plz .. ! කකුලෙන් අඳින්න එපා

මේ දිනවල වැඩි කතා බහකට ලක්ව තිබෙණ මාතෘකාව, ඇමරිකන් ඩොලරයේ අගය පහළ යාමයි. ආර්ථික විද්‍යාඥයන්ට අනුව මෙම මිළ පහල බැසීම හා ඉහල නැගීම ක්‍රමික සිදුවීමක් නොවී එක්වරම දින කිහිපයක් තුළ ඇති වීම භයානක තත්වයක් බවයි.

මෙම ඩොලරයේ නැගීම හා රුපියලේ අගය ඉහල යාම බොහෝ දෙනා දේශපාලනිකව සලකා බැලීමට හදිසි වුවත් සත්‍ය ලෙසම මෙය ආණ්ඩුව සෘජුව මැදිහත්වූ කරුණක් නොවන බවට මේ වන විට ආර්ථික විශේෂඥයන්ගේ මතය වී ඇත. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අනුගමනය කරන ආර්ථික ක්‍රියාවලියේ ක්ෂණික ප්‍රතිඵල මත පදනම් වූවක් නොවේ. එය ස්ථිර පදනමක් මත පිහිටා දීර්ඝ කාලීන ආර්ථික වැඩපිළිවෙලක ක්‍රියාවලියකි. එසේ නම් මේ හදිසියේ ඇති වූ තත්වයන් සම්බන්ධයෙන් විමසීමට අප chatham street journal වෙත සම්බන්ධ කර ගත්තේ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය ආමින්ද මෙත්සිල මහතායි. ඔහු අදහස් දක්වමින් මේ තත්වය සම්බන්ධයෙන් සදහන් කොට සිටියේ,

” ඩොලරය පහත වැටීමට හේතු වුණේ වෙළඳපොළට ඩොලර් ගලාගෙන ඒමෙන් නොවේ. එනම් තවම සංචාරකයන් වැඩිවීමක් හෝ අපනයන වැඩිවීමක් හෝ IMF ණය ලැබීමක් හෝ තුළ නොවේ. එසේ නම් මෙය සිදු වුනේ කෙසේද ? එයට සෘජු පිළිතුරක් දෙනවා නම් මෙය IMF ලැබීම සම්බන්ධයෙන් වන බලාපොරොත්තුව පදනම් කොට ගෙන ඇති වුණු තත්වයක්,

මේ සමග ජනතාව තමන් ළඟ තිබුනු ඩොලර් වෙළදපොළ වෙත මුදා හැරියා. මෙයට වෙළදපොළ පිළිබද තිබෙන බලාපොරොත්තු බලපෑවා. මහ බැංකුව ගත්තු ප්‍රතිපත්තිමය තීරණ බලපෑවා, එහිදී වානිජ්‍ය බැංකු තමන් ළඟ තිබෙන ඩොලර්වලින් 25%ක් විකිණිය යුතුයි කියල තීරණයක් ගත්තා මෙය 15% ක් දක්වා අඩු කිරීමක් කළා. එවැනි ප්‍රතිපත්තිමය තීරණ හා වෙළදපොළ පිළිබද ඇති බලාපොරොත්තු තමයි. ඩොලරය වැඩිවීමට හේතු වුණේ. එසේ නොමැතිව විශාල ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළට ඇවිත් නෑ.”

වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා

ආචාර්ය ආමින්ද මහතාගේ මෙම අදහසට අනුව රටේ යම් ඩොලර් ඉතිරියක් යම් යම් පුද්ගලයන් සතුව පැවැති බවට සාක්ෂි ඉදිරිපත් වෙනවා. එසේ නම් ආර්ථිකය පදනම්ව ජනතාව තුළ යම් විශ්වාසයක් ගොඩනැගීම අනිවාර්යෙන් සිදුවීමක් දැකිය හැකිය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම සම්බන්ධයෙන් විපක්ෂයේ අදහස් දැක්වීම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමක් මෙහිලා දැකිය හැකියි.

