ජාතික ආණ්ඩුවක් මොකටද? පාර්ලිමේන්තුවම දැන් එක ආණ්ඩුවක්.

නුවරඑළියේ සංචාරය නිමවා කොළඹ පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ රාජකාරි ආරම්භ කිරීම සඳහා ජනාධිපති තාර්යාලය වෙත පැමිණියේ ඉකුත් සදුදා ය. සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසුව රාජකාරී ආරම්භ කරන මුල් දිනය බැවින් ජනාධිපති කාර්යාලයේ සේවක පිරිස චාරිත්‍රානුකූලව තේ පැන් සංග්‍රහයක් එදින සුදානම් කර තිබුනි.

ජනාධිපති කාර්යාලයේ තම නිල කාමරය වෙත යෑමට ප්‍රථම ඔහු ගියේ සිය නිලධාරීන් සුදානම් කර තිබූ කැවිලි මේසය වෙතය. ජනපති එතනට පැමිණෙන බවට ලද පණිවුඩය හේතුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ලේකම් කාර්යාල දොරකඩ වෙත පැමිණියේ ජනපති පිළිගැනීමටය.

ජනපති රනිල් ඇතුළු පිරිස ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති කැවිලි මේසය වෙත ඔවුන් දෙපල විසින් කැදවා ගෙන යද්දී රැස්ව සිටි සේවක සේවිකාවන් ඔහුට සුබ පතන්නට වූහ. සැමට ආචාර කරමින් කැවිලි මේසය අසලට ගිය ජනපති ” ඔයාලත් එන්න” යැයි සේවකයන්ට ආරාධනා කරමින් තේ පැන් සංග්‍රහයට එක්වූවේය.
” පසුගිය වසරේ නිදහසේ අවුරුදු සමරන්න ලැබුණේ නෑ. හැබැයි පොදුවේ කාටත් මේ වසරේ නම් අවුරුදු සමරන්න ලැබුණා.” සුබ පතන්නට ආ සේවක සේවිකාවන් ජනපතිට ආචාර කරමින් කීවේ එවැන්නකි.
” මොන අමාරුකම් තිබුණත් අවුරුදු සමරන්න ඉඩ හදලා දුන්න එක වටිනවා.” ලේකම් සමන් හා දිනිත් චින්තක කීවේ ජනපති දෙස බලමිනි.
ඒ වන විටත් මැති ඇමතිවරුන් ගණනාවක් ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියේ අලූත් අවුරුද්දට ජනපතිට සුබ පතන්නට ය. සේවක සේවිකාවන්ගේ තේ පැන් සංග්‍රහය නිමවා ජනපති කෙලින්ම ගියේ මැති ඇමතිවරුන් රැදී සිටි ස්ථානය වෙතය. අගමැති දිනේෂ් ද එහි පැමිණියේ ඒ අවස්ථාවේදීය. ඔහුවත් කැදවාගත් ජනපති මැති ඇමතිවරු සිටි දෙසෙට පිය මැන්නේය.
නිමල් සිරිපාල, විජයදාස රාජපක්ෂ, කෙහෙළිය, අමරවීර ආදී මැති ඇමතිවරු රැසක් එහි පැමිණ සිටියෝය. ජනපති පැමිණ සිටි සියල්ලන්ටම වෙන වෙනම සුබ පැතුවේය. ආ ගිය කතා හා විහිළු තහළුවලින් එම ස්ථානය පිරී ගියේ නිතැතිනි.
ඇමති විජයදාස අසලට ගිය ජනපති ප්‍රතිත්‍රස්ත පනත ගැන ඇත්ත කතාව ජනතාවට කියන්න වේවි යැයි කීවේ සුබ පතන අතරතුරය. මහින්ද අමරවීර අසලට ගිය ජනපති ඔහුගේ රිලවුන් ගැන විමසද්දී සැමට සිනහව නතර කර ගන්නට නොහැකි වූහ.
ජනපති ද සිනහසෙමින් සිටිනු දුටු එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන් එතැනට ගොස් ” සිංහල අවුරුද්ද ජනතාවට නිදහසේ සමරන්න සැලසීම ගැන ජනපතිතුමන් සතුටින් ඉන්නේ. සර් හිටියේ නැත්නම් මේ අවුරුද්ද සමරන්න ඉඩක් නොලැබෙන්නත් තිබුණා.” යැයි කියද්දී සැවොම හිස සලා එය අනුමත කළහ.

” සර් දන්නවද මේ පාරත් විපක්ෂ නායකතුමා සිංහල අවුරුද්දට ඉදලා තියෙන්නේ කොළඹින් පිටත ඈත ප්‍රදේශයක. මේ නිසා ගොඩක් අයට එතුමාට සුබ පතන්නත් බැරිවෙලා.” මන්ත්‍රී වජිර පැමිණ ජනපතිට තොතුරක් දුන්නේය.
” ඒක තමයි එතුමා නිතරම ඉන්නේ යාල වනෝද්‍යානයේනේ. ඒ නිසා මම බැලූවේ වෙනම නිල නිවසක් එහේ එතුමට එතන හදලා දෙන්න කියලා.” ජනපති ඇගට පතට නොදැනී කියා එතනින් ඉවත්ව ගියද එහි සිටි අයට සිනහා නොවී සිටිය නොහැකි වූහ.

