රාජ්‍ය සේවය කඩදාසි ලෝකයෙන් එළියට

“ලෝකය තනි යායක්˜ යැයි අප විසින් පාරම් බාන්නේ අද ඊයෙක සිට නොවේ. සාහිත්‍ය නිර්මාණයේදී මේ ලෝකය තුළ අපි සියල්ලෝ එකම තලයක යැයි කියා පෑමට නොයෙකුත් උපහැරණ දක්වා ඇත.

සාහිත්‍යයේදී හා පාරම්බෑමේදී අප විසින් කොයිතරම් එවැනි දෑ කීවද, අපගේ ප්‍රායෝගික ජීවිතය තුළ එය අත්හදා බැලීමට තරම් අප උත්සුක වී නැත. මුළු ලෝකය එකාවන්ව කැරකෙද්දී ජාතිය, ආගම, කුලය, බලය, තාන්න, මාන්න මෙකී නොකී අටෝරාසියක් දෑ පෙරදැරි කරගෙන අප විසින් අප වටා කැරකෙමින් ඇත.

රටේ මෙහෙයුමේ ප්‍රධානතම මර්මස්ථානය වන රාජ්‍ය සේවයේ ක්‍රියාකාරකම් ද ” අප තනිකර ලෝකය දිවයන ” අන්දමේ තත්වයකි. මුළු ලෝකයම කඩදාසියෙන් ඈත් වී තාක්ෂණික මගක ගමන් කරද්දී, ලංකාවේ රාජ්‍ය සේවය තවමත් යල් පැන ගිය ක්‍රමවේදයන් කරපින්නාගෙන ඉබි ගමනින් යාම කෙතරම් අභාග්‍යයක්ද?

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා සිය අදහස් දැක්වීම්වලදී නිරන්තරයෙන් අවධාරණය කර ඇත්තේ ලෝකයම AI වලට යද්දි අපි තාමත් එකතැන බවයි. මුළු ලෝකයම කෘත්‍රීම බුද්ධිය හෙවත් Artificial Intelligence සම`ග ගනුදෙනු කරනා තැනට පත් වෙද්දී අපට තවමත් පෑනක්, පැන්සලක්, කඩදාසියක් නැතුව රාජකාරි කිරීමට නොහැකි තැනට පත්වීමම අප කොතරම් පසුගාමී සමාජයක්ද යන්න පැහැදිළි කරයි.

විශේෂයෙන්ම රාජ්‍ය පාලනයේදී අපට තවමත් මෙකී කඩදාසි භාවිත සංස්කෘතියෙන් මිදීමට හැකිව නැත. රාජ්‍ය සේවයේ අත්දැකීම් ඇති ඔ්නෑම අයෙකුගෙන් තමන්ගේ රාජකාරියක් කරගැනීමට යාමේදී රාජ්‍ය සේවය තාක්ෂණයෙන් කොයිතරම් විතැන් වී ඇත්දැයි පැහැදිළි කර ගත හැක.

යම් ලේඛනයක් රාජ්‍ය සේවයට අදාල කාර්යාලයක් වෙත යොමු කිරීමේදි විද්‍යුත් තැපැල් මාර්ගයෙන් ලබා දුන හොත් අනිවාර්යයෙන්ම අදාල ස්ථානයට ඒ බව දුරකතනය හරහා දැනුම් දිය යුතුය. යම් ලේඛනයක් Whatsapp ම`ගින් ලබා දුන්නද එහි මුද්‍රිත පිටපතක් ලබා දිය යුතුමය. එසේ නොවන්නේ නම් කිසි දිනක මතු ඉදිරිපත් කළ ලේඛනයට අදාල රාජකාරිය ඉටු වන්නේ නැත.