මේ අතර රුපියල ඉහල අගයක් ගැනීම සම්බන්ධයෙන් තවත් අදහසක් පසුගිය කාලයේ සාකච්ඡාවට භාජනය විය. එනම් ලෝක බැංකුවේ ණය දෙන අංශය වන ජාත්යන්තර මූල්‍ය සමාගම (IFC) ලංකාවේ වානිජ්‍ය බැංකු වෙත ඩොලර් මිලියන 400ක මුදලක් ලබාදී ඇති බවයි. මෙය මුදල් හුවමාරු පහසුකම යටතේ ලබාදීම හේතුවෙන් ඩොලරය පහල අගයක් ගැනීම සදහා බලපෑ තවත් හේතුවක් වූ බවට මත පළ විය. නමුත් එම මුදල් ඒ වන තෙක් ලැබී තිබුණේ නැත.

කෙසේ නමුත් රටේ ආර්ථික තත්වයන් මෙලෙස ධනාත්මක ප්‍රවේශයක් ගැනීම තුළින් මෙතෙක් වෙළඳපොළ තිබූ ආර්ථිකය හැකිලීමේ උපක්‍රමික තත්වය වෙනස් තැනකට පත්විය. මේ නිසාම තමන් ළඟ ඩොලර් තබා ගෙන සිටි පුද්ගලයන්ට ඒවා ලබාදීමට මහ බැංකුව ලබා දී තිබූ කාලය ඉක්ම ගියත් ඩොලර් හුවමාරු කිරීම ක්‍රමයෙන් වර්ධනය වූ බවද මහ බැංකුව විසින් නිවේදනය කළේය.

ඉහත තත්වයන් සම්බන්ධයෙන් ආචාර්ය අමින්ද මහතා විසින් දක්වන්නේ මෙවැනි හේතුවක්. එනම් ” මේ වෙළදපොළ තාවකාලිකයි. මෙය හරියට ගොයම් කැපෙන බව ආරංචි වෙන කොට වී මිළ බහිනවා. නමුත් කැපුනේ නැත්නම් ආයෙමත් වී මිල නඟිනවා. මේ වගේ තමයි ඇත්තටම සල්ලි ආවේ නෑ. නමුත් සල්ලි එයි කියන බලාපොරොත්තුවෙන් මිනිස්සු අතේ තිබුණ ඩොලර් අර තිබුණ ෆෙෂර් එකට වෙළඳපොළට දැම්මා. ඊට අමතරව ආවේ නෑ . මේ නිසා තමයි ඩොලර් එක උඩට ආවේ. ඒ මත තමයි ෆීච් සොලුෂන් හා බ්ලූම්බර්ග් පුරෝකථනය කරන්නේ නැවත වතාවක් 20%කින් විතර ඩොලර්ය වැඩි විය හැකියි කියල. නමුත් වැඩි වෙන ප්‍රමාණය හා අඩුවන ප්‍රමාණය තීරණය වීම නිශ්චිතව සිදුවන්නේ IMF අපට ණය වාරික දෙනවද කියල දැනුම්දීමත් සමග. එතෙක් මේ ඉහල යාම පහල යාම සිදුවිය හැකියි.

මේ අතර තුර සාකච්ඡාවට භාජනය කළ යුතු තවත් කරුණක් වේ. එනම් වානිජ්‍ය බැංකු සදහා ජාත්යන්තර මූල්‍ය සමාගම (IFC) විසින් ලබා දුන් ඩොලර් මිලියන 400ක මුදල සමග යම් ස්ථායිතාවයක් රට තුළ ඇති වීම. එහෙත් ඩොලරය පහත හෙළමින් සිදුවූ ආර්ථික වාසිය. ලංකාවේ බහුවිධ ක්ෂේත්‍ර තුළ යම් ආර්ථික වර්ධනයක් ඇති කරමින් පැවැතියත් විපක්ෂයේ පක්ෂ විසින් නඩත්තු කරනු ලබන වෘත්තිය සමිති දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් දළ දේශීය නිශ්පාදනයට දිනක් ඇතුළත බිලියන 46කින් අහිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.

