අලුත් බල කඳවුරක් වෙනුවෙන් අලුත් විදේශ ප්‍රතිපත්තියක්
අද ලෝකයේ කිසියම් රජයකට තනිව පැවැතීමේ හැකියාවක් නැත. අනෙක් රාජ්‍යයන් හා වන ගනුදෙනුවක් පැවැතීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙයි. නමුත් මෙහිදී ඒ ගනුදෙනුව සඳහා තෝරා ගන්නා රාජ්‍යය හෝ රාජ්‍යයන් නිසා ඒ රාජ්‍යයකට මුහුණ පෑමට සිදුවන අනෙක් අහිතකර බලපෑම්ද සෙසු රාජ්‍ය පද්ධතියකින් සිදු විය හැකිය. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රබලම රාජ්‍යයන්ගේ බලපෑමට හසුවීම සාමාන්‍ය තත්වයකි. පෙර කාලයේදී රට රාජ්‍යයන් යුදමයක ක්‍රියාදාමයන් හරහා ආක්‍රමණය කර යටත් කර ගැනීමෙන් මෙම බලපෑම සිදු වූවද අද එය සිදු වන්නේ අවි බලයෙන් නොවේ. ආර් ථික බලය නැතිනම් වෙළඳාම හරහාය. මේවා යට අවි ආයුධ බලය, යුද බලය තිබිය හැකි වුවත් මතුපිටින් සිදු වන්නේ ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවන ගේම් හරහා වන දේශපාලනයයි. ගෝලිය භූ දේශපාලනය සැකසෙන්නේ මේ මතිනි. මිට වසර හැට හැත්තෑවකට පෙර එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගෝලීය දේශපාලනය කඳවුරු දෙකක් මුල් කරගෙන කේන්ද්‍රගතව තිබිණි. අමෙරිකාව ප්‍රමුඛ දකුණු කඳවුරේ රාජ්‍ය පද්ධතියත් රුසියාව සහ එම සෝවියට් සමුහාණ්ඩුව ප්‍රමුඛ සමාජවාදී උතුරු කඳවුරේ රාජ්‍යයන් පද්ධතියත් අතරය. මෙම උතුරු දකුණු බල කේන්ද්‍ර දෙකේ ආධිපත්‍යයික බලපෑමට සෙසු රාජ්‍යන්ට යටවීමට සිදු විය. තම තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගැනීම, තමන්ගේ විදේශ ප්‍රතිපත්තීන් ගොඩනගා ගැනීම ඒ බලපැම් යටතේ සිදුවිය. රාජ්‍යයක ස්වාධීනත්වය පවත්වගෙන යෑමේ හැකියාව හෝ නොහැකියාව ඒ අනුව සිදුව තිබිණි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ බලගතු චණ්ඩි රාජ්‍යයන් ඇතිවීම නිසා සෙසු රටවලට මුහුණ පෑමට සිදුවූ අතවරවලින් මිදීමේ උපක්‍රමයක් ලෙස කුඩා රාජ්‍යයන් එකතු වී කිසිඳු කඳවුරකට නොබැඳුන නොබැඳි ජාතින්ගේ සංවිධානය ගොඩනැගිමට කටයුතු කරන ලදී. අද ලෝකයේ බල තුලනය සාමකාමීව පවත්වගෙන යෑමට මෙම සංවිධානයට වැදගත් භූමිකාවක් ඒ අනුව පැවැරී තිබේ. ශ්‍රී ලංකාව කියන්නේ මේ නොබැඳි ජාතින්ගේ ආරම්භක සාමාජිකයෙකි. කොටින්ම මෙම සංවිධානය බිහිකිරීම වෙනුවෙන් මැදිහත් වූ රටකි.