කෙසේ වෙතත් මෙම අතිශය නරක තත්වය වෙනස් කිරීම කළ යුතුම කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට සැකසෙමින් ඇත. පසුගිය
කාලවල පැවැති රාජ්‍ය යාන්ත්‍රණයේ අත්තනෝමතික හා ප්‍රායෝගික නොවන තීන්දු තීරණවල කෙළවර, ආර්ථීක වශයෙන් හා සමාජීය වශයෙන් අගාධයට වැටී “බංකොලොත් රාජ්‍යයක්” යන කිරුළ පවා හිමි කරගැනීමට සමත් විය.
කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාගේ අභියෝගාත්මක ඉදිරිපත්වීමෙන් පසු ඇති කරගත් නව ආර්ථීක හා රාජ්‍ය පාලන ක්‍රියාමාර්ග හේතුවෙන් රට නැවතත් සුපුරුදු ගමන් මාර්ගයට අවතීර්ණ වෙමින් පවතී. ඒ අනුව මේ මොහොතේ අප ඉදිරියේ ඇත්තේ අලුත් රටක පදනම යැයි කීවද එය වරදක් නොවේ. මේ අලුත් රටේ අලුත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තිරසර අනාගතයකට මංපෙත් හෙළිකරනු නොඅනුමානය.

ඩිජිටල් වූ ගුවන් ගමන

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණයේ අලු
ත් පියවරක් තැබිණි. ඒ මාර්ගගත ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රියාවලියයි. පසුගිය කාලය පුරාවටම විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලියට අදාලව මහජනතාව විසින් විඳි පීඩාවන් අවම කොට ඉතා සරල පියවර කිහිපයක් යටතේ ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.
ඒ අනුව දිවයින පුරා දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය අයදුම් කිරීමේ අවස්ථාව මහජනතාව වෙත ප්‍රවේශ විය. කටයුතු ආරම්භ වී ඇත. දැන් සිදුවිය යුත්තේ මේ ආරම්භ කළ ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමයි. එයින් නොනැවතී ජාතික හැඳුනුම්පත ද මෙයාකාරයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආශ්‍රිතව ලබාගැනීමේ ක්‍රමවේදය සකස් කළ යුතුව ඇත.

උපතේදීම හැඳුනුම්පතක්

ගුවන් ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමවේදයට ලබාදීමේ සමාරම්භක උත්සව අවස්ථාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකටම හඳුන්වාදී උපතේ සිට මරණය දක්වා මහජනතාවට අවශ්‍ය සියලුම ලිපි ලේඛන එක් වහලක් යටදී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන බවයි. මෙම සංකල්පය යහපාලන රජය කාලයේදී ක්‍රියාවට නැංවීමට අදාල මූලික පියවර තැබුණු අතර, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මධ්‍යගත දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම සිදුවිය. e-GN නමින් නම් කෙරුණු මෙම ව්‍යාපෘතිය හරහා සමස්ත රටවැසියාගේ සියලු දත්ත එක් පද්ධතියකට ඇතුළත් කරමින් ග්‍රාම නිලධාරීවරුගේ රාජකාරිය ඩිජිටල්කරණයට ලක් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කෙරිණි.
කෙසේ වෙතත් මේ වන තුරුත් එම ක්‍රියාවලිය ඉතා මන්දගාමීව සිදු වෙමින් පවතින අතර, තවමත් එය මහපොළොවේ යතාර්ථයක් වී නොමැතිවීම අතිශය කණගාටුදායක කාරණයකි. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය යථාර්තයක් කළ යුතුමය. එම පද්ධතිය හරහා පුද්ගලයින්ට ග්‍රාම නිලධාරීවරුන්ගෙන් ලබාගන්නා සේවය මාර්ගගතව ලබාගැනීමේ පහසුකම සලසා ඇත. පදිංචි සහතිකය, ආදායම් සහතිකය ඇතුළු සිය¨ සහතිකපත් මාර්ගගතව ඉල්ලුම් කළ හැකි සේම, මාර්ගගතව එම සහතික ලබාගැනීමේ අවස්ථාවක ද එහි ඇතුළත්ය.

