ඡන්ද කෙරුවොත් රටම හබක්!

කවුරු කිව්වත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඉඩදෙන්නේ නැතැයි කියමින් මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම අභීත තීන්දුවක් ගත්තද හෙට අනිද්දා වන විට මැතිවරණ කොමිසමට එහි ඇති අසීරුතාවය පසක් වෙනවාට සැකයක් නැත. කොමිසමේ සාමාජිකයන් මහ පොළොවේ පය ගහල ජීවත් වෙනවා නම් අද රට මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න ටික දැනගැනීමේ ඉඩක් තිබිණි. එහෙත් කොමිසම කටයුතු කරන්නේ තමන්ගේ රාජකාරිය කලට වෙලාවට මැතිවරණ පැවැත්වීම කියන සීමාසහිත කාරණය මත පදනම් වෙමිනි. කොමිසමේ දැක්ම “සර්වජන ඡන්ද බලය සුරකින දේශයක්”‍ යන්නය. එහි මෙහෙවර ලෙස සඳහන් වන්නේ “ජනතා පරමාධිපත්‍යය, සර්වජන ඡන්ද බලය හා සබැඳි ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි අදාළ සියළු පාර්ශව දැනුවත් කෙරෙන නිදහස්, සාධාරණ හා විශ්වසනීය මැතිවරණ ක්‍රියාවලියක් කාර්යක්ෂමව හා සඵලතාවයෙන් යුතුව මෙහෙයවීම” ඒ අනුව කොමිසම කටයුතු කරයි. එය කොමිසමට පැවැරී ඇති වගකීම බව ඇත්තකි.

එහෙත් රට නම් සමස්තය දෙස නොබලා නොහිතා තීන්දු ගැනීම නොවිය යුතුය. ස්වාධීන කොමිසන් සභාවක් කියන්නේ තමන්ට ඕනෑ ඕනෑ හැටියට හිතුමතේ තීන්දු ගන්නා අධිකාරියක් වනවා නම් ඒ ආයතන පිහිටුවීමේ වැදගත්කමක් රටට නැත. ජනතාවට මැතිවරණයක් අවශ්‍යවීම ගැන සහ මැතිවරණයක් පැවැත්වීමට හැකි වාතාවරණයක් සහතිකවීමත් මුළින් විය යුතුය.

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පසුගිය වසරේ මාර්තුවේ දී පැවැත්වීමට නියමිත වූවත් කොරෝනා වසංගතය පෙන්වා එය වසරකින් කල්දැමීමට එදා ආණ්ඩුව කටයුතු කළ නමුත් එදා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැතිවරණ පැවැත්වීම කියමින් එයට එරෙහිව මීක් ගෑවේ නැත. වර්තමානයේ රටේ තත්වය ඇත්තේ වසංගත සමයට වඩා අනතුරුදායක තැනක බව කොමිසමට අවබෝධයක් නැතුවාද නැතිනම් වෙනත් දේශපාලනික වුවමණාවක් වෙනුවෙන් කොමිසන් සාමාජිකයන් කටයුතු කරනවාද යන්න දන්නේ ඔවුන්ය.

රටේ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් කප්පාදුකර මැතිවරණයකට රුපියල් බිලියන දහයක් දොළහක් වැය කිරීම සහ ඊට අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසා දීම රජයට අසීරු බව ජනාධිපතිවරයාත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුනුත් විටින් විට පෙන්වා දී ඇත. ආර්ථිකය යම් තරමකට සවිමත් වෙන තුරු අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැර යම් කාලයක් කැපකිරීමක් කළ යුතුව ඇති බව රජය අවධාරණය කළත් විපක්ෂයට ද අවශ්‍ය වී ඇත්තේ මැතිවරණයම පමණි.

