නිදහස සැමරිය යුතුද?

පසුගිය සති කිහිපය තුළ නිදහසේ 75 වන වසර සැමරීමට එරෙහිව සමාජ කතිකාවක් නිර්මාණය කරමින් තිබිණි. නිදහස සැමරීම ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය පාලනය මෙහෙයවන දේශපාලන අධිකාරියේ වගකිමක් සහ යුතුකමක් ලෙස සලකා ගෙවුණු 74 වසර පුරම ඒ හැකි අයුරින් උත්සවකාර සැමරුමක් ලෙස පවත්වා ඇත. ඒ අනුව 75 වන සමරුවද ඒ ආකාරයෙන් පැවත්වීම සිදු කෙරිණි.

දැන් මෙම නිදහස සැමරුමට එරෙහි පිරිස් ගොඩනගන තර්කය වූයේ රටේ පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ මේ සැමරුමට මුදල් වැය නොකළ යුතු බවය. නිදහස වෙනුවෙන් වැයකරන මුදල රුපියල් කොටි 20 ඉක්මවා නොයන ලෙස සැලසුම් කර තිබිණි. එය මෑත කාලයේ අඩුම පිරිවැයක් දරා සිදුකරන රාජ්‍ය උත්සවය ලෙසද හැඳින්විය හැකිය. නමුත් මේ රුපියල් කෝටි 20 වැය කිරීම ගැන මැසිවිලි නඟන පිරිසට තේරුමක් නැතිව රු කෝටි 1200 ක් පමණ වැය කරන පළාත්පාලන මැතිවරණය පැවැත් වීම මේ අර්බුද මොහොතේ මුදල් නාස්තියක් වන්නේ නැත.

තවත් පිරිසක් රටේ ජනතාවගේ පීඩාවන් නොවිසදීම, බදු බර වැඩි වීම, බඩු මිල ඉහළ යෑම ආදී කරුණු නිසා ජනතාවගේ නිදහස ඇහිරී ඇති බව කියමින් මෙම උත්සව අවස්ථාව වර්ජනය කළ යුතු බව කියා තිබිණි. අනෙක් පිරිසකට අනුව ප්‍රචණ්ඩ අරගලයක් මෙහෙයවා නීති විරෝධී කටයුතු වලට මැදිහත් වූවන් සිරගෙවල් වල තැපීම නිසා මෙම සමරුව නොකළ යුතු විය. ත්‍රාඩ පිස්සු කෙලිම් වලට ඉඩක් නැතිනම් නිදහස සමරුව පැවැත්වීම අර්ථ විරහිත දෙයක් විය. මේ ආදී වශයෙන් විවිධ චෝදනා මත නිදහස් උළෙලට එරෙහිව නොයෙක් ක්‍රියාකරකම්ද සූදානම්ව තිබිණි. කොළඹ වටලා නිදහස් උළෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයන් ගැන ද පසුගිය දිනවල වර්තා වී තිබිණි.

කොහොම නමුත් රජය සිය වගකීම සහ යුතුකම ඉටු කිරීමට බැදී සිටි අතර නිදහස් උළෙල පුධාන උත්සවය සහ ඊට සමගාමී ක්‍රියාකාරකම් රැසක්ම නියමිත පරිදි පැවැත් විය. නමුත් මෙවර ඒ සියල්ල වියදම් අවම කරගෙන සරළ උත්සවයකට ඒ සිදු කෙරීමට කටයුතු යෙදීය.