කොන්දොස්තර බසයෙන් බැස්සවූ ඩිජිටල්කරණය

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අධිවේගී මාර්ගවල ධාවනයේ යෙදවෙන සියලුම බස් රථ සඳහා යොදවා ඇති කොන්දොස්තරවරුන් ඉවත්කර බස් රථ ධාවනය විධිමත් කිරීමට කටයුතු සලසා ඇත. ඒ අනුව අධිවේගී මාර්ග බස් රථ සේවාවෙන් කොන්දොස්තරවරුන් ඉවත්කර, ඒ වෙනුවට මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යය ද රියදුරු මහත්වරුන් වෙත පවරා ඇත. ඒ අනුව බස් රථය ආරම්භයට පෙර රියදුරු මහතා විසින් සියලු මගීන් වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරේ.
මෙහි නියමු ව්‍යාපෘතියක් පසුගිය 20දා අධිවේගී මාර්ගවල ධාවනයේ යෙදෙන බස් රථ ආශ්‍රිතව සිදු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කරුණු දක්වා ඇත්තේ නියමු ව්‍යාපෘතියක් ලෙස කටයුතු කළ මෙම දිනය තුළ පමණක් වෙනත් දිනවලට සාපේක්ෂව රුපියල් මිලියනයකට අධික ලාභයක් උපයා ඇති බවයි. සත්‍ය වශයෙන්ම මෙහි ලාභය ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීම මගින් උපයා ඇති මුදල පමණක් ගණනය කර ඇති අතර, මෙහි සමස්ත ගණනය කිරීම් ගතහොත් මෙම මුදල මීට වඩා වැඩි අගයක් ගනු ඇත.

කෙසේ වෙතත් ඩිජිටල්කරණයේ තවත් පියවරක් ලෙස බස් රථ සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කාර්යය ද මාර්ගගත ක්‍රමවේදයකට සකස් කළ හොත් මීට වඩා කාර්යක්ෂම හා මගී ජනතාව වෙත වඩාත් සුවපහසු සේවාවක් ලබාදීමට හැකි වනු ඇත. ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමට අමතරව සාමාන්‍ය බස් රථ සේවවාන්හිදී ද මාර්ගගත ක්‍රමවේදයකට මුදල් ගෙවීමේ ක්‍රමයක් ඇති කළ යුතුය. මේ වෙනුවෙන් පෙර ගෙවුම් කාඩ්පතක් හෝ QR ක්‍රමවේදයක් ඉතා පහසුවෙන් යොදා ගත හැකි අතර, සේවාව විධිමත් කිරීමට මෙන්ම මුදල් සම්බන්ධ අක්‍රමිකතා ද අවසන් කිරීමට මෙම`ගින් හැකි වනු ඇත.
රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය වූ කලී අති දැවැන්ත ක්‍රියාවලියකි. දැවැන්ත වු පමණින් මෙය අතහැර දැමිය හැකි තත්වයක් නොවේ. අදටත් රාජ්‍ය සේවයේ යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් නොමැති බව සත්‍ය කාරණයකි. MISCO – Colbened Service Human Resoureses නමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ වන දත්ත පද්ධතියක් ඇතත්, එය තවමත් රාජ්‍ය පරිපාලනයේ සේවා අවශ්‍යතාවය සපුරාලීමට තරම් යාවත්කාලීන වී නොමැත. යම් පුද්ගලයෙකුගේ අනනත්‍යතා සටහනක් ඇතුළත් කර (උදාහරණයක් ලෙස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර) ඔහු හෝ ඇය රාජ්‍ය සේවයේද? නැතිද? සක්‍රීය සේවයේ සිටීද? නැද්ද? විනය පරීක්ෂණයක් පවතීද? නැද්ද? යන්න හෝ සොයාගැනීමට හැකි මධ්‍යගත දත්ත පද්ධතියක් නැත.

මේ හේතුව නිසා රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවිම්, සේවය ස්ථීර කිරීම් වැනි කාරණා සම්බන්ධයෙන් විවිධ ගැටළු පැන නැගී ඇත. එසේම විවිධ ආයතන වෙත සේවය සනාථ කිරීමේ අරමුණින් කොපමණ නම් ලිපි ගණනාවක් දිනකට නිකුත් කරන්නේ ද කියා මෙතෙක් කිසිදු ගණනයක් කර නොමැත. එබැවින් මධ්‍යගත කරන ලද රාජ්‍ය සේවා දත්ත පද්ධතියක අවශ්‍යතාවය දැනටත් කල් පැන ගිය සාකච්ඡාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අවශ්‍යතාවය මේ මොහොතේ හෝ ඉටු කළ යුතුමය.