විදෙස් තානාපතිවරුන් පිරිසක් ද ජනපතිට අලූත් අවුරුද්දට සුබ පැතිය යුතු බවට අගමැති දිනේෂ් ගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ජනපති ලේකම් සමන් ඒකනායක විසින් ඒ අනුව තානාපති හමුව සුදානම් කර තිබුනි. තානාපතිවරුන් රැසක් එහි පැමිණ සිටි අතර ඔවුන් ජනපතිට අලූත් අවුරුද්දට සුබ පැතූහ.
එදින සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර එහිදි ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක්ම අනුමත කරන ලදි. මෙහිදි රජයේ සේවාවන් කිහිපයක් ද අත්‍යවශ්‍ය සේවා කිරීමට අනුමැතිය හිමි වූ බැවැන් ජනපති ලේකම් විසින් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළේය.

අගහරුවාදා සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීම පැවැති අතර ඊට පක්ෂයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ. මැයි දින රැළිය ගැන මෙහිදි අදහස් හුවමාරු විය. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇතැයි මහලේකම් රංගේ බණ්ඩාර කීවේය.
” ජාතික ආණ්ඩුවකට යනවා කියලා කතාවක් යනවා. පාක්ෂිකයෝ අපෙන් මේ ගැන විමසනවා. ඇත්තටම මොකක්ද ඇත්ත කතාව.” කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ශමල් සෙනරත් විමසා සිටියේය.
” අපි දන්න තරමින් නම් ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවකට කතා කළේ නෑ.” ජාතික සංවිධායක සාගල පිළිතුරු බැන්දේය.
” එයාලම ජාතික ආණ්ඩු කතාවක් කියලා දැන් එයාලම එන්නේ නෑ කියනවා. ජාතික ආණ්ඩුවක් ඕන වෙලා තියෙන්නේ එයාලටම තමයි.” රංගේ ද කතාවට එක්වූවේය.
” මම කිව්වේ පාර්ලිමේන්තුවම එක ආණ්ඩුවක් විදියට වැඩ කරමු කියලායි. දැන් ඒක කෙරෙනවානේ. ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතරයක සභාපතිකම් දීලා තියෙන්නේ විපක්ෂයට. රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සභාපතිකම දීලා තියෙන්නෙත් විපක්ෂයට. දැන් පාර්ලිමේන්තුවම එක ආණ්ඩුවක් ලෙස වැඩ කරනවා.” ජනපති ඇගට පතට නොදැනී දුන් පිළිතුරෙන් සැමගේ සැක සංකා තුනීවී ගියහ.
නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමන් මැයි රැළියට සහභාගී නොවනු ඇතැයි ජනපති රනිල් පැමිණ සිටි පිරිස දැනුම්වත් කළේය. පාක්ෂිකයන් මෙන්ම තරුණ කොටස් සමග මැයි දිනය සැමරීමට සැලසුම් සකස් කරන්නැයි ජනපති පැමිණ සිටි පිරිසට උපදෙස් දුන්නේය.
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා කම්කරු අමාත්‍යාංශයන් හි ප්‍රගති සමාලෝචන රැස්වීම පැවතුනේ බදාදා පෙරවරුවේය. එහිදි ජනපති දැඩි තීන්දුවක් ගත්තේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවය. උසස් පෙළ පිළිතුරු පත් පරික්ෂාව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දිගින් දිගටම කල් දමන්නේ නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බව ජනපති මෙහිදි නිලධාරීන් හමුවේ දැඩිව කියා සිටියේය. එදින සවස ජනපති ආරක්ෂක මූලස්ථානය වෙත ගියේ ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කර තිබූ බක්මහ උළෙල නැරඹීමටය.