එසේම විපක්ෂය මැතිවරණ කොමිසමටද එම බලපෑම සිදුකරමින් තිබේ. රටේ මහ ජනතාවට වුව මේ මොහොතේ මැතිවරණ සටනක අවශ්‍යතාවයක් නැත. රටෙන් භාගයක්ම ඉන්නේ බඩගිනි සටනකය. එසේම තවමත් එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකිවීමේ ගැටළුවකය. ආදායම් අහිමිවීම, හිඟවීම, භාණ්ඩ හා සේවාවන් අත්පත් කර ගැනීමේ දුෂ්කරතාවයන් නිසා රටම පීඩාවන්ට ගොදුරුව තිබේ. තෙල් පෝළිම්, ගෑස් පෝළිම්, ආහාර පෝළිම්, බෙහෙත් පොලිම් නැතිකර පැවැති දුෂ්කරම තත්වයන්ගෙන් රට මුදවා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වූවද අර්බුදය අවසන් නැත. ඔහුගේ දක්ෂතාවය නිසාම ආර්ථිකය පැවැති තත්වය කළමනාකරණය කරමින් ජනතාව මත පැටවී තිබු බර තරමකට හෝ සහැල්ලු‍ කළ ද අර්බුදය විසඳා ගැනීමේ දුෂ්කර වෑයම තුළ ඔහු අඛණ්ඩව නියැලී සිටී. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්, මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම රජයේ පරිපාලන නිලධාරීන් සියල්ල මේ මොහොතේ එකාවන්ව, එක ප්‍රතිපත්තියක්, සැලසුමක්, වැඩපිළිවෙලක් මත වෙහෙසකර ගමනක නියැලෙමින් සිටින්නේ රට ගොඩ නොදැම්මොත් පුරවැසියාට වැළලෙන්න වන බව හොඳාකරවම දැනගෙනය. එසේම තමන් ගන්නා පියවරයන් වැරදුනහොත් තමුන්ටද පවතින්න බැරි බව දැනගෙනය.

ඒ නිසා මේ කණ්ඩායම ද යන්නේ හරියට අතුරේ යනවා වැනි ගමනකි. එහෙත් විපක්ෂය කටයුතු කරන්නේ මේ අතුරේ ලණු කපා කට්ටිය බිමට ඇද දැමීමේ චේතනාවෙන් බව පැහැදිළිය. මැතිවරණ කොමිසමට කරන බලපෑමත්, පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදී ජනතාව අවුස්සවමින් රජයට එරෙහිව කැරළි ගහන තැනට පත්කරමින් මේ කරන ජඩ සෙල්ලම මේ මැතිවරණයෙන් අවසන් වන්නේ නැත. අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීම මේ ජඩ සෙල්ලමේ බලාපොරොත්තුවය.

එසේම මේ විපක්ෂයටත් මැතිවරණ කොමිසමටත් උඩ ගෙඩි දෙමින් කටයුතු කරන තවත් කණ්ඩායමක් ඇත. ඒ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හෝ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යැයි අටවාගෙන තිබෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලයය. මේ අයට වැඩිපුර ආදායමක් ලැබෙන්නේ මැතිවරණයක් පැවැත්වූ විටය. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා හෝ රටේ දේශපාලනයට මැදිහත් වෙන අනෙක් බලවේගවලින් ඩොලර් මේ අයට ලැබේ.

ඒ අවශ්‍යතාවය මත මැතිවරණ ඉල්ලීම සිදු වේ. ඒ නිසා මෙය තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන්ම කරන තවත් සටනකි. ජනතාව බඩගින්නේ ද බෙහෙත් නැතිව මැරෙන්න යනවාද යන්න මේ අයට ආදාල නැත. මේක අමු සොහොනක් වුණත් තමන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වදින බව පෙන්වමින් ඩොලර් හිඟා කෑමට ලැබෙන අවස්ථාව පාවිච්චි කිරීම මේ අයගේ එකම අපේක්ෂාවය.කොහොම නමුත් මැතිවරණ කොමිසම සිංහ ලීලාවෙන් මැතිවරණ පැවැත්වීමට ලක ලැහැස්ති වුණද පසුගියදා ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතන ප්‍රධානින් කැඳවා මැතිවරණ කටයුතුවලට ලැබිය යුතු සහය ගැන සාකච්ඡා කර තිබිණි. මෙහිදි ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා තිබුණේ මැතිවරණ රාජකාරී වෙනුවෙන් ඉන්ධන කෝටාව වැඩිකර ලබාදෙන ලෙසය. ඉන්ධන ලබාගැනීමට තිබෙන දුෂ්කරතාවය නිසා යම් කෝටා ක්‍රමයකට ඉන්ධන සැපයීම විධිමත් කර යන්තම් ඉන්ධන පෝලිම් යුගය අවසන් කර තිබේ.

එසේම ඉන්ධන මිළ වැඩිවීමත් හිඟයත් නිසා ඉල්ලු‍ම සියයට 40 කින් පමණ අඩුවීමේ වාසිය මත එම ප්‍රමාණයට සීමා කර ඉන්ධන ආනයනය කරමින් සංස්ථාව තමන්ගේ අරමුදල් කළමණාකරණය කර තිබේ. එම තත්වයන් නොසලකා ඉන්ධන බෙදාහැරීම විධිමත් ක්‍රමය උල්ලංඝනය කර මැතිවරණ රාජකාරි වෙනුවෙන් කියා අමුතුවෙන් ඉන්ධන වැඩිපුර නිකුත් කිරීමේ හැකියාවක් තෙල් සංථාවට නොමැති බව මෙහිදී එම සභාපතිවරයා කරුණු කාරනා පැහැදිළිව ගෙනහැර තේරුම් කර දී තිබිණි.

එසේම යම් ලෙසකින් මැතිවරණය පැවැත්වේ නම් එම මැතිවරණ ප්‍රචාරක කටයුතු, සංවිධාන කටයුතු වෙනුවෙන් පක්ෂ හෝ කණ්ඩායම් අපේක්ෂකයන්ට ද මේ ඉන්ධන ගැටළුවට බරපතල ලෙස මුහුණ දීමට සිදු වෙනුද ඇත. කෝටාවට ලැබෙන ඉන්ධන ලීටර් ගණනට වඩා ඔවුන්ට ලැබෙන්නේ ද නැත. මේ ඉන්ධන සීමාසහිතකම් හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට ධෛර්ය සම්පන්නවීමට සිදුවෙනු ඇත. කෙසේ වෙතත් රජය ඊට වෙනයම් හෝ පිළියමක් යෙදිය හැකි වූවත් මෙම සාකච්ඡාව තුළඳී රටේ ඉන්ධන හිඟයක් තිබෙන බවත් ඊට විසඳුමක් රජයට නැති බවවත් කොමිසමේ සාමාජිකයන්ට දැනගැනීමට සැලැස්වීමත් ලොකු දෙයකි.

මේ අතර තවත් පුවතකින් කියවුණේ විදුලි උත්පාදනය වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට ණයට ලබා දී තිබෙන ඉන්ධන වෙනුවෙන් ලැබිය යුතු වූ රුපියල් බිලියන 108 අධික හිඟ මුදල ගෙවීමට විදුලිබල මණ්ඩලය අපොහොසත් වී ඇති බවය. එම මුදල් නොගෙවුවහොත් තෙල් සංස්ථාවට ඉන්ධන ආනයනය වෙනුවෙන් මුදල් අඟ හිඟයක් ඇතිවේ. එය යළි ඉන්ධන හිඟයකට මග පැදෙන්නක් විය හැකිය.

එසේම සංස්ථාව කියන පරිදි මේ හිඟ මුදල් නොගෙවීම නිසා ණයට ඉන්ධන ලබා නොදෙන්නේ නම් විදුලිබල උත්පාදනයට යම් ගැටලු‍වක් ඇති විය හැකිය. දැනට ලැබෙන වර්ෂා තත්වය නිසා විදුලිබල උත්පාදනය පැය දෙකක කප්පාදුව යටතේ වුව ගැටලු‍වකින් තොරව පවත්වාගෙන ගියත්, ඉදිරි මාස කිහිපයේදී වර්ෂාව සීමාසහිත වෙනු ඇති බවට දැනට පළවී ඇති කාලගුණ අනාවැකි අනුව විදුලිබල මණ්ඩලයට ඩීසල් බලාගාර වැඩි වශයෙන් භාවිත කිරීමට සිදුවේ. එහෙත් ඩීසල් ටික ණයට හෝ සපයාගැනීමට නොහැකි නම් තත්වය අවදානම්ය.මැතිවරණ කොමිසම මැතිවරණය කොහොම හරි පවත්වන්න සූදානම් වන්නේ මෙවන් තත්වයන් යටතේය. අනෙක් වැදගත් කරුණ හෙට අනිද්දා ආරම්භවීමට නියමිත අපොස උසස් පෙළ විභාගයට මේ මැතිවරණ කෙරුවාව නිසා හානියක්වීමේ අනතුරකුත් මතුවීමය. විභාග රාජකාරි වෙනුවෙනුත් ඉන්ධන සහ විදුලි බලය ඒ අවශ්‍ය තරමට සැපයිය යුතුවේ.

මැතිවරණයට ප්‍රමුඛත්වය දුනහොත් විභාග රාජකාරීවලට බාධා වෙනු ඇත. උසස් පෙළට පෙනී සිටින තුන් ලක්ෂයකට ආසන්න රටේ අනාගතය බාරගැනීමට සිටින දරුවන්ට වඩා මැතිවරණයකින් පත්කරන වුන් 8,400ක් දෙනා ගැන කල්පනා කළ නොහැකිය. පළාත් පාලන මැතිවරණය කියන්නේ රටේ ඉරණම තීන්දු කරන්නක් තබා මේ වෙලාවේ ගමේ ඉරණමටවත් කිසිවක් නොවන අනර්ථකාරී මැතිවරණයකි. රටේ අර්බුද තවදුරටත් තීව්‍ර කරන ක්‍රියාවලියකි.

මේ අතර මැතිවරණ වියදම් නියාමන පනත සම්මත කර ගැනීමට ද විපක්ෂය සහය නොදුන්නේ මැතිවරණය වෙනුවෙන් ඒ අය වියදම් කිරීමට බලාපොරොතු වෙන මහා ධනය සම්භාරය මැතිවරණයෙන් පසුව යළි හම්බ කරගැනීමට අවස්ථාවක් නොලැබේ යන විශ්වාසය නිසාය.

මේ දක්වා මැතිවරණයක් ලබාගැනීම වෙනුවෙන් ද බිලියන ගණනක් මේ විපක්ෂය වැය කර ඇතැයි උපකල්පනය කළ හැකිය. දිනපතා රට පුරා පැවැත්වෙන මහජන රැස්වීම්, විරෝධතා සහ ජනතාවට අල්ලස් ලබාදීම් වෙනුවෙන් මුදල් වැය කරමින් ඇත. මෙම මුදල් පක්ෂ සාමාජික මුදල් නොවේ. ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන මුදල්ය. ඒ අයගේ සහය ඉදිරි මැතිවරණයේදීත් ලබා ගන්නේ මැතිවරණයෙන් පසුව ජාවාරම්වලට ඉඩ කඩ හදා දීමේ පොරොන්දුව මතය. රජයේ වංචා දූෂණ ඉහළ යන්නේ මේ පොරොන්දු ඉ‍ටු කිරීම තුළින්ය. මැතිවරණ වියදම් නියාමන පනත ගෙන එන්නේ මේ වංචා දූෂණ නැති කිරීම වෙනුවෙන්ය. විපක්ෂය එයට එරෙහි වන්නේ ඇයිද යන්න වටහා ගත හැකිය.

විපක්ෂය මෙම පනත කෙසේ හෝ පරජය කරන බවට සපථ කළත් මෙම පනත වැඩි ඡන්ද 60 කින් සම්මත කරගැනීමට ආණ්ඩුව සමත් විය. විශේෂම කාරණය නම් අඩුම තරමින් විපක්ෂයට මෙය පරාජය කරවීම වෙනුවෙන් විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් අඩක්වත් එකතු කරගැනීමට නොහැකිවීමය. විපක්ෂයට ලැබුනේ ඡන්ද 37ක් පමණි. තමන්ගේ කඳවුරේ ඡන්ද ටිකවත් එකතු කරගැනිමට නොහැකි විපක්ෂ නායකයන්ට රටකට නායකත්වය දිය නොහැක.

