රතු රෝස නරියන්ට sorry !

නරි රජ වුණේ නිල් හැළියේ ඔළුව එබුණු නිසාය. කැලේ සත්තු නරියව රජ කළේ නිල් පැහැ ඔළුවක් ඇති, මේ නම් වෙනස්ම සතෙක් කියා හිතලය. නමුත් පැහැයට රැවටී රජකළේ සතෙක් බව සත්තු තේරුම් ගන්න හඳ පායනම තුරු ඉන්න සිදුවිය. එයත් සත්තු දැනගත්තේ හඳ දැකපු නරියට රජකම අමතකව ජන්ම ගතිය ඉස්සරහට පැමිණි නිසාය.

නිල් හැළියේ ඔලුව ඔබාගත් නිසා රජකම ලබාගත්, ඒත් හඳ දැකපු ගමන් සියල්ල අහිමි කරගත් ඒ ජන කතාව අපට සිහිපත් වූයේ නිකංම නොවේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ ලෙස පැවති රතු පැහැය ඉවත්කර ජාජබ ලෙස දම් පැහැය තවරාගත් උදවියත් දැන් නිල් හට්ටියේ ඔලුව ඔබාගත් නරියාට ඇඳ සිටින බවක් පෙනෙන්නට ඇති නිසාය. සමහර තැන් වල හඳ දැකලාදෝ කියා හිතෙන අන්දමටත් හැසිරෙන්න ගෙන ඇති නිසාය.

හංගා ගහන්න දෙයක් නැත. පසුගිය කාල වකවානුව තුළ ජවිපෙ රතු පැහැය අත්හැර දම් පාට තවරා ගැනීම හරහා යම් ජනතා ආකර්ෂණයක් අත්කරගෙන තිබුණු බව ඇත්තය. ජවිපෙ රතු පැහැය පමණක් නොව, ජවිපෙ කාඩර් සංස්කෘතිය වූ , පොඩිවුණු කමිස, කිළුටු ඩෙනිම්, වවපු කොණ්ඩ රැවුල් ද ජාජබ තුළ දකින්න ලැබුණේ නැත. රතු පොත්, කාල් මාක්ස් , ලෙනින්, එංගල්ස් වේදිකාවෙන් හීනියට ඉවත්කර තිබුණු අතර, ජාජබ හැඩය මුළුමනින්ම ලිබරල් දේශපාලන පක්ෂයක හැඩය ගෙන තිබිණ. ටයිකෝට් සහිත ෆුල්සූට් මහත්වරුන් වේදිකාවට නංවා රතු කාඩර්වරුන් සංවිධාන වැඩ වලට ගැටගසා තිබිණ. විට හප පිරුණු රතු කාඩර් වරුන් වෙනුවට ස්මාර්ට් පිංක් වෘත්තිකයන් වෙත යම් ආකාරයක තරුණ ආකර්ෂණයක් ගෙන තිබිණ. වෙනදා කතිකයා , සංවිධායකවරයා සහ ශබ්ද විකාශන යන්ත්‍ර කුළියට දෙනු ලැබූ පුද්ගලයා පමණක් සිටි ජවිපෙ ගැලරියට සෙනග ඇදුණේ ඒ තුළය.

සෙනග සමඟ ජවිපෙට මෙරට ව්‍යාපාරික ප්‍රජාවේද අවධානය යොමුවිය. සල්ලිද පැමිණියේය. ඒ රැල්ල ගැන කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර ප්‍රසිද්ධියේ කිව්වේ ජවිපෙ යනු තවදුරටත් දේශපාලන පක්ෂයක් නොව, බිලියන ගණනක් මුදල් ඇති ව්‍යාපාරයක් බවය. දිලිත්ගේ ඒ කතාව මේ වන විට සජබ වේදිකාවේ ජවිපෙට එරෙහි කථිකයා ලෙස පත්කරගෙන සිටින සුජීව දන්නේ නැත. ඒ නිසා සුජී තවමත් වේදිකාවේ සිට කෑමොර දෙන්නේ, ”හඳුන්නෙත්තිට කඩයක් දාලා දෙන්න – පුළුවන් නම් කඩේ කරලා පෙන්නන්න ” කියමින්ය. නමුත් දැන් ජවිපෙ ඉන්නේ, සුජීටත් සුපර් මාර්කට් එකක් දාදියහැකි තැනකය.

