මේ පාරත් කල් දාන්න ඡන්දයක් නැති වෙන ලකුණු

මාර්තු 09 වෙනිදාට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව කියමින් පසුගියදා මැතිවරණ කොමිසම විසින් එය කල් තැබීමට කටයුතු කළේය. එහෙත් පසුව ශේෂ්ඨාධිකරණය හමුවේ මැතිවරණයට මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පවරණු ලැබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් මත, 2023 අයවැය යෝජනා මඟින් 2023 පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත මාර්තු 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය. එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම ද වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු තහනම් නියෝගය පදනම් කරගෙන විපක්ෂය සහ මාධ්‍ය තුළින්ද ප්‍රචාරය වූයේ ශේෂ්ඨාධිකරණය මැතිවරණය පැවැත්වීමට නියෝග කළ බවත් ඒ අනුව දැන් රජයට මුදල් ප්‍රතිපාදන ඇතුළු සියලු පහසුකම් සලසා දීමට සිදු වනු ඇති බවත්ය. මෙය මහා ජයග්‍රහණයක් ලෙස සජබය ඇතුලුව සෙසු විපක්ෂ කොටස් ද සමරනු ලැබූ අයුරුත් දකින්නට තිබිණි. කෙසේ නමුත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබුවේ අතුරු තහනම් නියෝගයක් මිස පෙත්සමෙන් ඉල්ලා සිටින කාරණය සම්බන්ධ අවසන් තීන්දුව නොවේ. ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ශේෂ්ඨාධිකරණට ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල මැයි මස 26 වැනිදා පෙත්සම් විභාගය නැවත කැඳවන බවත් නියෝග කළේය. විපක්ෂය මේ දඟලන්නේ තවමත් තීන්දුවක් නොදුන් නඩුව තාවකාලික නියෝගයක් අල්ලාගෙනය.

මීට අමතරව රටේ බරපතල ආර්ථීක අර්බුදයක් තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම ද මේ වන විට ශේෂ්ඨාධිකරණය හමවේ පවතී. එහි නැවත කැඳවීම මැයි මස 11 වන දිනට නියම කර තිබෙයි. මේ අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 2ක් විභාග වෙමින් තිබේ. නමුත් මැතිවරණය පැවැත්වීම නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණය වන්නේ මෙම නඩු තීන්දු දෙක අනුවම නොවේ. මැතිවරණයට මුදල් ලබා දීම නොදීම ගැන ආණ්ඩුව කටයුතු කරන්නේ කෙසේද යන්න මෙහිදී අවසන් තීරණය වෙනු ඇත.

කෙසේ නමුත් ඒ අතර වාරයෙදී මැතිවරණ කොමිසම අප්‍රේල් 25 වන දින පළාත්පාලන මැතිවරණය පැවෙත්වෙන බව ප්‍රකාශයට පත්කර ඒ සඳහා වන ගැසට් නිවේදනද පළ කර ඇත. එමෙන්ම පසුගිය 08 වන දා අදාල අතුරු තහනම් නියෝගය මත පදනම් වී මැතිවරණය සඳහා මුදල් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසම මුද්ල අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබිණි. එසේම රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපතිනියට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබිණි.

මැතිවරණ කොමිසම එසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වන විට ව්‍යවස්ථාමය ගැටලුවක් මතුවන තත්වයක් මතුව තිබේ. අධිකරණයත් පාර්ලිමේන්තුවත් අතර ගැටුමක් දක්වා මේ වර්ධනය වන ස්වරූපයක් පසුගිය සතිය වන විට තිබිණි. මෙයට හේතු වූයෙ මාර්තු 7 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් මතු කළ කාරණයා නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවෙන් පැනනගින බලතල සහ වරප්‍රසාද උල්ලංඝණය වන අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය පාර්ලිමේන්තුව සතු වන බව මන්ත්‍රීවරයා පවසා සිටීයේය. ඔහු එසේ පවසා සිටියේ, රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පූර්ණ බලතල හිමිවන්නේ පාර්ලිමේන්තුවට බවත් ශේෂ්ඨාධිකරණයේ මාර්තු 3 වැනි දා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝග මගින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද සහ බලතල උල්ලංඝණය කිරීමක් සිදුවන බවට කරුණු පෙනවා දෙමිනි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149 සහ 150 ව්‍යවස්ථා මගින්,

(i) ඒකාබද්ධ අරමුදල ඇතුළුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවේ;
(ii) ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කර ගත හැක්කේ මුදල් අමාත්‍යවරයාගේ අස්සනින් යුත් බලපත්‍රයක අධිකාරය යටතේ පමණක් වන අතර
(iii) බලපත්‍රයක් නිකුත් කළ හැක්කේ එම මුදල් රජයේ නියමිත සේවාවක් සඳහා යෙදවීමට පාර්ලිමේන්තුව විසින් ඡන්දයදී සම්මත කිරීමෙන් පමණකි. යන්න ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම 2022 අංක 43 දරන විසර්ජන පනත මඟින් 2023 මුදල් වර්ෂයේ රජයේ ක්‍රියාකාරකම් සඳහා ඒකාබද්ධ අරමුදලට ලැබෙන බදු, අයබදු, වරිපනම් හා තීරුබදු සහ අනෙකුත් සියලුම ආදායම්වලින් මුදල් වෙන් කරනු ලැබ ඇති බවත්., එම පනතේ ම 7 වන වගන්තිය මගින් කලින් අපේක්ෂිත තත්ත්වයට වඩා ආදායම් ලැබීම අඩු නම්, කලින් බලය දෙනු ලැබූ වියදම් සීමා කිරීමේ බලය අමාත්‍යවරයා සතු වන බවත් පැවැසීය.

තව ද, 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 3 වන වගන්තියට අනුව රජය , වෙනස් වෙන ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් රජය මුහුණ දෙන මූල්‍ය අවදානම් පිළිබඳ විචක්ෂණශීලී කළමනාකරණය, රජයේ ණය අත්‍යන්ත මට්ටමට වැඩි නොකරන වියදම් සම්බන්ධ ප්‍රතිපත්ති සම්මත කිරීම. යන අරමුණු පිළිපැදිය යුතු බවත් අවධාරණය කළේය.

එසේම 10, 11 සහ 12 වගන්ති යටතේ, වසර මැද මූල්‍ය තත්ත්වය වාර්තාවේ ඇස්තමේන්තු ගත ආදායමේ හෝ මුදල් ප්‍රවාහයේ හිඟයක් පවතී නම්, මුදල් විෂය භාර අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව සමඟ කියවන 43(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, මෙම නීති සහ මූල්‍ය රෙගුලාසි බලාත්මක කිරීමේදී රාජ්‍ය මූල්‍ය පාලනය කරන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් පැහැදිලි කළේය.

එහෙත් ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිහිප දෙනෙකු විසින් නිකුත් කරන ලද අතුරු නියෝගය මගින් මෙම නීති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට සහ පාර්ලිමේන්තුව විසින් රාජ්‍ය මූල්‍ය පාලනය ශුන්‍යතාවට පත්කිරීමට උත්සාහ දරන බවත්, එය රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැවරී ඇති අනුල්ලංඝණීය බලතලවලට ද ඇගිලි ගැසීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රී වරයා නගන චෝදනාව වෙයි.

ඔහු තව දුරටත් පවසා සිටින්නේ, අතුරු නියෝගය මගින් 2023 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු බලාත්මක කිරීමට අපේක්ෂා කරන නමුත් අය-වැය ඇස්තමේන්තුව යනු නීතියක් හෝ නීතිමය ලේඛනයක් නොවන බවය. එය 2023 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තුවට සහායවීම සඳහා වන සාරාංශයක් පමණක් වන බවය. මෙම අතුරු නියෝගය පැනැවීම මගින් විසර්ජන පනත අභිභවා යමින් අයවැය ඇස්තමේන්තුවලට නෛතික වලංගුභාවයක් ලබා දීමට අපේක්ෂා කරන නිසා එමඟින් මෙම නියෝගය රාජ්‍ය මූල්‍ය පිළිබඳ විචක්ෂණශීලී කළමනාකරණයට ද බලපානු ඇති අතර එමඟින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ විධිවිධාන උල්ලංඝණය වන බවත් පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයාගේ මෙම කරුණු පැහැදිලි කිරීම අනුව අධිකරණය රාජ්‍ය මුදල් හැසිරවීම සම්බන්ධ නියෝගයක් ලබා දීම පාර්ලිමේන්තුව අභිබවා යන්නකි. මිට පෙර මෙවැනි ගැටලු පැන නැගි අවස්ථාවල දී ව්‍යස්ථාදයකය නැතිනම් පාර්ලිමේන්තුව අධිකරණයට ඉහළින් ඇති ආයතනයක් ලෙස පිළිගෙන කටයුතු කර තිබේ.

මීට පෙර පසුගිය පෙබරවාරී 23 වනදා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූවේ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා පවසා සිටියේ, ” ඕනෑම ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව අධිකරණය පිළිගන්නවා. නමුත් මුදල් කියන විෂය තිබෙන්නේ අධිකරණය යටතේ නෙවෙයි. ඒ නිසා එම විෂය සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට තිබෙන බලය බොහෝම සීමිතයි.” යනුවෙනි.

ඒ කෙසේ නමුත් දොලවත්ත මන්ත්‍රීවරයා ඉදිරිපත් කරනු ලැබූ කරුණු සහ වරප්‍රසාද කඩකිරීමේ ප්‍රශ්නය ගැන කථානායකවරයා විසින් පිළිගෙන එය පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඒ පිළිබඳ ගත යුතු තීරණය නුදුරේ පාර්ලිමේන්තුව ගනු ඇත.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකියනු ලබන ආයතනයක් වෙයි. මේ වන විටත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව මුහුණ දෙන ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති කතානායවරයා වෙත දන්වා ඇත. තව ද, මැතිවරණ කොමිෂන් සභාව එම ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට කළ යෝජනාවත් න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබීම මත එය තවදුරටත් තහවුරු වේ. ඒ අනුව දැන් මෙම ගැටළුව ඇත්තේ පාර්ලිමේන්තුව තුළය. එසේ තිබියදී අතුරු නියෝගය නිකුත් කළ විනිසුරුවරුන් එය නොසලකා හැර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එමෙන්ම 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මුදල් නිකුත් කිරීමට නොහැකියාව පිළිබඳ භාණ්ඩාගාර ලේකම් විසින් සිදුකළ දිවුරුම් ප්‍රකාශ ද අතුරු නියෝගය නිකුත් කළ අධිකරණය නොසලකා හැර ඇති නමුත් එය අනෙක් අධිකරණ විනිසුරු මඬුල්ල සලකා බලමින් තිබේ. මේ තත්වය අධිකරණය
අරාජිකත්වයට තුඩු දෙන ස්ථාපිත භාවිතයන් සහ සම්මතයන් උල්ලංඝණය කිරීමක් බවත් මන්ත්‍රීවරයා සිය ප්‍රකාශයෙන් පෙනවා දී තිබිණි.

අනෙක් කාරණය මැතිවරණ කොමිෂන් සභාව පාර්ශ්වකරුවෙකු නොවන පෙත්සම් විභාගයකදී මෙම අතුරු නියෝගය නිකුත් කර තිබීමත් ගැටළු සහගත බවත් එමගින් ස්වාභාවික යුක්තියේ මූලධර්මයක් උල්ලංඝණය කරන බවත් දොලවත්ත මහතා අවධාරණය කරයි..

තවත් විවාදාත්මක කරුණක් මන්ත්‍රීවරයා මතු කර තිබිණි. මෙම අතුරු නියෝගය නිකුත් කළ විනිසුරුවරයෙකු ශේෂ්ඨාධිකරණයේ අනෙක් විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාග වන එවැනිම නඩුවක පෙත්සම්කරුවකුට සම්බන්ධතාවයක් ඇති බවත් විනිසුරුවරයා එම සම්බන්ධය හෙළි කර නොමැති වීම මත්ය.

මේ අනුව අධිකර්ණය අතුරු තහනම් නියෝගය පැනවීම සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝණය වීම සම්බන්ධයෙන් ගැටුමක් ඇතිව තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන කරුණු අනුව පැහැදිලිය.

මේ අතර මැතිවරණ කොමසාරිස්වරයා මෙම අතුරු තහනම් නියෝගය පදනම් කරගෙන මැතිවරණය කැඳවීමත් ඒ වෙනුවෙන් මුදල් ඉල්ලා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දැන්වීමත් තවත් ගැටලුවක් වී ඇත. ඒ සම්බන්ධයෙන් පසුගිය 10 වන්ද පාර්ලිමේන්තුව හමුවෙ කරුණු දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එහිදී තවත් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

මේ සියළු කාරණා මත නඩුව විභාගයට ගෙන තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර අතුරු නියෝගය ක්‍රියාත්මක කර තීන්දුව පාර්ලිමේන්තු සභාගත කිරීම බරපතළ වරදක් බව ඔහු අවධාරණය කළේය. . මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයට යොමු කළ ලිපිය සභාගත කරමින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ එම ප්‍රශ්නයද ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට යොමු කර පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම වරප්‍රසාද කමිටුව සිය විමර්ශනය අවසන් කරන තුරු අදාළ සියලු රාජ්‍ය බලධාරීන් මේ සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට උපදෙස් දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ තත්වයන් අනුව මැතිවරණය අප්‍රේල් 25 වන් දින කැඳවීමට කටයුතු කර තිබුණත් එය නැවත කල් තැබීමට සිදුවන තත්වයක් පෙනෙන්නට තිබේ. පෙර වතාවේදීද ජනාධිපතිවරයා පවසා සිටියේ නීත්‍යනුකුලව මැතිවරණයක් කැඳවීම කර නොමැති බවය. මෙවරත් ඇත්තේ එවැනිම තත්වයක් බව පෙනෙන්නට තිබේ.

  • ප්‍රභාත් ජයසුමන