ණයත් නෑ බයත් නෑ හැබැයි අතේ පිච්චිය නෑ !
තමන් කිසිවකුට බය නැති බව කෙලින් නොකියා “මම ණයත් නෑ, බයත් නෑ” කියා කිසිවකු කියන්නේ ඒ නිකම් චණ්ඩිකමටම එහා ගිය දෙයක් ලෙසය. ඒ බය නැති වෙන්න තරම් හේතු තමන්ට තිබෙන බව හඟවන්නටය. ණය ගත්තොත් ගෙවන්න ඕනෑය. එය ගෙවා නිම කරන තුරු ඒ ණයට යටත්ව අනෙක් දේවල් තීරණය කරන්න සිදුවෙයි. ඒ වගේම ණය ගැනීම, ණයකාරයෙක්වීම ලැජ්ජාවට කරුණක් ලෙස සමාජයේ මතයක් වෙයි. ඒ නිසා ණය වෙලා ලොකු චණ්ඩිකම් කියවන්න බැරිය. එහෙම බලපුවාම ලෝකයේ කිසිදු රටකට තමන්ගේ චණ්ඩිකම් ගැන වාගාඩම්බර කියවිය නොහැක. මොකද හැම රටකම තවත් රටකට හෝ මුල්‍ය ආයතනයකට හෝ ණයය. නිකමට හෝ ණයත් නෑ බයත් නෑ කියා යම් රටකට කිව හැකි නම් ඒ සඳහා ඉතාම ආසන්න අවස්ථාව තිබෙන රටවල් කිහිපයක් වෙයි. එනම් දළ දේශීය නිශ්පාදනයට සාපේක්ෂව අඩුම ණය ප්‍රතිශතයක් තිබෙන රටවල් කිහිපයය. එක ඩොලරයකවත් ණය නැති රටක් ලෙස හැදින්විය හැක්කේ මැකාවෝ දූපතය. නමුත් මෙය රාජ්‍යයක් ලෙස නොසලකන විශේෂ පරිපාලන කලාපයකි. ලෝකයේ ඉහළම ආර්ථික වර්ධන වේගය ඇත්තේද මෙහිය. 2023 වසරේ සියයට 50කට ආසන්න වර්ධනයක් පෙන්නුම් කරනු ඇත. නමුත් මැකාවෝ යනු තනිකර කැසිනෝ හා සමගාමී ව්‍යාපාරයන් කේන්ද්‍රකරගත් සංචාරක කර්මාන්තයෙන් ආදායම් උපදවන වෙළඳපොළක් මිස රටක් රාජ්‍යයක් ලෙද හැඳින්විය හැකි තැනක් නොවේ. හොංකොං, බෲනායි යන රටවල්ද ණය බර අඩුම රටවල් වන නමුදු මේවාද වෙළඳපොළවල් ලෙස හැඳින්විය හැකි තැන්ය. මෙවැනි විශේෂ ආර්ථිකයන් ඇති රටවල ණය බර අඩුය. විශේෂයෙන්ම ජනතා සුබසාධනය මේවායේ නැති තරම්ය. ඒ කොහොම නමුත් ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී සිටින ඇතැම් රාජ්‍යයන්හී ණය බර ශ්‍රී ලංකාව හා සැසදීමේදී ණය බර අඩුය. සිම්බාබ්වේ රාජ්‍යයේ ණය බර දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 50කට ආසන්න වන විට මෙරට ණය බර සියයට 100ද ඉක්මවා තිබිණි.
රටක් ණයවීම එම රට ආර්ථිකමය වශයෙන් අර්බුදයක සිටින බවට වන දත්තයක් නම් සිම්බාබ්වේ රාජ්‍යයට ආර්ථික අර්බුද මෙතරම් තිබෙන්නට විදිහක් නැත. ඒ තර්කය අනුව ලෝකයේ දියුණුම ආර්ථිකයන් තිබෙනවා කියන දැවැන්ත රාජ්‍යයන්හි ණය බර සලකා බැලුවහොත් ඒ රටවල් දියුණු රාජ්‍යයන්ව පැවැතීම අදහාගත නොහැකිය. ජපානයේ ණය දළ දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක අනුව සියයට 250 ආසන්නයේය. අමෙරිකාවේ 130 ඉක්මවා තිබේ. ඉතාලියේ 150 ඉක්මවා තිබේ. සිංගප්පුරුවේත් 130ට වැඩිය. කැනඩාවේ 90කට ආසන්නය. එංගලන්තයේ 80 ඉක්මවා තිබේ. මේ අනුව පැහැදිලි වන්නේ රටක ණය සහ ආර්ථික අභිවෘද්ධිය අතර දුරස්ථභාවයක් තිබෙන බවය. මේ ණය බරෙහි අඩුම සහ වැඩිම රටවල් අතර මධ්‍යයේ සිටින ශ්‍රී ලංකාව මෑත වසර දෙක තුන තුළදී ණය බර යම් ප්‍රමාණයකින් ඉහළ ගියද කාලාන්තරයක් පැවැතියේ සියයට 80 සීමාවට පහළට වෙමිනි.
