නිර්පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂය බය ඇයි?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජයේ එකඟතා ලියවිල්ල පසුගිය 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබිණි. එම ප්‍රකාශය අවසන් කරමින් ඔහු විපක්ෂයෙන් නැවත වතාවක් ඉල්ලා සිටියේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට සහය වන ලෙසය.
“ අයි.එම්.එෆ්. ගිවිසුම හැර වෙනත් විකල්පයක් අපට නැහැ. කවුරුත් වෙන විකල්ප යෝජනා කර නැහැ. විකල්ප නැත්නම් මෙය අනුමත කරමු. මම විපක්ෂයටත් කියනවා එකතු වෙලා වැඩ කරමු කියලා. දෙපාර්ශ්වයම එකතු වෙලා මෙය සම්මත කර ගනිමු.
.සියලුම දෙනා සාකච්ඡා කරලා විසදුමකට පැමිණ, ඊට පසුව සියලුම දෙනාම එකතු වෙලා එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර ගනිමු. 2048 වෙනකම් මේ රටේ තිබෙන ජාතික ප්‍රතිපත්ති රාමුව කුමක්ද? පළමු අවුරුදු පහේ තිබෙන්නේ ප්‍රතිපත්ති හා වැඩසටහන්. අපි ඒවා සාකච්ඡා කරමු…
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කර ගනිමු. මේ සඳහා අපි එකතු වෙමු. විවිධ මත තිබෙන්න පුළුවන්. සියලුම දෙනාම මේ වැඩසටහනට සහාය දෙන්න. දැන් තිබෙන්නෙ 2048 වෙනුවෙන් රට හදන්න. අපි මෙය සිදු නොකළහොත් රටේ තරුණ පරපුර පාවා දුන්නා වෙනවා. ඔවුන්ගේ අනාගතය නැති කළා වෙනවා. රටේ තරුණයන් ගැන හිතන්න. බල කේන්ද්‍රය ගැන පමණක් හිතන්න එපා. මේ වැඩසටහන කළේ නැත්නම් තව අවුරුදු දෙක තුනකින් අපි කාටවත් ඉන්න බැරි වෙනවා. ඒ නිසා සියලු දෙනාම එකතු වෙන්න. මේක අනුමත කරන්න. ඊට පසුව අපි එකට එකතු වෙලා 2048 වෙනකම් තිබෙන ප්‍රතිපත්ති මාලාව සකස් කර ගනිමු. ඒ වගේම පළමු අවුරුදු පහ තුළ තිබෙන වැඩසටහනත් ක්‍රියාත්මක කරන්න සහාය ලබා දෙන්න…” යනුවෙන් ජනාධිපතිවරයා කළේ ඉල්ලීමකටත් වඩා කාරුණික ආයාචනයකි.
රට මුහුණ දී තිබෙන අර්බුදයේ තරම ගැන තිබෙන අවබෝධය මත සෑම පාර්ශ්වයක්ම එකතුවී මේ අර්බුදය ජය නොගතහොත් එහි පළ විපාක ඉතා භයංකර වෙනු ඇති බව ඔහු නිතර පෙන්වා දෙනු ලබයි.
එහෙත් මේ ඉල්ලීම තවමත් විපක්ෂයට තේරුම් ගැනීමට හැකියාවක් ලැබී නැත. විපක්ෂය තවමත් හිතන්නේ ආණ්ඩු හදනවා කියන්නේ මැතිවරණයකින් බලයට ඇවිත් තමන්ගේ පිරිසකට ඇමැතිකම බෙදාහදාගැනීම බවය. නැතිනම් පවතින ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ගොඩක් ලබාගැනීම බවය. නමුත් මේ ආණ්ඩුවට එක්වී තමන්ගේ හිතේ හැටියට ඇමැතිකම් නොලැබෙන බව විපක්ෂයට දැනීමක් තිබේ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසට තමන් බලාපොරොත්තු වෙන අගමැති ධුරය රනිල්ගෙන් නොලැබෙන බව ඔහු හොඳින්ම දන්නා ඇත්තකි. බොහෝ විට පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් වූ විට තමන්ගේ විපක්ෂනායක පට්ටමටද තට්ටු වෙනු ඇතැයි සජිත් කල්පනා කරනවාද විය හැකිය. ඒ නිසා සජිත් සිටින්නේ තමන්ගේ කණ්ඩායමේ කිසිවකුත් හෝ ජනාධිපති රනිල් හෝ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමත් වළක්වා කෙසේ හෝ රනිල් පාලනය බිඳ දමා තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවාගෙන ජනාධිපතිකම ලබාගැනීම සැබෑවක් කරගැනීමේ මානසිකත්වයකය. එහෙත් අඩුම තරමින් තමන්ට මහ මැතිවරණයකින් ජනාධිපතිවරණයකින් ආණ්ඩුවක් පිහිටුවන්න තබා තිබෙන මන්ත්‍රීකම් ටිකවත් රැකගැනීමට හැකියාවක් නැති බව දේශපාලනික ගණන් හැදීමේදී තහවුරුව තිබෙන නිසා මේ මොහොතේ වියරු වැටී සිටින සජිත්, ජනාධිපති රනිල්ට සහය දෙන සියලු දෙනාමත් හොරු හොරු යනුවෙන් කෑකෝ ගසමින් හැසිරෙන අයුරු ද පෙනෙන්නට තිබේ.
එහෙත් ආණ්ඩුවේ සියලුදෙනා හොරු හොරු ගානවා හැර හොරා කවුද? කරපු හොරකම මොකක්ද? ඒවාට සාක්ෂි තියෙනවාද? ඒ මොනවත් ගැන කියන්නේ නැත. රාජපක්ෂලා හොරුය රාජපක්ෂලා සමඟ ඉන්න සෙට් එකම හොරුය කිව්වාම නැවත ප්‍රශ්න කරන කවුරුවත් නැත. මන්ද එය කිසිවකු ඉලක්ක නොකළ, නිශ්චිත නැති පොදු හැඳින්වීමක් නිසාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කරන්න ඡන්දය දුන් මන්ත්‍රීවරු 134 දෙනාම හොරු යැයි කියනවා නම්, ඒ කෙනෙකු හෝ නම් කර අහවලා හොරා යැයි පැවැසීමේ හැකියාව සජිත්ට තිබිය යුතුය. නමුත් එහෙම කියන්නේ නැත.
මේ ඡන්ද 134 රහසිගත ඡන්ද ප්‍රතිපලයකි. ඒ කවුද යන්න කවුරුවත් නොදනී. ඒ අතර සජබයෙන් වෙන්වූවන් මෙන්ම තවමත් සජබයට වී සිටින කිහිප දෙනෙකුත් ඉන්නවාට සැක නැත. ඒක සජිත් නොදන්නවා ද නොවේ. සජිත්ට අනුව ඒ සියළු දෙනා ද හොරුන්ය. නමුත් රාජපක්ෂලා සමඟ සිටි රාජපක්ෂලාගේ සියලු නොපනත්කම්වලට හුරේ දාගෙන සිටි සෙට් එකක් පොහොට්‍ටුවෙන් ඉවත්ව ඡන්දයේදී සජිත්ගේ තේරීම වූ ඩලස්ට ඡන්දය පාවිච්චි කර තිබිණි. දැන් සජිත්ට අනුව ඒ පිරිස හොරු නොවේය. ඊයේ පෙරේදා බ්ලුඩයමන්ඩ් නැවේ අල්ලස් සිද්ධියට නම ගෑවුනු ගොඩහේවා මේ ඩලස් පිලේ ප්‍රබලයකි. සජිත්ට අනුව ඒ ගොඩහේවා සුදනෙකි. රට බංකොලොත් කළ වියත්මග සෙට් එකත් සුදනන්ය. ඒ කොහොම වුවත් සජිත්ට මේ හොරු 134 දෙනා නම් කළ නොහැකි නම් අඩුම තරමින් රනිල්ගේ ඇමති මණ්ඩලය නියෝජනය කරන පිරිස හොරු යැයි කිව යුතුය. කරපු හොරකම් හෙළිදරව් කළ යුතුය. සජිත්ලාගෙන් විශාලම විවේචන එල්ල වුණ කංචන විජේසේකරට තිබෙන හොරකම් චෝදනාව ඉදිරිපත් කළ යුතුය. ෂෙහාන් සේමසිංහට තිබෙන හොරකම් චෝදනාව කිව යුතුය. අගමැති දිනේශ්ට තිබෙන චෝදනාව කිව යුතුය. හරීන්ට, මනූෂට තිබෙන චෝදනා කිව යුතුය. ඒවා බැරි නම් මහින්ද රාජපක්ෂ හොරෙක් කියන එකවත් කිව යුතුය. ඔහු කළ හොරකම් කොන්ද පණ ඇතිව හෙළිදරව් කළ යුතුය. නමුත් සජිත් එහෙම චෝදනා කරන්නේ නැත. මහින්දගේ නම කියන්නත් බයය. රාජපක්ෂලා හොරු කියා ඇඟ බේරාගැනීම හැර සජිත් කවදාවත් කාටවත් නිශ්චිත චෝදනාවක් කර නැත.
සජිත්ගේ තක්කඩි දේශපාලනය එහෙමය. අනුර කුමාර ෆයිල් ගොඩ ගහගෙන එකම දේ මඩේ දමමින් හෝද හෝදා සිටිනවා හැර එතැනින් එහාට යන්නේ නැත. යහපාලන යුගයේදි මේ ෆයිල් ගොඩම අතේ තියාගෙන හිටියා මිස ලැබී තිබු අවස්ථාවෙන් වැඩක් ගත්තේද නැත. අප කිසිවිටෙක මේ කිසිවකුත් සුදනන් යයි නොකියමු. නමුත් එලෙස චෝදනා කිරීමෙන් පලක් ඇත්තේ නැත. සාක්ෂි සහිතව ඒවා ඔප්පු කළ යුතුය. ඒවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන නිශ්චිතවම හොරකම් හෙළිකළ යුතුය. ඒ තබා යළි ඒ කියන ජාතියේ හොරකම් සිදු නොවෙන්න අවශ්‍ය තත්වයන් ගොඩනගන්න හෝ රජය ගන්න පියවරයන්ට සහය දීමක් විපක්ෂයෙන් වී නැත.
සජිත්ට අනුව හොරු 134 දෙනාගේ නායකයා රනිල්ය. එසේනම් රනිල්ට මහ හොරා යැයි කීමේ හැකියාව සජිත්ට තිබිය යුතුය. ඒත් සජිත් රනිල් ඉදිරියේ බලු කුක්කෙක් ගානට වැටෙන හැටි අප ඕනෑ තරම් දැක තිබේ. රනිල් නැති තැන රනිල්ව පරිස්සමෙන් විවේචනය කරනු දැක තිබේ. එහෙත් කිසි දවසක රනිල්ට හොරා යැයි කියා නැත. දේශපාලකයන්ට එල්ල වන දුෂණ වංචා චෝදනා මත පමණක් හොරා යැයි හංවඩු ගසනවා නම් සජිත් කියන්නෙත් පට්ට හොරෙකි. චෝදනා රැසක් ඔහුට එරෙහිවත් තිබේ. සජිත්ගේ සජබ කණ්ඩායමේත් එලෙස චෝදනා එල්ල වූවන් සිටි.
සජිත්ලා අදත් කරමින් සිටින්නේ හැමදාමත් කරන තුට්ටු දෙකේ දේශපාලනයය. ඒවා දැන් පරණය. එසේම පිළිකුල් සහගතය. සජිත් ගිරිය පුප්පාගෙන හොරු හොරු කියා කෑ ගැසුවාට ඒවා මිනිස්සු ගණන් ගන්නෙත් නැත. සජිත් සිතා සිටින්නේ එහෙම කෑ ගහන තරමට තමන්ට මිනිස්සු ඡන්දය දෙයි කියාය. එහෙම හිතනවා නම් ගියවර ජනාධිපතිවරණයෙදී දිනන්න ඕන වෙන කවුරුවත් නොව අනුර කුමාරය. ඒත් මිනිස්සු මේ අවලාද දේශපාලනය පිළිගන්නේ නැත. කට කයිරුවාරුකාරයන්ගේ දේශපාලනය පිළිගන්නේ නැත. ගෝඨාට ජයග්‍රහණය කරන්න තරම් පෙන්වන්න වැඩ තිබිණි. වැඩකරන විරුවා ලේබලය ඔහු සතුව තිබිණි. සජිත් කරපු තරමක් කළේ පෙට්ටි ගෙවල් හදමින් මාධ්‍ය සංදර්ශනය කිරීමය. තමන්ගේ මිතුරු ව්‍යපාරික ජාලයේ වියදමෙන්, රජයේ අරමුදල් පිල්ලි ගසා බඩුමුට්‍ටු බෙදාහැරීමය. මේ සිල්ලර වැඩවලින් මිනිසුන්ට රටක් බාර දෙන්න තරම් පෙළඹීමක් ඇතිකරන දෙයක් නොවේ. ඒවා දැන් ගොඩක් පරණ උපක්‍රමයකි. ඒවායේ ඇති බොරුව මිනිස්සු තේරුම් අරන් තිබේ. දෙන දෙයක් අරගෙන අවශ්‍ය කෙනාට ඡන්ද දෙන්න මිනිස්සු දැන් අත්දැකීමෙන් ඉගෙන ගෙන තිබේ.