කොහොම නමුත් ශ්‍රී ලංකාව බි්‍රත්‍යානයේ යටත්විජිත බාවයෙන් නිදහස්ව ස්වාධීන රාජ්‍යයක්ව යළි පිහිටුවීම වෙනුවෙන් වන දිනය සමරීම, ආණ්ඩුවේ වැඩක්ය, එය පක්ෂ දේශපාලනයට අදාල උත්සවයක් ලෙසට ලඝු කරමින් ඊට විරෝධය පෑම නම් දේශපාලන නොමෙරූකමට නරුමකමට වඩා දෙයක් නොවේ. නිදහස් දිනය සැමරීම මෙරට ජනතාවට අයිතියක් තිබේ. අද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන් ශ්‍රී ලාංකිකයන් ලෙස හැඳින්වීමෙහි පදනම ඇති වෙන්නෙත් මෙම නිදහස අනුවය. එතෙක් අප සිලෝනීස්ලාය. 1948 පෙබරවාරී 04 වෙනි දින තවදුරටත් බි්‍රතාන්‍ය කිරීටයට අයත් රාජ්‍යයක්ව දේශපාලනික ස්වාධීනත්වය ලබා ‘ලංකා ඩොමීනියන් රාජ්‍යය‘ ලෙස නාමකරණයට ලක්වීමත් සමඟ සිලෝනිස්ලා ශ්‍රී ලන්කන්ස්ලා විය. ඩොමීනියන් තත්වයෙන් මිදුනේ තවත් වසර 24 කට පසුය. එනම් 1972 මැයි 22 වන දිනය. එදා පුර්ණ නිදහස ලැබ ඩොමිනියන් රාජ්‍යය ‘ශ්‍රී ලංකා ජනරජය‘ විය. 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් එම නිදහස තවදුරටත් අර්ථවත් කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත් විය.

මෙම 75 වසරක කාලය තුළ ශ්‍රි ලංකව ස්වාධීන රාජ්‍යයක් ලෙස අත්පත් කරගත් අතිවිශාල ජයග්‍රහණයන් ප්‍රමාණයක් තිබේ. එමෙන්ම පරාජයන්ද විශාල ප්‍රමාණයක් තිබේ. වැරදි මෙන්ම නිවැරදි දේ මේ කාලය තුළ සිදු විය. 1948 දී රට තිබුණ තැන හා සැසදීමේ දී අත්පත්කරගත් සංවර්ධනය ගැන කියන්න කාරණා බොහොමයක් තිබුණත් ශ්‍රී ලංකාව තවමත් පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසය. මෑතක් වන තුරුම පහළ ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය විය. පසුව මැදි ආදායම් ලබන රටක් බවට පත් වූවද මේ වන විට නිල වශයෙන්ම බංකොලොත් රාජයක් ලෙස ප්‍රකාශයට පත් කරන තැනට කඩා වැටී තිබේ. ඩොලර් බිලියන 50 කට අධික ණය බරක් උසුලන රටක් බවට පත්ව තිබේ. කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස හඳුන්වනු ලැබූවද රට තුළ තවමත් ප්‍රජාතන්ත්‍රවාදය පැලපදියම් වී නැත. ජාති ආගමික භාෂා වාර්ගික බෙදීම් තවමත් රටේ සක්‍රීයය. වෙනස් කොට සැලකිමේ අශිඨත්වයන් තවමත් ජානගතව තිබේ. මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න තිබේ. රටෙන් බාගයකට වඩා අඩු ආදායම්ලාභීන්ය. හතරෙන් එකක් පමණ දරිද්‍රතාවයෙන් පෙලෙන්නන්ය. රාජ්‍ය සුබසාධනය නොමැතිනම් රටම අක්‍රීය වන තැනක තිබේ. නිතිය හෝ සමානව සාධාරණව ඉටු නොවෙන අවස්ථා බහුලය. අධ්‍යාපනික ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න කෙළවරක් නැත. කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් නැත. එය දූෂණයෙන් වංචාවෙන් පිරී ඇත. රාජ්‍ය සේවයමත් රටට විශාල බරක් වී ඇත. මේ ආකාරයෙන් වර්තමන තුළ අත්විඳින අයහපත් තත්වයන් ගැන විශාල ලැයිස්තුවක් සකසා ගැනීම පහසුවෙන් කරගැනීමේ හැකිය ඇත.

