හරිණි, ඔයා තාමත් 13 ට පක්ෂ ද ?

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය පසුගිය දිනෙක ඔයැ ෂික්බා ප්‍රකාශ කර සිටියේ “එය ඉදිරිපත් කර තිබෙන්නේ ජාතික ගැටලුවට විසඳුමක් ලෙසයි. එය දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන අතර එය ක්‍රියාවට නැංවිය යුතු බව අප විශ්වාස කරන නමුත් එය ජාතික ගැටලුවට සාධාරණ විසඳුමක් විය හැකිද යන්න පිළිබඳව අපට විවාදයක් තිබේ. ” යන්නය.

හරිනි අමරසූරිය යනු විශ්වවිද්‍යාල ආචාර්යවරියකි. ඇය ලෝකය හා ලෝකයේ දේශපාලන මතිමතාන්තර සම්බන්ධයෙන් අවබෝධයක් ඇත් අයෙකි. එසේම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රශ්න විග්‍රහ කර ගැනීමට උන්නදුවක් දක්වන බවත් ඇය පෙන්වා තිබේ. මේ නිසාම ඇය මෙතෙක් හැදැරූ දේශපාලනික ශබ්ද කෝෂය අනුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැංවිය යුතු බව කීම සත්‍යයකි. එනම් බලය බෙදා හැරීමේ යම් ක්‍රමවේදයක් අනුව මේ ගැටලුව විසඳිය යුතු බවය.

එහෙත් අමරසූරිය මහත්මියගේ දේශපාලන කියවීම එසේ වුවද ඇය නියෝජනය කරන පක්ෂයේ අරටුව නැතිනම් මව් පක්ෂය දරණුයේ ඉඳුරා වෙනස් මතයකි. ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පසුගියදා ප්‍රකාශ කර සිටියේ,

” මේ අටවලා තියෙන්නේ උගුලක්. ජාතිවාදී උගුලක් මේ අටවලා තියෙන්නේ. ජනතාව අතර ගැටුම් හදන උගුලක් අටවලා තියෙන්නේ. ජනතාව අධිෂ්ඨානයෙන් රට වෙනස් කරන්න හදනකොට ඒකට බාධා කරන්න උගුලක් මේ අටවලා තියෙන්නේ. ඒ උගුලට උදව් කරන්න බංකොලොත් ජාතිවාදී නඩත් ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ නිසා ජාතිවාදී උගුලට අහුවෙන්න එපා.උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතුයි. ඒත් ඒක මේගොල්ලන්ට කරන්න බෑ,” යන්නය.

ජවිපෙ ලේකම්වරයාට අනුව උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නය විසදිය යුතු බව කියයි. ඒ අතරම මෙය මරඋගුලක් බවද කියයි. කෙසේ නමුත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව පසෙකින් තබන ලේකම්වරයා පවසන්නේ මේ ගොල්ලන්ට කරන්න බෑ යන්නය. මේ නොකියා කියන්නේ අපට මෙය විසදිය හැකි බවය. මෙය ජවිපෙ විසින් දිගින් දිගටම දැරූ මං පොර න්‍යායය.

කෙසේ නමුත් පසුගිය කාලය පුරාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට පක්ෂව පෙනී සිටියේය. ඒ වෙනුවෙන් වන සර්ව පාක්ෂික සාකච්ඡාවක් ද කැඳවූ අතර ජවිපේ හෝ ජාතික ජන බලවේගය ඊට සහභාගී වූයේ නැත. එසේම ජවිපෙ ජාතිවාදී පදනමක සිට 13 ට එරෙහිව දශක කිහිපය තිස්සේම දැරු උග්‍ර විරෝධය, මාරාන්තික වීදී සටන් සිදුකිරීමක් මේ කාලය තුළ නොදැක්කේය. ඒ වෙනුවට තැනින් තැන විවිධ සහෝදරවරුන් 13 පක්ෂ බව දැක්වෙන ඇගවීම් සිදුකරමින් ගියේය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දිගින් දිගටම ප්‍රශ්න කිරීම් කර තිබිණි. විවිධ පුද්ගලයින් පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ 60 000කට ආසන්න සාමාජිකයන් හිතවතුන් මිය ගියේ 13 වන ව්‍යවස්ථාව පදනම් කරගෙන සිදුකළ කැරළිගැසීම් හමුවේ බවත් දැන් ජවිපෙ 13ට විරුද්ධ නොවෙමින් ඝාතනයට ලක්වූවන්ට නින්දා කරන බවයි. එසේම ජවිපෙය දැන් ධනේෂ්වර ලිබරල් මොඩලය අනුගමනය කරමින් සිටින පක්ෂයක් බවයි.

