ජනප්‍රිය රැල්ලේ ප්‍රතිපලය

පසුගිය සතියේදි මෙතැන ලියවුණා ඡන්දදායකයාගේ අන්තිම හැසිරීම ගැන. මුළින් දකින කෙනා නෙවෙයි ඡන්දය දෙන්න ගිය වෙලාවට ඉන්නේ.

මේකට හොඳම උදාහරණයක් ඉන්දියාවේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නලා තියෙනවා. මැතිවරණය පටන් ගන්න අවුරුද්දක දෙකක ඉඳලා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය හිටියේ දිනලා. අති විශාල ජනප‍්‍රිය ජාතිකවාදී රැල්ලක් හදාගෙන තිබුුණා. නරේන්ද්‍ර මෝදි ජනප‍්‍රිය චරිතයක් රඟපෑවා ජනප‍්‍රිය තීන්දු තීරණ රැසක් ගත්තා. මැතිවරණ පොරොන්දු රොත්තක් දීල තිබුණා.

මෙහෙ වගේම රට පුරා මැතිවරණ සමීක්ෂණ තොගයක් සිදු වුණා. ඒ හැම එකකින්ම කියවුණේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය ආසන 350ත් 400ත් අතර ගන්වා කියලා. නමුත් මේ සන්ධානය ඊටත් එහා ජයග‍්‍රහණයක් බලාපොරොත්තු වුණා.
ඒත් මැතිවරණ ප‍්‍රතිපලය වුණේ මෝදිට යන්තම් හවුල් ආණ්ඩුවක් ගැට ගහගන්න පුළුවන් ගණනක්. ආසන 543කින් 293යි. ගොඩක් දුර්වල තැනක හිටපු රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොන්ග‍්‍රසය ප‍්‍රමුඛ සන්ධානය 232ක් අරගෙන තිබුණා. ඒක ඒ අයවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි.

ඒ කියන්නේ මිනිස්සු ජනප‍්‍රිය රැල්ලට හරි, සමීක්ෂණ ප‍්‍රතිපලවලට හරි අහුවෙලා නෑ කියලා. ඡන්දයකදී තීරණාත්මක වෙන්නේ පාක්ෂිකයන් සුළුතරය නොවෙයි. නිහඬ බහුතරය. ඒ අය තීන්දු ගන්නේ ජනප‍්‍රිය රැළි අනුවම නෙවෙයි. රට ගැන, තමන්ගේ අනාගතය ගැන, තර්කානුකූලව කල්පනා කරනවා.

ජනප‍්‍රිය රැළිවල එල්ලිලා ඉන්න අය පවා ඡන්දය දෙන්න යන අවසන් මොහොතෙදිත් වෙනස් තීරණවලට එනවා. ලංකාවේ හොඳම උදහරණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. එයාල හැම ඡන්දයකදීම ගොඩක් ජනප‍්‍රියයි. රැළිවල සෙනඟ පිරෙනවා. සමාජ මාධ්‍ය තුළ එයාලගේ රැල්ල විතරයි පේන්නේ, සමීක්ෂණ වර්තාවල උඩම පේළිවල හිටියේ. නමුත් ප‍්‍රතිපල ආවම එයාලගේ පක්ෂයට වැදුණු කතිර ප‍්‍රමාණය කිසිසේත්ම බලපොරොරොත්තු නොවුණු තරමට අඩු වෙනවා. මේ නිසා ඇත්තටම ජනප‍්‍රියයි කියලා හදන්නෙත් කෘත‍්‍රිම රැල්ලක් කියලා තමයි අන්තිමට කියන්න ඉතුරු වෙන්නේ.

ඒක කොහොම වුණත් ජනප‍්‍රිය රැළිවලින් රටවල් ගොඩගන්න බැහැ කියන එක මේ රටේ මිනිස්සු දැන් හොඳටම දන්වා. ඒ පාඩම පසුගිය ජනාධිපතිවරණයෙන්, මහමැතිවරණයෙන් පස්සේ ආයේ කාලෙකට අමතක නොවෙන්නම ඉගෙන ගත්තා.

