රාජ්‍ය සේවය සුද්ද කරන පෙරළියක්

0

කක්කුටු බෙන වහන් නැතුව වක්කඩ බැඳලා වැඩක් නැහැ. ඒ කියන්නේ පොඩි පොඩි වැරදි ටික නිවැරදි නොකර ලොකු වැරදි හදන්න යෑමෙන් වැඩක් නොවෙන බවය. මන්ද පසුව මේ පොඩි පොඩි වැරදි ලොකු වැරදි බවට පත්වෙනවා කියන එකය. ලංකාවේ දේශපාලනයේ නිතර ඇසෙන කතාවක් වී ඇත්තේ රාජ්‍යයේ නාස්තිය වංචා දූෂණ ආදිය නැති කිරීම වෙනුවෙන් ඒවාට වගකිව යුතු දේශපාලකයන් අල්ලා හිරේ දමන බවය. හොරකම් කළ සල්ලි ආපහු ගන්න අරගෙන රටේ ආර්ථික අර්බුදය විසඳන බවය. මෙහෙම කරන්න පොරොන්දු වෙන්නේම ලොකු ලොකු වැඩය. වේදිකා දෙවනත් කරගෙන මේ කතා කියන අය කියන්නෙම අපිට රට බාර දුන්නොත් මාස හයෙන් අවුරුද්දෙන් මේ වැඩේ කරලා රට ගොඩ දමන බවය. මේවා කියන්න ලෙසිය. නමුත් කරන්න ලෙහෙසි නැත. අඩුම තරමින් මේ කියන කතන්දර වල සාධාරණත්වය ගැන, පදනම ගැන අදහසක්ද නැත. අඩු තරමින් මෙවා කරන්න රටේ නීතියක්වත් තිබෙනවාද නැද්ද යන්න ගැනවත් අදහසක් නැත.

කොහොම නමුත් රාජ්‍ය සේවය නැතිනම් රාජ්‍ය යාන්ත්‍රණයම රටට බරක් වී ඇති බව අද සෑම සියලු දෙනාම පිළිගන්නා සත්‍යයකි. ඒ අත්දැකීමෙන්ම විඳගෙන දන්නා දෙයකි. රජයේ වියදම් අධිකය ආදායම් අඩුය, ආකාර්යක්ෂමතාවය, නාස්තිය, දූෂණය, වංචාව රාජ්‍ය සේවය හා ආත්මියව බැඳී තිබෙන තරම් සමීපය. මේ තතවයන් හා රටේ රාජ්‍ය යන්ත්‍රණයේ විශාලත්වය අනුව රට බංකොලොත් වීමට එය හොඳටම ප්‍රමාණවත්ය.

එහෙත් මේ ජරාජීර්ණ තත්වයන් වෙනස් කිරීමට යෝජනා කරන වුන් ඒ වෙනුවෙන් ගන්නා පියවර මොනවාද? යාන්ත්‍රණය කාර්යක්ෂම කරන්නේ ඔළුව අතගා හුරතල් කරලාද ? බලහත්කාරයෙන්ද? රාජ්‍ය සේවය කප්පාදු කර අඩු පිරිසකට වැඩි වැඩ ගොඩක් පැටවීමෙන්ද? රාජ්‍ය යාන්තුණයෙන් රාජ්‍ය ආදායම ඉහළ දමන්න පුළුවන්ද ? අලුත් රාජ්‍ය ව්‍යාපාර ආරම්භ කරනවාද? අධික වියදම් කපා හරින්නේ නාස්තිය අවසන් කරන්නේ කොහොමද? අකටයුතුකම්, වැරදි වලට වගකිව යුතු අය අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමෙන්ද ? අලුතෙන් නීති රීති දමා හොරු අල්ලන්න පුළුවන්ද? අලුත් පාලකයන් පත් කරලාද? මේක මාස 6න් නැතිනම් අවුරූද්දෙන් කරන්න පුලුවන්ද? මේ පවතින රාජ්‍ය සේවා ක්‍රමවේදය තුළ එහෙම කරන්න ඉඩක් අවස්ථාවක් ලැබෙයිද? මේ තත්වයන් ඇති වීමට වගකිව යුත්තේ ආණ්ඩු කරපු පාලකයන් කියා පාලකයන් පන්නා දමා අලුත් පාලකයන් පත් කරගැනීමෙන් මේ ගැටලු විසඳිය හැකිද? මේ ආදී ප්‍රශ්න ගනනාවක් පැන නැගීම මෙහිදී සිදුවෙයි.