මේ තත්වයන් මෙසේ පවතිද්දී ජාතික ජන බලවේගයේ ඇතැම් විද්වතුන් මෙම දේශපාලන විසදුම සම්බන්ධයෙන් වන තම මතයන් ජාතිවාදී පදනම් මත විග්‍රහ කිරීමට ප්‍රයත්න දැරීය. මේ අතරින් හරිනි විසින් දැක්වූ මතවාදය මැදිහත් මතධාරීන් විසින් උත්කර්ෂයට නංවනුද පෙනෙන්නට තිබිණි. කොහොම නමුත් දේශපාලන විසඳුම පිළිබද තියුණු සංවාදයකට හරිණිගේ මැදිහත් වීම තව දුරටත් සිදුවෙතැයි බලාපොරොත්තු වූවද හරිණි දේශපාලන කරලියෙහි නොපෙනී ගියේය. බොහෝ විට ජවිපෙ බලපෑම මත ඇයව කාලයකට ප්‍රසිද්ධ තලයේ අදහස් දැක්වීමෙන් ඉවත් කර තැබීමට කටයුතු කළාද යන සැකය ද මතුවිය. කොහොම නමුත් හරිණි දැරු මතය නිසා ජවිපෙ හා ජාජබ අතර වන අභ්‍යන්තරික මත ගැටුම් නිර්මාණය වීමට පටන් ගත්තද එය කරළියට පැමිණීම වළක්වාලීමට පවතින මැතිවරණ උණුසුම බලපෑවේය.

මේ සිද්ධිදාමයේ තවදුරටත් පුර්වාපර සන්ධි ගලපන්නට උවමනාවක් නැත. ජවිපෙ යනු දිගින් දිගටම කවර මට්ටමේ හෝ බලය බෙදීමක් සම්බන්ධයෙන් තම මුල් නායකයාගේ සිටි උග්‍රතම විරෝධයක් ප්‍රකාශ කළ පක්ෂයකි. එහෙත් අද තත්වය වෙනස්ය. නිහඬය. මේ සදහා හේතු කාරණා විනිශ්චයේදී ඇත්ත ජවිපෙ උවමනාව පැහැදිලි කරගත හැකි වනු ඇත. දැන් ජනතා විමුක්ති පෙරමුණ හෝ සීනුව ජනතාවගේ මතකයෙන් ඈත් කර ඇත. දැන් ප්‍රදර්ශනයට තබා ඇත්තේ ජාජබය නැත්නම් මාලිමාවය. එය දම් පාටය. සෞම්‍යය, සාමකාමීය, නිදහස්වාදීය නැතිනම් ලිබරල් වටිනාකම් අගයයි. එම පිටකවරය නිර්මාණය කළේ පිටස්තර සිවිල් චරිත ගනනාවක් විසිනි. නමුත් ඇතුළත පරණ හණ මිටි මතවාදයන් පුරවාගත්, ජාතිවාදී, ත්‍රාඩ, ජවිපෙ සැඟව සිටී. වෙනත් කිසිදු පක්ෂයක් සංවිධානයක් මාලිමාව තුළ නැත. මේ නිසාම 13 ප්‍රශ්නය හමුවේ හැව ඇරීම මේ වෙලාවේ බරපතල වැරැද්දක් බව ජවිපෙ ගනන් හැදීමය. එයට හේතුව දේශපාලන රැල්ල හැදී ඇත්තේ මාලිමාවට බලය ලබාගැනීම සදහාය. එබැවින් ජවිපෙ නිළ මතයන් ජනතාවට දැන් අදාළ නැත. එසේම මාලිමාවද 13 සම්බන්ධයෙන් නිහඬකර තිබේ. නැතහොත් හරිනිලා 13ට හෝ බලය බෙදා හැරීමට පක්ෂව මතවාදයක් ගොඩනැඟීම ජවිපෙ දේශපාලනය අර්බුදයට යවන්නක් වීම අනිවාර්ය තත්වයකි. එසේම ජවිපෙ නායකත්වයට ප්‍රතිපක්ෂව වෙනත් නායකත්ව භූමිකාවක් ගොඩනැඟීම සිදුවෙයි. මේ තත්වය හමුවේ හරිණිගෙන් දැන් අහන්න තියෙන්නේ ඔයා තාමත් 13 ට පක්ෂ ද ? කියා නමුත් හරිණි ආගිය අතක් නැත.

