රාජ්‍ය සේවය මහජන සේවය පිණිසයි !
“රාජ්‍ය අංශය”, මේ නම ඇහෙද්දිම හිතට දැනෙන්නෙ එතරම් සුන්දර අදහසක් නෙමෙයි. මොකද කාලාන්තරයක් පුරාවට ජන සමාජය අත්දැකපු දේවල් එක්ක අපේ රටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන්නෙ හරිම පසුගාමී අදහසක්. යාවත්කාලීන නොවිච්ච, යල් පැන ගිය නීති රීති, රෙගුලාසිවලින් බැඳිච්ච, ගතානුගතික අදහස්වලින් පිරිච්ච අකාර්යක්ෂම සහ දූෂිත තැනක් විදියට තමයි රාජ්‍ය සේවය ගැන සමාජ මතය හැදිල තියෙන්නේ.
ඇත්තටම මේ තත්වයට මෙච්චර කාලයක් පැවැති සියලු රජයන් වගකිව යුතුයි. රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයන් කිහිපයක් අදහසක් විදියට ඉදිරිපත් කළත් මෙතෙක් කිසිදු රජයක් එය ක්‍රියාවට නන්වන්න ඉදිරිපත් වුණේ නෑ. මේ තත්වය මේ විදියටම පවත්වාගෙන යන්න පැවැති රජයන් වගේම වෘත්තීය සමිති මාෆියාවනුත් වගකිව යුතුයි.
2023 වසර වන විට සමස්ත රාජ්‍ය සේවය 1,491,622ක් ලෙස දක්වා තියෙනවා. 2019 වසරේදි රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයක් අනුව 2018 වර්ෂය වන විට සමස්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,104,419ක් බව දක්වා තිබුණා. මේ අතරින් අ.පො.ස (සා.පෙළ)වත් සමත් නොවූ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය 196,128 ක්. එය සමස්ත රාජ්‍ය සේවයේ ප්‍රතිශතයක් ලෙස 17.8% ක්. එසේම අ.පො.ස (සා.පෙළ) සමත් සංඛ්‍යාව 223,429 ක් (20.2%), අ.පො.ස (උ.පෙළ) සමත් සංඛ්‍යාව 395,175ක් (35.8%) උපාධිධාරීන් සංඛ්‍යාව 209,153ක් (18.9%), පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සමත් සේවකයන් 46,847ක් (4.2%), පශ්චාත් උපාධිය සමත් සංඛ්‍යාව 30.191ක් (2.7%) හා ආචාර්ය උපාධිය සමත් පුද්ගලයන් ගේ සංඛ්‍යාව 3,296ක් (0.3%) ලෙස දක්වා තිබුණා.
මේ විදියට ගත්තහම සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා රජය විසින් උපයන සෑම රුපියල් සියයකින් රුපියල් 44කට වැඩි මුදලක් රාජ්‍ය සේවාව වෙනුවෙන් වෙන් කළ යුතුව තිබෙනවා. මේ අතර රජයේ දත්ත අනුව 2022 වසරේ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2,284ක් වූ අතර, රජයේ මුළු වියදම රුපියල් බිලියන 3,912ක්. මේ අතර රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වෙන් වන පහසුකම් ප්‍රමාණයත් අති විශාලයි. සාමාන්‍ය පෞද්ගලික අංශයේ සේවකයෙකුට ආසන්න විය නොහැති තරමේ වරප්‍රසාද හා පහසුකම් ප්‍රමාණයක් රජයේ සේවකයින් වෙනුවෙන් වෙන් කර ඇත.
සාමාන්‍ය රජයේ සේවකයෙකගේ රාජකාරි කාලය වන්නේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වාය. එයද සතියේ දින පහක් පමණි. ඒ අතර රජයේ සියලු ප්‍රසිද්ධ නිවාඩු ඔවුන්ට හිමිය. මේ අතර අනියම් නිවාඩු 21ක්, විවේක නිවාඩු 24ක් ලෙස වැටුප් සහිත නිවාඩු 45ක් හිමිය. මෙය සෑම වර්ෂයකම හිමි වරප්‍රසාදයකි. මේ අතර වසර දහයක සේවා කාලයෙන් පසු විශ්‍රාම වැටුපක් හිමි වන අතර, රුපියල් 600, 300, 125 වැඩි අඩු වාරික ක්‍රමයක් යටතේ හිමිවන අග්‍රහාර රක්ෂණාවරණයට ද හිමිකම් කියයි.