මේ නිසා නැවත ඩොලරය ඉහල අගයක් වෙත යාම සිදු වූ අතර එතෙක් එනම් මාර්තු මස 14 වන දින තෙක් 300 සීමාවට ලගා වූ ඩොලරය නැවත ඉහල යාම ආරම්භ වීම විසින් රටේ ආර්ථිකයට වන බලපෑම ආචාර්ය ආමින්ද මෙත්සිල විසින් සදහන් කොට සිටින්නේ

” ඩොලරය වැඩිවීම විසින් ආර්ථිකයට වන බළපෑම හරි පොදු දෙයක්. සංචාරක කර්මාන්තයට හොදයි. අපනයන වෙළදාමට හොදයි. නරක පැත්ත තමයි අපේ ආනයනවල වියදම් වැඩි වෙන්න පුලුවන්. අනෙත් ගැටළුව තමයි අපි අපනයනය කරනවාට වඩා ආනයනය කරන ප්‍රමාණය වැඩියි. ඒ නිසා ඩොලර් එක වැඩි වුනාම තියෙන්නේ නරක බලපෑමක් ආනයනය කරන භාණ්ඩවල මිළ වැඩි වෙන්න පුලුවන්. උද්ධමනය වැඩි වෙන්න පුළුවන්. ” යන්නය.

එසේ නම් ආර්ථික ස්ථායිතාවය පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය වාරිකය ලැබෙන තෙක් වෙනත් ආකාරයකින් ලැබුනු අවස්ථාව ගිලිහී යාමය. එයට මුළුමනින්ම වග කිව යුතු වන්නේ මේ රටේ ආර්ථික අර්බුදයන් පවත්වාගෙන යාම තුළ රට අරාජික කිරීමේ ක්‍රියාවලියේ නිරත වන වෘත්තීය සමිති ව්‍යාපාරයය. එසේ නොවන්නට ඩොලරය තවත් පහල අගයක් දක්වා ගමන් කිරීමේ හැකියාව පැවතුනි. මෙතුලින් ආර්ථිකයට ලැබෙන වාසිය අත්පත් කර ගැනීමට නොහැකිවීම ඛේදජනකය.

කෙසේ නමුත් මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන බැංකු පොලී ඉහල දැමීම හා බදු ප්‍රතිපත්තියේ නොවෙනස් භාවය පදනම් කොට මෙතෙක් පැවැති ස්ථායිතාවයේ තබා ගැනීමට හැකි වේ. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වාරිකය ලැබෙන තෙක් එක ලෙස පවත්වාගෙන යාමට අනුබලයක් ලැබේ.

එහෙත් IMF වාරිකය ලැබූ පසු තත්වයන් සම්බන්ධයෙන් ආචාර්ය ආමින්ද මහතා දක්වන අදහස වන්නේ ” IMF ණය වාරිකය ලැබීම මේ රටේ ප්‍රශ්නයට සියයට සියයක් විසදුම නෙවෙයි, ඒත් දැනට තියෙන ආසන්නතම විසඳුම එයයි. මෙහි ඩොලර් බිලියන 2.9 නෙවෙයි වාසිය තියෙන්නේ. අයි එම් එෆ් ආවොත් දැන් ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස හදුන්වා තිබීමෙන් ගැලවිය හැකියි. එසේ නොමැති තත්වයක් තුළ ජාත්‍යන්තර ආයතනවලින් ණය දෙන්නේ නෑ. හැබැයි IMF ආවොත් අපට නැවත ජාත්‍යන්තර වෙළදපොළට යන්න පුළුවන්. ජාත්‍යන්තර වෙළද පොළට යනවා කියන්නේ අපට එතැනදී පුළුවන් බොහෝ ප්‍රශ්නවලට විසදුම් සොයාගන්න. ඒ නිසා මේක හොඳ තත්වයක්. නමුත් කියන්න තියෙන්නේ මේක හොඳම විසඳුම නෙවෙයි හැබැයි ආසන්නතම විසඳුම මේක. ” බවයි.