මේ වන විට ලෝකයේ රාජ්‍යයන් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ගත් 200කට ආසන්න ප්‍රමාණයක් තිබේ. මෙම රාජ්‍යයන් අතර පොදු භාවයක් නැතිනම් ඒකමතික සම්මුතියක් යටතේ පවත්වගෙන යෑම එක්සත් ජාතින්ගේ සංවිධානයේ රාජකාරියය. තවදුරටත් ලෝක යුද්ධ ඇතිවීම වලක්වා ගැනීම වෙනුවෙන් මෙම සංවිධානය පිහිටුවීමේ මුල් අපේක්ෂාව විය. විශේෂයෙන්ම මහ බලවත් රාජ්‍ය අතර බල අරගලය වලක්වමින් සහ පරිධියේ ඇති රටවලට අසාධාරණයක් නොවෙන්න කටයුතු කිරීම මෙම සංවිධානයේ අපේක්ෂාවන් අතර වෙයි. එක්සත් ජාතින්ගේ සාමාජික රටක් වන ශ්‍රී ලංකාව එම ගෝලීය වුමණාව වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යයකි. ශ්‍රී ලංකාවට ලේකයේ සෙසු රාජ්‍යයන් හා සුහද ගනුදෙනුවක යෙදීමේ අවශ්‍යතාවය හැමදාම තිබුණු එකකි. එය ඓතිහාසිකව පවත්වාගෙන ආ ප්‍රතිපත්තියකි. ඇතැම් විට රාජ්‍යයේ කුඩා බව නිසා අනෙකාට අභියෝග කිරීමට නොහැකි බව නිසා එසේ විය හැකි නමුත් යථාර්ථය නම් ශ්‍රී ලංකාව ලෝක දේශපාලනයේ ධ්‍රැවී කරණයන්ට ආශක්ත නොවී නිරන්තරයෙන්ම මැදුම් පිළිවෙතක සිට කටයුතු කිරීමට උත්සුක වී ඇත. නිදහසෙන් පසු කාලය තුළ විටින් විට වූ පාලනයන්ගේ දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් මත බලගතු රාජ්‍යයන් වෙත යම් පක්ෂපාතකම් දැක්වීම විටින් විට පෙන්නුම් කළද සෑම විටකම කේන්ද්‍රයේ රාජ්‍ය සමඟ නොබැඳුනු පිළිවෙතක් පෙන්නුම් කිරීමට උත්සහ ගෙන තිබිණි.
නිදසෙන් පසු යුගය තුළ ශ්‍රී ලංකාව මුලිකවම මහ බි්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැතීම මත ඊට සමීපව කටයුතු කිරීම සාමාන්‍ය තත්වයක් වූ අතර ඒ අනුව බටහිර කඳවුරට ඇඟෑලුම් පෑවේය. නමුත් ගෝලීය භූ දේශපාලනය තුළ ආරවුල් නිසා යළි ලෝක යුද්ධයන්ට අත වැනීමක් පැහැදිලිව පෙන්නුම් කරනු ලැබු තත්වයක් විය. මේ තත්වයන් කුඩා රාජ්‍යයන්ට බරපතල අනතුරක් ගෙන එන බවද එවකට මෙම රාජ්‍යයන් විසින් තේරුම ගෙන තිබිණි. ඒ අනුව ආසියාවේ එවකට බලවත් රාජ්‍යන් වූ “කොළඹ බලවතුන්” යැයි විරුදාවලිය ලත් ඉන්දුනීසියාව, ඉන්දියාව, බුරුමය, පකිස්ථානය හා ලංකාව යන රටවල් පහ අතර වූ මුලික එකඟතාවයන් මත “කොළඹ ප්‍රකාශනය” ඉදිරිපත් කළ අතර. එම ප්‍රකාශයේ සඳහන් වූ ප්‍රධාන යෝජනාවක් වූයේ අප්‍රිකානු – ආසියානු නොබැඳුණු රටවල නායකයන්ගේ සමුළුවක් සංවිධානය කළ යුතු බවය.
ඒ අනුව මහ බලවතුන්ට යම් අභියෝගයක් කරමින් නොබැඳි ජාතින්ගේ සංවිධානය 1961 වසරේ බෙල්ග්‍රේඩ් හීදී නිල වශයෙන් පිහිටුවා ගැනීමට සමත් විය. මෙය ලෝක දේශපාලන ඉතිහාසයේ වැදගත් අවස්ථාවකි. නොබැඳි ජාතීන්ගේ සංවිධනය බිහිකිරීම සහ ශ්‍රී ලංකාව එයට ක්‍රියාකාරිව වැදගත් භුමිකාවක යෙදීම අදටත් මෙරට විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමෙහිලා ඉන් විශාල මැදිහත්වීමක් සිදුව තිබේ.