එමෙන්ම අනුරලාට, ටිල්වින්ලාට, ලාල් කාන්තලාට, 13 උගුලක්ය කියනවාට වඩා දෙයක් කියන්නටද නොහැක. තමන් ප්‍රශ්නය විසඳනවාය කිව්වත් ඒ බලය බෙදා හැරීමෙන්ද නැතිනම් මධ්‍යගත කිරීමෙන්ද යන්න ගැන හෝ සිය ප්‍රතිපත්තිය කුමක්ද යන්න හෝ ගැන ජවිපෙ නිහඬය. මාලිමාව සහ ජවිපෙ, 13 සම්බන්ධයෙන් දරණ මතය හෙළිදරව් වීම වැලැක්වීම ජවිපෙ උපක්‍රමයවී ඇත්තේ බලය අත්පත්කර ගැනීමේදි ඡන්දදායකයා ඇත්ත දැනගැනීම වැලැක්වීමට සිදුව තිබෙන නිසාය.

කොහොම නමුත් වාර්ගික ප්‍රශ්න වෙනුවෙන් පාර්ලිමේන්තුව පැමිණි දෙමළ සන්ධානය මුලදී 13 සම්බන්ධයෙන් එකගතාවයන් පළ කර සිටියද ජනාධිපතිවරයා විසින් 13 ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිත්ම තුෂ්ණීම්භූත වී ඇත. 13 ව්‍යාවස්ථාව මුලමනින්ම ක්‍රියාත්මක කරවා ගැනීමට දෙමළ ජාතික සන්ධානයත්, ඉන්දියාවත් දිගටම බලපෑම් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළත් මේ බලපෑම සිදුවිය. විපක්ෂය කියන විදිහට මැතිවරණය අස්සේ ජනාධිපතිවරයා හදිස්සියේ 13 කරළියට ගෙන ඒම වෙනයම් උගුලක් ඇටවීමක් නොවේ. මෙය පරක්කු වී ඇති හදිස්සි වැඩක් ලෙස දශක ගනනාවක්ම නොකෙරී තිබුණු දෙයකි. මේ සාකච්ඡාව දිගටම තිබිණි. ඒ කඩුල්ල පැනගැනීම වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් වන අතිරේක සහයක් ලෙසද පවතී. විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරා සංවිධාන මෙරට තුළ ඩොලර් බිලියන් ගනනක් ආයෝජනය කිරීමේ පොරොන්දුව දී ඇත. ඒ උතුරට සීමා වීමක් නොවේ. ප්‍රතිලාභය සමස්ථ රටේ අභිවෘද්ධියටය. දෙමළ දේශපාලන පක්ෂ 13 ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහය හමුවේ අඩියක් පස්සට ගැනීම මේ මැතිවරණ මොහොතක දේශපාලනික කාරණයකි. මන්ද ජතිවාදී පදනමක සිට කටයුතු කිරීමේ දී උතුරේ දෙමළ ඡන්ද වාසිය ලබා ගැනීමේ හැකියාවය. හිඟන්නාගේ තුවලය මෙන් මේ ගැටලුව තබා ගැනීම උතුරෙ දකුණේ කියා වෙනසක් නැති බව ජනාධිපතිවරයාගේ එළැඹුම විසින් හෙළිදරව් කර තිබේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මූලිකවම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ සර්වපාක්ෂික සාකච්ඡාවන් සහ පාර්ලිමේන්තුව හරහා ගැටළුව විසඳීමටය. බලය බෙදීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම සදහා සෑම පාර්ශ්වයකටම පිළිගත හැකි එකඟතාවයක් අනුව වැඩපිලිවෙලක් සකස් කිරීමය. මේ සඳහා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ද කර ඇරියේය. අනාගත ජනාධිපති සිහිනයේ සිටින සජිත් ප්‍රේමදාස උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හෝ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් මෙලෝ හසරක් නොදන්නා අයෙකු සේ කටයුතු කරයි. මේ අනුව සමගි ජන බලවේගය ද ඡන්ද ගොඩ දිනා ගැනීම ප්‍රමුඛ නිසා ඇත්ත ප්‍රශ්නය මඟ හැර ඇත.