මේ නිසා ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කියන්නේ ජනප‍්‍රිය ‍රැල්ලට හරි, සමීක්ෂණ වාර්තාවලට හරි යට වෙච්ච තීන්දුවක් නොවීමේ ඉඩකඩ බොහොම වැඩියි. ජනාධිපති රනිල් පසුගිය අවුරුදු දෙක තුන ඇතුළේ රට බංකොලොත් භාවයෙන් මුදවාගෙන රට ආපහු ස්ථාවර කරලා සාර්ථක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා. මිනිස්සු දැන් පීඩනයකින් නැතිව සාමාන්‍ය සුපුරුදු ජීවන තත්වයන් භුක්ති විඳිනවා. ඒ තත්වයන් ආපහු නැති කරගන්න මිනිස්සු කැමති නැහැ. අනික මේ වන තුරු ක‍්‍රියාත්මක ආර්ථික සමජ දේශපාලනික ප‍්‍රතිසංස්කරණයන් තව අවුරුදු කීපයක් යනකම් දිගටම තියෙන්න ඕන කියන මතය දැන් හැමෝම පිළිගන්නවා. විපක්ෂයට පවා ඒක පිළිනොගෙන ඉන්න බැරි තැනක තියෙන්නේ. ඒ නිසා ආයේ අත්හදා බැලීම් කරලා අවදානමක් ගන්න මිනිස්සු කැමති නෑ. මිනිස්සු බයයි. අවුරුදු දෙකකට කළින් වෙච්ච දේවල් එක්ක ආපහු එහෙම වුණොත් ආපහු ගොඩයෑමක් ගැන හිතන්වත් බැහැ කියලා රටේ බහුතරය දන්නවා. මේ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලම ඉස්සරහට අරගෙන යන්න ඕන නම් විය යුත්තේ මොකක්ද කියන එක ගැන මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා.

ඒ වගේම මේ වන විට අපේක්ෂකයන් ඉලක්ක කරමින් කෙරෙන මැතිවරණ සමීක්ෂණ බොහෝ විට පෙන්වපු දෙයක් තමයි අදහසක් ප‍්‍රකාශයට පත් නොකරන පිරිස වැඩි බව. ඒ කියන්නේ මේ නිහඬ අයගේ තීරණය ස්ථිර වෙන්නේ මේ දේශපාලන ආර්ථික තත්වයන් මත ගණන් හැදීමකින් පස්සේ අවසන් මොහොතේ වෙන දෙයක් කියන එක.

කොහොම වුණත් මේ දිනන්නේ කවුද? කියල අහන සමීක්ෂණවලටත් වඩා වැදගත් වෙන්නේ රටේ ආර්ථිකය ගැන, මිනිස්සුන්ගේ පෞද්ගලික හා සමාජීය වුවමණාවන් ගැන කරන සමීක්ෂණ. මිනිස්සු ඒවට උත්තර දෙන්න පැකිලෙන්නේ නැහැ. ඒ ගැන කරපු සමීක්ෂණවලින් පෙන්නලා තිබුණේ දැනට කෙරෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණ සහ ඒ ප‍්‍රතිපල ගැන බහුතරයක් මිනිස්සු විශ්වාසය පළ කරල තියෙන එක. විශේෂයෙන්ම මේ වන විට ක‍්‍රියාත්මක වෙන නිදහස් වෙළඳපොල ක‍්‍රමය ගැන බොහෝ දෙනෙක් තමන්ගේ විශ්වාසය කැමැත්ත පෙන්නලා තිබුණා.ඒක වෙනස් වෙනවට බහුතරය කැමති නැහැ.