ඒ කොහොම වෙතත් විපක්ෂයේ බල පෙරේතකම් හමුවේ රට අර්බුදයට යෑම සිදු වූවත් මැතිවරණය මඟ හැරීමට ආණ්ඩු පක්ෂයටත් කළ නොහැකි වෙනු ඇත.

ඔවුන්ද ඊට මුහුණ දිය යුතුය. වැදගත්ම දේ බහුතර බලයක් සහිතව එය ජයග්‍රහණය කිරීමය. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මේ වන විට ගෙන තිබෙන පියවරයන් හා අනාගතය වෙනුවෙන් ගෙන තිබෙන පියවරයන් සමඟ නිශ්චිත ඉලක්කයක් සහිතව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ක්‍රියාත්මක වෙමින් තිබේ. අර්බුදය සඳහා වන විසඳුම් ඇත්තේ ජනාධිපතිවරයා අත පමණක්ම බවත් පැහැදිලිය.

විපක්ෂයට අර්බුද විසඳීම තබා අර්බුදය කුමක්දැයි වැටහීමක් හෝ නොමැති බව විපක්ෂ නායක ඇතුලු‍ අනෙක් විපක්ෂ කණ්ඩායම්වල නායකයන්ගේ සාමාජිකයන්ගේ අමු ගොබ්බ කතා අනුව ඉතා පැහැදිලිය. ඊටත් වඩා රටේ කවර අර්බුද තිබුණත් ඒ විසඳාගැනීම වෙනුවෙන් රජයට හෝ ජනතාවට කිසිදු සහයක් නොදී වගකීම් විරහිතව හැසිරෙන විපක්ෂයට අර්බුදය යනු වවාගෙන කෑමකට ඇති දෙයකට වඩා දෙයක් නොවේ. ඔවුන්ට ඇති එකම සරණ රටේ අර්බුදයක් පැවැතීම පමණය. අර්බුදයක් නැතිනම් අර්බුදයක් නිර්මාණය කරමින් හෝ බලය ඩැහැගැනීම එකම අරමුණ නැතිනම් ඔවුන් දන්නා එකම දේශපාලනය බවට පත්ව ඇත. එය ඉතාම සුපැහැදිලි තත්වයකි. ඒ නිසා පළාත් පාලන මැතිවරණයෙන් රටේ කරුමෙකට හෝ විපක්ෂ කණ්ඩායම් ජයගතහොත් එය තවත් විනාශයක්වීම වැළැක්විය නොහැක.

රට ගොඩගන්න ඉඩනොදෙන විපක්ෂය ඊගාවට කරන්නේ ගමත් ඉවර කරන එකය. මන්ද ඊට පසුව ඔවුන්ගේ ඉලක්කය වන්නේ මහ මැතිවරණයක් ලබාගෙන පාර්ලිමේන්තුවට තම පාර්ශ්වයේ ඔලු‍ගෙඩි ගාන වැඩි කරගැනීමේ සටනය. ඒ සටන ජයගන්න නම් ගමත් විනාස කර අර්බුද පිට අර්බුද නිර්මාණය කළ යුතුය. රටේ ආර්ථික අර්බුදය මත දැනටත් ගමේ වැඩවලට මුදල් ලැබෙන්නේ නැත. විපක්ෂය මේ ගැටළුව පාවිච්චි කර කියන්නේ මහ ආණ්ඩුව වෙනස් නොකර ගම හදන්න බැරි බවය.මේ සාම්ප්‍රදායික බලලෝභී දේශපාලනය තුළින් රටකට අර්බුද ඉතිරිවනවා මිසක් රටගොඩගන්න නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ නිසා යම් ලෙසකින් මැතිවරණයක් පැවැත්වේ නම් එහිදී ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහය දක්වන පිරිස පළාත්පාලන ආයතනවලට පත් කරගැනීමට ඡන්දදායක ජනතාව බුද්ධිමත් විය යුතුය. ඒ සිහියෙන් යුතුව ඡන්දය පාවිච්චි කළ යුතුය. නැතිනම් වන්නේ පහුගිය කාලයේ 225 එපා කියමින් පාරවල් ගානේ රස්තියාදු වුණා සේ 8,400 ම එපා කියමින් යළි රස්තියාදු ගැසීමටය.

  • ඝෝෂක