එම තත්වයන් එසේ සිදුවේය යන පුරෝකථනයක සිට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කළහොත් මේ වන විට රටේ ඉතිරිව තිබෙන නිල සංචිත ප්‍රමාණයට සාපේක්ෂව, ජාත්‍යන්තර මුල්‍ය සමාගමින් ලැබුණ ඩොලර් මිලියන 400ක් විශේෂ වරප්‍රසාදයක්. ගෙවුණු 2023 ජනවාරි මාසයේදී ලංකාව ආනයන වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 1,388ක්. පෙර වසරේ (2022) ජනවාරි මාසයේදී මෙම වියදම ඩොලර් මිලියන 1,959ක්. අඩු වූ වෙනස ඩොලර් මිලියන 571ක්. මේ අනුව ඒ ලැබෙන ඩොලර් මිලියන 400ක් මසක ආනයනයන් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන මුදලක් නමුත් මේ මඟින් ආනයන දිරිමත් වීම සිදුවේ.

මෙමැනි තත්වයක් තුළ , ඩොලරයක මිල ඕනෑවට වඩා පහළ ගියොත් අපනයනයන් අධෛර්මත් වීමත් දේශීය නිශ්පාදන කර්මාන්ත වලට බලපෑමක් ද සිදුවිය හැකිය. මේ තත්ත්වය වෙනස් වන්නේ නැවතත් ඩොලරයක මිල යම් මට්ටමක ස්ථාවර වීමෙන් පසුවය.

මේ නිසා ආනයන සීමාවන් තවදුරටත් පැනවීම සම්බන්ධයෙන් ආචාර්ය ආමින්ද මෙත්සිරි මහතා දක්වන්නේ මෙවැනි අදහසක්.

” ආනයන සීමා කිරීම තාවකාලික විසදුමක් ලෙසයි මම දකින්නේ. අපි මේ සම්බන්ධයෙන් ස්ථිර පිළිවෙතක නෑ, මොකද ජාත්‍යන්තර වෙළඳපොළ සමග කටයුතු කරද්දී ආනයන සීමා කරන්න බෑ. එතැන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි ප්‍රතිපත්තිමය තීරණයකට ඇවිත් තියෙනවා නම් දීර්ඝ කාලයකට අපි මේවා ගන්වන්නේ නෑ, අඩුම තරමේ අවුරුදු 05කටවත් අපි මේ භාණ්ඩ ගෙන්වන්නේ නෑ, කියන තැනක ඉන්නවා නම් ආයෝජකයන්ට, දේශීය නිෂ්පාදනකයන්ට පුළුවන් ආනයන ආදේශ කර්මාන්ත වෙත යන්න, නමුත් රජය මේ වන විට ගෙන ඇති තීරණය ඩොලර් නොමැතිවීම නිසා ආනයන සීමා දැමීමක් මිස ආර්ථික ප්‍රතිපත්තියක් ලෙස ආනයන නැවැත්වීම නෙවෙයි. ඩොලර් ආ විටක වෙළඳ පොළ විවෘත කළොත් අපේ දේශීය නිෂ්පාදකයෝ ලොකු අමාරුවක වැටෙනවා. නිෂ්පාදකයෝ විදියට මේ අය එන නිසා විශාල ගැටළුවකට මුහුණ පෑමට ලක් වෙනවා. උදාහරණයකට අපි දේශීය කාර් නිෂ්පාදනය කරනවා කියමු. එතැනදී කාර් එකක් ගැනීමේ අවශ්‍යතාවය ඇති කෙනෙකුට ඒ සදහා වියදම් වන ගණන වැඩියි. දේශීය නිෂ්පාදනයන්හි තියෙන ගැටළුව තමයි ඒ සදහා වැය වන වියදම වැඩි වීම. අනෙත් පැත්තට මේ කියන කර්මාන්තවලට අත්පත් වෙන ඉරණම භයානක වෙන්නේ ආනයන විවෘත කළ විටයි. ඒ නිසා ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නවා මිස ඩොලර් නොමැති නිසා ආනයන නතර කිරීම විසදුමක් වෙන්නේ නෑ.”

