IMF ගොඩ, දැන් සැපද ?
ලංකාවේ ජනතාව වටිනාම උපදේශ නොතකා හරින්නේම, ඒ උපදේශ අවශ්‍යම මොහොතේය. එය කොතරම් දුරදිග ගොස් ඇත්දැයි කිවහොත් ඔය නරක ජාතික පුරුද්දක් බවට පත්ව ඇත. තිස් අවුරුදු සිවිල් යුද්ධය අවසන් කිරීම දකුණේ ජයක් ලෙස සළකා පාරේ තියාගෙන කිරි බත් කෑ ජනතාව ජාතික සමඟිය වෙනුවෙන් පෙනී නොසිට ඒ කටයුත්ත නොසළකා හැරීම ඊට නිදසුනක්ය. සමාජය වැඩි වැඩියෙන් ජාතිවාදී ආගම්වාදී අන්තයකට ගහගෙන යාමට ඉඩදීමද ඊට තවත් නිදසුනක්ය. අවසානයේ ඒ වරදට වන්දි ගෙව්වේ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයකින් පමණක් නොව, ආර්ථිකයද ජාතිවාදී කරගත් එදාවේලත් කන්න නැති බංකොලොත් රටක් උරුම කරගනිමින්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් මෙරටට අදාළ ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ අරමුදල් පහසුකම අනුමත කිරීම රතිඤ්ඤා දල්වා සැමරුවේද ඒ ජනතාවමය. එය සැමරිය යුතුම මොහොතක් නොවේ කියන්නට නොහැකිය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට ඇතුළත් නොවන්න මාස කිහිපයක් තුළ රට පසුගිය වසරේ (2022) අප්‍රේල්- මැයි පැවතියාටත් වඩා අන්ත තැනකට පත්වීමට නියමිතව තිබූ නිසාය. සැබෑවටම ඉඩ තිබුණේ ඊටත් වඩා තත්වය නරක අතට හැරෙන්නටය. අන්න ඒ නිසා ඒ මාරකයෙන් ගැළවීම ලැබීම සම්බන්ධයෙන් සැමරීම වරදක් නැත. නමුත් අමතක නොකළ යුත්තේ ඊටත් වඩා කරන්න වැඩ ඉදිරියට ඇති බවය. මීට පෙර 16 වතාවක් IMF ගොස් කටයුතු කළ ආකාරයට මෙවරත් අතර මගදී කැලේ පැන්නොත්, මිලියන 22ක ජනතාවට මිහිපිට අපායක මිස, වෙනත් දෙයක් ගැන සුබ සිහිනයක්වත් නොදකින්න දැන්ම හිත හදාගත්තාටද වරදක් නැත.
මෙහිදී හංගා ගහන්න කිසිවක් නැත. IMF මූල්‍ය සහය වශයෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 යනු මෙරට ආර්ථික අර්බුදයේ මුලික හේතුවක් වූ විදේශ විනිමය අර්බුදය සමනය කිරීමට තබා ගෑවෙන්නටවත් ප්‍රමාණවත් නැත. අවම වශයෙන් මාස හයක ඉන්ධන ආනයනයටවත් මේ මුදල ප්‍රමාණවත් නැත. නමුත් IMF මුල්‍ය සහය සමඟ ගිවිසුම්ගත වීමේ ඇති සුවිශේෂීම වටිනාකම වන්නේ, 2022 අප්‍රේල් මාසයේදී ණය ගෙවීමට නොහැකි රටක් බවට පත්ව, එනිසාම ණයක් ලැබීමට නොසුදුසු රටක් බවට පත්වීමෙන් ගැලවීමක් ලැබීමය. ඒ හරහා ඉදිරි වර්ෂ වලටදී බහු පාර්ශ්විය සහ ද්වි පාර්ශ්වීය මෙන්ම විවෘත වෙළඳපොළ ප්‍රභවයන් වෙතින් ණය ලැබීමට හැකියාව ලැබෙන්නේය. එසේම 2019 දී නිකුත් කිරීම් අත්හිටවනු ලැබූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම හරහා විවෘත වෙළඳපොළ තුළින්ද ණය ලබාගැනීමටද අවස්ථාව හිමිවන්නේය.
නමුත් ඒ සඳහා වැටී ඇති මග සුමට නැත. එය වැල් පාලමේ ගියාටත් වඩා දුෂ්කර කටයුත්තක්ය. මේ වන විටත් අත්සන් කර ඇති IMF වැඩසටහනට අනුව ප්‍රධාන වශයෙන් ඉටුකළ යුතුම කාරණා කිහිපයක්ම ඇත. ඒ අතුරින් පහත කාරනා 10 ය සුවිශේෂීය. ඒ
- අප්‍රේල් අග භාගය වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණ සැළැස්මක් ඉදිරිපත් කිරීම,
- එක්සත් ජාතීන්ගේ ප්‍රමිතියට අනුකූල දූෂණ විරෝධී නීතියක් හඳුන්වාදීම,
- කඩිනමින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට පියවර ගැනීම,
- ඉහළ ආදායම් ලබන්නන්ගේ වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් හඳුන්වාදීම,
- 2025 වන විට දේපළ බද්ද සහ හුවමාරු බද්ද හඳුන්වාදීම,
6.2023 වන විට උද්ධමනය 12% – 18% දක්වා ගෙන ඒම, - 2023 ජුනි වන විට දැනට ක්‍රියාත්මක ආනයන – අපනයන සීමා ක්‍රමාණුකූලව ඉවත් කිරීම,
- වැඩි විනිමය අනුපාත නම්‍යශීලීත්වයක් පවත්වාගෙන යාම,
- මහ බැංකුව වඩාත් ස්වාධීන කිරීම,
- ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වාදීම ය.
මේ වන විට විපක්ෂය ප්‍රමුඛ එහි අතකොළු වූ කුහක වෘත්තීය සමිති පාරට බැස සිටින්නේ මෙකී සිදුකිරීමට අත්‍යවශ්‍ය කාරණා ඉටුකිරීමට එරෙහිවය. මේ වන විටත් IMF වැඩසටහනට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් ලැබී ඇත. ඉතිරි මුදල් ලැබෙන්නේ වසර 4ක වැඩසටහනේ වාරික වශයෙන්ය. එයත් සිදුවන්නේ ඊළඟ මාස 4 ක් ඇතුළත සිදුවන ප්‍රගතිය පිළිබඳ තක්සේරුවකින් පසුවය. ඒ කියන්නේ ඉදිරියට ඇත්තේ Do or Dieසෙල්ලමක්ය. එක්කෝ මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නැංවිය යුතුය. නැත්නම් රටක් ලෙස, මිලියන 22 ක ජනතාව සමඟ මරණය වැළඳගත යුතුය. අතරමැදක් නැත.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයේදී ජනාධිපති රනිල් කිව්වේ, තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බවය. අනතුරුව මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන පිළිබඳ විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයන්හි ආචාර්යවරුන් දැනුවත් කිරීමේ අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා කිව්වේ,
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතිමය රාමුවක් තුළට ගෙන ඒමට කටයුතු කරන බවත් ය. එපමණක් නොව 18 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසි සේත්ම බලාපොරොත්තු නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ඒ සෘජු ප්‍රකාශයන් තුළ ඇත්තේ DO OR DIE සෙල්ලමේ ජනාධිපතිවරයා ”DO ” ( කරන්න ) තෝරාගෙන ඇති බවය. සාමුහික වැළලීම වෙනුවට ජීවිතය වෙනුවෙන් කළ යුතුදේ කිරීම ජනාධිපතිවරයාගේ යෝජනාව වී ඇත. ඒ අනුව එරෙහි පාර්ශ්වයේ යෝජනාවද පැහැදිලිය. විපක්ෂයේ ඒ යෝජනාව ජීවිතය වෙනුවෙන් කළ යුතුදේ නොකර සාමුහික වැළලීමය. ඒ හමුවේ ජනතාවටද තෝරාගැනීම් කිහිපයක් නැත. වෙනස් තෝරාගැනීමක් ගැන හිතන්නවත් විකල්ප වැඩපිළිවෙලක්ද ඉදිරිපත්වද නැත. ඒ විපක්ෂයේ හෝ කාගේවත් බැරි කම පමණක්ම නොව, නිවැරදිම වැඩපිළිවෙල ජනාධිපති රනිල් දැනටමත් ඉදිරිපත් කර ක්‍රියාවට නංවා ඇති නිසා, කල්පයක් ගියත් විකල්පයක් සොයා ගන්නට නොමැතිවීමය.
දැනටමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ සාකච්ඡා සාර්ථක තැනකට පැමිණ ඇත. මෙරට විදේශ ණය ගෙන තිබෙන ප්‍රධාන ආකාර 3ක් වන අතර ඒ බහුපාර්ශ්වීය ණය, ද්වීපාර්ශවීය ණය සහ මූල්‍ය වෙළදපොළෙහි මූල්‍ය ආයතන වලින් ලබා ගත් ණය වශයෙන්ය. මෙහිදී බහුපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් නොවන අතර, ඒ එම ණය ගෙන තිබෙන්නේම අඩු පොළියකට , දීර්ඝ ගෙවීම් කාලයකට යටත්ව වන නිසාය. ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ වන අතර එහිලා ප්‍රධාන වන ඉන්දියාව, චීනය, ජපානය සහ ප්‍රංශ සමාජය මූලික එකඟතා මේ වන විටත් පළකර ඇත.
වඩාත් සංකීර්ණම වන්නේ ජාත්‍යන්තර මූල්‍ය වෙළදපොළෙහි මූල්‍ය ආයතන වලින් ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමය. මේ වන විට මෙරට වැඩි වශයෙන්ම ණය ගෙන තිබෙන්නේ මූල්‍ය වෙළදපොළෙන් වන අතර එය මෙරට සමස්ථ විදේශ ණය පංගුවෙන් 57% ක් පමණ වෙයි. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර (International Sovereign Bonds -ISB) මූල්‍ය වෙළදපොළ ණය ප්‍රතිව්‍යූගත කිරීමද ඉතාම සංකීර්ණය.
මෙම ස්වෛරී බැදුම්කර ගනුදෙනු යටත් වන්නේ අන්තර්ජාතික නිව් යෝර්ක් (New York) හෝ ලන්ඩන් (London) නීතිය යටතේ ය. එබැවින් නීතිමය කටයුත්තක් වෙත යන්නට සිදුවුවහොත් ඒ සඳහා ඒ අධිකරණ වෙත යාමට අවශ්‍යය. ලංකා නීතිය යටතේ ඇත්තේ ශ්‍රී ලංකා ස්වෛරී බැදුම්කර (Sri Lanka Development Bonds – SLDB’s) .පමණය.
මීට පෙර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකර නොමැති නිසා මෙය අලුත් අත්දැකීමක්ය. එනිසාම සියල්ල සීරු මාරුවට සිදුකරගත යුතුව ඇත. සාමාන්‍යයෙන් ණය ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රම 4 ක් යටතේ සිදුවන අතර, එයින් පළමුවැන්න වන්නේ Haircut, නැතිනම් මුළු ණය ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් අඩුකිරීමය. දෙවැන්න Coupon Clipping ය. එහිදී සිදුවන්නේ පොළි අනුපාත අඩුකිරීමය. තෙවැන්න Extension of maturity වන අතර, එහිදී ණය ගෙවීමට ඇති කාල සීමාව දීර්ඝ කිරීමක්ය. සිව්වැන්න ලෙස Mix and match of all of the above සැළකිය හැකි අතර එය ඉහත ආකාර 4 හිම සංකලනයක් ලෙස දැක්විය හැක.
බොහෝ විට මෙරටට අදාළව ”විය හැකියාව” වන්නේ ණය ගෙවීම පැහැර හැර සිටි කාලයට ගෙවූ අන්දමට ඩොලර් බිලියන 6ක් පමණ නොගෙවා සිටීමට අවස්ථාව ලැබීම සහ කුඩා ප්‍රමාණ වලින් ගෙවීමට අවස්ථාව හිමිවීමය. එසේම දේශීය ණය මුලාශ්‍ර වෙතින් ද ලබාගත් ණය ප්‍රතිව්‍යූහගත කිරීමට සිදු වෙන අතර එයත් පැහැදිලි අභියෝගයක්ය. එහෙත් ඒ අභියෝගය ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව බාරගෙන ඇත. නියමිත පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ඉදිරිපත් කිරීමට සූදානම් බව දන්වා ඇත්තේද ඒ අනුවය.
මෙම කටයුතු සමඟ තවදුරටත් ඉදිරියට යාමේදී ආනයන සීමා ලිහිල් කිරීමට සිදුවන අතර එහි පීඩනය අවම කරගන්නට නම්, අනිවාර්යයෙන් විදෙස් ප්‍රේෂණ වැඩි කර ගැනීම කරගත යුතුය. තවදුරටත් පැරණි සම්ප්‍රදායික අදායම් මාර්ගම ඒ සඳහා ප්‍රමාණවත් නැත. එසේ නම් ගෝලීය දාමයට ගැලපෙන ආකාරයට යාවත්කාලීන වෙමින් අපනයන වෙළඳපොළ වර්ධනය කර ගැනීමත්, විදෙස් ආයෝජකයන් වෙත ඇති සීමා සහ බාධක ඉවත් කිරීමත් අත්‍යවශ්‍යය. ඒ සඳහා දැන් පවතින යාන්ත්‍රණ වෙනස් කිරීම මෙන්ම අලුත් හඳුන්වාදීම් අවශ්‍යය.
ඒ හැරුණු විට යළිත් විදෙස් ණය ලැබීමේ අවස්ථාව හිමිවීම යන්න, ඒ සඳහා පමණක්ම යොදාගතහොත් තවත් වසර කිහිපයක් යන තැන චක්‍රයක ආකාරයට දරුණු විදෙස් සංචිත අර්බුදයකට මුහුණදීම අනිවාර්යයක්ය. එයින් ගැළවීමේ මග ඇත්තේ විපක්ෂයේ සහ ජාතික ආර්ථිකවාදීන්ගේ පුහු විරෝධ නොතකා IMF වැඩසටහන ප්‍රකාරව කටයුතු කිරීමය. එහි එන ප්‍රතිසංස්කරණ( Reform ) අනිවාර්යයෙන් ක්‍රියාවේ යෙදවීමය. මෙහිදී යළිත් අවධාරණය කළ යුතු අතිශය වැදගත්ම කාරණය වන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනින් අපගේ ආර්ථික අර්බුදයට හෝ විදෙස් විනිමය අර්බුදයට පිළිතුරක් සපයන්නේ නැති බවය. මන්ද මේ අර්බුදය වසර ගණනාවක් තිස්සේ ජනප්‍රිය දේශපාලන තීන්දු සහ මැතිවරණ පොරොන්දු අස්සේ රටේ ජාතික අභිලාශ පරදු තබමින් සිදුකළ ඓතිහාසික වරදක ප්‍රතිඵලයක් වන නිසාය. ඒ නිසා ඒ ඓතිහාසික වරද නිවැරදි කිරීමත් අපේ වැඩක්, රටේ වැඩක් ලෙස ගත යුතුය. ෂඵත් ඉදිරිපත්ව සිටින්නේ ඒ සඳහා සහයදීමට පමණය.
ඉතින් ඒ සඳහා වන මූලික ප්‍රවේශය මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාවට නංවා ඇත. රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් නව බදු ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම, ධන බද්ද – හුවමාරු බද්ද – දේපළ බද්ද වැනි නව බදු වර්ග ඊට එක්කිරීම, රාජ්‍ය වියදම් පාර්ශ්වය කැඩුණු වක්කඩක් කර ඇති රාජ්‍ය ව්‍යාපාර වලින් ඉවත්වීම, විපක්ෂයේ මාරු කියවිලි නොතකා ශ්‍රී ලංකා ටෙලිකොම්, හිල්ටන්, ලංකා හොස්පිට්ල්, ශ්‍රී ලන්කන්, ලිට්‍රෝ, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වැනි ආයතනවල රජය සතු කොටස් විකිණීමට අනුමැතිය දීම. එයින්ද ඉදිරියටගොස් රජය ව්‍යාපාර කටයුතු වලින් මුළුමනින්ම ඉවත්වීමේ ප්‍රතිපත්තියට පිවිසීම, දූෂණය මැඩීම පිණිස ජාත්‍යන්තර නිර්ණායක වලට අනුකූල නව නීතියක් සම්මත කිරීම, ආයෝජන ප්‍රවේශ පහසු කිරීමට සහ කඩිනම් කිරීමට නව ආයතනයක් හඳුන්වාදීම, උද්ධමනය ක්‍රමයෙන් පහළට ගැනීම, ඒ වෙනුවෙන් අනවශ්‍ය සහ හිතුමතේ මුදල් මුද්‍රණය කිරීමෙන් වැළකී සිටීම, වැඩි විනිමය අනුපාත නම්‍යශීලීත්වයක් පවත්වාගෙන යාම, නව මහ බැංකු පනත මෙන්ම, දැඩි ආර්ථික අවධානමකට මුහුණපා ඇති පවුල් මිලියන 3.7ක් රැකගන්නට ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වාදීම ඇතුළු කටයුතු රැසක් ඊට ඇතුළත්ය.
එසේම සංචාරකයින්ට ඇති බාධක හීන කර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ නිපුණතා සංවර්ධනය වැඩිදියුණු කිරීමට පියවර ගැනීම, උත්පාදන වියදම් අවම කිරීම සහ අකාර්යක්ෂමතාව අවම කිරීම සඳහා බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ සහ දේශගුණික විපර්යාස අනුවර්තනය සඳහා පියවර ගැනීම ඇතුළුව , ෂඵත්- ෑත්‍ත් වැඩසටහන යටතේ, පසුගිය සති කිහිපය තුළ යම් ආතතීන් ඇති කළ, ජනප්‍රිය නොවන නමුත් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් මේ ආකාරයට ක්‍රියාත්මක වෙමින් ඇත. කෙසේ වෙතත් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වන අතර ඒවා ආයතනගත කිරීම මගින් අහිතකර ජනතාවාදී සහ තිරසර නොවන ප්‍රතිපත්ති නැවත ඇතිවීම වැළැක්වීම මගින් රටේ දිගුකාලීන දියුණුවට සිදු වන බාධා මඟහරවා ගැනීම වෙනුවෙන්ද පියවර ගැනෙමින්ද ඇත.
මීට අමතරව, ෂඵත් වැඩසටහනෙන් ඔබ්බට ගිය බහුවිධ පෙරමුණු පිළිබඳ පුළුල් සහ සවිස්තරාත්මක ප්‍රතිසංස්කරණ, තිරසාර ප්‍රකෘතියක් සහ වර්ධන මාවතට ප්‍රවේශ වීම සඳහා ආර්ථිකය විවෘත කිරිම සහ ඩිජිටල්කරණය කිරීම පවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාලනය දියත්කරන්නට සුදානම් කර හමාරය.
ඒ කියන්නේ ෂඵත් මූල්‍ය සහය සමඟ ඉදිරියට යන්නට සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතින බවය. ජනප්‍රිය දේ වෙනුවට හරි දේ සිදුකරමින් සිටින බවය. නමුත් විපක්ෂය අකුල් හෙළන්නේද අන්න ඒ කරන්න යන හරි දේ වළක්වන්නටය. අවාසනාව වන්නේ සිස්ටම් චේන්ජ් කරන්න යෝජනා කරන උදවියද සජිත්ගේ ගෝත්‍රික විපක්ෂයේ තානම අනුව පාද තැබීමට තරම් දාර්ශනික දිළින්දන් බවට පත්ව සිටීමය. සිස්ටම් චේන්ජ් නැතිනම් පවතින ක්‍රමය වෙනස් කරනවා කියන්නේ , ජරාජීර්ණව අභාවයට ගිය ව්‍යුහය, නවීනත්වයට ගැළපෙන අලුත් ව්‍යුහයක් ස්ථාපිත කිරීමෙන් ඉවත්කර දැමීමය. විප්ලවය ඇත්තේ එතැනය. ඊට REGAINING SRI LANKA වැනි නමක් යොදාගත්තද වැරදි නැත.
කල්ප අනුත්තර ලියනගේ