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට විදේශ ප්‍රතිපත්තිය 2030 වසර දක්වා තීරණය කිරීම වෙනුවෙන් අදාල නිලධාරීන්ගේ සාකච්ඡාවක් කැඳවා තිබිණි. දැන ගැනීමට තිබෙන තොරතුරු අනුව නොබැඳි රාජ්‍යයක් ලෙස මෙරට විදේශ ප්‍රතිපත්තිය යම් ඉදිරිගාමී පියවරක් තැබීමේ පියවර මේ අනුව තැබෙනු ඇත.
ලෝක දේශපාලනය තුළ මේ වන විට අමරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපා රාජ්‍යයන් සහ චීනය රුසියාව ප්‍රමුඛ ඊට හිතවාදී රාජ්‍යයන් අතර ආර්ථික බලඅරගලයක් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවට ද ඒ බල අරගලයේ විපාකයන්ට මුහුණ දීමට සිදුව තිබේ. ශ්‍රී ලංකාවේ භූ පිහිටීම අනුව ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ මර්මස්ථානයක් බවට පත්ව තිබේ. මේ නිසා ශ්‍රී ලංකාව මෙම බල අරගලයේ විපාක වඩාත් තදින් දැනෙන රාජ්‍යයකි. කොහොම නමුත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තුළ හිඳිමින් කටයුතු කිරීම අභියෝගයක්ව තිබෙන නමුත් මෙරට පැවැත්මට වඩාත්ම යහපත් පියවර වෙනු ඇත්තේ මේ නොබැඳි බවමය. වර්තමානය තුළ නව විදේශ ප්‍රතිපත්තිය සැකසෙනු ඇත්තේද එම පදනම මත බවත් අමුතුවෙන් කිව යුතු නැත. එසේම මෙහිදී නොබැඳි ජාතින්ගේ සංවිධානය බිහි කිරීමෙහිලා තිරය පිටුපස සිට වැදගත් ක්‍රියාකාරි වැඩ කොටසක් සිදු කළ එවකට අගමැති ජෝන් කොතලාවලගේ විදේශ කටයුතු උපදේශකවරයා වූ එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුත්‍රයා වන රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමත් තුළ රනිල් ඒ පැරණි උරුමයේ ආරක්ෂකයා ලෙසත් එම ප්‍රතිපත්තිමය පදනම මත පිහිටා කටයුතු කරනු ඇතැයි කල්පනා කළ හැකිය. එදා එස්මන්ඩ් වික්‍රමසිංහ තමන්ගේ පෞද්ගලික ධනය වැය කරමින් රට රාජ්‍යවල සංචාරය කරමින් කොළඹ ප්‍රකාශනය සැකසීමටත් ඒ හරහා නොබැදි ජාතින්ගේ සංවිධානය බිහිකර ගැනීමේ වුවමණාව වෙනුවෙන් කැපවූ බව සඳහන්ය.
රනිල් වික්‍රමසිංහ උග්‍ර බටහිර ගැත්තකු අමෙරිකානු ගැත්තකු ලෙස හංවඩු ගැසුනද එහි සත්‍යතාවයක් නැති බව ඔහු මෙරට නායකත්ව භූමිකාව තුළ කළ කී දෑ සහ එම බලගතු රාජ්‍යයන් හා ගනුදෙනු බේරාගන්නා ආකාරය අනුව පැහැදිලි කාරණයකි. මෑතකදී ඔහුගේ බරපතල දේශපාලන විවේචකයකු වූ විමල් වීරවංශ විසින් ගාලුමුවදොර අරගලය අලලා ලියු කෘතියකදී පෙන්වා දී තිබු කරුණු අනුව රනිල්ට මෙරට පාලන බලය හිමිවීම අමෙරිකාවේ හා එම බටහිර කඳවුරේ කැමැත්ත හිමි වී තිබුණේ නැත. අමෙරිකාව සහ අමෙරිකානු හිතවාදී ඉන්දියාව එය වැලැක්වීම වෙනුවෙන් කටයුතු කර තිබිණි. ඔවුන්ගේ කැමැත්ත වී තිබුණේ ඒ වන විට තමන්ට නැටවිය හැකි පාලකයකු ලෙස මහින්ද රාජපක්ෂව යළි බලයට ගෙන ඒම බව වීරවංශ සිය කෘතියෙන් කරුණු කාරණා පෙන්වා දී තිබිණි. නමුත් මහින්ද රාජපක්ෂ, එවකට ජනපති රාජපක්ෂ මෙන්ම විමල් වීරවංශ පවා චීන රාජ්‍යයේ හිතවතුන් ලෙස ලේබල් ගසා ගත් පිරිසකි.