ඒ කියන්නේ ඒ ප‍්‍රතිපත්ති මත ක‍්‍රියාත්මක වන එය ආරක්ෂා කරන්න පොරොන්දු වෙන පක්ෂයට හරි, ඒ නායකත්වයට හරි මිනිස්සුන්ගේ කැමැත්ත ලැබීමේ වැඩි ප‍්‍රවණතාවයක් ලැබෙනවා කියන එක.

කොහොම වුණත් මේ ගමන ජනාධිතිවරණය කියන්නෙ ආර්ථික අර්බුදයට ජයගැනීම මුල් කරගත්තු සටනක්. රටේ ලොකුම ප‍්‍රශ්නය විදිහට තියෙන්නෙ මේ ඇත්ත අර්බුදය විසඳ ගන්න එක. ඒකට උත්තර නැතිව කවුරු බලයට ආවත්, වෙන මොන කයිවාරු ගැහුවත් වැඩක් නැහැ. වැඩක් නැහැ විතරක් නෙවෙයි රට ආපහු මාස කිහිපයක් ඇතුලත බංකොලොත් වීමේ ලොකු අවදානමත් තියෙනවා.

විපක්ෂයේ ජනප‍්‍රිය රැළි හදාගත්ත කණ්ඩායම් දෙකක් තියෙනවා. ඒ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයත්, අනුර කුමාරගේ ජාතික ජන බලවේගයත්. මේ දෙගොල්ලම හිතන් ඉන්නව ආණ්ඩු බලය තමන්ට මිනිස්සු දෙයි කියලා. ඒත් ඉතින් මේ අයගේ සමස්ත මැතිවරණ පොරොන්දු අරගෙන බැලූ‍වාම මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් තැනක නෑ. කොටින්ම හරි හමන් ප‍්‍රතිපත්තියකුත් මේ දෙගොල්ලන්ටම නැහැ. ඒ පක්ෂ ඇතුලෙමත් බරපතල ගැටළු‍. මේ නිසා මෙයාල කවුරු බලයට ආවත් රටට ජනතාවට යහපතක් වෙයි කියල හිතන්න බැහැ.

මේ නිසා මෙවර මැතිවරණයේදි වඩාත්ම තීරණාත්මක වෙන්නේ රට ගොඩනගන විශ්වාසනීය ප‍්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන පක්ෂයක් හෝ නායකයෙක් ඉදිරිපත් වීමයි.
ඒ හැකියාව දැනට පෙන්නල තියෙන්නේ ජනාධිපති රනිල් විතරයි. මේ වෙන කොට තමන්ගේ ප‍්‍රතිපත්තිවල, ඒ අනුව ක‍්‍රියාත්මක කළ වැඩපිළිවෙලේ සාර්ථකත්වය රනිල් පෙන්නලා තියෙනවා. මේ නිසා මිනිස්සුන්ට අමුතුවෙන් අමාරුවෙන් තෝරගන්න දෙයක් ඇත්තෙත් නැහැ.

ඒ නිසා ජනාධිපති රනිල් මේ වෙලාවෙත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියන නායකයන්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියන එක පැහැදිලියි. නමුත් රනිල් මාධ්‍ය සංදර්ශනවල නැහැ. කෘත්‍රීම ජනප‍්‍රියත්වයක් ඔහු ගොඩනඟලත් නැහැ. සමීක්ෂණවල ඔහුගේ නම තියෙන්නෙ පහළින්. ඒත් රටේ ඇත්ත ජනවරම තියෙන්නේ ඔහුට කියන එක සහතිකවම දැනගන්න වෙන්නේ ජනාධිපතිවරණ ප‍්‍රතිපලය ආවට පස්සේ.

ඉතිං ජනප‍්‍රිය රැළිවල පුස් බවත්, නිහඬ බහුතරයේ තීරණාත්මක බවත් එතනදිත් පෙන්වන එක තමයි වෙන්නේ.

ලොකූ

උපුටා ගැනීම – 2024.06.09 දින Chatham Street Journal පුවත්පත

පුවත්පත බලන්න – https://bit.ly/4aZuM3E