කොහොම නමුත් ලෝකයේ සෑම රටක්ම විවිධ පරිමාණයෙන් ණය වී ඇති අතර මේ ණය තොගය එකතු කළ විට ඩොලර් ටි්‍රලියන 400කට ආසන්න බව කියවෙයි. ඒ කොහොම වුණත් ණය වැඩිවීම දේශපාලනිකව සමාජීයව සහ සංස්කෘතිකවත් හොඳ ලකුණක් ලෙස සලකන්නේ නැත. නමුත් ආර්ථික විද්‍යාවේදි ණයවීම බරපතල ගැටළුවක් ලෙස සලකන්නේ නැත. ඊට වැදගත් වෙන්නේ ණය ගෙවීමේ හැකියාව තිබෙනවාද නැද්ද යන්නය. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණයන්හිදී රටක ණය බර දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 77කට වඩා අඩු මට්ට්ටමක නොපවත්වාගැනීම ආර්ථිකමය වශයෙන් ගැටලුකාරී විය හැකි බව පවසයි. එම අගය ආර්ථිකයේ තරම ගැන කියන නිර්ණායකයක් ලෙසද යොදා ගනී. ඒ අනුව ලෝකයේ සංවර්ධිත හෝ වේවා සංවර්ධනය වෙමින් පවතින හෝ වේවා රාජ්‍යයන් බොහොමයක්ම පාහේ ඇත්තේ අනතුරුදායක ආර්ථිකයක් සමඟ ගමන් කරමින්ය. නමුත් මේ අනතුරුදායක තත්වයන් කළමණාකරණය කරමින් ගමන යෑම වැදගත්ම දෙයයි.
කිසිදු රාජ්‍යයකට තමන්ගේ හැකියාවන්ගෙන් වත්කම්, සම්පත්වලින් පමණක් සිය පැවැත්ම සහතික කරගැනීමට හැකියාවක් නැත. අඩුපාඩු සපුරාගැනීමට සෙසු රාජ්‍ය සමඟ යම් ගනුදෙනුවකට යෑමට සිදුවී ඇත. ඒ අද ඊයේ ඇතිවූ තත්වයක් නොවේ. ඉතිහාසය පුරා රටවල් අතර යුද්ධ, ආක්‍රමණ, වෙළඳාම ඇති වූයේ ඒ අඩුපාඩු සපුරා ගැනීම වෙනුවෙනි. රට රටවල් අතර ණය ගනුදෙනු ඇතිවීමත් එළෙසම ඉතිහාසයක් ඇති දෙයකි. ශ්‍රී ලංකාවද සිය ඉතිහාසය පුරා රට රාජ්‍ය සමඟ ගනුදෙනුවක් නිරත වූ රටකි.