මේ සියල්ල අප එනම් පාලකයනුත් පුරවැසියනුත් විසින් අත්පත්කරගත් දේවල්ය. නමුත් 75 වසරක් මුළුල්ලේ රට කෑවා කියමින් පාලකයන්ට බැන අඬ ගැසීම පමණක් සිදුවෙමින් තිබේ. නිදහස් උළෙල වර්ජනය කරන ලෙස මතයක් පහසුවෙන් ගොඩනැගිමට හැකිව තිබෙන්නෙත් සියලු වැරදි පාලකයා පිට දමා අත පිහදා ගැනීමට පුරවැසියාට හැකිව තිබෙන නිසාය. එම හැකියාව ලැබෙන්නෙත් පාලකයන් ඇති පදමට වැරදි කරතිබීම නිසා බවට තර්කයකුත් නැත. නමුත් පාලකයා කියන්නේ ජනතාවගේ තේරීමය. මෙරට සුද්දා අත්හැර යෑමෙන් පසුව බලෙන් කවුරුවත් අල්ලා ගත්තේ නැත. රාජ්‍ය පාලනය සිදු කෙරුනේ ජනතා කැමැත්ත මතය. ජනතාවගේ මතයට ඉහළින් ගොස් කටයුතු කිරීමේ හැකියවක් මේ රටේ තිබුණේ නැත. එහෙම උත්සහ ගත් පාලකයන් මැතිවරණ මඟින් ඉවත්කර නව පාලකයන් පත්කරගැනීමේ හැකියාව, නිදහස පුරවැසි ජනතාවට තිබිණි. එසේම මැතිවරණ වලින් හැර ජනතා බලය ඒකාරාශී කර පාලකයන පන්නා දැමීම ගැන ආදර්ශයක් පසුගිය වසරේදී ලැබී තිබිණි. ඒ අනුව මෙරට යමක් සිදුවූවා නම් ඒ සියල්ල පුරවැසියාගේ බහුතර කැමැත්ත අනුමැතිය ආශිර්වාදය මත සිදුවූ දෙයකි. ඒ අනුව මෙම 75 වසර තුළ ලැබූ ජයග්‍රහණ හා පරාජයන් සියල්ල ජනතාව විසින්ම අත්පත් කරගත් අස්වැන්නය.

කොහොම නමුත් 75 වසරක අතපත් කරගත් අස්වැන්න සරුසාර යැයි කීමේ හැකියාවක් නැත. උදු වපුරා තල බලාපොරොත්තු විය නොහැකිය කියන්නා සේ රට අස්වැද්දවීමේ වැරදි භාවිතයන් නිසා බලාපොරොත්තු වූ ප්‍රතිපලය ලැබී නැත. නමුත් මේ වැරද්ද අද පිළිගනිමින් තිබේ. මෙතැනින් එහාට මේ ආපු විදිහට යන්න බැරි බව පිළිගෙන තිබේ. මේ දේ පසක් වන්නට නැතිනම් වේදනාකාරී ලෙස දැනෙන් ගත්තේ රට මුළුමනින්ම බංකොලොත් වූ පසුවය. මේ බංකොලොත් වීම විසින් අපට දී ඇති මහගුම අවස්ථාව යළි රට මුල සිට ගොඩනැගීමට අවස්ථාවක් ලබා දීම නිසාය. සිස්ටම් චේන්ජ් කළ යුතු බවට පසුගිය කාලයේ මහා හඬක් නැගුනේත් ඒ නිසාය. ඇත්තවශයෙන්ම සිස්ටම් චේන්ජ් කළ යුතුය. වැරදි පාරේ නැවත නොයා යුතුය. අලුත් පාරක් සොයා ගත යුතුය. පාර සකසා ගත යුතුය. නමුත් අරමුණක් ඉලක්කයක් තිබිය යුතුය. නිදහසෙන් සියක් වසරක් පිරෙන 2048 වසර වන විට සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගීම යථාර්ථයක් කිරීම, හොඳ අරමුණකි. ඉලක්කයකි. 75 වසරක අත්දැකීම් ඉදිරි 25 වසර නියමාකාරයෙන් ගොඩනගාගැනීමට විශාල අධ්‍යාපනයක් ලබා දී තිබේ. සංවර්ධිත රාජ්‍යයක සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රට ගොඩනැගීම වෙනුවෙන් වන ආර්ථික සමාජීය දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල අවශ්‍යය. එය ශක්තිමත් පදනමක් මත ගොඩනැගිය යුතුය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට නොවෙනස් වන ස්ථිර සාර මහජන සම්මුතියක් ලෙස මෙය ක්‍රියාත්මක විය යුතුය. අතීතයේ කළ කී දේවල් ගැන චෝදනා අවලාද නගමින් බැනඅන ගසමින් විවේචනය කර කර සිටීමේ අඳබාල වැඩ දැන් අවශ්‍ය නැත. වැරදුනේ සියළු දෙනාටය. ඉදිරිය ගැන සිතා ගන්නා තීන්දු තීරණ වලට පමණක් රට ගොඩනැගිය හැකි වනු ඇත.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රටේ පාලකයාය. රට බංකොළොවී තිබු තත්වය යටතේ එය නැවත ගොඩගැනීම වෙනුවෙන් උර තැබූ එකම නායකයාය. කවුරු කැමැති වුණත් නැතත් එය පිළිගත යුතුය. රනිල් වික්‍රමසිංහ මේ 75 වසරක් ඉතිහාසය තුළ කළ කී දෙයෙහි වැරදි අඩුපාඩු පිළිගැනීමේ හැකියාව සහිත පාලකයෙකි. තමුන් වෙතින්ද තමුන් සම්බන්ධ වූ ආණ්ඩු පාලනයන් වෙතින්ද වැරදි අඩුපාඩු සිදු වූ බව පිළිගන්න තරම් ඔහු අවංකත්වයක් නිහතමානිත්වයක් පෙන්වා ඇත. එපමණක් නොවේ. මේ වැරදි සකසාගෙන් අලුත් ක්‍රමවේදයකට, අලුත් සිස්ටම් එකනට රට ගොඩනැගීම කළ යුතුය කියන යෝජනාවත් ඔහු කළේය 2048 වන විට රට සංවර්ධිත රාජ්‍යක් බවට පත්කරවීම ඔහුගේ යෝජනාවක් විය. නමුත් එය ඔහුගේ සිහිනය නොවේ. මන්ද ඇත්ත කතා කළහොත් ඔහුට හෝ වත්මනෙහි ජීවත්වන බොහෝ දෙනෙකුට 25 වසරකින් පසු සංවර්ධිත ශ්‍රි ලංකාව අත් විඳින්න ලැබෙන්නෙ නැත. නමුත් එදාට මේ රටේ ජීවත් වන ශ්‍රි ලාංකික පුරවැසියාට අභිමානවත්ව ආඩම්බරයෙන් අපි ශ්‍රී ලංකාවේ පුරවැසියන්ය, යනුවෙන් ලෝකය හමුවේ පැවසීමේ අවස්ථාව් උදා කරදීම කළ හැකිය. එනම් අපේ දුවා දරුවන්ට තමන්ගේ වැඩිහිටි පරම්පරාව විශාල කැප කිරීමක් කරමින් ගොඩනගා තමන්ට උරුම කර දුන් ආදරණීය රටය යනුවෙන් පැවසීමේ හැකියව උදකර දියහැකිය. රනිල් රට ගොඩනැගුම වෙනුවෙන් ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල ගන්නාවක් යෝජනා කර ක්‍රියාත්මක කරන්නේ ඒ අනාගත දවස වෙනුවෙනි. එසේ නොමැතිව රනිල් තමන්ගේ හුදු පැවැත්මක් වෙනුවෙන් මේ දේවල් කරනවා නොවේ. ඔහුට රකින්න පරපුරක්ද නැත. එසේම රට ගොඩනැගුම වෙනුවෙන් මෙතරම් දුර දිග බලා නිවරදි නිශිචිත වැඩපිළිවෙලක් ගැන වෙනත් යෝජනා නැති මොහොතක රනිල් ඉදිරිපත් කරන වැඩ සටහන පිළිගැනිම අනිවාර්ය වී ද ඇත. වෙන මඟක් කොහෙත්ම නැත. එළඹෙන පෙබරවාරී 08 වන දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් මෙම පූර්ණ වැඩසටහන ඔහු විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. ඉදිරි 25 වසර වෙනුවෙන් වූ යායුතු මඟ ඔහු පෙනා දෙනු ඇත. යායුතු දිසාව ඔහු පෙන්වා දෙනු ඇත. නැවත මේ පාර කොහාටද කියා කාටවත් අසන්නට ඉඩ නොතියමින් සිය මාර්ග සිතියමත් ඉදිරපත් කරනු ඇත. ඒ අනුව ගමන් කිරීමට ශ්‍රී ලංකීය ජාතිය සමත් වුවහොත් 2048 සිහිනය යථාර්ථයක් කරගත හැකිය.

පටු පක්ෂ දේශපාලනය නිසා මේ ගැන විවේචන අවලාද කොතෙකුත් මතු විය හැක. නමුත් ඒ කවරක් වූවත් යාමට ඇත්තේ ඒ මඟ පමණකි. විපක්ෂයේ පිස්සු කෙලීම මඟින් එය කඩාකප්පල් කිරීමක් සිදු නොවන්නට මග වරදින්න විදිහක් නැත. මෙහිදී රනිල්ව විශ්වාස කිරීම කල යුතුව තිබේ. මන්ද රනිල්ගේ දශක පහක පමණ දේශපාලන ජීවිතයේ ආරම්බයේ සිටම ඔහු පෙනී සිටි ප්‍රතිපත්ති අදත් ඔහු වෙනස් කර නොමැත. වැදගත්දේ රනිගේ උග්‍රතම විවේචකයන් වූ අයට පවා අද එම ප්‍රතිපත්තිම තමන්ගේ ප්‍රතිපත්ති ලෙස බාරගැනීමට සිදුව තිබෙන තත්වය මත රනිල් ජාතියට මඟ පෙන්වන එකම නායකයා ලෙසත්, වඩාත් විශ්වාසනීය නායකත්වයක් ලෙසත් බාරගැනීම සිදුව ඇත.

මෙවර නිදස සැමරුව වඩාත්ම වැදගත් වන්නේමේ 25 වසර ගමනට ආරම්ක පියවර තැබෙන නිසාය. මේ මංගල මොහොතකි. සුබ මොහොතකි. ආශිර්වාද ලැබිය යුතු මොහොතකි. ඒ නිසා සැමරීම විය යුතුය.

මේ සැමරුමට එරෙහිව එය කඩාකප්පල් කරන්න කැස කවන වුන් ගැන කියන්න වෙන්නෙ ඒ සියලු දෙනා මේ රාජ්‍යයේ ද්‍රෝහීන් බවය. රට විනාශ කිරීමට බලා සිටින ජඩයන් බවය. අනාගත පරපුරට සංවර්ධිත රාජ්‍යයක් උරුම කර දෙනවාට නොකැමති සාහසිකයන් බවය. මේ කඩාකප්පල්කාරීන් යනු රටේ පිළිලයන්ය. මේ පිළිල කපා දැමා රට ඔවුන්ගෙන් නිදහස් කරගැනිමත් මේ නිදහස් දිනයේ අධිෂ්ඨානයක් විය යුතුය. රටට සැබෑ නිදහස ලැබිය හැක්කේ ඒ අනුවය. 2048 සිහින රාජ්‍යය යථාර්ථයක් වන්නට නම් ඊට බාධා වන සියල්ල නැතිභංගස්ථාක කර දැමීම විය යුතුය. මේ බාධාවන් කියන්නේ නිදහට එරෙහි දේවල්ය. ඒ සඳහා වන අඩිතාලම දැමීමේ සුබ හෝරාව මෙවර නිදහස් සැමරුමයය.

ප්‍රභාත් ජයසුමන