ජනතා විමුක්ති පෙරමුණ, ජතික ජනබලවේගය, දෙමළ සන්ධානය හා සමගි ජන බලවේගය 13 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇත්ත වමමතය ප්‍රකාශ නොකර වෙන විකාර රඟ දැක්වූවද ජනාධිපතිවරයා වාර්ගික ගැටළුව සඳහා වන දේශපාලන විසදුම වෙනුවෙන් හැමදාම එකම මතයක සිටියා පමණක් නොව කවර දේශපාලනික අවාසියක් සිදු වූවත් ඒ නොබියව ප්‍රකාශ කිරීමට තරම් දේශපාලනික හයියක් ඔහුට තිබිණි. පසුගියදා යාපනයේ සිදුකළ සංචාරයේදී පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ඔහු එය නිවැරදිව මෙසේ සදහන් කොට සිටියේය.
”අපි බලන්නේ දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි කතා කරලා ඒවත් ක්‍රියා කරන්න යනවා. ඉතින් මේ ටික අපි ක්‍රමානුකූලව කරගෙන යමු ඊළඟ අවුරුද්දේ දෙකේදී. අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයටවක් සීමා වෙලා නැහැ නේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතු වෙලා ගොඩ එන්නට ඕනේ. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ සාකච්ඡාවලින් පස්සේ මම විශේෂයෙන් ම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුත්, පාර්ලිමේන්තු පක්ෂ නායකයින් ගෙනල්ලා දෙවැනි වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සම්පූර්ණ සමාජයට අන්තර්ගත කරලා. අපි ඒ අයට සිංහල, දෙමළ, මුස්ලිම් අය විඳින අයිතිවාසිකම් හා සමාජයේ ලැබෙන භුක්තිය ඒ අයටත් ලබලා දෙනවා,”

මේ අනුව බලයට කෑදරව ඇත්ත ප්‍රශ්න සඟවමින් ව්‍යාජ ප්‍රශ්න තොරොම්බල් කරමින් ජනතාව නොමඟ යවමින් සියලු දේශපාලන බලවේගයන් පසුපසට යවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එඩිතර තීරණයකට පැමිණ තිබෙන බව පැහැදිලිය. මේ ප්‍රශ්නය අද විසඳා ගත්තොත් එහි ප්‍රතිලාබය උතුරේ නැගෙනහිරේ ජනතාවට පමණක් නොවේ, රටටමය. ඒ නිසා බල ලෝභිත්වය දේශපාලනය කරගත් බලවේග රටක, ජනතාවකගේ ප්‍රශ්න විසඳීම ගැන බිය වීම ගැනත් පැහැදිලිකමක් මේ 13 ප්‍රශ්නය මතින් පෙන්නුම් කර තිබේ..

කේ.පී.අයි. ප්‍රියංගනී