කරලා තුවාලය හොද කර ගමු. ඒක අමාරුයි, වේදනාකාරී, දුෂ්කරයි. නමුත් ඒ දුක, වේදනාව කෙටි කාලයකට වින්දොත් අපට තුවාලය නිට්ටාවටම සනීප කර ගන්න පුළුවන්”‍ යන අදහසට අනුව මේ නව ව්‍යාපෘති රට ගොඩ නැගීම සදහා වන තවත් සාර්ථක පියවරකි. දැනුමේ කේන්ද්‍රයක්වීම තුළ ලෝකය අප දෙස පෙරට වඩා වැඩි අවධානයකින් බලා සිටිනු ඇත. එය මෙම නව විශ්වවිද්‍යාලය ගොඩ නැගීම මගින් සිදුවීම අනිවාර්යයක් වනු ඇත. විපක්ෂයේ මෙන්ම මේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට ඉඩ නොදී කකුලෙන් අදින අරාජිකවාදී කඩාකප්පල්කාරී කණ්ඩායම්වලට මේ නව තත්වයන් දරා ගැනීමට නොහැකිවීම විය හැකිය. එය ඔවුන්ට දේශපාලනිකව සහ බඩගෝස්තරය සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් වෙනු ඇත. ඒ කෙසේ නමුත් ඒ බාධාකිරීම් වලක්වා ගනිමින් අනාගත පරපුරට රට දායාද කළ යුත්තේ කුලල්කෑම්වලින් වැරදි ප‍්‍රතිපත්තිවලින් පරාජය වී කඩා වැටුණ දුප්පත් වූ රටක් නොව දැනුමෙන් ආකල්පයන්ගෙන් හා සංවර්ධනයෙන් යුතු රටකි. ලංකාව ලෝකයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කිරීම එහි තවත් එක් පියවරකි.

  • කේ.පී. අයි. ප්‍රියංගනී