මෙරට මෑත කාලීන අත්දැකීම් අනුව මේ කිසිවක් සිදු කිරීම කළ නොහැකි බවත් අත්දැකීමෙන්ම මෙරට ජනතාවට අවබෝධයක් තිබේ. රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණයක් ගැන කතා කරනකොටම ඒවට එරෙහිව රාජ්‍ය සේවයෙහි වෘත්තිකයන්ගේ උද්ඝෝෂණ විරෝධතා වැඩ වැරුම් ඇති වීම සිදුවෙයි. ඉතාම ආසන්න උදාහරණයක් ඊයේ පෙරේදා දකින්නට තිබිණි. ඒ පසුගිය 13 වනදා සිදුවූ දුම්රිය සේවකයන්ගේ වැඩ වැරුමය. ඊට හේතුව දුම්රිය සේවකයන් සේවයට වාර්ථා කිරීමේ කාලය සටහන් කිරීමට ඇඟිලි සළකුණු යන්ත්‍රය යොදා ගැනීමට ගත් තීරණයත්, නීති රීති උල්ලංඝණය කරමින් කටයුතු කරන සේවකයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් පාලනාධිකාරිය ගත් තීන්දුවට එරෙහිවය. මේ දුම්රිය වැඩ වරුම නිසා එදින දසදහස් ගනක ජනතාව ප්‍රවාහන අපහසුතාවයන්ට මුහුණ දුන් අතර රජයට ආර්ථිකමය අලාබයක්ද සිදු කරන ලදී. මේ තත්වය මත රජයට සිදුවූවේ දුමරිය සේවය විධිමත් කිරීමට ගත් පියවරයන් අකුලා ගැනීමටය.

පසුගිය ගෝඨා පාලනය බිහිවන්නේ සිස්ටම් චේන්ජ් කළ යුතු බව කියමිනි. එහෙත් කරන්න පුලුවන් වුණේ සිස්ටම් අවුල් කර රට බංකොලොත් කිරීම පමණය. සිස්ටම් චෙන්ජ් කිරිල්ල එහෙම කරන්න නොහැකිය මොටර් රථ දෙපාර්තමේන්තුවට කඩා පැන අරම කරපන් මෙහෙම කරපන් කියා ගෝර නාඩු කළද ඒක එහෙම වෙනස් වුණේ නැත. රේගුව දුෂිතයයි කියා රේගුවට කඩා පැන ඒක සුද්ද කරන්න ගියාම වුණේ රෙගුව වැඩ වර්ජනයකට සූදානම් වීමය. මේ නිසා සිස්ටම් චේන්ජ් කිරීම කළයුතු සිස්ටම් එකක් තිබේ. එය නොදැන මැතිවරණ වේදිකාවල කෑමොර ගහනවා මෙන් දවසෙන් දෙකෙන් කළ හැකිවන්නේ නැත. පසුගිය අරගල සමයේදී නිතර ඇසුණු වචන කිහිපයක් වූයේත් සිස්ටම් චේන්ජ් කිරීම ගැනය. ත්‍රස්ත බලයක් පාවිච්චි කර රටේ බලය අල්ලගෙන තුවක්කු කටින් රට පාලනය කරන්න ගත්තත් සිස්ටම් චේන්ජ් කිරීම එහෙම කරන්නත් නොහැකිය. මාස 6 න් අවුරුද්දෙන් රට ගොඩදාන බව කියන කිසිවකුට එහෙම කිරීමේ ඇත්ත හැකියවක් ඇත්තේ නැත. ලෝකයේ සිදුවූ සමාජවාදී විප්ලවවලින් පවා රටවල් වෙනස් කළේ මාස 6න් අවුරුද්දෙන් නොවේ. දශකයක් දෙකක් යනකම්වත් යම් ප්‍රතිපත්තියක් සැලසුමක් වැඩපිළිවෙලක් ද්‍රෘඩ ලෙස ක්‍රියාත්මක කිරීමෙනි. නමුත් ඒවාද එකතැන පල් වී කඩා වැටිණි. පවතින සහ සංවර්ධනය වෙන වෙනසක් කිරීමට නම් පවතින තත්වයන් ගැන පැතිරුණු අවබෝධයක්, දිගුකාලීන අරමුණක්, ඉවසීමක් මෙන්ම උපක්‍රමශීලී භාවිතයන් අවශ්‍යය. මන්ද මේ සියලු සෙල්ලම් කරන්න වන්නෙ පණ ඇති මිනිස්සුන් සමඟ මිස යන්ත්‍ර සූත්‍ර සමග නොවන නිසාය. මල නොතලා රොන් ගන්නා සේ සියුම්ව මේ සිදු විය යුතුය.

