කිඹුලා ඇළේ ගුණා ගෙන ඒමට CIDය ඉන්දියාවට යයි
පසුගියදා තමිල්නාඩුවේ රැදවුම් කඳවුරුක සිට ඉන්දීය රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කිඹුලාඇළේ ගුණා’ ඇතුළු මෙරට පාතාලයට සම්බන්ධ නව දෙනෙකු මෙරටට රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත් කිරීම සදහා පියවර ගෙන ඇතැයි පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කොට සිටී.
රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ රජය මගින් දියත් කළ පාතලය මැඩලීමේ වැඩ පිළිවෙලෙහි තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය, අදාළ පාතල කණ්ඩායම් මෙරටට ගෙනඒමේ තවත් අරමුණක් වනුයේ ලංකාව තුළ ව්‍යාප්ත වන අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය ක්‍රියාත්මක වීමේ ප්‍රබලයින් මොවුන් වීමට සැක පවතීම හේතුවෙන් බවත්ය .
මේ අනුව ඉන්දීය ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් භාරයට ගත් අයවලුන් අතර කිඹුලාඇළේ ගුණා හෙවත් සින්නයියා ගුණසේකරන්, කොට ගාමිණි හෙවත් අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, බුම්මා හෙවත් ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, අතුරුගිරියේ ලඩියා හෙවත් දීනමුල්ල කංකානම්ලාගේ නලීන් චතුරංග, කෙසෙල්වත්ත ධනුක, වැල්ලේ සුරංග හෙවත් ගමගේ සුරංග ප්‍රනාන්දු, පූකුඩිකන්නා හෙවත් සින්නයියා දිලීපන් (කිඹුලාඇළ ගුණාගේ පුතා) පුෂ්පරාජා සහ මොහොමඩ් අස්මින් යන පාතාල අපරාධකරුවන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, මෙම පුද්ගලයන් විසින් සිදුකරන ලද පාතාල ක්‍රියා, මිනිස් ඝාතන ඇතුළු වෙනත් අපරාධ තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙස ය. එමෙන් ම, මොවුන්ට එරෙහිව කිසියම් පැමිණිලි ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද රහස් පොලිසිය දැනුවත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එල්ටීටීඊයට නැවත පණ පෙවීමේ අරමුණෙන් ආයුධ ජාවාරමක නිරත වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා මොවුන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් සිය භාරයට ගෙන තිබිණි.