ජනපති රනිල් මුදල් අමාත්‍යාංශයෙ වෙත පැමිණියේ ඉකුත් බ්‍රහස්පතින්දාය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය පැමිණ සිටි සැවොම අගය කළහ. ” ඇත්තටම ජනාධිපතිතුමාත් දැන් කාංචන ඇමතිතුමා වගේ කැත්තට පොල්ල වගේ ඉන්නවා. අධ්‍යාපනය ගැන කියපු දේ නම් රටේ දරුවෝ ඉන්න සෑම දෙමාපියෙක්ම අගය කරනවා.” ඇමති සියඹලාපිටිය කීවේ ජනපති අගයමිනි.
” විශ්ව විද්‍යාල ආචාර්යවරු උත්තර පත්‍ර බලන්නේ නැති නිසා සාමාන්‍ය පෙළ විභාගය තියාගන්න විදියකුත් නෑ. මෙතනදි තදින් හිටියේ නැතිනම් දෙමාපියෝ අපට බනිවී. මේ වෙලාවේ අපි ගන්න ඕනේ දරුවන්ගේ පැත්ත.” මන්ත්‍රී මධුර විතානගේ කී දේ සැවොම එක හඩින් අනුමත කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද සහතිකය සේම වොෂින්ටනයේදි රැස්වී ණය හිමියන් ලබාදුන් සහතිකය ගැන ද මෙහිදි කරුණු පැහැදිලි කළේ ශෙහාන් සේමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාය. ” අපි ඊළග අවුරුදු 25 ගැන ඉදිරිපත් කළ සැලසුමත් අවුරුදු පහකට ඉදිරිපත් කළ සැලසුමත් ඒ අයගේ ප්‍රසාදයට ලක්වුනා.” මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කීවේ සතුටිනි.
දහවල් ජනාධිපති කාර්යාලයේදි මැති ඇමතිවරු පිරිසක් ජනපති මුණ ගැසුනේ පාර්ලිමේන්තු කටයුතු ගැන මෙන්ම රටේ වත්මන් තත්තවය ගැන කතා කිරීමටය. ප්‍රතිත්‍රස්ත පනත ගැන මෙන්ම, එක්ස්ප්‍රරස් පර්ල් නෞකාවේ ගින්න ගැනද මෙහිදි පිරිස තොරතුරු විමසා සිටියේය.
” ප්‍රති ත්‍රස්ත පනත ගේන්නේ ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න. අනෙක මේක ගෙනාවේ 2015 – 2019 කාලේ. ඒකට එදා පක්ෂ වෙච්ච උදවිය අද ඒක හොද නෑ කියනවා. මොකක්ද විපක්ෂයේ අද ඉන්න කණ්ඩායමට වෙලා තියෙන්නේ කියලා මට නම් පැහැදිලි නෑ.” වජිර අබේවර්ධන කිවේ නොක්කඩුවෙනි.
” ජාත්‍යන්තර ප්‍රජාවගෙන් වගේම රටෙනුත් ලැබුණු ඉල්ලීම අනුව තමයි මේක ගෙනාවේ. සිවිල් සංවිධාන පවා එදා කිව්වා මේ පනත හොදයි කියලා. දැන් ඔවුන් මේ කතා කරන දේ අපහැදිලියි.” මනූෂ නානයක්කාර ද කතාවට අලගු තැබීය.
මේ ගැන මාධ්‍ය හමුවේ දිගටම කතා කරන්නැයි ජනපති මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය. ප්‍රසන්න රණතුංග මෙහිදි වෙනත් කතාවක් ගෙන ආවේය.” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවට ස.ජ.බේ අයට අද විරුද්ධ වෙන්න බැරි නිසා එයාලා වෙන කාරණයක් පෙන්නලා විවාදයෙන් පැනලා යන්නයි හදන්නේ.” ඇමති ප්‍රසන්න කීවේ අලූත් තොරතුරකි.
” ඔව් ඔව් එයාලා දැන් කියනවා මේ ගිවිසුම භාෂා තුනෙන්නම දෙන්න ඕනා කියලා. ස.ජ.බෙට අමතක වෙලා ඉන්දු ලංකා ගිවිසුමත් පාර්ලිමේන්තු විවාදයට ගත්තේ ඉංග්‍රිසි පිටපතින් පමණයි කියලා.” ඇමති බන්දුල ද පිළිතුරු දුන්නේ එලෙසිනි.
” පාස්කු ප්‍රහාරය ගැන කියපු දෙයක් ගැන ප්‍රකාශයක් ගන්න ටී.අයි.ඩි එකට එන්න කිව්වම හිටපු නීතිපති ආවේ නෑ. හැබැයි හිටපු මුදල් ඇමති ලෙස මට නම් එහෙම අවස්ථා ලැබුණේ නෑ.” රවි කරුණානායක ද කතාවට එක්වූවේය.
” එයා කිව්වේ ඇත්ත නම් මෙතනට ඇවිල්ලා කියන්න බය වෙන්නේ මොකට ද”. මධුර විතානගේ ද විමසා සිටියේය.
” දැන් රිලව් රට යවනවට ගොඩක් දෙනෙක් කැමතියි. හැබැයි චීන තානාපති කාර්යාලය කියලා තියෙනවා එයාලා රිලව් ඉල්ලූවේ නෑ කියලා. ඇමති ප්‍රසන්න තවත් කතාවක් ඇද ගත්තේය.
” ඔව් මම මේ සියලූ කාරණා ගැන හොයන්න කමිටුවක් පත් කරන්න ඉන්නේ.” ජනපති කී විලාසය අනුව සැවොම කොක් හැඩලුහ.