අද මුහුණ දෙන මූලික ගැටළුවක්ව තිබෙන්න රජය සේවය, නියමිත කාල වකවානු වල රටේ ආභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රතිසංකරණය නොවීමේ ගැටළුවය. සුද්දාගේ කාලයේ සිට අටුවම් බැහැපු ක්‍රමවේදයක් වෙනස් කිරීම අද අතිදුෂ්කර කටයුත්ත්කව් තිබේ. නමුත් මෙය සිදු නළ යුතුය. කොතැනින් හෝ පටන් ගත යුතුය. ඒ සඳහා ධෛර්යසම්පන්නව මුහුණ දීමට දේශපාලන නායකත්වයක් ද අවශ්‍යය. කොහොම නමුත් අද එය අර්ම්භ වී තිබේ. වත්මන් ජනාධිපතිවරයා ඊට පියවර ගෙනමින් තිබේ. එය සාර්ථක වීම හෝ අසාර්ථකවීම තීරණය වන්නේ මේ රටේ ජනතාවගෙන්, රාජ්‍ය අංශයෙන් ලැබෙන සහයෝගය මතය. නමුත් මෙය විප්ලවීය වර්ගයේ කඩිතුලප්පු වෙනස් කිරීමක් නොවේ. ක්‍රමක්‍රමයෙන් සීරුමාරුවට වන කටයුත්තක් ලෙස සිදු කෙරෙනු ඇත.

පසුගියදා 2023 වර්ෂයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණ යෝජනා ගනනාවක්ම ඉදිරිපත් කර තිබිණි. නමුත් මේවා අලුත්ම අලුත් දේවල්ද නොවේ. මීට පෙර අවස්ථාවලදී ද විටින් විට කතා බහට ලක්වුණු යෝජනාවන්ය. නමුත් එය මෙවර ක්‍රියාත්මක් කිරීමට අදාල අධිෂ්ඨානය සහිතව ජනාධිපතිවරයා ඉදිරිපත් කර නිකම් හිටියෙත් නැත. ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන තිබේ.

ඔහු මීට සති කිහිපයකට පෙර කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ගෙන විත් තිබුණු යෝජනාවක් වූයේ ක්‍රමානුකූල සමාලෝචනයක් මඟින් රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම ගැනය. එනම් රජයේ ආදායම් අනුව වියදම් නිසි පදනමක් සහිතව පාලනය කිරීම ගැනය. මෙහිදී රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම අරමුණු කරගනිමින් ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදය (’ැරද ඊ්ිැා ඊමාටැඑසබට) හඳුන්වා දීමට යෝජනා කරන ලදී.

ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදය යනු ආදායම බිංදුව වන විට වියදමත් බිංදුවට සමාන කිරීමේ ක්‍රමවේදයකි. එනම් රුපියල් ලක්ෂයක් උපයන්නේ නම්, ඉතිරි කරන හෝ වියදම් කරන සෑම දෙයක්ම රුපියල් ලක්ෂය දක්වා විය යුතු වීමය. එහිදී උපයන එක රුපියලටත් අරමුණක්, ක්‍රියාවක් සහ ඉලක්කයක් තිබිය යුතු වීමය.

මේ අනුව ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදය යටතේ ක්‍රමානුකූල සමාලෝචනයක් මඟින් වියදම් වැඩසටහන්වල ද්විගණනයන්, අපතේ හැරීම්, අඩු ප්‍රමුඛතාවෙන් යුත් ක්‍රියාකාරකම් සහ දැනට පවතින ප්‍රතිපාදන වෙන් කිරීම් උපයෝජනය කිරීමේ කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමවේද හඳුනාගනු ඇත. ඒ අනුව, මුලික පියවර ලෙස වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් ඉහළ ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරනු ලබන අමාත්‍යාංශ දහයක් පිළිබඳව ක්‍රමානුකූල සමාලෝචනයක් සිදු කිරීම පිණිස නිලධාරි කමිටු 10ක් පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව මේ වන විට ක්‍රියාත්මක වීම අරම්භ වි ඇත.