මෙම පහසුකම්වලට අමතරව තවත් සුබසාධන වරප්‍රසාද රැසකට ඔවුන් හිමිකම් කියයි. ඒ අතර වාර්ෂිකව පවුලේ සියලුදෙනාට හිමිවන නොමිලයේ දුම්රියේ ගමන් කිරීමට නිදහස් දුම්රිය බලපත්‍ර හිමි වන අතර, මෙය වර්ෂයකට අවස්ථා තුනකට හිමිකම් කිවහැක. එසේම දිවයින පුරා පිහිටි සංචාරක බංගලා ඉතා අඩු මුදලකට වෙන්කර ගැනීමේ හැකියාව ඇති අතර, මේ සංචාරක බංගලා සියල්ල නඩත්තු කරනු ලබන්නේ රජය විසිනි. එසේම 4%ක සහන පොලියට ණය ලබා ගත හැකිය. දේපළ මිලට ගැනීම සඳහා ලක්ෂ 30ක් දක්වා ණය හිමි වේ. එසේම විධායක ශ්‍රේණියට දුරකථන දීමනා, ඉන්ධන දීමනා, විදේශීය පුහුණු, දේශීය පුහුණු, විදේශ සංචාර යන උපරිම පහසුකම් හිමි වේ.
මෙපමණ පහසුකම් ප්‍රමාණයක් ලබා දෙමින් රජය විසින් නඩත්තු කරනු ලබන රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අප මුළින් සඳහන් කළ අන්දමේ ආකල්පයක් ඇති වූයේ කෙසේද යන්න වෙනමම සලකා බැලිය යුතු කාරණාවකි.
රජයේ ප්‍රාදේශීය පාලන කටයුතු වෙනුවෙන් අති විශාල රාජ්‍ය සේවකයින් ප්‍රමාණයක් සේවයේ යොදවා ඇති නමුත්, එය එක් අතකින් ඵලදායීද නැද්ද යන්න පිළිබඳව වත් සැලකිල්ලක් දක්වා ඇත්ද යන්න ගැටළුවකි. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ ක්‍රියාවලියට අදාලව පරිපාලන පහසුව වෙනුවෙන් පළාත් 9ක්, දිස්ත්‍රික් 25ක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332ක් හා ග්‍රාම නිලධාරී වසම් 14,022ක් ලෙස වෙන් කර කටයුතු කරමින් ඇත. මෙම පරිපාලන ක්‍රියාවලිය තුළ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර නිලධාරීන් ප්‍රමාණය අති විශාලය.
මේ අතරින් සෑම වසමක්ම නියෝජන වන පරිදි ග්‍රාම සේවා නිලධාරීවරයෙක් පත් කර ඇති අතර, එයට අමතරව වසම් කිහිපයක් ඒකාබද්ධ කර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙක් හා සමෘද්ධි නිලධාරීවරයෙකු පත් කර ඇත. තත්වය මෙසේ තිබියදී උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩපිළිවෙල යටතේ රජයට බඳවා ගත් උපාධිධාරීන් සංවර්ධන නිලධාරී ලෙස සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම එක් නිලධාරියෙකු ලෙස වෙන් කර ඇත. සාමාන්‍ය ගණනය අනුව එක් ග්‍රාම සේවා කොට්ඨාශයකට රජය විසින් උපාධිධාරීන් ඇතුළුව රජයේ නිලධාරීන් හත් දෙනෙකු වෙන් කර ඇති අතර, මේ අනුව සමස්ත දිවයින පුරා විහිදී ඇති ග්‍රාම නිලධාරී වසම් 14,022 වෙනුවෙන් වෙන් කර ඇති නිලධාරීන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉතා ඉහළ අගයකි.
මෙම නිලධාරීන් සියලු දෙනා වෙනුවෙන් වැටුප් හා වේතනයන්ට අමතරව අප ඉහත සාකච්ඡා කළ සියලු වරප්‍රසාද හා පහසුකම් වෙනුවෙන් රජය විසින් පිරිවැය දරන අතර, මීට අමතරව එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාස වන අදාල නිලධාරීන් වෙනුවෙන් කාර්යාල පවත්වා ගැනීම වෙනුවෙන් කාර්යාල පහසුකම් වියදමක්ද දරමින් ඇත. ඒ අතර බොහෝ නිලධාරීන් සිය කාර්යාලය තමන්ගේම නිවසේ පවත්වාගෙන යන බවත්, නිවසේ පවත්වාගෙන යනු ලබන කාර්යාලය වෙනුවෙන් කාර්යාල දීමනාව ලබා ගන්නා බවත් නොරහසක්. විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන් වසම්වලට අනුයුක්ත කිරීමේදී නිවසට ආසන්න වසම හෝ පදිංචි වසමේ නිලධාරියා ලෙස පත් කර ඇති අතර, එම නිලධාරීන් සිය කාර්යාලය තමන්ගේම නිවසේ පවත්වා ගෙන යයි.
මීට අමතරව සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ක්ෂේත්‍ර නිලධාරී තනතුරේ විවිධ නාමකරණයෙන් නිලධාරීන් පත් කර ඇත. මේ සම්බන්ධයෙන් විමසීමේදී ඇතැම් විට එකම කාර්ය වෙනුවෙන් නිලධාරීන් කිහිප දෙනෙකු පත් කර ඇති බව පැහැදිළි වේ. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්වීම උදෙසා නිලධාරීන් කිහිප දෙනෙකු යොදවා ඇත.
කාන්තාවන් වෙනුවෙන් වනිතා සංවර්ධන නිලධාරීයෙකු පත් කර ඇති අතර, ළමුන් වෙනුවෙන් ළමා ආරක්ෂක නිලධාරී, මුල් ළමාවිය සංවර්ධන නිලධාරී, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ලෙස නිලධාරීන් තිදෙනෙකු පත් කර ඇත. තරුණ ප්‍රජාව වෙනුවෙන් තරුණ සේවා නිලධාරී, යෞවන කටයුතු නිලධාරී, නිපුනතා සංවර්ධන නිලධාරී, ක්‍රීඩා නිලධාරී ලෙස නිලධාරීන් කිහිප දෙනෙකු පත් කර ඇත. කෙසේ වෙතත් මේ වන විට රජය විසින් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට අනුයුක්තව රජයේ නිලධාරීන් ලෙස බොහෝ තනතුරු ඇති කර නිලධාරීන් පත් කර ඇත.
■ ආපදා සහන සේවා නිලධාරි
■ විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරී
■ සංස්කෘතික කටයුතු සංවර්ධන නිලධාරි
■ සංස්කෘතික සංවර්ධන සහකාර (පළාත් සභා)
■ සංවර්ධන නිලධාරි (පළාත් සභා)
■ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක
■ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි
■ සංවර්ධන ක්ෂේත්‍ර සහකාර
■ බෞද්ධ කටයුතු සමායෝජක
■ මුල් ළමාවිය සංවර්ධන නිලධාරි
■ සමාජ සේවා නිලධාරි
■ වනිතා සංවර්ධන නිලධාරි
■ ක්‍රීඩා නිලධාරි
■ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි
■ තරුණ සේවා නිලධාරි
■ විද්‍යා හා තාක්ෂණ නිලධාරි
■ ක්ෂේත්‍ර සම්බන්ධිකාරක
■ ග්‍රාම සංවර්ධන නිලධාරි
■ මානව සම්පත් සංවර්ධන සහකාර
■ ව්‍යවසාය සංවර්ධන නිලධාරි
■ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි
■ මැහුම් උපදේශිකා
■ නිපුණතා සංවර්ධන නිලධාරි
■ උපදේශන සහකාර
■ සංවර්ධන නිලධාරි (ප්‍රජා විශෝධන)
■ සංවර්ධන නිලධාරී (කෘෂිකර්ම)
■ සමෘද්ධි සංවර්ධන නිලධාරි
■ සංවර්ධන නිලධාරි (ඵලදායිතා)
■ සංවර්ධන නිලධාරි (ආපදා සහන සේවා)
■ සංඛ්‍යා ලේඛන නිලධාරි
■ ජනපද නිලධාරි
■ ලේඛන සහකාර
■ මනෝ උපදේශන නිලධාරී
■ සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරී
යනුවෙන් නිලධාරීන් ගොන්නක් නඩත්තු කරන නමුත් මෙම නිලධාරී ගොන්න මඟින් මේ වන තුරු රජයට හෝ මහ ජනතාවට කෙතරම් ප්‍රතිලාබයක් හිමි වූයේද යන්න සම්බන්ධයෙන් කිසිදු පසු විපරමක් කර නැත. මෙම නිලධාරීන් නඩත්තුව වෙනුවෙන් (වැටුප්, දීමනා, වරප්‍රසාද ඇතුළු සියල්ල) රජය මහජන බදු මුදලින් විශාල කොටසක් වෙන් කරමින් දරණ පිරිවැයට අදාලව මහජනතාවට හිමිවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කළ යුතුය. එය මේ වන විට පමා වී ඇති කාරණාවක් වන නමුත් පමා වී හෝ මේ මොහොතේ එය ඉටු විය යුතු අත්‍යවශ්‍ය කටයුත්කි.