ඒ බව පසුගියදා ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු වන නලින්ද ජයතිස්ස තහවුරු කර සිටියේ ප්‍රසිද්ධ රූපවාහිනී ප්‍රසිද්ධ විවාදයකදීය. එහිදී නලින්ද දැක්වූ අදහස් අනුව නම් මිනුවන්ගොඩ පැවැත්වූ දේශපාලන රැස්වීමක් සඳහා ජවිපෙ වියදම රුපියල් ලක්ෂ 10ක් ය. රැස්වීම පැවැත්වූයේ මිනුවන්ගොඩ නගර සභාව ඉලක්ක කරගෙනය. එහි ඇති ජන්ද ප්‍රමාණය 7000ක් ය. නමුත් ජන්දය වෙනුවෙන් එක් පක්ෂයක් වියදම් කිරීමට හැකියාව ඇත්තේ රුපියල් 60ක් පමණය. ඒ අනුව නම් මිනුවන්ගොඩ රැස්වීමේ වියදම රුපියල් ලක්ෂ 4.2ක් මිස ඊට වැඩි විය නොහැකිය. ඊට වැඩිපුර වියදම් කිරීම නීති විරෝධීය.

නමුත් ප්‍රශ්නය ඇත්තේ නලින්ද ඒ ගැන කිසිම තක්සේරුවක් නොමැතිව අදහස් දැක්වීමය. නැතිනම් නලින්දට රටේ මූලික නීතිය ගැන තැකීමක් නැති බවය. නැතිනම් එය අමතකව ඇති බවය. මේ තත්ත්වය නලින්දගේ හුදකළා අතපසුවීමක් ලෙස කිසිසේත් සැලකිය නොහැකිය. මේ අන් කිසිවක් නොව, පාට මාරු කළ සෙනග අද්දවා ගත්තත් ජවිපෙ ජන්ම ලක්ෂණ මතුවීමය. ඔවුන්ට බලය ගැනීම සඳහා වන කටයුත්තේදී වඩාත් විශ්වසනීය ප්‍රචණ්ඩත්වය වන අතර රටේ මූලික නීතිය ගැන කොහෙත්ම සැළකිල්ලක් නැත.

ඒ ගැන තවත් උදාහරණත් ඕනතරම්ය. ඊට ආසන්න සිදුවීම නම්, පසුගිය දින වල විශ්ව විද්‍යාල තුළ ඇතිවූ ගැටුම්ය. පොලිස් වාර්තා අනුව මෙසේ ගැටී ඇත්තේ, ජවිපෙ සට පෙසප ට සහය දක්වන දෙපාර්ශ්වයය. ගැටුමේ හේතුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය තහවුරු කර ගැනීමය.

අන්තරේ කියන්නේ ජවිපෙ සිය ශිෂ්‍ය දේශපාලන කටයුතු වෙනුවෙන් සංවිධානය කළ බහුජන ව්‍යාපාරයය. ජවිපෙ කාඩර්වරුන් රැසක තිඹිරි ගෙන මෙතැනය. විශ්ව විද්‍යාල පද්ධතියම කාලයක් ජවිපෙ පාලනය කළේ මේ අන්තරේ බලය තහවුරු කරගෙනය. නමුත් ජවිපෙ පාර්ශ්වයක් පෙසප ලෙස බෙදී වෙන්වූ අවස්ථාවේ අන්තරේ බලය පෙසප සතු විය. අදටත් පෙසප සතු සංකේතාත්මක දේශපාලන අවිය අන්තරේය. පසුගිය අරගල සමයේ , රටේ නීතිය ව්‍යවස්ථාව නොව අරගලය විසින් ක්‍රියාත්මක කරන බවට පෙසප නායකයා කිව්වේ, අන්තරේ යන්තරේ තමන් සතුව තිබු නිසාය.