නමුත් අද කතා කරන්න ඉතිරිව තිබෙන්නේ රටේ ණය බර ගැනය. එයත් දැන් කාලන්තරයක් තිස්සේ දිග ඇදෙන කතාවකි. ණය උගුල්වල පැටලීම ගැන, තව තවත් ණය වෙන්නට සිදුවීම ගැනත් බරපතල විවේචනාත්ම කතා තිබේ. ඒ සියල්ල ඇත්ත වුවත් ශ්‍රී ලංකාවට අද දවසේදීත් සිය පැවැත්ම වෙනුවෙන් තෝරාගැනීමට සිදුව ඇත්තේ ණය ගැනීමටය. ඉදිරි කාලයේදීත් එය එසේම වෙනු ඇත. එය වැලැක්විය නොහැක. මේ වන විට මෙරට විදේශයන්ට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 60කට ආසන්න බව කියවෙයි. විදේශිය ණය ලෙස රාජ්‍යයන්ගෙන් හා මුල්‍ය ආයතනයන්ගෙන්
සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ණය, ව්‍යාපෘති නොවන ණය, වෙළඳ භාණ්ඩ ණය, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, කාලීන මුල්‍ය පහසුකම්, හුවමාරු ණය යනාදී වශයෙන් විවිධාකාර ණය ක්‍රම යටතේ මේ ණය ලබාගෙන ඇත. එසේම මේ ණය සහ ඒ වෙනුවෙන් වන පොලියද සාමාන්‍යයෙන් වාරික වශයෙන් ගෙවා දමමින් දශක ගණනාවක් කටයුතු කරගෙන පැමිණියද පසුගිය වසරේ දී ණය ගෙවීමට නොහැකි බවත් රට බංකොලොත් බවත් ප්‍රකාශයට පත්කරන තැනට පත් විය. යළි කිසිදු රටකින් මුල්‍ය ආයතනයතින් ණයක් ඉල්ලා ගැනීමට නොහැකි තැනට රට පත් කරන ලදී. එයට හේතු වුවේ මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමට නොදත් මුග්ධයන්ට රටේ බලය හිමිවීමය.
මේ ගැටලුවට පිළියමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෙන් යළි ආර්ථිකය නිවැරදි මාර්ගයට ගැනීමට අවශ්‍ය ප්‍රතිසංකරණයන් කරමින් ණය ගෙවීමෙ හැකියාව ගොඩනගා ගැනීම වත්මන් පාලනයේ වුවමණාව වී ඇත. ඒ වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුගත කිරීමක් හරහා ණය බරින් කෙටි කාලයකට නිදහස් වී හෝ යම් සහනයක් අපේක්ෂා කරයි. ඒ කාලය තුළ රටේ ආර්ථිකය ගොඩනංවා ගැනීම රටට තිබෙන අභියෝගයයි.
මෙහිදී මෙතුවක් කල් ඩොලර් බිලියන් ගණනින් වන ණය කන්දරාවෙන් රට අත්පත් කර ගත් ආර්ථික ජයග්‍රහණයන් හෝ වත්කම්වලට සිදු වූයේ කුමක්ද කියන ගැටලුවත් මතුවේ. ඩොලර් බිලියන 60ක් කියන්නේ ගෙවන්න ඉතුරුව තිබෙන ණය මිසක් එදා මෙදාතුර ගෙන තිබෙන සියලු ණය නොවේ. ඒ සංඛ්‍යාව මීට වඩා අති විශාලය. මේ ණය දේශපාලකයන් හොරා කෑවාය, යන්න ජනප්‍රිය මතයයි. නමුත් ඇත්ත ඊට හාත්පසින්ම වෙනස්ය. මන්ද මේ ණය මඟින් අත්පත්කර ගත් වත්කම් රට තුළ තිබෙන නිසාය. නමුත් ගැටලුවකට ඇත්තේ මේ වත්කම් ආදායම් උපදවන ආයෝජන නොවී සුදු අලි මෙන් පැවැතීමය. උදාහරණයකට කිවහොත් බැංකුවට ණය වී මෝටර් රථයක් මිලදී ගෙන ඒ ප්‍රදර්ශනයට හෝ ගමන් බිමන් සුවපහසුවට තබාගැනීමෙන් එයින් අර ණය ගෙවන්න ආදායමක් ලැබෙන්නේ නැත. ණය