සාමාන්‍යයෙන් අදාල නිලධාරීන්ගේ රාජකාරි ලැයිස්තුව විමසීමේදී මෙම නිලධාරීන් බහුතරයක් මන්ත්‍රී ප්‍රතිපාදනවලට අදාලව යම් යම් උපකරණ බෙදාදීම, වාර්ෂික වැඩමුළු පැවැත්වීම වැනි කටයුතුවලට අමතරව අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය කෙසේ ලබා ගත්තේද යන්න ගැඹුරින් සාකච්ඡා කළ යුතුය.
කලින් කලට මැතිවරන වේදිකාවල දුන් පොරොන්දු හා සිය පාක්ෂිකයින් රැක ගැනීම උදෙසා එකී පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් මෙන්ම වෘත්තීය සමිති මාෆියාවෙන් පවත්නා රජයන්ට එල්ල වන චෝදනාවෙන් ගැලවීම වෙනුවෙන් කිසිදු ප්‍රතිපත්තියක් හෝ ඉදිරි දැක්මක්, වැඩපිළිවෙලක් නොමැතිව රාජ්‍ය සේවය වෙනුවෙන් නිලධාරීන් තොග පිටින් බඳවා ගැනීම සිදු කළ අතර, ඔවුන්ගේ සේවය කෙසේ වෙතත් තනතුරු මවා හෝ නඩත්තු කිරීම සිදුකරමින් ඇත.
මේ අනුව අප මුලින් කී අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් පැවතීමේ වගකීමේ වැඩි පංගුවක හිමිකාරීත්වය ලැබිය යුත්තේ රාජ්‍ය ප්‍රතිපත්තීන් සකස් කරනා පාලන තන්ත්‍රයටය. සමස්ත රාජ්‍ය සේවයේ කළමණාකරණය ඇතුළු ක්‍රියාපටිපාටියට හිමිකම් කියන්නේ රජය විසිනි. කිසිදු ආයතනයක් ස්වාධීන නැත. එසේම රාජ්‍ය සේවය පවත්වාගෙන යනු ලබන නීති රීති කාලාන්තරයක් තිස්සේ එක තැන පල්වන යල් පැන ගිය ඒවාය. ක්‍රමවේදයන් යාවත්කාලීන වී නැත. ආයතන වෙනුවෙන්, ආයනතගත සේවකයින් වෙනුවෙන් අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ආයතන ප්‍රධානීන්ට හෝ වගකිව යුතු නිලධාරීන්ට බලය පවරා නැත.
එකම කරුණ වෙනුවෙන් විවිධ ආයතනවල යල් පැන ගිය වෙනස් ක්‍රියාපටිපාටීන් යොදාගන්නා අතර ඒවා විධිමත් කර නැත. උදාහරණයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිලධාරීන් බඳවාගැනීම සිදුකරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසිනි. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ය. නමුත් ඒ වෙනුවෙන් වූ අනුමැතිය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව. මේ අතර දුම්රිය සේවකයින් වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ රාජ්‍ය සේවා කොමිසන් සභාව විසිනි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආයතන ප්‍රධානියාට යම් සිදුවීමක් සම්බන්ධයෙන් කළ යුතුව ඇත්තේ වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා කොමිසන් වෙන ලිපි යැවීම හා ලිපි ගොනු නඩත්තු කිරීම පමණි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට නිලධාරීන් යොමු කිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙනි. එකී නිලධාරීන් වෙනුවෙන් රාජකාරි පවරනු ලබන්නේ නිලධාරියාගේ තනතුර අයත් අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව මගිනි. ආයතන ප්‍රධානියා විසින් කළ යුතුව ඇත්තේ ඔවුන් සේවයේ නියැලෙනවාද නැතිද යන්න සොයා බැලීම පමණි.
මෙකී යල්පැන ගිය ක්‍රමවේදය වෙනස් කළ යුතුය. රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් හෝ මෙය සිදුවිය යුතුමය. රාජ්‍ය සේවය රටට බරක් වී ඇත්තේ මෙකී කළමනාකරණය නිසි පරිදි සිදු නොවීමය. ඇතැම් ආයතනවල පුරප්පාඩු තිබියදී ඇතැම් කාර්යාලවල අතිරික්ත නිලධාරීන් සිටී. මේවා නිසි පරිදි නියාමනය කළ යුතුය. එසේ නොවන තාක් මේ රටේ උපයන සියලු මුදල් වැඩ කළද මේ රාජ්‍ය සේවය ගොඩගත හැකි නොවනු ඇත. “මහජන සේවය පිණිස” යන්න තවදුරටත් උධෘත පාඨයක් පමණක්ම වනු ඇත.
- රිද්ම අනුරාධ ගම