කියුබාව තවදුරටත් ආරක්ෂා කරන්නේ කුමක් ද?
1959 කියුබාවේ සමාජවාදී විප්ලවය, ඒ විප්ලවාදීන් ගැන ගෞරවය භක්තිය අදටත් ලොව බහුතරයක් ජනතා සිත් සතන් තුළ පැළපදියම්ව තිබෙනවාට සැක නැත. මන්ද එදා ඒ ජයග්‍රාහී සටන ගෙන ගියේ ජනතා පීඩක කෲර දූෂිත ඒකාධිපතියකුට එරෙහිව ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් නිසාය. එය ඒ මොහොතේ සිදුවු නිවැරදි මෙන්ම විය යුතු දේශපාලනික අරගලයකි. එය විසින් ලොව පුරා විප්ලවාදීන්ට, අරගලකාරීන්ට, වාමාංශිකයින්ට, ප්‍රගතිශීලී ජනතාවට උරුමකර දුන් ආදර්ශයන්ද බොහෝය. විප්ලවවාදී ජීවගුණයේ ඉහළම ආදර්ශය “චේ ගවේරා” බවට පත්වන්නේත් මේ කියුබානු විප්ලවයේ තිබු ගතිකත්වය නිසාය.
කොහොම නමුත් මේ විට පවතින සමාජවාදී රාජ්‍යයන් ලෙස හැඳින්වෙන රාජ්‍යයන් අතරින් තවදුරටත් සමාජවාදී රාජ්‍යයක ලක්ෂණ පෙන්වමින් තිබෙන අවසාන රාජ්‍යය වන්නේ කියුබාව විය හැකිය. චිනය, වියට්නාමය, ලාඕසය යන රාජ්‍යයන් නමට සමාජවාදීය. ධනවාදී ආර්ථික සංවර්ධනය දෙසට ක්‍රමයෙන් මේවා හැරෙමින් පවතී. උතුරු කොරියාව සමාජවාදය නාමයෙන් වන දෘඩ මිලිටරි අධිකාරවාදී රාජ්‍යයකි. එහි වෙන්නේ නොවෙන්නේ කුමක්දැයි හරි හමන් තොරතුරු දැනගැනීමට ද නොහැකිය. චීනය තුළ ද මේ අධිකාරවාදී ලක්ෂණ තිබුණත් චීනය ලෝකය සමඟ යම් ගනුදෙනුවක් කරමින් ධනවාදී ආර්ථික ජයග්‍රහණ යම් තරමකින් උකහා ගැනීමක නිරත වෙමින් තමන්ගේ රාජ්‍යයේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට වෙර දරමින් තිබේ.
එහෙත් කියුබාව තවමත් සමාජවාදී ආර්ථික ක්‍රමයක් සහ අනාගත කොමියුනිස්ට් රාජ්‍යයක් අරමුණ කරගෙන දුෂ්කර පිළිවෙතක නිරත වෙමින් සිටින බව ලෝකයට පෙන්වමින් තිබේ. ඔවුන්ගේ ප්‍රතිපත්තිය එලෙස බව පෙනුණත් සත්‍යයට වඩා ආසන්න කරුණ වන්නේ රාජ්‍යය තමන්ගේ උරුමයක් කරගත් කණ්ඩායමක් එය තවදුරටත් රැකගැනීමට ගන්නා උත්සහයක් ලෙස පවතින බව කීමය. කෙටියෙන්ම කිවහොත් සමාජවාදී ආර්ථික ක්‍රමයේ මුල් අදියරවත් ජයගැනීමට නොහැකිව අසාර්ථකව බිඳ වැටීමට ලක්ව ඇති නිසාය. එසේම සමාජවාදයේ අදියර කිහිපයකට පසුව එන කොමියුනිස්ට් රාජ්‍යයක් ගැන වන ඉලක්කය අද මුළුමනින්ම මනෝරාජික සංකල්පයක් බව සමාජවාදය හෝ සාර්ථක කරගැනීමට නොහැකිවීමෙන් පැහැදිලිය. අනෙක් කාරණය සමාජවාදී රාජ්‍යය සංකල්පගත කළ එහි ආදි ගුරුවරුන් කීවේ තනි රටක සමාජවාදය පැවැතිය නොහැකි බවය, එය ගෝලීයව සිදුවිය යුතු, ජාලමය සම්බන්ධතා සහිත පුළුල් සංකල්පයක් බවය. තනි රටේ සමාජවාදී ක්‍රමයක් තබා සොවියට් යුගයේ පැවැති ගෝලිය සම්බන්ධතා තුළ පවා එය ඉදිරියට ගමන් කළේ නැත. සෝවියට් දේශයත් බිඳ වැටිනි. ඒ ඇත්ත පසෙකින් තැබිය නොහැක. මේ බව කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය නොදන්නවා නොවේ. ඔවුන්ට මේ දේශපාලනය ගැන කියවීමක් අවබෝධයක් නැතුව නොවේ. අඩුම තරමින් සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් අනතුරුවවත් ඔවුන් මේ ඇත්ත ප්‍රායෝගිකව අත් විඳිමින් ඇත. සමාජවාදයේ නාමයෙන් ඔවුන් ඒ ඇත්ත හරියට කිරා මැන බලමින් සිය පාලන බලය කෙසේ හෝ රැකගැනීමට දරණ උපක්‍රමික පියවරයන් අනුව එයත් පැහැදිලිය.