ගෙවන්න වෙන්නේ වෙනත් ආදායම් මාර්ගවලිනි. නමුත් වත්කමක් ලෙස මෝටර් රථය තිබේ. ඒ අනුව යමකු මෝටර් රථයක් අත්පත් කරගැනීම තමන්ගේ ආර්ථිකය සංවර්ධනයවීමක් ලෙස කිවනොහැක. රටට සිදුව ඇත්තේද එයය. ණය ගෙන අත්පත් කරගත් මහා වත්කම් ප්‍රමාණයක් මෙරට තිබේ. ඒ වැඩි ප්‍රමාණයක් ඇත්තේ මහජනතාව සතුවය. නමුත් ඒවායෙන් ආදායම් ඉපදවෙන්නේ නැත. රජය සතු වත්කම්වල ආදායම් ප්‍රමාණවත් නැත. ඒ ණය ගෙවන්න රජයට රටේ වෙනත් ආදායම් මාර්ග කැපකරන්න සිදුවේ. වෙනත් ආදායම් මාර්ගවල හිඟතාවයත් නිසා නැවත ණය ගෙවන්න තවත් ණය ගන්නට සිදුව තිබේ. එම චක්‍රය දිගින් දිගට ගොස් අවසානයේ ණය ගෙවිය නොහැකි තැනට ඇද වැටි බංකොලොත් බව ප්‍රකාශ කරන්නට සිදු විය. දැන්වත් මේ වත්කම් මුල්‍යමය ආදායම් බවට පත්කර ගත යුතුය. රට මුහුණ දී තිබෙන විසඳාගතයුතු අර්බුදය එයය. ඊට කෙටි කාලීන විසඳුම් නැත. දිර්ග කාලින සැලසුමක් ඔස්සෙ වන නිශ්චිත වැඩ පිළිවෙලක් සමඟ ගමන් කිරීම අනිවාර්ය වී ඇත. එකොහොම වුවත් ඒ වෙනුවෙන් තවදුරටත් ණය ගැනීම හෝ වත්කම් මුදල් කරගැනීමට හෝ සිදුවීම වනු ඇති අතර වෙන විකල්ප ගොඩනැගෙනු ඇත්තේ ඒ දීර්ගකාලීන වැඩ පිළිවෙලෙහි සාර්ථකත්වය මතය.
ඒ නිසා ණය ගන්නවා, විකුණවා හැර වෙනත් විසඳුමක් රනිල්ට නැතැයි කියමින් වැළලෙන්න හදන විපක්ෂ කොටස්වල, වාමාංශිකයන්ගේ, ජාතිකවාදීන්ගේ විවේචනවල තේරුමක් නැත. මන්ද වෙන විසඳුම් නැති බැවිනි.
මෙහෙම කෑ ගහන අය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම ගැන විරෝධය පළ කර තිබේ. එම ප්‍රතිසංකරණයන්ට විරුද්ධය. ණය ගන්නවාට විරුද්ධය. නමුත් මේ අයගේ ජීවිත ගැන සොයා බැලුවොත් මේ අය ගෙවල් දොරවල් යාන වාහන ව්‍යාපාර ආදිය ගොඩනගා ගෙන ඇත්තේ බැංකුවලට හෝ රැකියා කරන ආයතනයට හෝ ණයවීමෙනි. ඒ ඔවුන් විසින්ම පෙන්වා දෙනු ලැබුවේ බදු ප්‍රතිසංකරණයට එරෙහිව දියත් කළ වැඩවර්ජන විරෝධතාවන්හි දීය. තමන්ගේ වැටුපෙන් ණය වාරික කැපුනාම කන්න බොන්නවත් මුදලත් ඉතිරි නොවන බව ගණන් හදා පෙන්වා දෙනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණද ණය ගැනීමට, වත්කම් විකිණීමට එරෙහිව විශාල සටනක් දියත් කරන පක්ෂයකි. නමුත් එම පක්ෂයේ මහල් පහක මුලස්ථාන ගොඩනැගිල්ල කෝටි ගානක රාජ්‍ය බැංකු ණයකින් කළ එකකි. ඒ ණය තාම ගෙවනවාද විය හැකිය. පක්ෂයේ ආර්ථික අර්බුදවලදී වත්කම් ලෙස පැවැති දෑ කෙතරම් ප්‍රමාණයක් මේ අය විකුණා තිබෙනවාද? රජයෙන් නොමිලයේ ලැබුණු රුපවාහිනි සහ ගුවන් විදුලි බලපත්‍රය එක් නිදසුනකි. මේ අනුව තමන්ගේ දියුණුවට ණය පිට ණය අරගෙන, ආදායමට දරන්න බැරි තරම් විශාල ණය අරගෙන සිටින පිරිස් රට ණයවීම ගැන එදිරිව කරුණු දැක්වීම විහිළුවකි.
