විභාගයට විදුලිය නැතිවීමේ අභාග්‍යය

පාසල් සිසුන්ගේ තීරණාත්මකම කඩඉමක් වන අ.පො.ස. උසස් පෙළ විභාගය පසුගිය 23 වන දින ආරම්භ විය. උසස් පෙළ විභාගයට සිසුන් 331,000 ක් පමණ පෙනී සිටින අතර මෙම කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන ලෙස පාර්ශ්ව රැසක් ඉල්ලීම් කර තිබුණ ද විභාග කාලයේදී ද විදුලි කප්පාදුව අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලයට හැකි වී නැත. දින දෙකක් පමණක් විදුලිය කැපීම අත්හිටවූ නමුත් මේ වන විටත් නැවත පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

උසස් පෙළ විභාගය කියන්නේ පාසල් සිසුන්ට පමණක් වැදගත් වන්නක් නොවේ. එය රටේ අනාගතය සම්බන්ධයෙනුත් වැදගත් කඩඉමකි. නමුත් ඒ වෙනුවෙන්වත් සලකා බලා විදුලිය අඛන්ඩව සැපයීමට විදුලි බල මණඩ්ලය අපොහොසත් වන්නේ අවශ්‍ය පමණට විදුලි උත්පාදනය කිරීමට අවශ්‍ය සාධක සම්පූර්ණ කර ගැනීමට නොහැකියාව නිසාය. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලිය නොකපා අඛණ්ඩව විදුලිය සැපයීමට නම් අතිරේකව දිනකට රුපියල් මිලියන 357ක් බැගින් දින 14ට රුපියල් බිලියන 5ක මුදලක් අවශ්‍යය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබුණි. ඒ ඉන්ධන වෙනුවෙනි. එවන් මුදලක් වැය කිරීමට අමාත්‍යංශයට හැකියාවක් තිබුණේ නැත. ඩොලර් මෙන්ම රුපියල් හිඟයකටද විදුලි බල මණ්ඩලය මේ මොහොතේත මුහුණ දී සිටී.

නමුත් මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති රජයට චෝදනා කළේ මේ වන විය ජල විදුලිය නිපදවන ජලාශවල ජලය පීරී ඇති බවත් එම නිසා එමඟින් අවශ්‍ය පමණට විදුලිය නිපදවා ගැනීමේ හැකියාව පවතින බවය. ජලාශ වල පිරී පවතින ජලය තිබෙන්නේ විදුලිය නිපදවීමට පමණක් නම් මේ වෘත්තීය සමිති පවසන ලෙස ඒ සිදු කළ හැකිය. නමුත් ජලය කළමනාකරණය කරගැනීමේ වගකීමක් මහවැලි අධිකාරියට තිබේ. විශේෂයෙන්ම ඉදිරි ගොවිතැන් කටයුතු වෙනුවෙන අවශ්‍ය ජලය රැස්කර තබා නොගතහොත් මුහුණ දීමට සිදුවන ආහාර අර්බුදය බරපතල වෙනු ඇත.

එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ නියං සමයක් ඇති වෙනු ඇති බවට දැනටමත් කාළගුණ දෙපාර්තමේන්තුව අණාවැකි පවසා ඇත. මේ තත්වයන් මත විදුලිය නිපදවීම වෙනුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශවලින් තවදුරටත් අමතර ජලය මුදාහැරීමට නොහැකි බව මහවැලි අධිකාරිය ද නිවේදනය කර තිබිණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ද පවසා තිබුණේ සැලකිය යුතු වර්ෂාපතනයක් පසුගිය දිනවල වාර්තා වන බවට අනාවැකි පළකර තිබුණත් එය බලාපොරොත්තු වූ ආකාරයට නොලැබුණු නිසා ජලාශවල ජල මට්ටම අපේක්ෂා කළ මට්ටමට ඉහළ ගොස් නැති බවයි. ජල විදුලිබලාගාර අයත් ජලාශවල ජල මට්ටම් සියයට 30කට වඩා අඩුවෙන් පවතින බවත් පවතින ජලය කළමනාකරණය කර ජල විදුලිය සඳහා ජලය මුදාහැරීමට කටයුතු කළහොත් ඉදිරියේදී පැය පහක, හයක තරම් දෛනික විදුලි කප්පාදුවකට යෑමට පවා සිදුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා තිබුණි. ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ජල විදුලි බලාගාර බැවින් මෙම ගැටළුව තරමක් සංකීර්ණ තත්වයට පත්ව තිබේ. එමෙන්ම මාසික විදුලි පරිභෝජනය ඒකක 30ට අඩු මෙරට විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 18ක් සිටින අතර ඔවුන්ට ප්‍රධාන වශයෙන්ම විදුලිය සැපයෙන්නේ ජල විදුලිය මඟිනි. මේ හේතුවෙන් යළිත් පැය දෙකයි මිනිත්තු 20ක දෛනික විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ද ඉල්ලා තිබුණි.