කොහොම නමුත් කියුබාව සෙසු ලෝකය සමඟ වෙනස් නොවුණද ලෝකය වෙනස්වීමේ වේගය අනුව කියුබාවට අද ඔවුන් මුහුණ දී සිටින දුෂ්කර තත්වයන් දරා ගැනීම තවදුරටත් පහසු වන්නේ නැත. මේ තත්වයන්ට වගකිව යුත්තේත් කියුබාවමය. සමාජවාදී ක්‍රමයේ ඇති අවුල නිසා අර්බුදයට ගොස් තිබුණත් කියුබාව තමන්ගේ රට මේ කලදසාව උදාවීම සම්බන්ධයෙන් චෝදනා කරන්නේ අසල්වැසි අමෙරිකානු රාජ්‍යයටය. ඒ චෝදනාවේ යම් සත්‍යයක් තිබේ. නමුත් ඒ සත්‍යය දැන් පරණය. 1959 දී ඇමරිකානු හිතවාදී බැටිස්ටාගේ පාලනය බිඳ දමා පිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් යුතු නව සමාජවාදී පාලනය පිහිටුවා ගැනීමෙන් පසුව අමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හෝ බටහිර යැයි චෝදනාවට ලක් කෙරෙන විදේශීය රාජ්‍යයන් රැසක් සමඟ තිබු සම්බන්ධතා අවසන් කරනු ලැබුවේ කියුබාව විසින්මය.
එරට එතෙක් ක්‍රියාත්මක වූ විදේශ සමාගම් සියල්ලම පාහේ පන්නා දමන ලදී. ඔවුන්ගේ ව්‍යාපාර දේපොළ රාජ්‍ය සන්තක කිරීම කළේය. ව්‍යාපාර කිරීම රාජ්‍යයේ කටයුත්තක් පමණක් බවට පත් කරන ලදී. සමාජවාදී රාජ්‍යය, මිලිටරි බලයෙන් පිහිටුවනු ලැබු විප්ලවවාදීන් රටේ සියලුම දේපොළ රාජ්‍ය සන්තක කරමින් පෞද්ගලික දේපොළ ක්‍රමය අහෝසි කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය, දේශපාලන ක්‍රමය අත්හිටුවන ලදී. ‘එක රටක් එක පක්ෂයක්’ ප්‍රතිපත්තිය මත වෙනත් දේශපාලන පක්ෂ තහනම් කෙරිනි. විරුද්ධ මතධාරීන්ගේ ක්‍රියාකාරිත්වයට, ඔවුන්ගේ හඬට ඉඩක් දුන්නේ නැත. මාධ්‍යට නිදහස අහිමි කරන ලදී. පෞද්ගලික නිදහස සීමා කෙරිනි. ජනතාවට රාජ්‍ය වරප්‍රසාද හිමි වූවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය හෝ හිතවත්කම මතය.