මුදල් සංසරණය ඩිජිටල් කිරීම

අදටත් රජයේ ආයතන කිහිපයක හැරුණු කොට සේවා අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගෙවීමට මාර්ගගත ක්‍රමය භාවිත කිරීමේ තත්වයක් නැත. විශේෂයෙන්ම වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී පමණක් බැංකු කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ අවස්ථාව හිමිව ඇතත්, තවමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා කවුළු තුළ බැංකු කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කර නැත. තවමත් අදාල සේවාව ලබා ගන්නා මහජනතාවට මුදල් ගෙවීමට හැකි වන්නේ මුදලින් පමණි. මේ හේතුවෙන් නිරපරාදේ වැය වන මිනිස් කාලය සම්බන්ධයෙන් කිසිවෙකුගේ තක්සේරුවක් නැත. මුදල් ලබාගැනීම, ඉතුරු ලබාදීම, මාරු සල්ලි නොමැතිකම හේතුවෙන් ආපහු හැරී යාම්, ඒ වෙනුවෙන් වෙනත් දිනයක පැමිණීම් ආදී බොහෝ අපහසුතා මඟහරවා ගැනීමේ අවස්ථාවක් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වෙත බැංකු කාඩ්පත් මගින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීම හරහා වළක්වා ගත හැකිය. මේ වන විට සිල්ලර කඩවල පවාQR කේතය මගින්, දුරකතන යෙදවුම් මගින් මුදල් ගෙවීමේ ක්‍රම හඳුන්වා දී ඇති මොහොතක රාජ්‍ය සේවයේ තවමත් ‘සරප්˜ කවුළුව හරහා මුදල් නෝට්ටු හා කාසි භාවිතා කිරීමට සිදුවීම, කුවිතාන්සි නිකුත් කිරීම වැනි දෑ තුළ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය පිළිබඳ තක්සේරු කළ හැකිය.

මෙයට අමතරව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති පවා අකාර්යක්ෂම බව පසුගියදා පාර්ලිමේන්තු කෝප් කාරක සභාවේදී හෙළි විය. රටේ ප්‍රධාන මර්මස්ථාන පවා මේ තත්වය නම් අලුත් රටක් යනුවෙන් අප විසින් අපේක්ෂා කරන තත්වය වෙත ළගාවීමට තව කොපමණ කල් බලා සිටිය යුතුද යන්න ප්‍රශ්නාර්ථයක් වනු ඇත. අශ්වයා ස්ථාලයෙන් පැන ගොස් හමාරය කියා ස්ථාලයේ දොර අලුත්වැඩියා නොකර සිටීම හෝ දොර වසා නොදැමීම අමනෝඥ ක්‍රියාවලියකි. මක් නිසාද යත් අශ්වයා පැන ගියා කියා ස්ථාලය වසා නොදැමෙන නිසාවෙනි. බංකොලොත් වු රාජ්‍යයක් අුත් මාර්ගයන් ඔස්සේ යථාවත් කරමින් පවතින මොහොතක ස්ථාලයට අලුතින් අශ්වයින් ගෙන ආ යුතුය. එසේම ඒ අලුතින් ගෙනෙන අශ්වයින් නැවත පැන නොයන පරිදි ස්ථාලයේ දොර වසා දැමිමට හැකි වෙන සේ එය සකසා තිබිය යුතුය. එසේ නොවන්නේ නම් පසුගිය සමයේ අප විසින් අත්විඳි භායානක ඉරණම නැවත නැවතත් අත්විඳීමට අපට සිදු වනු ඇත. මෙහි ඇති භයානක තත්වය නම් ඊළග වටයේ අත්දැකීම කළින් වටය මෙන් අපට දරාගත හැකි අන්දමට අප වෙත ළ`ගා නොවන අත්දැකීමක් වීමයි.

අලුත් රටක් වෙනුවෙන් යන මේ ගමනේදී මෙකී අතපසු වූ හෝ අතපසු කරන ලද සියල්ල ද යාවත්කාලීන කරමින් ගමන් ඇරඹිය යුතුව ඇත. එසේ නෙවන්නේ නම් අප විසින් අපේක්ෂා කරනු ලබන “තිරසර රාජ්‍යයක්˜ යන සංකල්පය සිහිනයක්ම වනු ඇත.

  • රිද්ම අනුරාධ ගමගේ