කෙසේ නමුත් මේ සියලු ගැටළු සදහා වන ආසන්නතම විසදුම ඩොලරයේ අගය ස්ථාවර වීම, වෙළඳපොළ නිදහස්වීම, දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්තීන් නිසි ලෙස පවත්වාගෙන යාමය. එමෙන්ම මේ මොහොතේ රටේ ජනතාවට නැවත අර්බුදයකට ලක් නොවී රටේ ආර්ථිකය සමෘද්ධිමත් වීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදව්ව අවශ්‍ය වේ. එය ලබා ගැනීම හා ඉන් ඔබ්බට වන ක්‍රියාවලියද මෙහිදී ආර්ථිකමය වශයෙන් රටේ අනාගතය තීරණය කරන්නක් වේ. අචාර්ය ආමින්ද මහතා සදහන් කරන පරිදි

” ණය වාරිකය පැමිණීමෙන් පසුව ආර්ථිකයට වෙන වෙනස තමයි. එකක් ඩොලර් අඩු වෙන එක. රුපියල ශක්තිමත් වෙන එක. අනිත් පැත්තෙන් හිතන්න වෙනවා ඒ හරහා විශාල කොන්දේසි ප්‍රමාණයක් එනවා. තාම අපි සපුරා ඇත්තේ සරල කොන්දේසි ටික්ක විතරයි. තව අපිට ඔවුන් දුන්නු කොන්දේසි ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපිට සිදුවෙනවා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. පෞද්ගලීකරණය කරන්න වෙයි. දූෂණයට තිත තියන්න වෙනවා. ඒ සදහා ප්‍රබල නීති ගේන්න වෙනවා. ඒ වගේ තව කරුණු ගණනාවක් තියෙනවා. රජයේ සේවය පුළුල් කරන ඒක නතර කරන්න වෙනවා. මේ සියල්ල කළ යුතුමයි. ඒ නිසා මේ කාලය අභියෝගාත්මක කාලයක් වෙන්න පුළුවන්. වෘත්තීය සමිතිවලින් විශාල විරෝධයක් එන්න පුළුවන්. ඒත් රට සංවර්ධනය කරන්න මේවා කරන්නම වෙනවා. එසේ නොකොට රට යළි සංවර්ධනීය මාවතකට හෝ තිබුණු තත්වයෙන් ගලවා ගැනීමට නොහැකියි. ”

මේ අනුව පවතින තත්වයන් සම්බන්ධයෙන් ඉතා පැහැදිලි චිත්‍රයක් නිර්මාණය වේ. එනම් ජනාධිපතිවරයා විසින් උරදි ඇති අභියෝගයන් සුලු පටු නොවන බවයි. වැල් පාලමෙන් එගොඩවීමේ ආසන්නයට පැමිණ ඇති විටක කකුලෙන් අදින්නන් හා දියට දමන්නන් හිතා මතාම කටයුතු සිදුකරමින් ඇත්තේ මේ අභියෝගාත්මක ගමනට බාධා කිරීම සදහාය. මින් ගොඩ ගියහොත් එය සිදුවන්නේ තනි පුද්ගලයෙකුගේ ජයග්‍රහණය සදහා නොව මුළු මහත් දුක් විදින ශ්‍රි ලංකාවාසී සියලු ජනතාවගේ ජයග්‍රහණය උදෙසාය. එබැවින් මේ එගොඩවීම කළ යුතුමය. නොමැති නම් නැවත නැවත රට අරාජිකත්වය කරා ඇදී යනු ඇත.

කේ. පී. අයි. ප්‍රියංගනී