විශේෂයෙන්ම අමෙරිකාව තමන්ගේ පරම හතුරා බවට ප්‍රකාශයට පත් කරන ලද තත්වයන් හමුවේ අමෙරිකාව මෙම නව රාජ්‍ය පාලනයට එරෙහිවීම අරුමයක් නොවේ. එමෙන්ම ඒ වන විට අමෙරිකාව සහ සෝවියට් දේශය අතර තිබු නිරවි යුද්ධය නිසා සමාජවාදී සොවියට් දේශයට හිතවත් එහි අනුග්‍රහය ලබන පාලනයක් රටේ මායිමේ ඇතිවීම අමරිකාව ඉවසන දෙයක් වූයෙත් නැත. අද රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරන්නේත් එවැනිම හේතුවක් මතය. චීනය තායිවානය අත්පත් කරගන්න දඟලන්නේත්, ශ්‍රී ලංකාව චීන හිතවතෙක්වීම ඉන්දියාව ඉවසන්නේ නැත්තේත් මේ ගෝලීය භූ දේශපාලනික බල අරගලය නිසාය. ඒ යථාර්ථය තුළ අමෙකාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකාව ක්‍රියාමාර්ග ගැනීම වැරදි හෝ නිවැරදිවීම කෙසේ වෙතත් එය දේශපාලනිකය. එම නිසා කියුබාවේ අමෙරිකන් විරෝධී පාලනය විනාශ කරදැමීමට අමෙරිකාව නොගත් උත්සාහයක් නැත. අද දක්වාම අමෙරිකාව ආර්ථික සම්බාධක යොදමින් කියුබාවට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම අද කියුබාවට එදිරිව සිටින එකම රට අමෙරිකාව කිව්වත් වැරදි නැත. නමුත් කියුබාව අද ආර්ථික අර්බුදයක කරවටක් ගිලෙන්නේ අමෙරිකානු සම්බාධක නිසා නොවේ. එය එක් රටක සම්බාධක පැනවීමක් පමණි. ඔවුන්ගේ බලපෑම අනෙක් රාජ්‍යයන් හා ජාත්‍යන්තර සංවිධාන කෙරෙහි තිබුණද කියුබාවට එම රාජ්‍යයන් සහ සංවිධාන සමඟ යම් ගනුදෙනුවක් කරගැනීමේ හැකියාව තිබේ. නමුත් දෘඩ සමාජවාදී ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක කරන පාලනයක දී එම ගනුදෙනු සඳහාද ඇත්තේ සීමිත ඉඩකඩකි. මේ නිසා අඩුම තරමින් විදේශ ආයෝජකයකුට කියුබාව තුළ ව්‍යාපාරයක් කර්මාන්තයක් කිරීමේ ඉඩකඩ ඉතා සීමිතය. දැනටත් විදේශ සමාගම් කිහිපයක් ක්‍රියාත්මක වූවද ඒවාටත් රාජය පාලනයේ බලපෑමට යටත්ව කටයුතු කිරීමට සිදුව තිබේ.
සේවකයකු බඳවාගැනීමත් දේශපාලන අධිකාරියේ විශ්වාසය මත අනුමැතියට යටත්ව සිදුවේ. විදේශ සමාගම්වල වැටුප්තල කියුබාවේ සාමාන්‍ය වැටුප් තලයන්ට වඩා ඉහළ අගයක් ගත්තද සේවකයන් ඒ ලබාගන්නා වැටුපෙන් රජයට ගෙවිය යුතු කොටසක් පවා තීරණය වී ඇත. මේ නිසා එම වැටුප් වැඩි වුවත් සේවකයන්ට ඇති සෙතක් නැත. සාමාන්‍යයෙන් රටක පුද්ගල ආදායම් වැඩිවීම යළි රටේ ආර්ථික ආයෝජනයට, වර්ධනයට හේතු වුවත් කියුබාවේ එහෙම තත්වයක් ඇතිවීමට ඉඩක් නැත. පාරිභෝජනය ද රජයට අවශ්‍ය විදිහට මිස පුරවැසියාට අවශ්‍ය පරිදි නොවේ. ඊට අවශ්‍ය තරම් පාරිභෝගික ද්‍රව්‍යයන්ද නැත. නිෂ්පාදනයක්ද නැත. මේ නිසා වෙළඳපොළ ද අලසය. මෙවැනි විශාල සීමාසහිතකම් යටතේ රටක ආර්ථිකයක් වර්ධනයවීම සිදු විය නොහැක.