නිදහස ලබන විට අපිට එංගලන්තයට ණය දෙන්න පුළුවන්කමක් තිබුණු තරම් ආදායමක් රටට තිබිණි. ඒ ආදායම් මාර්ගත් එංගලන්ත සුද්දා විසින්ම සකසා දුන් ඒවා මිස මෙරට්‍ටු ගොඩනගපු දේ නොවේය. නිදහසෙන් පසුව ඒ ආදායම් මාර්ගද අහිමි කරගත්තේ මෙරට්‍ටුන්මය. ඒ සුද්දා එක්ක තිබෙන නැතිනම් බටහිර සමඟ තිබෙන ඇරියස් එකටය. ඊනියා දේශප්‍රේමය නිසාය. කලාපයේ දියුණුම ආර්‍ථිකයක් ඇති රට වන්නට තිබූ අවස්ථාවන් ස්වයං විනාශයකින් කෙලවර කරගත්තේය. කොහොම නමුත් රට වසරෙන් වසර ණය එකෙතු කරගත්තා මිස එයින් ආදායම් ගොඩනගන්න අසමත්වීම කිසිදු දේශපාලන පාක්ෂික බවකින් තොරව පිළිගත යුතු ඇත්තකි.
ඒ කතා දැන් අවසන් කර යළි රට ගොඩනැගීම ගැන සියලු පාර්ශ්ව එකඟත්වයකට පැමිණිම විය යුතුවීම අනිවාර්ය තත්වයක් වූවත් තවදුරටත් පටු ගෝත්‍රිකවාදී පක්ෂග්‍රාහී මජර දේශපාලනයෙහිම නිරත පිරිස උත්සහ ගන්නේ රට අවුලෙන් අවුලට පත් කර තමන්ගේ ගෝස්තරය සොයාගැනීමට බවත් පැහැදිලිය.
එය කොහොම වෙතත් මේ මොහොතේ රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් මුදවාලීම වෙනුවෙන් ජාත්‍යන්තර සහය හිමිවෙමින් පවති. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහනය ලැබීම සමග යළි ජාත්‍යන්තර මුල්‍ය සංවිධාන සහ රාජ්‍යයන්වල සහය හිමි වෙමින් පවතී. ණය ප්‍රතිවුහගත කිරීමේ වැඩපිළිවෙල මෙතෙක් සාර්ථකව ගමන් කරමින් තිබේ. එම පිම්ම පැනගැනීමෙන් පසු රට දැනට මුහුණ දෙන පීඩාවන්
රැසකින් ගැලවීමේ අවස්ථාව උදා කරගනු ඇත. ඒ අනුව ජාත්‍යන්තරයෙන් ලැබෙන ණය සහන මඟින් නිශ්චිත ඉලක්කයක් අනුව දීර්ගකාලීන අරමුණු ජය ගැනීම වෙනුවෙන් ආර්ථිකය මෙහෙයවීම විය යුතුය. කොහොම නමුත් මෙම ජාත්‍යන්තර සංවිධාන හෝ රටවල් ශ්‍රී ලංකාව බංකොලොත් වී විනාශ වී යෑමට ඉඩ තබන්නේ නැත. මන්ද එය යළි ජාත්‍යන්තර ආර්ථික අර්බුදයකට තුඩු දෙන නිසාය. රට යළි ණය ගෙවන්නට හැකි තැනකට ගොඩනැගීමට අවශ්‍ය සහය ජාත්‍යන්තරයෙන් ලැබෙනු ඇත. ඊට සූදානම් පාලකයන් සිටී නම් ඒ කරුණ වඩාත් පහසු වෙනු ඇත. මේ ගත කෙරෙන්නේ එහෙම කාලයකි. අනාගතය ගැන විශ්වාසය තැබිය හැකි පාලන කාලයකි.
කොහොම නමුත් රටක් ණය ගැනීම ගැන බිය විය යුතු දෙයක් නොවේ. බිය විය යුත්තේ ඒ ණය ගෙවීමේ හැකියාව ගොඩනගා ගන්නට නොහැකිවීම ගැනය. අමෙරිකාව ජපානය වැනි රාජ්‍යයන්ට ඒ දැවන්ත ණය බර ප්‍රශ්නයක් නොවන්නේ ඒ ගෙවීමේ හැකියාව ඔවුන්ට තිබෙන නිසාය. ඒ නිසා කාටවත් ණය නැතැයි කියා චණ්ඩි වෙන එකට වඩා සැබෑ චණ්ඩිකම කියන්නේ ණය ගන්නත් ණය ගෙවන්නත් බය නැතිවීමය.
– ජයතුංග බණ්ඩාර