කෙසේ හෝ වේවා දැන් ජවිපෙ, පෙසප හැපෙන්නේ මේ අන්තරේ යන්තරේ තමන් සතු කර ගන්නටය. ඒ කොහෙත්ම මතවාදී ගැටුමක් හෝ අවම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට නොව අන්තිම මිලේච්ඡ ෆැසිස්ට් උමතුවක් ලෙසය. ඒ ගැන ජපුරේ මෙන්ම සබරගමුවේ ගැටුම් වලදී ප්‍රතිවාදී සිසුන්ට පහරදෙන්න යොදාගත් ගල්, මුගුරු යකඩ පොලු සාක්ෂි දරණු ඇත. පාට මාරු කර රට හදන්න, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිඹුල් කඳුළු හෙළන මේ නඩය බලයට සමීප වූ විට හැසිරෙන්නේ එහෙමය.

ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලදී පමණක් නොව, දැන් පාට මාරු කිරීමට ඇඳපු සෙනග දැක බලය ගන්න ඔන්න මෙන්න සිතා ඉන්න ජවිපෙ නායකයන් කාගේ කාගේත් හැසිරීම එහෙමය.

“සියලු සමීක්ෂණ වාර්තාවල තියෙන්නේ මාලිමාව උඩින්. මුද්‍රණාලයේ ප්‍රධානියාට අපි කියන්නේ.. තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳව.. හිතා මතා ඡන්ද වැළැක්වීම සඳහා බාධා කළොත් නඩු අහලා අවුරුදු 03ක් හිරේ. හොඳට මතක තියාගන්න කවුරු ඔය නඩු ඇහුවේ නැතත් අපි අහනවා.”

”භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහත්තයා සල්ලි වියදම් කරන්න කටයුතු කරන්නේ නැත්තම්.. ඔබ අධිකරණය ඉදිරියේ වගඋත්තරකරුවෙකු බවට පත්කරන එක සහතිකයි.ඒ වගේම ජනාධිපති ලේකම්වරයා. නඩුවක් එනවා.. ඔබතුමා විත්තිකූඩුවට නඟින.. මම සාක්ෂි කූඩුවට නඟින. මහජනයාගේ මතයත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න බැහැ. ඡන්දෙ දෙන්නේ නැත්තම් අපි ලෑස්තියි.. ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට ගෙනල්ලා..පාරේ විසඳගන්න.”

මේ හඬ ජවිපෙ නායක අනුරගේය. එහි කොතැනවත් අධිකරණ ක්‍රියාවලියක් , යුක්තිය පසිඳලීම වෙනුවෙන් කැපවීමක් ගැන කියවෙන්නේම නැත. ඒ තුළ ඇත්තේ තර්ජනයක් පමණය. ඒ තර්ජනය වෙනුවෙන්ද ලංසු තබා ඇත්තේ ”මහජන මතය” යන්නය. මහජන මතය පෙරමුණේ තබා මේ තර්ජනය කරන්නේ පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ පවත්වන්න කියාය.