ඊයේ පෙරේදා කියුබාව ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ අවදානයට ලක්වූ පුවතක් වූයේ එරට මැයි 01 වනදා වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර දින සමරුම අත්හිටුවීමට අදාල සිදුවීමය. විප්ලවයෙන් පසුව සෑම වසරකම අති උත්කර්ෂයෙන් පවත්වන රටේ එකම මැයි දින පෙළපාලිය හෝ රැලිය ප්‍රථම වතාවට අත්හිටවූයේ මෙවරය. ඊට හේතුව වූයේ ඉන්ධන හිඟයය. වැඩකරන ජනතාවගේ දිනය සමරන්න වැඩකරන ජනතාවගේ රාජ්‍යයක් යැයි කියන සමාජවාදි කියුබාවට ඉන්ධන අවශ්‍යවීම එක අතකින් පුදුමයකි. පිදෙල් කස්ත්‍රෝ ඇතුළු විප්ලවවාදීන් එදා විප්ලවය කළේ ලේ, කඳුළු දහඩිය වැය කරමින් මිස ඉන්ධන තබාගෙන නම් නොවේ. ඒ කුමක් වුවත් අද කියුබාව සිටින්නේ එතරම්ම අසරණ තැනකය. ඉන්ධන හිඟය කියුබාවට අලුත් දෙයක් නොවේ. ඉන්ධන පෝලිම් හැමදාම තිබිණි. එහෙත් මේ වන විට තත්වය ඊට වඩා බරපතල වී ඇති බව පැහැදිලිය. මේ තත්වයට එක් හේතුවක් වූයේ පසුගිය කොවිඩ් සමයේදී ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙනි. එහෙත් රට මුහුණ දුන් ඇත්ත තත්වය ලොවෙන් සඟවා තිබිණි. පුරවැසියාට පැවැසූවේ අඛණ්ඩව පවතින එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් මෙම තත්වයන් ඇති වූ බවය. රට තුළ ඩොලරය භාවිතයද එම වකවානුවේදී තහනම් කෙරිණි. ඒ අමෙරිකාව සමඟ එකට එක කිරීමටය. නමුත් එම ක්‍රියාමාර්ග නිසා තවදුරටත් අර්බුද උග්‍ර විය. රජය බරපතල විදේශ සංචිත හිඟයකටද මුහුණ දී තිබිණි. ඩොලර් තහනම ඉවත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මැද භාගයේදීය.
කියුබාව තීන්දු තීරණ ගන්නේ පුරවැසි ජනතාවට වඩා රාජ්‍ය බලයේ පැවැත්ම මුලික කරගෙනය. ජනතාව රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් පීඩාවන් විඳ දරා ගත යුතුය. අමෙරිකන් විරෝධී ජනප්‍රිය සටන් පාඨය සමඟ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන අධිකාරීත්වය සාධාරණීකරණය කරමින් පවත්වාගෙන යෑම සිදු කරයි. එසේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන-ආර්ථික අයිතීන් ලබා දී එම පාලනය පවත්වගෙන යෑම කළ නොහැකිය. මාධ්‍ය නිදහස ලබා දී එය කළ නොහැකිය. කියුබාවේ ජාත්‍යන්තර සමාජ මාධ්‍යවලට ඉඩක් නැත. ජනතාව ලෝකයෙන් දුරස් කර තබා ඇත. හුදකළා කර ඇත. කියුබාවේ මාධ්‍යවේදීන්ට විදේශ ගමන් තහනම්ය. යම් ලෙසකින් හෝ රජයට එරෙහි මතයක් දරුවා යැයි චෝදනාවට ලක්වූවන්ටත් විදේශ ගමන් තහනම්ය. බොහෝ විට විරුද්ධ මතධාරීන් අත්අඩංගුවේ පසුවේ.
සමාජවාදී ආර්ථිකය ගැන විස්වාස තබන්නන්ට කියුබාව ආදර්ශමත් රාජ්‍යයක් වූවද පිදෙල්, චේ ගවේරා, කැමිලෝ වැනි විප්ලවාදීන් අසහාය නායකයන් වූවද කියුබාවේ අද ඇත්ත තත්වය ශෝචනීයය. අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සේවාවන් කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර කියුබාවේ හැටියට ඉහළම තැනක තිබුණත් ඒවා ක්‍රියාත්මක වන්නෙත් කියුබානුවන්ට වෙන කරන්න වැඩ නැති නිසා යැයි කිව්වත් වැරදි නැත.
රජය විසින් සිදු කරන කර්මාන්ත ආදිය පාඩු නොලබමින් ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ඒකාධිකාරය නිසාය. තරගකාරි ආයතන නොමැති නිසා පිරිවැය මත මිල තීරණය කිරීමේ වාසිය මත පමණක් ඒවා ලාබ ලබමින් තිබේ. හැට හැත්තෑව කාලයේ මෙරට රාජ්‍ය ආයතන ලාබ ලැබුවේත් එම ක්‍රමයටය. නමුත් රට අවසානයේ එක තැන පල්වෙමින් බංකොලොත්වීම මිස වෙනකක් වූයේ නැත. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව මෙරට වාමාංශික සහ ජාතිකවාදී කොටස් නගන ඝෝෂාව අස්සේ විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම නොවිය යුතු යැයි කියති. බලශක්තිය ජාතික ආරක්ෂාවේ කොටසක් යැයි කියති. කියුබාවේ ඇත්තේද මේ පිරිස් ඉල්ලා හිටින මොඩලයේ රාජ්‍ය ඒකාධිකාරයකි. නමුත් අද තෙල් බින්දුවක් හොයාගැනීමට නොහැකිව සිටී. සිය රට දේ සිරි සැප දේ කියන කියුබාවේ ආහාර සහ බෙහෙත් හිඟය සියල්ලට වඩා උග්‍රය.