පැවැති මහින්ද රාජපක්ෂ පාලන පෙරළා දමා යහපාලනය පිහිටුවීම චීනයට එරෙහිව වූ අමෙරිකානු කුමන්ත්‍රණයක් බවද ඒ කාලයේදී වීරවංශලා පවසන ලදී. එහෙත් එම යහපාලන යුගයේදී රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ අමෙරිකාවට හෝ චීනයට හෝ බර වූ විශේෂ පක්ෂපාතිත්වයක් ඇතිව නොවේ. ඔහුට අවශ්‍ය වූයේ මෙරට කලාපයේ බලවත් රාජ්‍යයක් බවට පත්කිරීම පමණය. ඒ වෙනුවෙන් අමෙරිකාව සමඟ මෙන්ම චීනය සමඟද සුහදව කටයුතු කිරීමට සමත් විය. අදත් එම හැකියාව ඔහු සතුව තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එතඟතාවය අමෙරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන්ගේ ජපානයේ ඉන්දියාවේ සහ චීනයේ සහය ඔහු හිමිකර ගැනීමට සමත් විය. එසේම මේ සෑම රාජ්‍යකම සහයෝගය ආධාරය මෙරට යළි ගොඩනැඟීම වෙනුවෙන් ලබා ගැනීමට ද සමත් විය.
මේ සියල්ල වන්නේත් වෙනදා මෙන්ම රට ගෝලීය භූ දේශපාලනීක ගැටුමකට මැදිහත්ව තිබියදීය. ගිරයට අසුවුණ පුවකක තත්වයක් තිබියදීය. නමුත් මෙයින් නිදහස්වීම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් විය යුතුම දෙයකි. එය මෙරට පුරවැසි බහුතරයගේත් ප්‍රාර්ථනාව වන බවට සැක නැත. මේ නිසා යළි මෙරට විදේශ ප්‍රතිපත්තිය තීරණය කරන්න වෙන්නේම දෙපැත්ත බේරාගැනීමෙන් ඔබ්බට ගොස් මේ අනතුරුදායක තත්වයෙනුත් ගැලවීමට උපක්‍රමශීලිත්වයේ පරතෙරටම ගොස් කළ යුතු දෙයකින් විණා හුදු ප්‍රදර්ශණාත්මක ලියැවිලි මතින් නොවේ. එය අසීරු කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඒ වෙනුවෙන් මෙරට සිටින පරිණතම නයකයා රනිල් වික්‍රමසිංහ බවට ද විවාදයක් නැත. ඒ රාජ්‍යතාන්ත්‍රිකභාවය, ඊට අවශ්‍ය භාෂාව, තාක්ෂණය දන්නා, ඒ අවබෝධය සහ ඊට කෂේරුකාවක් ඇති එකම නායකයා රනිල්ය.
එමෙන්ම මෙරට විදේශ ප්‍රතිපත්තිය වැදගත් වන්නේ මෙරටට පමණක් නොවේ. එය කලාපීය වශයෙන්ද අතිශය වැදගත් වන්නේ කලාපයේ ආරක්ෂාව තීරණය කළ හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව තීරණාත්මක සාධකයක් වන නිසාය. එය කලින් සඳහන් කළාක් මෙන් මෙරට පිහිටීමේ ඇති වැදගත්කම නිසාය. පසුගියදා ආසියාවේ ප්‍රථම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර වසර 50ක් පිරීමේ උත්සවය අමතමින් ජනපති රනිල් මෙරට විදේශ ප්‍රතිපත්තිය යළි සැකසෙන්නේ කෙසේද යන්න ගැන යම් හැඟවීමක් කර තිබිණි.
