මගේ සිහිනය මට දකින්න ඉඩහරින්න

බල්ලාට වගේම පිස්සාටත් හති නෑ කියා කතාවක් ඇත. ඒ මේ දෙදෙනාම ඉබාගාතේ හතර අතේ යන නිසාය. බල්ලා දුවයි, නැවතී ආයෙත් දුවයි, අහල පහළ යමෙකුට බුරයි, ආයෙත් දුවයි, කකුලක් ඔසවා මුත්‍රා කරයි. නැත්නම් තැන නොතැන නැතිව පහරයි, ආයෙත් දුවයි. පිස්සාගේත් මීට වඩා වෙනසක් නැත. මේ දින වල විපක්ෂ නායක තැන කරන කියන දෙයින්ද පෙනෙන්නේ අන්න එහෙම හැසිරීමක්ය. රට වටේ මොනවා මොනවා හෝ කියවමින් ඇවිදියි. ඔහොම යන අතරේ විපක්ෂ නායක සජිත් ප්‍රසිද්ධ තැනක බොහෝම නරක ආකාරයට පැහැරුවේය. ඒ ජනවාරි 30 වනදා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ තිබූ රැස්වීම අමතමින්ය.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තර්ජනය කරමින්ය. ඒ, IMF එකට අපි එකක් කියනවා. මේ ජනවරමක් නැති ජනාධිපතිවරයෙක්, ඒ සමඟ ගහන කිසිම ගිවිසුමක් පොරොන්දුවක් ඉටුකරන්න සමගි ජනබලවේගය ආණ්ඩුවක් බැඳිලා නෑ” කියමින්ය.

එසේම IMFඉදිරියට යායුත්තේ දෙකට තුනට හතරට නැමී නොවන බවත්, ඒ වෙත යා යුත්තේ ”කේසර සිංහයකු” ලෙස බවත්, මේ ආණ්ඩුව සිදුකරන ප්‍රතිසංස්කරණ කිසිවක් තම පාලනයක් යටතේ වලංගු නොවන බවත් විපක්ෂ නායක කියා ඇත.

විපක්ෂ නායක මේ ප්‍රකාශය සිදුකළේ සීරියස්ද ? නැත්නම් මතුගම ජනතාව ඉස්සරහා ඔවුන්ව අන්දා සිංහ වෙස් ගන්නද ? ඒ කුමන හේතුව මත කිව්වත් ඒ ප්‍රකාශයේ අත්හරින්න බැරි ප්‍රශ්නයක් ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු කරන්නේ රටේ පාලකයා, නැත්නම් ආණ්ඩුව සමඟය යන සජිත්ගේ සිතුවිල්ලය. ඊට අනුව සජිත්ට රාජ්‍යයේ සහ ආණ්ඩුවේ වෙනස සම්බන්ධව දැනුමක් නැත. ඔහුට අනුව රාජ්‍යය සහ ආණ්ඩුව කියන්නේ දෙකක් නොව එකක්ය. ඒ නිසා ජනාධිපති වෙන්න හිතන්න පෙර සජිත් පළමුව රජයේ සහ ආණ්ඩුවේ වෙනස තේරුම් ගත යුතුව ඇත.

රාජ්‍යයේ කටයුතු ක්‍රියාවට නගන ආයතනය ආණ්ඩුවය. විශේෂයෙන් රාජ්‍යයේ බලය ක්‍රියාවට නගමින් එහි නියෝජිතයා ලෙස පෙනි සිටින්නේ ආණ්ඩුවය. නැතිනම් රාජ්‍යය යනු ස්වාමියා නම් එහි සේවකයා වන්නේ ආණ්ඩුවය. රාජ්‍යය ස්ථාවර වන අතර ආණ්ඩුව අස්ථාවර ය. රාජ්‍යට නිශ්චිත දේශ සීමාවක් ඇති අතර ආණ්ඩුවට නිශ්චිත දේශ සීමාවක් නැත. හුදෙක්ම ආණ්ඩුව යනු රාජ්‍යය ඇතිවීමට අවශ්‍ය සාධකයක් පමණි. එසේම රාජ්‍යයට ස්වාධිපති බලය ඇති නමුත් ආණ්ඩුවට ඇත්තේ අවධාරිත ස්වාධිපති බලයක්ය. එමෙන්ම රාජ්‍යය යන්න එහි දේශසීමාව තුළ සමස්ථ සමාජය නියෝජනය කළත් ආණ්ඩුව නියෝජනය කරන්නේ දේශපාලන අංශය පමණය. රාජ්‍යය සමස්ථ ජාතියම නියෝජනය කරමින් ජාතිය සංකේතවත් කරන අතර ආණ්ඩුව යනු එක් පුද්ගල කණ්ඩායමකගේ ආයතනයක් පමණය. ඒ අර්ථයෙන් සමස්ථ භූමිය තුළ සිටින ජනතාව රාජ්‍යයේ සාමාජිකයන් වුවත් ඔවුන් සියලු දෙනා ආණ්ඩුවේ සාමාජිකයන් නොවේය.

මේ මූලික දැනීම අපොස උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරණ සිසුවෙකුට පවා තිබෙන්නක්ය. නමුත් අවාසනාව කියන්නේ, ජනාධිපති වෙන්න සිහින දකිමින් උදේ හවස අංචි අදින සජිත්ට මේ වෙනස සවිඥානික නොවීමය. එය අවාසනාව වන්නේ සජිත්ට නොව වැරදිලා හෝ ජනාධිපති වුණොත් මිලියන 22ක් වූ මෙරට ජනතාවටමය. පළමුව අර්බුදයට යන්නේ සජිත්ගේ ආණ්ඩුවට වුවත් සමස්ථ වන්දිය ගෙවන්න වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යටමය. අන්න ඒ නිසා දැන්වත් සජිත් තමන්ගේ දැනුම සම්බන්ධ අර්බුදය නිසා හටගත් හීනමානය වසා ගන්නට බරපතළ ඉංග්‍රීසි වචන කිහිපයකට නොහැකි බව තේරුම් ගත යුතුය.

ඒ වගේම සජිත්ගේ කේසර සිංහ කතා අසා විසින් ගසා ප්‍රීතිය පළ කළ උදවිය දැන්වත් තේරුම් ගත යුතුව ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ගෝලීය මූල්‍ය බලවතුන් ගිවිසුම් ගතවන්නේ ආණ්ඩු සමඟ නොවන බවය. එසේ වනවා නම්, චන්ද්‍රිකා පාලනයේ ගනුලැබූ ණය මහින්දගේ පාලනය යටතේ නොගෙවා ඉන්න තිබිණ. මහින්ද ගත්ත ණය සිරිසේනට නොගෙවා ඉන්නට තිබිණ. සිරිසේනගේ ණය ගෝඨාභයට නොගෙවා ඉන්න තිබිණ. නමුත් ගෝලීය බල සම්බන්ධතා නිර්මාණයවී ඇත්තේ සජිත් හිතන තරම් සරල ළපටි ආකාරයට නොවේය. ඒ නිසා අර ආණ්ඩුවේ ණය අපේ ආණ්ඩුව ගෙවන්නේ නෑ කියා කෑමොරදීම, එක්කෝ මොළය නොමෙරූ මෝඩකමය. නැත්නම් ජනතාව හිතාමතා ඇන්දවීමක්ය.

අනෙක් අතට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පමණක් නොව ගෝලීය මූල්‍ය බලවතුන් සහ ඒ ආශ්‍රිත ආයතන පද්ධති ණය ආධාර වල සිට ඕනෑම කරුණක් සම්බන්ධව රාජ්‍යක් සමඟ ගිවිසුම් ගතවීමේදී කටයුතු කරනුයේ ඊට අදාළ පොදු නිර්ණායක අනුවය. ඒ නිසා මේ රනිල්, අර සජිත් කියා වෙනසක් එතැන නැත. ඇතැම් විට සජිත් එහෙම සිතා සිටිනවා වන්නට පුළුවන. නමුත් යතාර්ථය වන්නේ එම ගෝලීය ආයතන රාජ්‍යය සමඟ මිස ආණ්ඩු සමඟ බැඳීමක් නැති බවය. එනිසා පෞද්ගලික රුචි අරුචිකම් මොනවා වුණත් ගනුලැබූ ණය ඇතුළුව ගිවිසුම්ගත කරුණු සම්බන්ධව අත්හළ නොහැකි බැඳීමක් රාජ්‍යට ඇත.

සජබ ආර්ථික කෙරුමන් ලෙස ඉන්න හර්ෂට සහ එරාන්ට වෙනම මාධ්‍ය හමුවක් පවත්වන්න සිදුවුයේද සජිත්ගේ මේ බොරු සිංහ මෝඩ කතාව නිසාය. නමුත් එහිදී හර්ෂට සජිත්ගේ කතාව බේරගන්න තවත් බොරු වැලක් ගොතන්න සිදුවිය. ඔහුගේ ඒ බොරු වැල සාරාංශ ගත කළොත් ඒ” “බංග්ලාදේශ ආණ්ඩුවට ජනවරමක් තියෙනවා! අපිට පස්සෙ ගිහිල්ලත් ඒ අයට IMF එක ණය 2ක් දුන්නේ ඒකයි! මේ ආණ්ඩුවට ජනවරමක් නෑ! ඉතින් IMF ණයත් නෑ! “ කියාය.

නායකයා හිටගෙන කරන දේ ගෝලයන් දුව දුව කරනවා කියන්නේද හර්ෂලාගේ මේ වගේ වැඩ වලටය. සජිත්ගේ කතාව මෝඩ නම් හර්ෂගේ කතාව සැහැසිය. වත්මන් ආණ්ඩුවට ජනවරමක් පමණක් නොව, රටේ ජනාධිපති පත්ව සිටින්නේද ව්‍යවස්ථාවේ තිබුන ආකාරයටමය. ඒ නිසා ෂඵත්‍ යන්න තවත් ජනවරමක් අවශ්‍ය නැත. ඒ වෙනුවට ෂඵත්‍ දන්වා ඇත්තේ , තමන් සමඟ වැඩපිළිවෙලක් වෙත යාමට නම් ශ්‍රී ලංකාව මේ වන විටත් බුන්වත්බව ප්‍රකාශයට පත්කර ඇති බැවින්, ප්‍රධාන ණයකරුවන් වෙත ගොස් ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට එකඟතාව ලබාගන්නා ලෙසත්ය. මේ මොහොතේ මොන ජගතා ලංකාවේ ආණ්ඩු කළත්, ශ්‍රී ලංකා රජය ලෙස ණයකරුවන් සමඟ මේ එකඟතාව ඇතිකර ගැනීම අනිවාර්යයක්ය.

ඒ අනුව දැනටමත් රනිල් පාලනය විසින් මෙරට ප්‍රධාන ණයකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට ගෙනගොස් ඇත. මේ වන විට ජපානය ප්‍රමුඛ පැරිස් සමාජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව ලබාදී හමාර අතර, ඉන්දියාව දැක්වූ ප්‍රතිචාරයද IMF විසින් ප්‍රමාණවත් බව දන්වා ඇත. දැන් ඇත්තේ චීනය සමඟ සාකච්ඡා සාර්ථක කර ගැනීමය. එයද සාර්ථක අවසානයකට ගෙනයාමේ හැකියාව ආණ්ඩුව විසින් දන්වා ඇති අතර පසුගිය දිනවල මෙරටට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂෝ මෙන්ම චීන එක්සීම් බැංකුවත් ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර ලබාදී ඇත.

ඒ අනුව තිබෙන්නේ, ණය ප්‍රතිව්‍යුහගත කරගන්නට චීන එකඟතාව IMF වෙත ඉදිරිපත් කර ඔවුන් සමඟ වැඩපිළිවෙලකට යාම සඳහා එහි විධායක කමිටු අනුමැතිය ගන්නටය. එවිට මාස 48කට අදාළ ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය අනුග්‍රහය ලැබීමේ අවස්ථාව මෙරටට හිමිවෙයි. ඒ තුළ සිදුවන අනෙක් අගනාම දේ නම් IMF සමඟ වැඩසටහනකට ඇතුළත්වීම හරහා ලෝකයේ අනෙක් මූල්‍ය බලවතුන් සමඟද ගනුදෙනු කිරීමේ දොරටු විවෘත වීමය.

ඒ තුළ ෂඵත්‍ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය බලවතුන්ගේ සහය ඇතිව ඉදිරියට යන්න පැහැදිළි අවස්ථාවක් දැන් ඇස් පෙනෙන මානයේ පවතී. ඊට පසුගියදා පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් ගේ සංචාරයේදී ලබාදුන් සහතිකයද සාක්ෂි දරයි. ජපානය සහ යුරෝපා සංගමයේ රටවල් , ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව මේ සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර නිකුත්කර ඇත.

මේ ආකාරයට විදෙස් සංචිත ක්‍රමයෙන් ශක්තිමත්වීම සමඟ පොලී අනුපාත වැඩිකිරීම හමුවේ මෙරට වෙළඳපොල හැකිලීමේ අවධානමද පහව යයි. ඒ බව පසුගිය ජනවාරි 23 වනදා පැවැත්වුණු රාජ්‍ය මුදල් කාරක සභා අවස්ථාවේදීද අවධානයට ලක්ව තිබිණ. එහිදී මහ බැංකු නියෝජිතයන් පැහැදිළිව අවධාරණය කර තිබුණේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකම ලැබීම හරහා පොලී අනුපාත නැවත වරක් ලිහිල් කළ හැකි බවය. ඒ තුළ වෙළඳපොළ හැකිලීම පාලනය කරගන්නට අවස්ථාව පවතී. නැතිනම් ජනතාවත් විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාව දක්වන ප්‍රධාන මැසිවිල්ලක් වූ පොළී අනුපාත ඉහළ අගයක තිබීම වෙනස් කරමින් ඔවුන්ට සහනයක් ගෙනෙන්නට අවස්ථාව හිමිවෙයි. ඒ කියන්නේ මෙරට ව්‍යාපාරික ප්‍රජාව යළිත් සක්‍රීය වීමට නියමිත බවය.

මේ හරහා පීඩනයට පත්ව ඇති ලංකා ආර්ථිකය සැලකිය යුතු සැනසිලිදායක තත්වයකට පැමිණෙන බව රහසක් නොවේ. සජිත්ගේ වෛරය IMF වෙත මුදාහරී ඇත්තේද ඒ තුළය. එපමණක් නොව, මැතිවරණ රැල්ලක් රට තුළ ඇතිකරන්න දන්නා තරම් පද කස්තිරම් අල්ලන්නේද මේ ඇතිවීමට නියමිත තත්වය වළක්වාලන්නටය. ඒ ජනතාව වෙනුවෙන් නොව විපක්ෂය නන්නත්තාරවීම වළක්වා ගන්නටය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති දත්ත අනුව ජනවාරි මාසය අවසන් වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 54.2% දක්වා අඩු වී ඇත. ආහාර උද්ධමනය 60.1% දක්වා අඩු වී තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 51.0%ක් දක්වා අඩු වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ නොවැම්බර් මාසයේ 61% ක්ව පැවති උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2% දක්වා අඩුවී ඇති බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මීට පෙර වාර්තා කර තිබිණ. ඊට අනුව නොවැම්බර් මාසයේ 73.7%ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 64.4% දක්වා අඩුවී ඇත. මෙයින් පෙන්නු කෙරෙන්නේ ආර්ථික විශේෂඥයන් සඳහන් කරන්නේ මාර්තු අප්‍රේල් මාස වන විට මෙරට උද්ධමනය 50%, 40% ට දක්වා අඩුවිය හැකි බවය.

තවද බදු ඉහළ දැමීමේ පීඩාව ගැන මේ මොහොතේ මැසිවිලි නැගුණත් උද්ධමනයේ සිදුවන වෙනස විසින් එම තත්වය ක්‍රමයෙන් පහව යන බවත් මේ අනුව පැහැදිලි වෙයි. කෙසේ වුවත් මැතිවරණයක් ගැන සැළකිය යුතු හාහෝවක් අසන්න ලැබෙන බැවින් ආර්ථික ප්‍රතිසංස්කරණ පසුපසට අදින දේශපාලන සටන් පාඨ ඇසෙමින් ඇත. නමුත් තේරුම් ගතයුතුව ඇත්තේ, මේ මොහොත ප්‍රයෝජනයට ගෙන මේ දුෂ්ඨ චක්‍රය නොබින්දහොත් යළිත් වතාවක් පෝලිම් යුගයක සිට ඉන් ඉදිරියට ඇති ඕනෑම ආර්ථික අභාවාචී තත්වයකට රට ගොදුරුවිය හැකි බවය. එනිසා අඩු ආදායම්ලාභීන් සහ බරපතළ ආර්ථික දුෂ්කරතා ඇති ජනකොටස් සුරක්ෂිත කරගෙන, කෙටිකාලීන දුෂ්කරතා තේරුම් ගෙන මේ මොහොත පසුකිරීම මිස සහනයක් මෙරටට නොමැති බව තේරුම් ගත යුතුව ඇත. එනිසා සජිත්ගේ වැනි මොළේ නොමේරූ දේශපාලනඥයන්ගේ මොහොතක සුවදෙන චංචල කතා අසා චපල වෙනවාද යන්න තේරුම් ගැනීම මිලියන 22ක මෙරට ජනතාවට බාරය.

කල්ප අනුත්තර ලියනගේ