ප්‍රශ්නය ඇත්තේ මේ මොහොතේ රටේ මහජනතාව ජන්දයක් ඉල්ලා නොසිටීමය. ගෝඨාභය ගෙදර යැවීමට පාරට බැස්ස ලක්ෂ සංඛ්‍යාත මහ ජනතාව ඉල්ලුවේ, ආර්ථික අර්බුදය විසඳන ලෙසය. ඉන්ධන, ගෑස් , ආහාර, පෝලිම් අවසන් කර රට යථා තත්වයට පත්කරන ලෙසය. ඒ හැර කවුරුත් ජන්දයක් ඉල්ලුවේ නැත. ඒ නිසා මේ මොහොතේ පාට මාරුකරගත් දේශපාලන පක්ෂ සෙනග ඉස්සරහා තබාගෙන එල්ල කරන තර්ජන වලට බය විය යුතුද නැත. මන්ද සෙනග සහ මහජනතාව කියන්නේ එකක් වගේ පෙනුණත්, මුළුමනින්ම වෙනස් දේශපාලන අන්තර්ගතයන් නිසාය. සෙනග නම් බස් නැවතුම් වල, දුම්රියේ, සංගීත සංදර්ශන වලද ඇත. නමුත් මහජනතාව කියන්නේ තීරණාත්මක මොහොත එළඹී විට දේශපාලනිකව සක්‍රීය වන පිරිසය. ඔවුන් ප්‍රමාණයෙන් වැඩි අතර, මේ මොහොතේ ඔවුන් නිහඬය. ඒ කියන්නේ සෙනග ගැවසුනාට , එය රැල්ලක් ලෙස දැක්කාට සැබෑ මහජනතාව මේ මොහොතේ නිහඬව සිටින බවය. ඒ විය යුතු දේ වෙමින් තිබෙන නිසාය. එනම් ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමේ කටයුත්ත නිශ්චිත ජනාධිපති රනිල් සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් නිරීක්ෂණ කාර්යයක් සිදුකරන බවය.

මේ ගැන කවුරු සංවේදී නොවුණත් උපන් ගෙයි දේශපාලන පරාජිතයන් වන ජවිපෙ සංවේදීය. අන්න ඒ නිසා ඔවුන් මේ සූදානම් වන්නේ, සෙනග ගැලරියෙන් බැස යන්නට පෙර පළාත් පාලන ආයතන ටිකවත් පුරවා ගන්නටය. වෙනදා සූරාකෑම, කොල්ලකාරී ධනවාදය, පොදු දේපල ක්‍රමය ගැන නන්දෙඩවු ජවිපෙ අද සිය තානම මාරු කර ඇත්තේ ඒ සඳහාය. නමුත් ප්‍රශ්නය ඇත්තේ පාට මාරු කලාට සිය ඓතිහාසික වැරදි ප්‍රතිපත්ති සකස් කරගන්නට ජවිපෙ කටයුතු කර ගෙන ඇතිද යන්නය. ජවිපෙ පාට මාරුවට ඇන්ද සෙනග පවා මේ ගැන නොසිතුවොත් ඔවුන්ට සිදුවන්නේද තාප්ප පිරෙන්න චිත්‍ර ඇඳ සිස්ටම් වෙනස් කරන්න ගිය උදවියට සිදුවූ දේ මය.

අප එසේ කියන්නේද හේතු ඇතුවය. වඩාත් තීරණාත්මක කරුණක් වන්නේ පාට මාරු කළ ජවිපෙ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දක්වන අදහස් සම්බන්ධයෙන් පවා ජවිපෙ ඉහළ නායකත්වයන් දරණ මත වල පරස්පරතා පැවතීමය. නිදසුනක් ලෙස ගතගොත්, ජවිපෙ නායක ව්‍යාපාරික හමුවලදී අවධාරණය කරන්නේ, අනාගත ජවිපෙ ආණ්ඩුවක , රාජ්‍යය ව්‍යාපාරික කටයුතු කෙරෙහි මැදිහත් නොවන බවත් , මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පමණක් මැදිහත්වීම් සිදුකරන බවය. නමුත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් කියන්නේ, තමන්ගේ පාලනයක රාජ්‍ය බදු ආදායම , රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් නොකරගන්නා බවය. ඒ කියන්නේ රජය ව්‍යාපාර සිදුකරන බව නොවේද ? රාජ්‍ය ව්‍යාපාර වෙනුවෙන් මැදිහත්වනවා පමණක් නොව, බදු ආදායම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් නොවනවා නම්, රාජ්‍ය ව්‍යාපාර ඉහළ ලාභ ජනිතකරන තැනට පත්කරන්නට සිදුවීම අනිවාර්යක්ය. නැත්නම් රජයේ මූලික වියදම් පවා දරන්නට රජයට මුදල් කොයින්ද ? එසේ නම් පෞද්ගලික ව්‍යාපාර වලට තර්ජනයක් සිදුවන ආකාරයට රාජ්‍ය ව්‍යාපාර මෙහෙයවීමක් තුළ මිස වෙනත් ආදායම් ඉපයීමක් ගැන නම් ටිල්වින්ගේ කතාවෙන් අදහස් වෙන්නේ නැත. න්‍යාය අනුව නම් ටිල්වින් ඉන්නේ, රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයක් රටේ ස්ථාපිත කරන්නටය. එවැනි කාලයක් 71 දී සිරිමා පාලනය තුළත් සිදුවූ අතර ගෝඨාභය පාලනයට පෙර අපේ රටේ මිනිස්සු පෝලිම් යුගයක් අත්දැක තිබුණේ නම්, ඒ සිරිමා ගේ මේ රාජ්‍ය ඒකාධිකාරී ආර්ථික මොඩලය ඇතුළේය.

ජවිපෙ පාට මාරු කරගෙන සෙනග ඇද්ද ගත්තාට ප්‍රතිපත්ති ගැන සංවාදය තුළ නම් ඉන්නේ ඔන්න ඔය වැනි භයානක තැනකය. මේ ආකාරයට හෝ ජවිපෙ මේ දෙබිඩි අතාර්කික සහ යල්පැන ගිය විසඳුම් විගඩම් එළියට පනින්නේ රට දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණදී මහ ජනතාව විසඳුම් අපේක්ෂාවෙන් සිටින නිසාය. ඒ නිසා තීරණාත්මක ප්‍රශ්න හමුවේ ප්‍රතිපත්තිය එළියට දැමීමට ජවිපෙට සිදුව ඇත. එක් පැත්තකින් එසේ අමාරුවේ වැටෙන ජවිපෙ, අනෙක් පැත්තෙන් තවත් අමාරුවක වැටී ඇත. ඒ මේ වන විට සිය පළාත් පාලන නියෝජිතයන් ගැන ජවිපෙ කියූ සුරංගනා කතාද නින්දා සහගත ලෙස අනාවරණය වෙමින් ඇති නිසාය. කොටින්ම කිව්වොත් මිනිස් ජාවාරම් වල චූදිතයන් පවා මෙවර මාලිමාවෙන් ඉදිරිපත් කර ඇති අතර, හොරුන්, මංපහරන්නන් මෙන්ම, දූෂණ චෝදනා ඇති පිරිස් රැසක් මාලිමාවේ රැල්ලට ගොඩවී ඇත. ගෝඨා ස වෙනුවෙන් මරාගෙන මැරෙන්න ගිය බිම් මට්ටමේ පොහොට්ටු පවා ඒ රැල්ලේ පැමිණ ඇත.

ඇත්තටම කඩිනම් ජන්දයක් ඉල්ලා මරාගෙන මැරෙන තැනට ජවිපෙ පැමිණ ඇත්තේද මේ නිසාය. මැතිවරණය පමා වෙන්න පමා වෙන්න ජවිපෙ සායම හේදෙන අතර ඔය අස්සේ හඳත් පෑව්වොත් පාට මාරු කළ ජවිපෙට වෙන්නෙත් නිල් සායමින් රජවූ නරියට සිදුවූ දෙයම නොවේද ?

කල්ප අනුත්තර ලියනගේ