ඒ අනුව ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බවත් ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැකගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.
“ලෝක බල අරගලයේ දී අසමගියට පත් කළ නොහැකි වී ඇත්තේ ඉන්දියානු සාගරයේ රටවල් පමණක් බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. ලෝක බලවතුන්වීමේ අභිලාෂයෙන් ඇතැම් කණ්ඩායම් පැසිෆික් සාගරයේ රටවල් අතර සමගිය යටපත් කරමින් යුදමය තත්ත්වයකට ඇද දමා තිබෙනවා. එය ඉන්දියානු සාගරයට පැමිණීම වැළැක්වීමට අප එක්ව කටයුතු කළ යුතුයි.”
ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපති අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දශක දෙක තුන තුළදී ජාත්‍යන්තර දේශපාලනය වැදගත් භූමිකාවක නිරත වූවෙකි. විශේෂයෙන්ම මෙම දකුණු සහ අග්නිදිග ආසියානු කලාපය එකම ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීම ගැන ඔහු නිරන්තරයෙන් කලාපය තුළ හඬක් නඟා ඇත. එමෙන්ම එමඟින් ශ්‍රී ලංකාවට අත්පත් කරගත හැකි ප්‍රතිලාභ ගැන නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇත. මෙය මීට කලින් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද 50 දශකයේ සිටම අපේක්ෂා කළ දෙයකි. ඔහු කොළඹ ක්‍රමය ගොඩ නඟන්නේ ඒ වෙනුවෙනි. කොහොම නමුත් අද ජනාධිපතිවරයා ඉදිරියට පියවර ගණනාවක් තබා තිබේ. 2030 දක්වා වන නව විදේශ ප්‍රතිපත්තිය ඔහු පෙර පැවසුවාක් මෙන් ලෝකයේ බල කඳවුරු දෙකට විකල්පයක් වෙනුවෙන් කරන යෝජනාවක් බව පෙනෙන්නට තිබේ. ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන කලාපය, වැඩිම ජනගහනයක් සිටින සහ විශාලම වෙළඳපොළ සහිත මෙම කලාපය ඉදිරි දශකය දෙක තුළදී ලොව බලවත්ම ආර්ථික කලාපය බවට පත්වීම නිසැකවම සිදු වෙනු ඇත. විශේෂයෙන්ම දැනටත් ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන ඉන්දියාව මේ වන විටත් මෙම කලාපය ලොව බලවත්ම ආර්ථික කලාපය බවට පත්කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කරමින් තිබේ. එසේම අප්‍රිකානු කලාපය තුළ සිදුවන සංවර්ධනයද මෙම ඉන්දියානු සාගර කලාපයේ ආර්ථික ශක්තිමත් භාවයට තවත් වටයකින් හේතු වනු ඇත.
රනිල් යෝජනා කරන්නේ ඒ වෙනුවෙන් කලාපයේ රටක් විදිහට දැක්විය හැකි දායකත්වය උපරිමයෙන් සිදු කළ යුතු බවය. මේ මොහොතේදී රනිල්ගේ එළැඹුම දකුණු ආසියාවටම ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් ලබා දෙමින් එහි ඉදිරි සංවර්ධනයේ ප්‍රතිලාභයන් රටට අත්පත් කර දීමට බවත් පැහැදිලිය. කෙහොම නමුත් මෙරට නව විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් මහ බලවතුන් සමග නිවටව යාප්පුවෙන් සිටීම වෙනුවට ඔවුන් හා සම වන තත්වයක් ගොඩනගා ගැනීම ඉලක්ක කිරීම මෙරට ප්‍රත්පත්ති තීරණය කිරීම සම්බන්ධ ඉතිහාසය අනුව අතිශය ඉදිරිගාමී පරිවර්ථනයක් බව පැහැදිලිය.
– ජයතුංග බණ්ඩාර