එම අමාත්‍යංශ වන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය /රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය/ අධ්‍යාපන අමාත්‍යාංශය/ සෞඛ්‍ය අමාත්‍යාංශය/ කෘෂිකර්ම අමාත්‍යාංශය/ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය /ආරක්ෂක අමාත්‍යාංශය / මහජන ආරක්ෂක අමාත්‍යාංශය/ වාරිමාර්ග අමාත්‍යාංශය/ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයය. ශුන්‍ය-පාදක අය-වැයකරණය සමඟ, රාජ්‍ය අයතනයන් හී අය – වැය සකස් කිරීමට පෙර සෑම වියදමක්ම සාධාරණීකරණය කළ යුතුය. ශුන්‍ය-පාදක අයවැයකරණයේ ඉලක්කය වන්නේ වියදම් කපා හැරිය හැක්කේ කොතැනද යන්න සොයා බැලීමෙන් වියදම් අඩු කිරීමයි.

සාමාන්‍යයෙන් අය- වැයක සළකා බලන කරුණු තුනකි. ආදායම, කොපමණ උපයනු ඇත්ද? කොපමණ මුදලක් වියදම් කරනවාද? ලාභ අලාබ පුරෝකථනය නැතිනම් වියදම් වලින් පසු කොපමණ මුදලක් ඉතිරිව හෝ ණය වී තිබේද? යන්නය.
එමෙන්ම වැදගත් දේ ශුන්‍ය පාදක අයවැයකරණය (’ඊඊ) යනු මුල සිටම අයවැයක් සෑදීමේ ප්‍රවේශයකි. නව අයවැය පදනම් වන්නේ පෙර අයවැය මත නොවේ. ඒ වෙනුවට අයවැය බිංදුවෙන් ආරම්භ වේ. ශුන්‍ය-පාදක අයවැය පියවර අනුගමනය කිරීමෙන්, සෘජුවම ප්‍රතිලාභ ලබාදෙන ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා කළ යුතු වියදම් කවරේද යන්න තීරණය කරනු ඇත. එවිට, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ වියදම් කිරීමට නව ක්‍රම සොයාගැනීමය. මේ වෙනුවෙන් ඉලක්ක හඳුනා ගැනීමත්, ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා නව මාර්ග හඳුනාගැනීම, සංවර්ධනය කිරීම සහ විශ්ලේෂණය කිරීමත් අරමුදල්වලට ප්‍රමුඛත්වය දෙමින් අරමුදල් සපයාගැනීමට නව ක්‍රම සොයාගැනීත් සිදුකළ යුතුය.

රාජ්‍ය සේවය රටට බරක් නොවී පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙවැනි විධිමත් ක්‍රමාණුකූල ක්‍රමවේදයන් අනුව පවතින ක්‍රම පද්ධතිය වෙනස් කිරීම නැතිනම් සිස්ටම් චේන්ජ් එක විය යුතුය. එසේ නොමැතිව වේදිකාවල්වල කටමැත දෙඩවීම් ප්‍රකාරව කඩිකුලප්පුවට මේවා සිදු කළ නොහැක. විශේෂයෙන්ම සිය ගනනක අණපනත්, දහස් ගනක් චක්‍රලේඛ , නීති රීති සම්ප්‍රදායන් සමඟ ඝනීභූතව තිබෙන දෙයක් නැවත හැඩගැස්සවීම පහසු නැත.

මේ අතර රාජ්‍ය ආයතන සතු අරමුදල් විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් මුදල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් හඳුන්වා දීමේ අවශ්‍යතාව 2022 අතුරු අයවැය යෝජනාවක් මඟින් මු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන තිබිණි. ඒ අනුව, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවස්ථාපිත අරමුදල් ක්‍රමානුකූලව අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම ලෙස නීති කෙටුම්පත් දෙපාර්ථමේන්තුවට බාරදී තිබේ.

තවත් වැඩසටහනක් ලෙස 2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන යෝජනාව අනුව, දැනටමත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය ස්ථාපිත කරනු ලැබ ඇත. ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා අපේක්ෂිත ආයතන අතුරින් ඇතැම් ආයතන රජය සතු සමාගම් වන අතර එවැනි ඇතැම් සමාගම්වල බහුතර කොටස් රජය සතුව පවතී. එසේම, සමහර රාජ්‍ය ව්‍යවසායයන් සංස්ථා වශයෙන් ක්‍රියාත්මක වේ. එම තත්ත්වය යටතේ රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකි වන පරිදි 100%ක කොටස් හිමිකාරිත්වය භාණ්ඩාගාරයේ ලේකම් සතු වන අයුරින් මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව් සමාගමක් ස්ථාපිත කිරීමටත්, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් එකී මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කර ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සිදුවෙමින් තිබේ. මේවා දවසින් දෙකෙන් කළ හැකි සරළ ක්‍රියා මාර්ග නොවේ.

ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැඟීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ රජය සතු සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන හඳුන්වා දීමට දැනට පවතින පනත් කිහිපයක විධිවිධාන සංශෝධනය කිරීමත් සිදුමෙින් තිබේ. ඒ අතර, මහා භාණ්ඩාගාරය යටතේ පවතින කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ රාජකාරි කටයුතු පුළුල් කර ඊට නෛතිකභාවයක් ලබා දීමටත්, ජාතික වත්කම් ලේඛනයක් පිළියෙල කිරීමට සහ රාජ්‍ය වත්කම් සම්බන්ධ මධ්‍යගත දත්ත පද්ධතියක් හඳුන්වා දීමටත් හැකි වන පරිදි යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින් ‘රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත‘ ඉදිරිපත් කිරීමේ කටයුත්තත් සිදුවෙමින් තිබේ.

මේ අතර නූතන තාක්ෂණික ලෝකයට ගැලපෙන වඩාත් ඵලදායි,කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහතික කිරීම වෙනුවෙන් ක්‍ය්එඨඡඔ (චැට්ඨඡඔ) – කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර නව යුගයක ආරම්භය සනිටුහන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තාක්ෂණික අමාත්‍යංශය කටයුතු කරමින් තිබේ. ඒ අනුව ඉදිරියේදී පුරවැසියන්ට වඩා හොඳ සේවාවන් සැපයීම වෙනුවෙන් ලංකාවේ රජයේ කාර්යාල තුල මේ නූතන තාක්ෂණික භාවිතාව අත්දකින්න ලැබෙනු ඇත.සිස්ටම් චේන්ජ් වෙනවා කියන්නේ මේකටය. කක්කුටු බෙන වහන්නේ නැතුව වක්කඩ වැහුවාට වැඩක්වෙන්නේ නැතිවා සේම ආණ්ඩු මාරු කළාට, පාලකයන් පැන්නුවාට, හොරු අල්ලා හිරේට දැම්මාට අවශ්‍ය දේ වන්නේ නැත. ගැටළුවට මූලික හේතු සොයා මුලින් පිළියම් කළ යුතුය.

මේ අනුව පැහැදිලිම කරණාවවන්නේ කඩි කුලප්පුවට, විධායක බලය තිබුණද, ආණ්ඩුවේ බලය තිබුණට දේවල් කළ නොහැකි බවය. ඒ සඳහා පියවර ගත යුතුවීමේ ක්‍රමාණුකූල විධික්‍රම තිබේ. ඒවාට යම් කාලයක් ගතවීමත් සාධාරණය. දැන් ආණ්ඩු බලය ගත්ත කියා කිසිවකුට රට වෙනස් කිරීම තබා රාජ්‍ය දෙපාර්ථමේන්තුවක් වෙනස් කිරීමත් කටේ හයියෙන් හෝ අරගලයේ හයියෙන් නෙවෙයි නම් තුවක්කුවේ බලයෙන්වත් කළ නොහැක. නමුත් මාස 6 න් හරි අවුරුද්දෙන් හරි රට හදනවා කියන අයට ජනාධිපති රනිල් රට හදන්න අවශ්‍ය පදනමට නැතිනම් ඒ පාරට රට ගෙනත් දැමීමෙන් පසුව නම් ඒ කටයුත්ත කළ හැකි වෙනු ඇත. නමුත් ඒ සඳහාත් ඇත්ත අධිෂ්ඨානයක් මෙන්ම හරි පාරේ යෑමේ හැකියාව සහිත විය යුතුය. රනිල්, 2048 දී සංවර්ධිත රාජ්‍යයක අපේක්ෂාව ජය ගත හැකිය කිව්වේ මේ පාරේ යන්නට අනාගත නායකයන්ට හැකි නම් පමණි. ඒ මොනවා කරන්නත් අද රනිල්ට, ඒ පාර සැකසීමේ අවස්ථාව දිය යුතුය. එවිට මේ පාර කොහෙටද කියා අසන්නට අවශ්‍ය වන්නේ නැත. විසඳුම කුමක්ද කියා අසන්නට අවශ්‍ය නැත.

-ජයතුංග බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *