ගෙදර ගියත්, මඟ හිටියත් නහින මැකොස

0

කල් ඉකුත්වූ මැතිවරණයක් හදිස්සි අවශ්‍යතාවයක් නොවෙතත් යළි කැඳවා ඇත. එයත් මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් නොවේ. පුංචි ඡන්දයයි. එනම් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා වෙනුවෙන් නියෝජිතයින් තෝරා පත් කරගැනීමේ මැතිවරණයයි.

මේ අතරම මැතිවරණ ප්‍රචාරක කටයුතු ද රට පුරා ව්‍යාප්තව ඇත. මෙවර මැතිවරණය ඩිජිටල් මැතිවරණයක් වී ඇත. මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ, අපේක්ෂයින් මෙන්ම සිය පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන සියල්ලෝම පාහේ මෙවර මැතිවරණයේ සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැඩි බරක් තබා ඇත්තේ සමාජ මාධ්‍යජාලා හා විද්‍යුත් මාධ්‍ය ජාලාය. මේ අතර මැතිවරණය පවත්වයිද? නැද්ද? යන දෙගිඩියාව ද සමාජය පුරා කතාබහට ලක්ව ඇත.

මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ පූර්ණ බලතල ඇත්තේ මැතිවරණ කොමිසන් සභාවටය. මැතිවරණ කොමිසම සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විතය. එහි සභාපති ලෙස නිමල් ජී. පුංචිහේවා මහාතා පත් කර ඇති අතර, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ලෙස කේ.පී.පී. පතිරණ, එස්.බී. දිවාරත්න, එම්.ඒ. මොහොමඩ් හා පී.එස්.එම්. චාල්ස් යන අය පත් කර ඇත.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ බලාත්මක භාවය සම්බන්ධයෙන් ද විවිධ ආකාරයේ අදහස් සමාජගත වී ඇත. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් පත් කර ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වී ඇති පසුබිමක පසුගිය 25 වැනිදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ස්වාධීන කොමිසන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව නව සාමාජිකයින් පත් කිරීමට අදාල අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීම් පළ කිරීමට තීන්දු කර ඇත. දැන්වීම් පළ කළ දින සිට සති දෙකක කාලයක් අයදුම්කිරීමට අවස්ථාව ලබා දෙන අතර, ඉන් අනතුරුව ලැබුණු අයදුම්පත් සලකා බලා නව සාමාජිකයින් පත් කෙරෙන අතර, එසේ නව සාමාජිකයින් පත් කෙරෙන කොමිෂන් සභා අතරට මැතිවරණ කොමිසම ද ඇතුළත්ය.

එමෙන්ම පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කර තිබුණේ වත්මන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර බෙදීමක් හටගෙන ඇති බවයි. මැතිවරණය පැවැත්වීමේ තීන්දුව ගැනීම සඳහා පැවැත්වූ කොමිෂන් සභා රැස්වීමේදී සභාපතිවරයා හා අනෙකුත් සාමාජිකයින් අතර බෙදීමක් හටගෙන ඇති බවත්, ඒ හේතුවෙන් මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි බවත් විවිධ මාධ්‍ය හරහා පුවත් පළ කර තිබිණි.

ඒ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් එළඹෙන මාර්තු මස 09 වැනි දින මැතිවරණය පැවැත්වෙන බවට මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබිණි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නිවේදනයක් මඟින් මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවත්, මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමේ නීත්‍යනුකූල ක්‍රමවේදය වන්නේ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා ඇත්තේ මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු නොවන අතර, පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙනවා යැයි මාධ්‍ය නිවේදන නිකුත් කළද මෙතෙක් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැති බවයි.
එළෙස ගැසට් නිවේදනය නිකුත් කළා නම් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමේ සාමාජිකයන් කී දෙනෙක් කැමැත්ත දුන්නා දැයි ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් ප්‍රතාභා මහානාම හේවා මහතා පවසා ඇත. ඔහු අවධාරණය කර ඇත්තේ නීතිය වන්නේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම බවයි.

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා වාර්තා වුයේ මැතිවරණය සම්බන්ධයෙන් දින නියම කිරීමේ රැස්වීම සඳහා සහභාගීවී ඇත්තේ සාමාජිකයින් දෙදෙනෙකු පමණක් බවයි.

පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවීමේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පස් දෙනාගේම නම් සඳහන්ව ඇති නමුත් දින නියම කිරීමේ රැස්වීම සඳහා සාමාජිකයින් දෙදෙනෙකු පමණක් සහභාගීවීම හරහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට හැකියාව ලැබී නැත. ඒ අනුව ගැසට් පත්‍රයක් නිකුත් කිරීම වෙනුවට මාර්තු මස 09 වන දින මැතිවරණය පැවැත්වෙන බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයි කටයුතු කර ඇත. මෙය නීතියට අනුකූල නොවේ.

මේ අතර කැඳවා ඇති පළාත් පාලන මැතිවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල්වරයෙකු විසින් ශේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එම රිට් පෙත්සම හරහා පෙත්සම්කරු විසින් කරුණු දක්වා ඇත්තේ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක් පමණ වැය වන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම මුදල් සපයා ගත යුත්තේ රාජ්‍ය ආදායම් මත හෝ ණය ගැනීම හරහා පමණක් බවත්, රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේ මෙවන් මුදලක් වැය කර මැතිවරණයක් පැවැත්වීම මගින් ජනතාව තවත් ආර්ථික සහ සමාජීය පීඩනයට පත් වන බවත්, එසේ වුවහොත් පසුගිය සමයේ ජනතාව මුහුණ දුන් ගෑස්, විදුලිය, ඉන්ධන අර්බුදවලට නැවතත් මුහුණදීමට සිදුවන බවයි.

ඒ අතර පසුගියදා මැතිවරණ කොමිසම විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී තෙල් සංස්ථාවේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා යොදවනු ලබන රාජ්‍ය ආයතන වාහන සඳහා හා මැතිවරණය වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩි කරන ලෙසයි. ඒ අවස්ථාවේදී තෙල් සංස්ථාව වෙනුවෙන් එහි සභාපතිවරයා කරුණු දක්වමින් පවසා ඇත්තේ තෙල් සංස්ථාව මේ වන විටත් බරපතල මූල්‍ය අර්බුදයට ලක්ව ඇති බැවින් කොමිසම විසින් කරනු ලබන ඉල්ලීම ඉටු කළ නොහැකි බවයි.

ඒ වෙනුවෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් එහි සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසා ඇත්තේ ඉන්ධන කෝටාව වැඩි කරන්නේ නම් ඒ වෙනුවෙන් අමතරව ඉන්ධන ආනයනය කළ යුතු බවයි. එසේ අමතරව ඉන්ධන ආනයනය කිරිම සඳහා ප්‍රමාණවත් ඩොලර් ලබා ගැනීමට අවශ්‍ය රුපියල් මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව සතුව නොමැති බැවින් ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවශ්‍ය තෙල් මිළදී ගැනීමේ හැකියාවක් මේ මොහොතේ ඛනිජ තෙල් සංස්ථාව සතුව නොමැති බවත්, මැතිවරණ කොමිසම විසින් මෙම ප්‍රායෝගික ගැටළු තේරුම් ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ මහ බැංකුව විසින් ජනවාරි මස 01දා සිට තමන් වෙත ඩොලර් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත්, ඒ හේතුවෙන් අමතර ඉන්ධන ගෙන්වීමේ බරපතල තත්වයක් මතුව ඇති බැවින් මැතිවරණ වෙනුවෙන් අමතර ඉන්ධන පිරිවැයක් දැරීමට නොහැකි බවයි.

මේ අතර පසුගියදා පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ රටේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් මහා භාණ්ඩාගාරය සතුව නැති බවයි. තත්වය මෙසේ තිබියදී මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදු කර ඇත. සභාපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත්තේ මැතිවරණයේ වියදම් සඳහා රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් මේ වන විටත් මුදල් අමාත්‍යාංශය මගින් මැතිවරණ කොමිසන් සභාව වෙත ලබා ඇති අතර, ඉතිරි මුදල් ප්‍රමාණය ලබා දෙන ලෙසයි.
මේ අතර, පසුගියදා මහ බැංකු අධිපතිවරයා විසින් පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දක්වා සිටියේ මැතිවරණ වෙනුවෙන් මුදල් ලබාදීම මහ බැංකුවේ කාර්යභාරයක් නොවන බවයි. මැතිවරණයට මුදල් තිබෙනවාද යන පැනයට පිළිතුරු ලබා දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත්තේ ”ඒක ඇත්තටම අහන්න ඕනේ භාණ්ඩාගාරයෙන් තමයි. මුදල් වෙන් කිරීම මහා භාණ්ඩාගාරයේ තිබෙන කටයුත්තක්. භාණ්ඩාගාර ලේකම්තුමා ඒ ගැන උසාවියටත් ප්‍රකාශයක් කරලා තිබ්බා. එතැනින් තමයි ඒකෙ පිළිතුර දැනගන්න වෙන්නේ.”

තත්වය මෙසේ තිබියදී සිදු වූ තවතම සිදුවීම වන්නේ මැතිවරණ කොමිසමේ එක් සාමාජිකාවක් ඉල්ලා අස්වීමයි. මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉන් ඉල්ලා අස්වී ඇති අතර, ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය 25 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇත.
ඒ අනුව සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් මැතිවරණ කොමිසම මේ වන විට සාමාජිකයින් සිව් දෙනෙකු දක්වා අඩු වී ඇති අතර, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇත්නම් එමගින් ඇතිවන පුරප්පාඩුවට නව සාමාජිකයෙකු පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වගකීමක් බැවින් එය හැකි ඉක්මණින් සිදුවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විවිධ පුවත් පළ වූ අතර, අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළි වූයේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා හා සාමාජික එම්.ඒ. මොහොමඩ් මහතා විසින් දිගින් දිගටම චාල්ස් මහත්මියගේ අදහස් හා යෝජනා නොසලකා හැරීම හේතුවෙන් ඇති වූ ගැටළුකාරී තත්වය බවයි.
පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් උතුරු ප්‍රදේශයේ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර ඇති අතර, ඇය විසින් එම මාතෘකාව සභාවට ඉදිරිපත් කළ සෑම අවස්ථාවකදීම පුංචිහේවා මහතා හා මොහොමඩ් මහතා විසින් ඒ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා ඇති අතර, සෑම විටම ඇගේ යෝජනා හා අදහස් නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇය සිය බලවත් විරෝධය කොමිසමේදී අවස්ථා ගණනාවකදී දක්වා ඇත. කෙසේ වෙතත් සිය අදහස් නොසලකා හැරීම නිසා තව දුරටත් තමන්ට මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ලෙස කටයුතු කළ නොහැකි බව චාල්ස් මහත්මිය විසින් දන්වා ඇති අතර, අනතුරුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති මැතිවරණ කොමිසම පවසන්නේ චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිදු ලිපියක් හෝ එහි පිටපතක් මැතිවරණ කොමිසම වෙත ලැබී නොමැති බවත්, පළාත් පාලන මැතිවරණය කිසිදු අඩාලවීමකින් තොරතු සැලසුම් කර ඇති ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවයි. ඒ අතර මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කොමිසන් සබාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාර වරින් වර නිර්මාණය කරන බවයි.
කෙසේ වෙතත් පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම අසත්‍ය ප්‍රචාරයක් නොවන අතර, ඇයගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත ලිඛිතව ලබා දීම මේ වන විටත් සිදුව අවසන්ය. මේ තත්වය මත මේ වන විට මැතිවරණ කොමිසම බරපතල අර්බුදයකට පත්ව ඇති අතර, මැතිවරණය පැවැත්වීමේ දින නියම කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට ද මෙය බලපා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මැතිවරණ කොමිසමට සිදුව ඇත්තේ ”මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී” යන ආප්තෝපදේශයට මුල් වු ගමරාට සිදු වී දේය. ගමරාල දැනට ජාමේ බේරාගන්න මාධ්‍ය නිවේදන පිට නිවේදන ගහන්න පටන් ගෙන තිබේ. නමුත් කවර මොහොතක හෝ ගමරාලට යථාර්ථයට මුහුණ දීමට සිදු වනු ඇත. එහෙත් ඒ වෙනකොට අස්සයා ගවු ගාණක් දුරට ගොස් තිබිය හැකිය. අපට කියන්න ඇත්තේ එතකොට නං ගමයෝ ඉස්තාලෙ වහන්න ට්‍රයි කළාට වැඩක් වෙන්නෙ නෑ.. කියාය.

රිද්ම අනුරාධ ගමගේ

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *