ඉදිරි දීර්ඝ නිවාඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමටයි
රජය සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල ජනතාවගේ තැන්පත් මුදල්වට හෝ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (25) පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය වන බව කී මහ බැංකු අධිපතිවරයා ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ඇතුළු අනුකුත් කමිටුවල සාකච්ඡා කිරීමට සහ පාර්ලිමේන්තුවේ විවාද කිරීමට කාලය අවශ්‍ය බව ද සඳහන් කළේය.
බැංකු නිවාඩුවක් දී තිබුණ ද සමාන්‍ය නිවාඩු දිනයකදී ක්‍රියාත්මක වන ඒ.ටී.එම්. බැංකු කටයුතු සහ අන්තර්ජාල බැංකු කටයුතු ඇතුළු සියලුම මුදල් හුවමාරු කිරීම්වලට බාධාවක් නොමැති බවත් සියලුම අත්‍යවශ්‍ය බැංකු කටයුතුවලට කිසිඳු බාධාවක් නොමැති බවත් වීරසිංහ මහතා කීය. මුදල් අමාත්‍යංශය කළ සාකච්ඡා අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (25) පස්වරුවේ එසේ පැවසීය.