කොහොම නමුත් අද රනිල් වික්‍රමසිංහ කරමින් සිටින්නේ අලුත් දේශපාලනයකි. සිල්ලර වැඩ, ජනප්‍රිය වැඩ වෙනුවට රට ගොඩනගන අමාරු සංකීර්ණ කටයුත්තට අත ගසා ඇත. සජිත්ලා අනුරලා බාරගන්න බෑ කියපු අභියෝගය බාරගෙන තිබේ. අතිශය දුෂ්කර කොන්දේසි යටතේ වුව අද ඔහු රට ගොඩගැනීමේ දිසාවට තල්ලු කරමින් යයි. මේ තනි මිනිහෙකුගේ වැඩය. ඔහුගේ සහයට හිටියේ සජිත්ලා හොරුය කියන 134 දෙනාය. නමුත් විපක්ෂය තම යුතුකම වගකීම මඟ හරිද්දී ඒ 134 තමන්ට රට වෙනුවෙන් ඇති වගවීම පෙන්වා ඇත. සජිත්ලා සියල්ල කඩාකප්පල් කරමින් ජනතාව තවදුරටත් අමාරුවේ දැමීමට වැඩ කරන අතරේ මේ 134 රට වෙනුවෙන් තමන්ගේ ඇති අවංක කැපවීම පෙන්වා ඇත. විශේෂයෙන්ම අද ඇමති මණ්ඩලය යනු මෑත ඉතිහාසයේ දකින්නට ලබුණු සක්‍රීයම ජව සම්පන්නම සහ දක්ෂතම ඇමති මණ්ඩලය බව පෙන්වමින් තිබේ. මේ කිසිවකු සමඟ සජිත්ට හැරෙන්නවත් බැරි බව ද අමුතුවෙන් කිව යුතු නැත. එය රට්‍ටු දන්නා ඇත්තකි.
අද රට ඉදිරියට ගමන් කරන්නේ ආණ්ඩුවේ අති මහත් කැපවීමෙනි. රනිල් මේ මොහොතේ, සජිත් අනුර ඇතුලු විපක්ෂයට යෝජනා කරන්නේ තවදුරත් විපක්ෂයට වී පජාත වෙමින් කූජිත වෙමින් සිටිනවාට වඩා මේ මල් වට්ටියට අත ගසා රට ගොඩනැඟමේ පිංකමට දායක වන ලෙසය. තමන්ගේ අනාගත පැවැත්මකට යමක් කරගන්නා ලෙසය. නැතිනම් මේ විපක්ෂය වැටෙන්නේ රටට ජනතාවට ද්‍රෝහී වූවන්ගේ කුණු බක්කියට බවය. කොහොම නමුත් දැන් සජිත්ලා තමන්ගේ ඉරණම ලියාගෙන අවසන්ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විවාදයට එක් වෙමින් ඒ බව සහතික කර තිබේ. ඒ ඔවුන් ඊට පක්ෂව ඡන්දය නොදී සිටීමට තීරණය කිරීමෙනි.
මේ මොහොතේ රට අර්බුදයෙන් මුදවාගැනීම වෙනුවෙන් ඇති එකම විසඳුම මේ වැඩපිළිවෙල සමඟ ඉදිරියට යාම පමණකි. වෙනත් විකල්ප විසඳුමක් මෙතෙක් ඉදිරිපත්ව නැත. සජිත්ලා විවේචනය හැර ඒ විවේචනයට අදාල විකල්ප ඉදිරිපත් කරන්නේ නැත. එහෙම තිබියදී අර්බුදයට ඇති විසඳුමටත් එරෙහි වන විට, එහි තේරුම රටත් ජනතාවත් වළපල්ලට යෑම විපක්ෂය බලපොරොත්තු වෙන බව ප්‍රකාශයට පත් කිරීමය. එය රටට ජනතාවට ද්‍රෝහී වීමකි. ගොඩ එන්න තිබෙන මාර්ගය අවුරමින් ඊට එරෙහි වෙමින් කරන දේශපාලනයේ වෙනත් තේරුමක් නැත.
ඒ අනුව රනිල් දිගින් දිගටම දුන් පණිවිඩය මේ විපක්ෂයෙ කිසිවකුට තේරුමක් නැති බව පාර්ලිමේන්තු විවාදයේදී පැහැදිලි විය. රනිල් පැහැදිලිවම කියා සිටියේ පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරමු යනුවෙනි. එනම් පක්ෂයක් නැති නිර්පාක්ෂික ආණ්ඩුවකි. නමුත් මේ සරල කතන්දරයවත් තේරුණේ නැත. ආණ්ඩුවක් කිව්වාම සජිත්ලා කල්පනා කරන්නේ අගමැතිකම් ඇමැතිකම් ලබා ගැනීම ගැනය. සජිත්ලාට තේරෙන දේශපාලනය එයය. සම්ප්‍රදායික දේශපාලනය තුළ කතන්දරය එසේය. නමුත් රනිල් කීවේ එය නොවේ. පටු පක්ෂ දේශපාලනය කාලයකට හකුළුවා රට ගොඩනගන වැඩපිළිවෙලක් සමඟ සියළු දෙනා එකතු වී කාලවකවානුවක් අනුව යම් ස්ථාවර තත්වයකට රට පත් කිරීමක් ගැනය. ඒ වගකීම බෙදාගෙන සාමුහිකව වැඩ කරමුය යන්න මිස පක්ෂ පාට අනුව ඇමැතිකම් බෙදා ගැනීමක් ගැන නොවේ. වත්මන් පාර්ලිමේන්තුවට ඒ නව ආදර්ශය දිය හැකි බවය. එලෙස රට ජය ගතහොත් එහි වාසිය සියලු දෙනාටම බවය.
වත්මන් ආර්ථික අර්බුදය කිසිවකුට තම තමන්ගේ ගොඩ බෙදාගෙන වාසි බුක්ති විඳිමින් පැත්තකටවීමට අවස්ථාව සලසා නැත. එකිනෙකාට විවේචන ඉදිරිපත් කරමින් තමන් සුදනා වෙන්න අවස්ථාව දී නැත. මේ අර්බුදයට සියලු දෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. මෙතුවක් කල් ඇදගෙන ආ මජර දේශපාලන ක්‍රමය ඊට වගකිව යුතුය. ඒ නිසා සියලු දෙනාගේ එකමුතුවකින් මිස, මේ අර්බුදය ජයගැනීම ජනපති රනිල්ටවත් තනියම එය සිදුකිරීමේ අවස්ථාව දී නැත. එය තේරුම් ගත යුතුය. නමුත් රනිල් සිය අධිෂ්ඨානය අත්හැර නැත. ඔහු කරමින් සිටින දෙය කියයි. කියන දේ කරයි. ඔහුගේ අපේක්ෂාව ඒ වැඩපිළිවෙලට සෙසු අයගේත් සහය ලබාගෙන වැඩේ සාර්ථක කරගෙන එහි සියළු ප්‍රතිලාභ රටට අත්පත් කරදෙන්නය. අනාගත පරපුරට හොඳ රටක් ඉතිරිකර යෑමයය. ඒ වෙනුවෙන් ඔහු වැඩ කරමින් සිටී. ප්‍රතිඵල පෙන්වමින් තිබේ.
රනිල් සුවිශේෂී වන්නනෙත් ඒ ගුණය නිසාය. ඔහු ජනප්‍රිය නැත. නැති ජනප්‍රියත්වය මවා ගන්න, බලෙන් පෙන්වන්න, තමන් ගැන කට කයිවාරුකම් කියන්න රනිල් යන්නේ නැත. හැමදාම තමන් පිළිගත් ප්‍රතිපත්ති අනුව දේශපාලනය කළේය. තමන්ට කෙතරම් අවාසිදායක් වුවත් ඔහු නිවැරදි දේ අත් හැරියේ නැත. අද රට මහා ඛේදවාචකයට ඇද වැටෙන්න තිබු තැනින් ගලවා ගන්නට ඔහු සමත් වූයේ ඒ නිවැරදි ප්‍රතිපත්තිය මත හිඳිමින් වැඩ කරපෙන්වීම නිසාය. කෙතරම් මඩ අවලාද ගැසුවත් ඔහු කිසිවිටක එයින් සැලුනෙක් නොවේ. ජයග්‍රහණයද පරාජයද ඉවසීමෙන් නිහතමානීව පිළිගනිමින් ඔහු අඛණ්ඩව දේශපාලනයෙහි යෙදුනෙකි. අභියෝග බාර ගැනීමට බිය නොවන්නේ ඒ පරිණතකම නිසය. ඒ පරිණතකම මේ මොහොතේ කිසිදු දේශපාලන නායකත්වයකින් ප්‍රකට වන්නක්ද නොවේ.
– ඝෝෂක