ඡන්දය නිසා රනිල් දැනටමත් දිනුම්
මාර්තු 09 වෙනිදා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කර මාර්තු 10 වෙනිදා රනිල්ව එළවනවා කියා ජවිපෙ නායක අනුර කුමාර කිව් කතාවක් පසුගියදාක අසන්නට තිබිණි.
ව්‍යවස්ථාපිත නීතිය අනුව රාජ්‍යය මෙහෙයවීම සඳහා නැතිනම් ආණ්ඩුකරණය සඳහා අවශ්‍ය බලය අත්පත් කරගැනීම වෙනුවෙන් වන මහජන සම්මුතිය ඇත්තේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයට යටත්වය. එහෙත් මැතිවරණයට මුහුණ දෙන ගමන්ම පිළිගත් නීතිය බල්ලට දමා පාලකයන් පැන්නීම ගැන අනුර කුමාරලා කතා කිරීම පරස්පර තත්වයකි. අරගල කාලයේ මෙහෙම ත්‍රාසජනක කතන්දර ගොඩක් ඇසිණි. එසේම ක්‍රියත්මක වීම්ද තිබිණි.
ත්‍රස්තවාදී හෝ ප්‍රචණ්ඩ භාවිතයන් මඟින් මෙහෙම රාජ්‍ය බලය අත්පත් කරගැනීම ලෝකයට අලුත් දේවල් නොවේ. මෙරටට ද අලුත් දේවල් නොවේ. නමුත් විය යුතු දේ එය නොවේ. ගෝත්‍රික යුගවල භාවිතය වූයේ බාහු බලයෙන් හෝ අවි බලයෙන් ප්‍රජාව තුළ නායකත්වය අත්පත් කරගැනීමෙ ක්‍රමවේදයය. ශක්තිවන්තයා ජය ගැනීම යන්න අර්ථවත් වූයේ අනෙකා මරා දමා හෝ අඩපණ කර හෝ බලය ලබාගැනීමේ අශිෂ්ඨ සම්ප්‍රදායය. රාජ්‍ය පාලනයට හෝ ප්‍රජාවක් පාලනයට බාහු බලය හෝ අවි හැසිරවීම තුළින් ජය ලැබීම බලලෝභී අවශ්‍යතාවය මිසක් රාජ්‍ය හෝ ප්‍රජාව හෝ මුහුණ දෙන ගැටළුවලට හෝ ප්‍රගමනය සඳහා අවශ්‍ය විසඳුම නොවේ. ඒ යෙදවුණේම තමන්ගේ කණ්ඩායම තමන්ගේ නායකත්වය ජයග්‍රහණය කර බලය සියතෙහි තබා ගැනීමේ පෞද්ගලින සංතෘප්තිය වෙනුවෙන් බව ලෝක ඉතිහසයේ ඔප්පු කර ඇති සත්‍යකි. ත්‍රස්ත උපක්‍රම, කුමන්ත්‍රණ වලින් බලයට පැමිණි වුණට සිදු වූයේත් තවත් එවැනිම ත්‍රාඩ බලයකින් විනාශයට පත්වීම් පමණි. අර්බුදයන් නිර්මාණය කරන්නෝ ඒ අර්බුදය විසින්ම විනාශයට පත් කරයි කියන්නේ එම නිසාය.
බුදුන් වහන්සෙ ලිච්චවිවරුන්ට උපදෙස් දුන්නේ ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වන ලෙසය. සාමකාමීව රැස් වෙන්න, සාමකාමීව කතා බහ කරන්න සාමකාමීව ප්‍රශ්නයට විසඳුම් සොයන්න, සාමකාමීව විසිර යන්න කියන ශිෂ්ඨ සම්පන්න භාවිතයට යොමුවන ලෙසය. අසාධාරණ, අයුක්ති සහගත භාවිතයක් වන ගෝත්‍රික ම්ලේච්ඡත්වය, ප්‍රචණ්ඩත්වය කළහාකාරිත්වය ප්‍රශ්න විසඳීමේ නිවැරදි මාර්ගයක් නොවන බව නූතන ලෝකයේ පිළිගත් පිළිවෙතයි. රටකට හෝ ප්‍රජාවකට ආචාර ධර්ම, නීති පද්ධතියක්, යුක්තිය පසිඳලීමේ ක්‍රමයක් තිබිය යුතු බවට මහජන සම්මුතීන් ඇති වූයේ මේ ගෝත්‍රික බවෙන් ඉවත්ව ශිෂ්ඨාචාරයන් ගොඩනැගීම මානවවාදී අවශ්‍යතාවයක් ලෙස සලකාය. පුද්ගල නිදහස, පුද්ගල අයිතිය, සමාජ සාධාරණත්වය වඩාත් උත්කෘෂ්ඨ කොට සලකමින් නූතන ලෝකය කටයුතු කරමින් තිබෙන යුගයක යළි ප්‍රචණ්ඩ භාවිතයටම ඇදී යාම පිළිගත හැකි නොවේ.
සත්ව වර්ගයා ස්වභාවයෙන්ම තමන්ට හානියක් වන විට නැතිනම් බියට පත්වීම තුළ ප්‍රචණ්ඩ වීම ස්වභාවික තත්වයකි. මිනිසා අනෙක් සත්ව කොට්ඨාෂයන්ගෙන් වෙනස් වූයේම මේ සත්ව ස්වභාවයෙන් ඔබ්බට ගොස් වඩා සාධාරණ ක්‍රමයකට මාරුවීමේ මානුෂික හැකියාව සහිත වීම නිසාය. ඒ නිසා වඩා සාධාරණ ක්‍රමවේදයන් නිර්මාණය කරමින් විශ්ව සම්මුතීන් ඇති කරගෙන සියලු දෙනාගේ නිදහස අයිතීන් සුරකින මානුෂීය ලෝකයක් වෙනුවෙ නූතන මිනිසා පෙනී සිටියි. තවදුරටත් ඒ තත්වයන් සංවර්ධනය කරගෙන ඉදිරියට යෑමේ අවශ්‍යතාවයත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමත් අදත් දකින්නට ලැබෙන්නෙකි. එහෙත් ඒ ඉදිරිගාමී තත්වයන් නොතකා අත්හැරිය යුතුව තිබෙන ගෝත්‍රික භාවිතයන් කර පින්නාගෙන කටයුතු කරන දේශපාලන කල්ලි කණ්ඩායම් මේ රට තුළ ක්‍රියාත්මක වීම රටේ අශිෂ්ඨකම පෙන්වන සලකුණුය.
කොහොම නමුත් පසුගිය අරගල සමය කියන්නේ ගෝත්‍රික භාවිතයන් උත්කර්ෂය නංවමින් කටයුතු කළ කාලයකි. රටේ පාලන බලය කොල්ල කෑම වෙනුවෙන් ම්ලේච්ඡ භාවිතයනට යොමු වූ යුගයකි. තමන්ගේ සතුරා ලෙස සැලකූවන්ගේ ගෙවල දොරවල් යාන වාහන දේපොළ විනාශ කර, පුද්ගලයන් මරා දැමීම දක්වා තත්වයන් වර්ධනය විය. මේ සියල්ල සිදු වූයේ අරගලයේ නාමයෙනි. අරගලකරුවන්ට අවශ්‍ය වූයේ මළකඳන් මතින් හෝ රාජ්‍ය බලයය.
රටේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසිකර එයට එපිටින් ගොස් බලය ඩැහැගැනීමේ කුමන්ත්‍රණ දියත් විය. කණගාටුවදායක තත්වය නම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා කියන කණ්ඩායම්ද මේ තුළ ත්‍රියාත්මක වීමය. ජනාධිපති මන්දිරය එම කාර්යාලය, අරලිය ගහ මන්දිරය එම කාර්යාලය වැනි රාජ්‍ය බලය මූර්තිමත් වන මර්මස්ථාන අත්පත් කරගැනීම සිදුවිය. පාර්ලිමේන්තුව පවා අත්පත් කරගන්නා තැනට පත් විය. යම් ලෙසකින් එදා මේ අරගලකරුවන්ය කියන ත්‍රස්ත්වාදී රංචු ගැසීමට රාජ්‍ය බලය අත්පත් කරගැනීමට හැකි වූවා නම් අද රටේ තත්වය කෙතරම් ඛේදනීය විය හැකිව තිබුණාද යන්න ගැන අද කිසිවකුත් කල්පනා කරන්නේ නැත. බාහු බලයෙන අවි බලයෙන් කෙරෙන පාලනයක් තුළ මිනිස් නිදහස සහ අයිතිය මුලින්ම විනාශ වෙනු ඇත. අනෙක අරගලකරුවන්ගේ මුග්ධ බව, නොමේරු බව, තක්කඩිකම් සහ කඩිකුලප්පුව නිසා ඒ මොහොතේ රට මුහුණ දෙමින් තිබූ අර්බුද තවදුරටත් තිව්රවීමට විශාල ඉඩත් තිබිණි. අර්බුද විසඳාගැනීම ගැන කිසිදු අදහසක් නොතිබූවන්ට ඊට මුහුණ දී එය ජය ගැනීමේ කිසිදු හැකියාවක් නොපෙන්වන තත්වයන් හමුවේ කවර විනාශයක් සිදු විය හැකිව තිබුණාද? තමන් දරණ මතයට වෙනස් අදහසක් දරණ වුන්ට අරගල භූමියට පැමිණීමට ඉඩ නොදී පහර දී එළවා දමන තත්වයක් තුළ රාජ්‍ය බලය අත්පත් කරගත්තා නම් අනිවාර්යයෙන් සිදුවන්නේ වෙනස් මත දරණ සියලු දෙනා විනාශකර දැමීමය. එහෙනම් අද හිරගෙවල් පිරෙන්නේ වෙනස් මත දරන්නන්ගෙනි. රට පුරා මිනි කඳු ගොඩගැසෙන්නට ඉඩ තිබිණි. විශාල දේපොළ ප්‍රමාණයක් කුඩු පට්ට්ටම් කර ගිනි තබා විශාශ කරනු ඇත. ඒ කෙසේ වෙතත් මිනිස්සු ආහාර නැතිව බඩගින්නේ මිය යනු ඇත. බෙහෙත් ටික නැතිව මිනිස්සු මිය යනු ඇත. තෙල් ගෑස් විදුලිය නැතිව රටම අකර්මන්‍ය වෙනු ඇත. රටටම අඳුරේ තිබෙනු ඇත. ඇතැම් විට රට තවත් රටකට අත්පත්කර ගැනීමේ හැකියාවක් වුව ඇතිවිය හැකිව තිබිණි.
එහෙත් රටේ වාසනාවකට, රටේ මිනිස්සුන්ගේ වාසනාවකට කවර තත්වයන් මත හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්වීම මත රටට අත්පත් වීමට නියමිතව තිබූ කාලකන්ණි දසාව මඟ හැර යළි නිවැරදී දිසාවට නැතිනම් නිවැරදි පාරට රට ඇද දැමීම සිදු විය. ජනාධිපතිවරයා ලෙසත් ඔහුගේ පාලනය යටතේ ගෙවුණු මාස කිහිපය යනු මෙරට ඉතිහාසයේ අභියෝගත්මකම, වඩාත්ම දුෂ්කර තීන්දු තීරණ රැගෙන රට යළි ගොඩනැංවීමේ මාහාර්ඝ කටයුත්තට උර දුන් කොන්ද පණ ඇති නිවැරදි නායකත්වයක යුගයකි. වැදගත්ම දේ රට යළි ශිෂ්ඨ සම්පන්න භාවිතයක් වෙත තල්ලු කිරීමය. ජනපති රනිල් නිතරම කීවේ ව්‍යවස්ථාවෙන් පිටත කටයුතු කරන්න ඉඩ නොදෙන බවය. එසේම ඔහු ඒ සිදු කළේය. ව්‍යවස්ථාව යනු ආණ්ඩුවක් වෙනුවෙන් හෝ ආණ්ඩුවේ නායකයන් රකින්න හෝ තිබෙන ලියැවිල්ලක් නොවේ. එහෙම වැරදි තේරුම් ගනනාවකුත් අරගලකරුවන් සමාජ ගතකර තිබෙන නිසා එය යළි සිහිපත් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මේ රටේ මූලික නීතියය. එය මහජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සහතික කරන මහජන සම්මුතියකි. රටේ සියලූම නීති රීතීන් පදනම්ව තිබෙන්නෙ ඒ මතය. ඊට පාලකයාද යටත්ය. අද පුරවැසියා බුක්ති විදින නිදහස, අයිතිය පදනම් වන්නේ ව්‍යස්ථාව මතය. කොටින්ම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව යනු පුරවැසියාගේ බලය මූර්තිමත් කරමින් පුරවැසියාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පවතින උත්තරීතර ග්‍රන්ථය ලෙස සැලකුවට වැරදි නැත. මෙය ආගමිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථයකට වඩා වැදගත් ලියවිල්ලකි. ජාති ආගමික හෝ වෙන කවර අනන්‍යනතාවයන් සහිතව මේ රටේ පුරවැසියන් කටයුතු කළත් ඒ සෑම පුද්ගලයකුටම සමාන අවස්ථා ලැබෙන්නේ ඒ අනුවය. මේ ව්‍යවස්ථාව නම් මහජන සම්මුතියට එරෙහිව යමකු කටයුතු කරන්නේ නම් එහි අදහස රටට සහ පුරවැසියාට ද්‍රෝහී වීමක් ලෙසය.
කොහොම නමුත් මානව වර්ගයා දිනෙන් දිනම සිය බුද්ධිමය නිම් වළලු පුළුල් කරගනිමින් සංවර්ධනය වෙමින් පවතින විට මේ ලියැවිලල්ද වැඩි දියුණු විය යුතුය. ඒ සංශෝධනයන් වෙමින් වඩාත් යහපත් ලෙස ගොඩනැගීම විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය වීම කියන්නේ රටක ජනතාව වඩාත් ඉදිරිගාමී ලෙස කටයුතු කරනවා කියන එකය. නමුත් වැරදීම් සිදුව තිබේ. ඒ බලය අනිසි ලෙස පාවිච්චි කරන්නට, බලය අනිසි ලෙස රැකගැනීමට ව්‍යස්ථාව වෙනස් කරන්නට යෑම නිසාය. නමුත් ඒවාට පැවැත්මක් නැති බව මෑත ඉතිහාසයේම හොඳ උදාහරණ දෙකක් ඇත. ඒ 18 වෙනි සංශෝධනය සහ 20 වන සංශෝධනය මඟින් ජනාධිපති තනතුරට ඒකාධිපති බලයක් ඇතුළත්කරගත් පාලකයන් දෙදෙනාටම මහජන අප්‍රසාදයට, පිළිකුලට, විරෝධයට පාත්‍ර වී තනතුරෙන් පහ කරන තැනට පත් වීමය. ඒ අනුව කිව යුත්තේ ව්‍යවස්ථාව අවභාවිතා කරන්නට හෝ ඒ නොතකා කටයුතු කරන්නට යම් මොහොතක් දකවා මිසක් ඉදිරි පැවැත්මක් නැති බවය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශක්තිමත් කරමින් පුරවැසියා කෙරෙහි වඩාත් යහපත් ලෙස ක්‍රියාකරන තැනට පත් කිරීම වෙනුවෙනි. ජනාධිපති තනතුරෙහි විධායක බලතලද කප්පාදු කරමින් ජනතාව ආණ්ඩුකරණයට වඩාත් සමීප කරන ක්‍රමවේදයන් සකස් කරමින් වඩාත් ජනතාවාදී වඩාත් මානවවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කරමින් රටේ අර්බුද ජය ගැනීම වෙනුවෙන් ඔහු කටයුතු කරමින් තිබේ. එය ආදර්ශයෙන්ම පෙන්වමින් එහි සාර්ථකත්වය ද පෙන්වාද තිබේ.
මෙවර පළාත්පාලන මැතිවරණය කියන්නේ ඒ සාර්ථකත්වයේ තවත් පියවරකි. මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමෙහි ආර්ථිකමය දුෂ්කරතාව නිසා යම් අර්බුදයක් හටගෙන තිබුණත් රටම මැතිවරණයකට සූදානම් කරන තැකට පත්කිරීම ඉතා වැදගත්ය. ඒ ප්‍රචණ්ඩ අරගල මාවතට වැටී තිබුණු රට, ගෝත්‍රික ම්ලේච්ඡ භාවිතයකට යමින් තිබු රට, ව්‍යවස්ථාපිත නීතිය යටතේ වන බලය හුවමාරු කරගැනීමේ ශිෂ්ඨසම්පන්න ක්‍රමය දක්වා හැඩ ගැස්සවීමට හැකිවීමය. එය මේ මොහොතේ රට ලත් ජයග්‍රහණයකි.
ත්‍රස්තවාදීන් ලෙස හැසිරෙමින් රාජ්‍ය බලය අත්පත්කරගැනීමට කැසකෑ අරගලකරුවන් කියන අය, ඊට උල්පන්දම් දෙමින් පටු දේශාපලන වාසි ගැනීමට තැත් කළ දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම්ද අද මැතිවරණය පිළිගනිමින් ඒ නීතිය යටතට පත්ව තිබේ. නමුත් තවමත් සිය ගෝත්‍රික සිතුම් පැතුම් වලින් ගැලවීමට නොහැකි කිහිප දෙනෙක් රනිල්ට ගහලා පන්නනවා, ආණ්ඩුවට ගහලා පන්නනවා, ඡන්දේ ඉල්ලන්න එන වුන්ට ගහලා පන්නනවා වැනි කතා කීවද සමස්තයක් ලෙස රට ශිෂ්ඨ සම්පන්න භාවිතයට රැගෙන ආවේ රනිල්ය.
ඒ අනුව මෙවර මැතිවරණය තවත් වාර්තාවක් තබා ඇත. ඒ වැඩිම පිරිසක් මහජන නියෝජිතත්වය වෙනුවෙන් පෙනී සිටින මැතිවරණය මෙය බවට පත්ව තිබෙන නිසාය. දේශපාලන පක්ෂ වලට වඩා අති විශාල පිරිසක් ස්වාධීන අපේක්ෂක කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් වීම තුළින් මුර්තිමත් වන්නෙත් ශිෂ්ඨ සම්පන්න භාවිතයෙහි වැදගත් කමය. බොහෝ කොටඨාෂවල අපේක්ෂකයෝ දහය දොළහ ඉදිරිපත්ව සිටී. ගමට මහජන නියෝජිතයකු පත් කරගැනීම වෙනුවෙන් විශාල පිරිසක් ඉදිරිපත්ව තිබීම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් වෙනුවෙන් ජනතාවගේ ඇති කැමැත්ත උනන්දුව සහ සහභාගිත්ව වුවමණාව පෙන්නුම් කිරීමකි. නමුත් මෙහිදී කොට්ඨාෂයේ කුඩා ඡන්ද සංඛ්‍යාව දහ දොලොස් දෙනෙකු අතර බෙදී යෑම සිදුවෙනු ඇත. ඒ ඒ අපේක්ෂකයාට ලැබෙන ඡන්ද පැහැදිලි අඩුවක් වාර්තා විය හැකිය. ඒ නිසා දැන් කෙරෙන මැතිවරණ ප්‍රතිපළ පූර්වාකථන අතිශයෝක්තින් මිස ප්‍රතිපලයට ආසන්න නොවනු ඇත. අනෙක ගමේ ඡන්දය බොහෝවිටම ගමේ හිතවතාට, ඥාතියාට, යාලුමිත්‍රකම අනුව බෙදී යයි. පක්ෂ දේශපාලනය ද්විතික කාරණයකි. නමුත් රට මුහුණ දී තිබෙන අර්බුද හමුවේ ඊට විසඳුමක් වෙනුවෙන් යම් ප්‍රතිපත්තිමය කාරණා මත පදනම්ව ඡන්දය පාවිච්චි වීමක්ද අපේක්ෂා කළ හැකිය.
එය කවරක් වූවත් මෙම මැතිවරණය ජාතික වශයෙන් වැදගත් දේශපාලනික තීරණයක් ලෙස සැලකිය නොහැක. මෙය ගමේ වැඩකි. ගම හදාගන්න ගමට නියෝජිතයෙක් පත්කරන වැඩකි. නමුත් වැදගත්ම දේ එමඟින් ප්‍රචණ්ඩ අරගලයෙන් මතු කළ, ව්‍යවස්ථාවෙන් පිටත බලයක වුවමණාව, අරගලය තමයි නීතිය කියමින් නීතියට එරෙහිව කටයුතු කිරීමේ ත්‍රාඩ දේශපාලන වුවමණාව තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීමකි. ජනාධිපති රනිල් මේ තැනට රට ගෙනාවේ බාහු බලයෙන් හෝ අවි බලයෙන් හෝ නොවේ, ව්‍යවස්ථාව පිළිගෙන ඊට ගරුකරමින් ඊට අනුකූලව ගත් නිත්‍යානුකූල ක්‍රියාමාර්ග අනුවය. මෙම මැතිවරණය පැවැත්වුවා හෝ නොවූවා මේ වන විටත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ජයග්‍රහණය කර ඇත. එය රටට ලබා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඒ අනුව මෙය ඔහු ලැබු ජයග්‍රහණයක් වනවා මෙන්ම අද රනිල් ජනාධිපතිවරයා ලෙස ඉටු කරමින් සිටින කාර්යභාරය රටේ ඓතිහාසික සංධිස්ථානයක් බවට පත්වීමකි.
ජවිපෙ හෝ වේවා අන් කවර කණ්ඩායමක් වුව මාර්තු 09 වෙනිදායින් පස්සෙ රනිල් ඉවරයි හෝ ඔහුව පන්නවා යැයි කීම ගෝත්‍රික වුවමණාවක් මිස එහි දියුණු දේශපාලනික අරුතක් නැත. එසේම නීත්‍යනුකූල තත්වයන් යටතේ එසේ වීමේ ඉඩක් කොහෙත්ම නැත. ඊට ජනාධිපතිවරයා අවස්ථාවක් ලබා නොදෙනුද ඇත. මන්ද ඔහුගේ දේශපාලනය පදනම් වන්නේම රටේ ව්‍යවස්ථාව සුරක්ෂිත කරන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පමණක්ම වන නිසාය.
ඒ කොහොම නමුත් මැතිවරණය නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට වෙන අනර්ථයක් නැත. ආණ්ඩුවට සිදුවන දෙයක්ද නැත. ඒ තබා පළාත්පාලන ආයතන බලය අත්පත් කරගත්තා කියා වෙන්න නියමිත වෙනසක්ද නැත. මන්ද රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය ජයගන්නා තෙක් කරන්න කිසිවක් නොමැති නිසාය.
ජයතුංග බණ්ඩාර