විදේශයන් සමඟ මුල්‍ය හා වෙළඳ ගනුදෙනුවක් නැති, විදේශ සංචිත නැති, පෞද්ගලික අංශයේ දායකත්වයක් නැති, සක්‍රීය නිර්බාධිත වෙළඳපොළක් නැති, කොටින්ම ක්‍රය ශක්තියක් ඇති පාරිභෝගිකයන් නැති රටකට යන්න පුළුවන් සීමාවක් තිබේ. ලෝකය සමඟ සමගාමී ගමනක් වෙනවා වෙනුවට වෙන වටවංගු ගසන කිසිදු රටකට වර්ධනීය පැවැත්මක් නොමැතිය. කියුබාව යම් විදේශ වෙළඳ ගනුදෙනුවක නිරත වුවත් එහි උපරිම වාසිය ගන්න අසමත් වී ඇත්තේ සමාජවාදී ප්‍රතිපත්ති මත වන දැඩි නීති රීති සීමාවන් නිසාය. අමෙරිකාව පවා මේ වන විට කියුබාව කෙරෙහි වූ සම්බාධක ගණනාවක් ලිහිල් කර තිබේ. නමුත් එයින් කියුබාවට ගත හැකි ප්‍රයෝජනයත් නැතිව තිබෙන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ලිහිල් කිරීමට නොකැමැතිවීම මතය. පසුගිය කාලයේ මෙම ප්‍රතිපත්ති අත්හැර යම් තරමකට හෝ රට විවෘත කිරීමේ තැනකට පැමිණිය යුතු බවට කතිකාවක් කියුබානු රජය තුළ තිබුණද එය ක්‍රියාත්මක වූයේ නැත. ඒ තමන්ගේ දේශපාලන බල අධිකාරිය පවත්වාගෙන යෑමට එම ප්‍රතිසංස්කරණ අභියෝගයක් වෙනු ඇතැයි බියය. කොහොම නමුත් අමෙරිකාව තමන්ට පනවා ඇති සම්බාධක ගැන කියමින් විශාල ලියවිලි නිරන්තරයෙන් නිකුත් කරමින් අමෙරිකාව රුද්‍ර රාක්ෂයකු ලෙස මවා පාමින් ඒ බිය ඇති කර ජනතාව අඛණ්ඩව වහල්බාවයක රඳවා ගැනීම හැර අද විප්ලවය නමින් ආරක්ෂා කරන වෙනත් න්‍යාය ධර්මයක්, හෝ ක්‍රියාකාරිත්වයක් කියුබාවේ නැත.
කියුබානු විප්ලවයෙන් සිදු වූයේ ඒකාධිපතියකුව පන්නා ඒකාධිපති ක්‍රමයක් පිහිටුවාගැනීමය. උන්නු හැටියට මළා මදැයි කියන්නා සේ දැන් පරම්පරා දෙක තුනක් මේ අධිකාරිත්වය යටතේ ජීවත් වෙයි. ජනතාවට ලැබුණු ඇත්ත විමුක්තියක්, නිදහසක් නැත. අයිතියක් නැත. කන්න අඳින්න ටික කොහොම හරි ලැබෙන නිසා එය විඳ දරාගෙන සිටින බහුතරය එසේ සිටියත් එතැනින් වෙනස් වෙන්න උත්සහ කළ වුන් හිරගෙවල්වලය, නැතිනම් තාඩනයට පීඩනයට ගොදුරුකර අඩපණ කර ඇත. එතැනිනුත් ගැලවුණ පිරිස් හොර රහසේ රටින් පැන ගොස්ය. 2021 වසරේදී පැන යාමට ගොස් අසුවූ පිරිස පමණක් දෙලක්ෂ විසිදහස ඉක්මවා තිබිණි. මේ නිසා අද රාජ්‍ය පාලන අධිකාරිය හැර කියුබානු පාලකයන්ට රකින්න දෙයක් ඉතිරිව නැත.
– ජයතුංග බණ්ඩාර