මැතිවරණයට බිය විය යුත්තේ ජනතාවය
“සාධාරණ ප්‍රශ්න පත්‍රයක් පෙන්නුවොත් ඡන්දය කල් දාන්න පුළුවන්. නමුත් තවත් අයට එහෙම තත්වයක් නැහැ කියලා අධිකරණයට යන්නත් පුළුවන්.කොහොම නමුත් අධිකරණයේ තීරණය මත තමයි සියල්ල තීරණය වෙන්නෙ.“
මේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ඊයේ පෙරේදා කියල තිබුණු කතාවකි. අපි කලින් සතියේ පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පොළොවෙ පය ගහල ජීවත් වෙන අය නොවන බවය. මේ අර්බුද මොහොතේ මැතිවරණයක් පැවැත්වීමේ අපහසුව ගැන කොමිසමට අවබෝධයක් නැත.
ඔවුන් කල්පනා කරන්නේ කොමිසමේ වගකීම මැතිවරණ තැබීම පමණක්ය කියන එක පමණය. නමුත් කොමිසමේ පාලනය යටතේ නැති බාහිර සාධක විසින් මැතිවරණයක් පැවැත්විය හැකි අවස්ථාවක් දෙනවාද කියන එක ගැන වගක් නැත.
කොහොම නමුත් ගිය සතියෙත් පැවැසූ ලෙස තෙල් සහ විදුලිය පිළිබඳ බරපතල ප්‍රශ්නයකට කොමිසම මුහුණ දී තිබේ. ලංකාවේ බරපතල ආර්ථික අර්බුදයක් තිබෙන බව නොදැන ඔවුන් තීන්දු තීරණ ගන්නා බව පෙනේනට තිබිණි.
ඉන්ධන සහ විදුලි සැපයුමට අදාල රාජ්‍ය නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කිරීමෙන් අනතුරුව අර්බුධයේ තරම ගැන දැනගැනීමෙන් පසු මහ බැංකු අධිපතිවරයාගෙන් ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් ඩොලර් සපයා දෙන ලෙස ඉල්ලා තිබිණි. රටේ අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් ගෙන්න ගන්න ඩොලර් හිඟයක් පවතින විට අමතරව මැතිවරණ විගඩමට ඩොලර් දෙන්න පිස්සුවක් මහ බැංකුවට තිබෙන්න විදිහක් නැත. එම නිසා මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊට පිළිතුරු සපයා තිබිණි.
”මැතිවරණ කොමසාරිස්තුමා මටත් ලියුමක් එවලා තිබ්බා..ඇත්තටම විශාල වශයෙන් පෝළිම් තිබෙන කොට අපි කරගෙන යන්නේ අත්‍යවශ්‍ය දේවල්වලට ප්‍රමුඛතාවය දෙන එක.”
මැතිවරණයට වියදම් කිරීමට මුදල් තිබෙනවා ද යන කාරණය විමසිය යුත්තේ මහ භාණ්ඩාගාරයෙන් බවත්, මුදල් වෙන් කිරීම මහා භාණ්ඩාගාරයේ කටයුත්තක් බවත්, භාණ්ඩාගාර ලේකම්වරයා ඒ ගැන උසාවියට ප්‍රකාශයක් කර ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබිණි.
දැනටත් ඉන්ධන නිකුත් කරන්නේ කෝටාවකටය. ඉන්ධන මිල ඉහළ යාමත් නිසා හිඟවීමත් නිසා ඉන්ධන ඉල්ලුම විශාල ප්‍රමාණයකින් අඩුවී ඇත. ඩොලර් හිඟතාවය නිසා යන්තම් හෝ පිරිමහගෙන ඉන්ධන ගෙන්වා ගැනීමට හැකිව තිබෙන්නේ ඒ අනුවය. එම වාසිය නොතිබෙන්න අදත් ඉන්ධන පොලිම් දැක බලා ගන්න හැකියාවක් තිබිණි.
විදුලිය ගැනත් ප්රශ්නය එයමය. විදුලි පාරිභෝජනය අඩකින් පමණ අඩුවී ඇත. එම නිසා එම ප්‍රමාණයට පමණක් විදුලිය නිපදවා ගැනීමට අවශ්‍ය ගල් අඟුරු ඇතුළු ඉන්ධන සපයා ගැනීමේ හැකියාව පමණක් ඇත. තවම පැය දෙකෙ තුනේ විදුලි කප්පාදුව සිදුවෙයි. උසස් පෙළ විභාගය නිසා අඛන්ඩව විදුලිය ලබා දෙන ලෙස කළ ඉල්ලීමටවත් විදුලි බල මණ්ඩලයට එකඟවීම අසීරු විය. ගල් අඟුරු හිඟය නිසා විදුලි අර්බුදයක් නිර්මාණය වීමේ අනතුරක් පසුගිය සතිය වෙනතුරුත් තිබිණි. එයට හේතුවත් ඩොලර් ප්‍රශ්නයය. මේ අර්බුදවලට සංවේදී නොවී මැතිවරණයක් පැවැත්වීමේ ගැටළුවට දැන් මැතිවරණ කොමිසම මුහුණ දී තිබේ.
කවුරු කිව්වත් මැතිවරණය කල් දාන්නෙ නැති බවට වහසි බස් දෙඩුවද දැන් අඩියක් පස්සට ගෙන සාධාරණ ප්‍රශ්න පත්‍රයක් තිබේ නම් කල් දමන්න එකඟ යැයි කියන්න සිදුව ඇත්තේ අර්බුදය ගැන යම් වැටහීමක් ලැබී තිබෙන නිසා විය හැකිය. මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා පෙර සතියේ කොමිසමට දැනුම් දුන්නේ මුදල් සෙවීමේ අසීරුතාවය ගැනය. නමුත් පසුව කෙසේ හෝ මුදල් සොයා දීමට කටයුතු කළ හැකි බව පසුව පවසා තිබිණි.
ඒ අනුව ඇතැම් විට මැතිවරණ කොමසාරිස්වරයාගේ වුවමණාව සන්තර්පණය කිරීමට රජය කටයුතු කරනු ඇතැයි කල්පනා කළ හැකිය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබුණේ මැතිවරණයට සූදානම් වන ලෙසය.
ඒ වන විටත් එජාපය මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා බාර දීම ආදී මුලික කටයුතු සිදුකර තිබුණත් එය කල් දමනු ඇති බවට තිබු අවිනිශ්චිත බාවය හමුවේ එය මැතිවරණ සටනට සූදානමක් වූයේ නැත. ජනාධිපතිවරයා මැතිවරණයට සූදානම් වන්න යැයි විශේෂයෙන් දැනුම් දීමට කටයුතු කළේ මැතිවරණය ස්ථිර වශයෙන්ම පැවැත්වීම සිදු වෙනු ඇති බව ජනාධිපතිවරයාද කල්පනා කරන නිසා විය හැකිය. කොහොම නමුත් මැතිවරණ පැවැත්වීම නොපැවැත්වීම ජනාධිපතිවරයාගේ කටයුත්තක් නොවේ. එය කොමිසමේ තීරණයකි.
රජය ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කළයුතු අතර එය කළ හැකිද නොහැකිද යන්න රාජ්‍ය නිලධාරීන්ට තීරණය කළ හැකිය. මේ අතර මැතිවරණය පැවැත්වීමේ අයහපත් ආදීනව ගැන කියා ඊට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අනුවත් මැතිවරණය පැවැත්වීම ගැන තීරණයට බලපා ඇත.
කොහොම නමුත් මැතිවරණය පැවැත්වීම නොපැවැත්වීම කෙසේ සිදු වූවත් මේ මොහොතේ රට මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය ජය ගැනීම ජනාධිපතිවරයා පවරාගෙන තිබෙන අත්නොහැරිය හැකි වගකීමක්වෙයි. ඔහු ඒ වෙනුවෙන් දන්නා සෙල්ලම් සියල්ලම දමමින් තිබේ. විපක්ෂයේ කිසිදු සහයෝගයක් නොමැතිව, බාධාකිරීම් මධ්‍යයේ හෝ මේ කටයුත්ත කිරීම ගැන ඔහුට වෙනම ස්තූතිවන්ත විය යුතුය.
විපක්ෂයේ සහයෝගය ජනපතිට නොලැබෙන්නේ මේ අර්බුද මොහොත දඩමීමා කරගෙන බලය වැඩි කරගැනීමේ බලලෝබී මෙහෙයුමක ඔවුන් සිටින නිසා පමණකි. එසේ නොමැතිව රනිල් වික්‍රමසිංහ හෝ ආණ්ඩුව දරණ ප්‍රතිපත්ති වල වෙනසක්, වැඩ පිළිවෙලෙහි වෙනසක් ඔවුන් පෙන්වා දෙන නිසා නොවේ. එහෙම පෙන්වා දෙන්න තරම් දේවල් කිසිවක් විපක්ෂය සතුව නැත. අද මේ මොහොත වන තුරුත් විපක්ෂයට කියන්න සිදුව ඇත්තේ රනිල්ගේ වැඩ පිළිවෙල ගැන පමණි. සජබයේ ආර්ථික ඔස්තාර්ලාත් රනිල්ගේ වැඩපිළිවෙලට එකඟය.
නමුත් ඊට සහයෝගය දෙන්නේ නැත. ඊයේ පෙරේදා ජවිපෙ තමන් කැඳවූ ආර්ථික සමුළුවේදී ජවිපෙ නායකයා විසින්ම අර්බුදය විසඳන්නේ කොහෝමදැයි පැහැදිලි කළේ රනිල්ගේ විසඳුම් ගොන්නම එකක් නෑර නැවත පවසමිනි. ඉන් පරිබාහිරව වෙන කතන්දර තිබුණේ නැත. සජබයටත් ජවිපෙටත් රනිල් සමඟ ප්‍රශ්නයක් නැත. නමුත් ප්‍රශ්නයක් ඇති බව පෙන්වීමට රනිල්ට ප්‍රශ්න විසඳන්න ජනවරමක් නැති බව කියමින් සිටී. ඒ නිසා රනිල් හෝ ආණ්ඩුව ක්‍රියාත්මක කරන නිවැරදිම විසඳුම වුව ඔවුන් බාරගැනීමට සූදානම් නැත.
ඔවුන් කියන්නේ ඒ විසඳුමම තමන් විසින් ක්‍රියාත්මක කළ යුතු බවය. මේ මොන විහිළුවක්ද කියා පැහැදිලිය. තමන් කොළොත් හරි රනිල් කොළොත් වැරදිය කියන මෝඩ චූන් තියරියකි. මෙහෙම ඒවා කුඩා දරුවෝ නම් කරති. ඒ හඬාදොඩා වැලපී හෝ වැඩිහිටියක් කරන වැඩක් තමන්ට පවරාගෙන තමන්ට ද යමක් කළ හැකි බව පෙන්වීමට.
විපක්ෂය දැන් හැසිරෙන්නෙත් මේ බාලයන් මෙනි. ඒ අනුව රනිල් නැති දේශපාලනයක් මේ මොහොතේ රටේ තිබුණා නම් විපක්ෂයට වෙන්නෙ කුමක්ද කියා සිතාගන්නට නොහැකිය. කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද කියා තමන්ගේ මතයක් නැති විපක්ෂය අද යැපෙන්නේ රනිල්ගෙනි. අද ඔලුව උස්සලා අරක තමයි මේක තමයි විසඳුම කියා විලි ලැජ්ජාවක් නැතිව වේදිකා ගානේ කියන්න පුළුවන් වී ඇත්තේ රනිල් කලින්ම විසඳුම ප්‍රකාශ කර ක්‍රියාත්මක කරමින්ද සිටින නිසාය. නමුත් රනිල් අවශ්‍ය විසඳුම් සියල්ල ගෙන තිබෙන බව කියන්නේ නැත. ඒ කුහකකම සහ තක්කඩිකම නිසාය.
මේ නිසා මැතිවරණයකින් බලය හුවමාරු වුණත් ( පළාත්පාලන මැතිවරණයෙන් එසේ සිදුවීමේ ඉඩක් කොහොමත්ම නැත) රනිල් කියන කරන දෙයක් අනුව සියලු කටයුතු සිදු කිරීමට වෙනවා හැර විපක්ෂයට කළ හැකි අමුතු දෙයක් නැති බව පැහැදිලිය. කවුරු බලයේ සිටියත් ආර්ථික අර්බුදයෙන් ගැලවීම වෙනුවෙන් රනිල් ක්‍රියාත්ම කරන මූලික මූලධර්ම අනුගමනය කළ යුතු වෙයි. මහ බැංකු අධිපතිවරයාද මෙය අවධාරණය කර තිබිණි.
”අපේ පැත්තෙන් අපි දකින්නේ ෂඵත් හරහා මේ වගේ සංකීර්ණ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනකොට අමාරු ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීම කවර හෝ රජයකින් ක්‍රියාත්මක වෙන්න ඕනේ….මේ වගේ ආර්ථීක අර්බුදයකින් ගොඩ එන්න වේදනාකාරී ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරන්න වෙනවා. දැනට කරගෙන ගිය ක්‍රියාවලිය සෑහෙන්න සාර්ථක වෙලා ඉදිරියට ඇවිත් තිබෙනවා. මේක දිගටම ඒ ආකාරයට ක්‍රියාත්මකවීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.. මැතිවරණය තිබ්බත් නැතත්.”
මේ තත්වයන් හමුවේ විපක්ෂයේ රනිල් විරෝධය යනු තම ඡන්දදායකයා රවටන තත්කඩි මැතිවරණ ප්රචාරක උපක්‍රමයකට වඩා දෙයක් වෙන්නේ නැත. එහෙම නොවේ නම් තනිකර ගොබ්බකමය. මුග්ධභාවයය. කවර තත්වයක් යටතේ වුවත් මැතිවරණය පවත්වා තමන්ගේ ගොඩවැඩිකර ගැනීමේ වුවමණාව පමණක් විපක්ෂයට තිබෙන බව මේ අනුව පැහැදිලිය. ඒ ජඩ දේශපාලනයේ හැටිය. ඒ ගැන තවත් කතා කළ යුතු දෙයක් නැත.
මේ අතර මැතිවරණය කල් යෑමක් ගැන කසුකුසුව තිබෙන අතරේ මැතිවරණය කල් දැමීමට යමෙකු කටයුතු කරනවා නම්, මැතිවරණ කල් දමන සෑම පාලකයකුටම උරුම වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය බව තමාගේ පෞද්ගලික අදහස යැයි මැතිවරණ කොමසාරිස් වරයා පවසා තිබිණි. ඒ ජනපති රනිල් ඉලක්ක කරගෙන කරනු ලැබු දේශපාලනික ප්‍රකාශයක් බවත් පැහැදිලිය. විපක්ෂය විසින් මැතිවරණ කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට කරන ප්‍රකාශයට සමගාමී ප්‍රකාශයකි.
එහෙත් රනිල් කරමින් සිටින්නේ ඉතිහාසයේ කුණු බක්කියට වැටෙමින් තිබු ශ්‍රී ලංකාව එයින් එළියට ගැනීමට වෙරවීරිය දැමීමකි.
ඒ රටට යහපත් කලදසාවක් යළි ඇති කිරීම වෙනුවෙනි. ඒ සඳහා මැතිවරණයක් අවශ්‍ය නම් ඊට බාධා කිරීමක් රනිල්ගෙන් සිදුවන්නේ නැත. බලය තමන් සතුව තිබියදීත් ඒ අත් හැරීමේ ආදර්ශයන් කිහිප වතාවක්ම පෙන්වා තිබෙන රනිල්ට මැතිවරණ ගැන බියක් නැත. නමුත් පළමු වැදගත්ම සහ අත්‍යවශ්‍ය අනිවාර්ය කාරණය වන්නේ සියල්ලට පෙර යළි රට දෙපයින් නැගී සිටුවීමය. එය නොවේ නම් මැතිවරණ පිට මැතිවරණ තැබුවත් පළක් නැත.
මෙවැනි අර්බුද අවස්ථාවල විපක්ෂ කොටස්වල නැතිනම් ජනඅරගලවල ඉල්ලීම පිට මැතිවරණ තබමින් විසඳුම් හොයන්න ගිය රටවල් වලට අත් වූ ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැත. හොඳම උදාහරණය දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක් වූ ග්රීසියය. රටේ ආර්ථික අර්බුදය වෙනුවෙන් ගත යුතු වඩාත් නිවැරදී යෝජනා ජාතන්තර මුල්‍ය අරමුදලේ සහය ඇතිව තීන්දු කරගෙන සිටි එවකට ග්‍රීසියේ ආණ්ඩුවට එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබා බලයෙන් පහ කෙරෙනි. ඉන් පසුව පැමිණි පාලනයටද ගෙදර යන්න සිදු වුයේ මාස කිහිපයකිනි.
මෙලෙස වසර දෙකක් තුළ මහ මැතිවරණ පිට මැතිවරණ පහක් පමණ පැවැත්වූවත් මුලින් ගෙන ආ විසඳුමට වඩා දෙයක් ක්‍රියත්මක කිරීමට හෝ සොයාගැනීමට නොහැකි විය. එම කාලය තුළ වූයේ රට තවතවත් බංකොළොත් වී ජනතාව අති විශාල පීඩාවක්ට ගොදුරු වීම පමණි.
විපක්ෂයෙ පිස්සූ කෙලිම්වලට ඉඩ දුනහොත් මෙරටද විය හැකිව තිබෙන්නෙ එයම පමණි. නිවැරදි විසඳුමක් ක්‍රියාත්මකව ඒ අනුව වැඩ කටයුතු සිදුවෙමින් තිබියදී ඊට බාධා කිරීමක් සිදු නොවිය යුතුය. රට තවදුරටත් නරා වළක තැබිය යුතු නැත.
මේ මොහොතේ මැතිවරණය රට ගොඩගැනීමට බාධාවක් නම් එය කල් දැමීම වඩාත් ප්රජාතන්ත්රවාදී සහ ජනතාවාදී වෙනු ඇත. ඒ නිසා මැතිවරණ කොමසාරිස් කියන ලෙස මැතිවරණ නොපැවැත්වීම ඉතිහාසයේ කුණු බක්කියට වැටීමට හේතුවක් නොවේ. 17 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ස්වාධීන කොමිසන් සභා ක්‍රමය රනිල් විසින්ම යෝජනා කර පිහිටවුනු ලැබුවේ දේශපාලන අධිකාරියේ බලපෑම් වලින් තොරව රටට සාධාරණයක් කිරීම වෙනුවෙනි.
එහෙත් මැතිවරණ කොමිසමේ ක්‍රියාත්මක වීම විපක්ෂයට පක්ෂග්රාහී, ජනතා විරෝධී ස්වභාවයක් පෙන්වා තිබේ. මේ අනුව මැතිවරණ පවත්වා රටත් ජනතාවත් යළි පීඩාවට පත්කිරීමට එය හේතුවක්වුවහොත් කොමසාරිස්වරයාට නම් ඉතිහාසයේ කුණු බක්කියේ ළගින්න සිදුවෙනු ඇත.
ඝෝෂක