ශ්‍රී ලංකාව තුළ විදුලිය නිෂ්පාදනය කරන මූලාශ්‍රවලින් ලාභදායකම ප්‍රභවය වන්නේ ද ජල විදුලියයි. ජල විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 3-5ක් පමණ වැය වේ. ඉන්ධන මගින් විදුලිය නිපදවීමට රුපියල් 60-70ක් පමණ මුදලක් ද ගල්අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීමට රුපියල් 31-48ක් පමණ ද වැය වේ. පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගෙන නිපදවන විදුලි ඒකකයක මිල ගණනය වන්නේ රුපියල් 16.69ක පමණ මුදලක් ලෙසය.

මෙලෙස විදුලිය පිළිබඳ අර්බුදයක් ඇති රටක අවසන් ප්‍රතිඵලය වන්නේ විදුලි උත්පාදන සම්පත් අරපිරිමැසිමෙන් පාවිච්චි කරමින් විදුලිය යම් සීමාවක් ඇතිව කපා හැරීම ය. මේ අතරම නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමට අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණය ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරි මාස තුන තුළ ගල්අඟුරු නෞකා 21 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් පැවසේ. ජනවාරී මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟුරු නෞකා 7 න් නෞකා 5 ක් මේ වන විට ගොඩබා ඇති අතර ඉතිරි නෞකා දෙක මෙම මස තුළ ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් මෙම වසරේ සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල්අඟුරු නෞකා 33 ක් ලබාගත යුතුව බවත්, බැංකුවලින් ලැබෙන ණය පහසුකම්වල ප්‍රමාණය අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන බවත් විදුලිය අවම කප්පාදුවකින් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යංශ නිලධාරීන් පවසා ඇත.

ඊට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙන්ම දේශීය බැංකුවලට ද මිලියන ගණනක් ණය වී සිටි. ඒ අතරින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 106ක මුදලක් ගෙවිය යුතු බව ද විදුලි බල ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි. විදුලිබල මණ්ඩලය විසින් මෙලෙස ඛනිජ තෙල් සංස්ථාවට සහ අනෙකුත් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය නොගෙවන විට විදුලිය නිෂ්පාදනය සඳහා තෙල් ලබාගැනීමේ හැකියාවද නැති වන අතර ඒ හේතුවෙන් විදුලිය ද අර්බුදයකට පත් වේ. එය විසඳීමට නම් විනිමය සංචිත යහපත් මට්ටමක පැවතීම අනිවාර්යය. මේ වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලැබීමට නියමිත වුවද ඒ සමඟම ලැබෙන කොන්දේසි ද නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතු වේ. ඔවුන්ගේ නිර්දේශවලට අනුව නම් පාඩු පිට පවත්වාගෙන යමින් ජාතික ධනය විනාශකරන ක්‍රමවේදය අහෝසිකර විදුලි බල මණ්ඩලයට පාඩුවක් නොවන ලෙස විදුලි බිල වැඩි කළ යුතු වේ. මූල්‍ය අරමුදල කිව්වත් නැතත් විය යුතු දේ එයය. මන්ද මේ පාඩුව කොහොමත් ආවරණය වෙන්නේ ජනතා බදු මුදලින් නිසාය. නමුත් වෙනදා කළා සේ මේ සඳහා මහා භාණ්ඩාගාරයෙන් ද මුදල් ලබා ගැනීමට හැකියාවක් නොමැති අතර බංකොළොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කර ඇති රටකට විදෙස් ණය මුදල් ලබා ගැනීමට ද අවස්ථාවක් නැත.

කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදය මත විදුලිය අත්හිටුවන කාලය ඉදිරියේදී වැඩිවන සම්භාවිතාවක් ගැන අනතුරු හැඟවීම් ද ඉදිරිපත්ව තිබේ..ඒ සඳහා ක්ෂණික විසඳුම් ලෙස නොවුණ ද දීර්ග කාලිනව හෝ අර්බුදය ජය ගැනීමේ අවශ්‍යතාවය පවතී. මේ අනුව වත්මනෙහි මුහුණ දී තිබෙන ආකාරයේ අර්බුදයක් නැවත ඇතිවීම වැලැක්වීමත් මෙරට වත්මන් සහ අනාගත විදුලි බල අවශ්‍යතාවය අඛන්ඩව සැපයීම වෙනුවෙනුත් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් වත්මන් රජය විසින් ක්‍රියාවට නඟා ඇත. විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලි බල උත්පාදනය වෙනුවෙන් මේ වන විට මහා පරිමාණ ව්‍යාපෘති කිහිපයක්ම විදේශ ආයෝජක සහයෙන් ආරම්බව තිබේ. පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම විය යුතුව තිබෙන්නකි. එය ලාභදායී දිගුකාලීන ආයෝජනයක් ද වේ. දැනට ලංකාවේ ආයතන හා පුද්ගලයන් වශයෙන් සිටින විදුලි පාරිභෝගිකයෝ අතරින් තවමත් ගොඩනැගිලිවල වහල මත සූර්ය පැනල සවි කර තිබෙන්නේ ඉතා සුළු පිරිසකි. මෙය අවම වශයෙන් ලක්ෂ දහයක් වැනි ඉලක්කයකට ගෙන යා හැකිනම් එය විශාල ජයග්‍රහණයකි. එවිට ලැබෙන ජාතික දායකත්වය මත පවතින විදුලි මෙන්ම ආර්ථික අර්බුදයට ද විශාල සහනශීලී පියවරක් රැගෙන එනු ඇත. මේ අතර මුහුදේ පාවෙන සූරිය පැනල ව්‍යාපෘති ගැනද යෝජනාවන් කතිකාවෙයි.

මේ අතර පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබුණි. ශ්‍රී ලංකා රජය කොරියානු ජනරජය සමඟ අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් 5ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් සඳහා වන විදුලි ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමට කොරියානු රජය එකඟතාව පළ කර ඇතැයි පැවසේ. අදාළ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 11.9 ක් පමණ ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළ කර ඇත. අතීතයේ දී මගහැර ගත් අවස්ථාවන් වෙනුවෙන් වර්තමානයේ සමස්ත රටක් අර්බුදයට පත්ව ඇති මොහොතක මෙය ද ලංකාව ට ලැබුණු හොඳ අවස්ථාවක් වනු ඇත.

කෙසේ වෙතත් මෙම දීර්ඝ කාලීන විසඳුම් අතර පවතින විදුලි අර්බුදයට විසඳුම් ලෙස කෙටි කාලීන විසඳුම් සඳහා යාම අනිවාර්ය තත්වයකි. මන්ද රට සක්‍රීයව පවත්වාගෙන යෑම වෙනුවෙන් බල ශක්ති අවශ්‍යතාවය මූලිකම සදකයක් වන නිසාය. ඒ වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ශක්තිමත් කිරීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. එහි පාඩුව අවම කර කාර්යක්ෂම කළ යුතුය. මණ්ඩලයේ අතිරික්ත සේවකයින් පාලනය කිරීම, අධික වියදම් පාලනය කිරීම, නොගෙවා ගොඩ ගැසී ඇති විශාල ගනන්වල හිඟ බිල්පත් අය කර ගැනීම වැනි කරුණු කෙරෙහිද අවධානය යොමු කළ යුතුම වේ. මේ වන විට විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මුලික කටයුතුද ආරම්බ වී ඇත. මේ අනුව මේ වන විට ගෙන තිබෙන පියවරයන් සාර්ථක කර ගැනීමට වත්මන් පාලනාධිකාරියට හැකි වන්නේ නම් අද පවතින අර්බුදය යළි හෙට දිනයේදී නොවන තැනට කටයුතු සිදුවෙනු ඇත. නමුත් මේ සඳහා දේශපාලන අධිකාරියේ, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සේවකයන් සහ විදුලි පාරිභෝගික ජනතාවගේ සහයත් අත්‍යාවශ්‍ය වේ. අනෙක් කාරණය මහජන උපයෝගිතා කොමිසම මේ සත්‍ය තත්වයන් ගැන අවබෝධයෙන් යුතුව ඊට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුය. එහෙත් මේවන විට කරන පිස්සු කෙළීම අනුව නම් මේ කඩාකප්පල් කරන්න මාන බලනවුන්ගේ ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ මේ කොමිසමය.

තරුවි……….