අනාගත ආයෝජනයක් වන 75 වන නිදහස් සැමරුම
ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 75ක් සපිරෙන එළඹෙන පෙබරවාරි 04 වන දිනය, උත්කර්ෂවත්ව හා අභිමානවත්ව අයුරින් සැමරීම සදහා මේ වන විට කටයුතු සැකසෙමින් පවතී. නිදහස් සැමරුමට වැය වන වියදම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළම විවිධ මති මතාන්තර ඇසෙන්නට ලැබුණු අතර එහිදී විපක්ෂයේ කණ්ඩායම් සදහන් කොට සිටියේ මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් යටතේ පවත්වන නිදහස් දින සැමරුම ආර්ථිකමය වශයෙන් අනවශ්‍ය වියදමක් බවයි.
එහෙත් මේ සම්බන්ධව විවිධ අවස්ථාවන් තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ මෙවර නිදහස් දින සැමරුම අනාගත ආයෝජනයක් බවයි.
මෙවර නිදහස සැමරුම සාම්ප්‍රදායික සැමරුමකින් ඔබ්බට යන සැමරුමක් වන්නේ ජනාධිපතිවරයා සදහන් කළ අන්දමට 75 වන නිදහස් දින සැමරුම ”එක්ව නැගිටිමු ” යන්න තේමාව යථාර්තයක් කරගැනීම සඳහා වන අධිෂ්ඨානය සහිත එකක් වන නිසය.
වෙනදා ගාලු මුව දොර පෙළපාලි පවත්වා සංදර්ශන වෙඩි මුර පවත්වා රටේ මුදල් නාස්ති කරමින් අවසන් වන නිදහස් දිනයක් වෙනුවට මෙවර අනිවාර්ය වැඩ පිළිවෙලක ඇරඹුම වෙනුවෙන් වන නිදහස් දින සැමරුමක්වේ.
මේ සියල්ල ඇරඹෙන්නේ ජනතාවට සහන සලසාලමින් වීම විශේෂත්වයකි. ඕනෑම අයෙකුට කුස ගින්න තරම් දැනෙන දැවෙන ගැටළුවක් නොමැතිවා සේම එය සපුරාගැනීම තුළ වන නිදහස ඇත්ත නිදහසය. ඒ අනුව 75 වන නිදහස් දිනය පාදක කොටගෙන ජනාධිපතිවරයාගේ අදහස වන්නේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුල් මිලියන 02කට සහල් කි.ග්රැම් 10 බැගින් ලබා දීමේ වැඩපිළිවෙළකි.
මෙය විපක්ෂ කණ්ඩායම් පෙර දකින කෝණයෙන්ම විවේචන ගෙනැවිත් පවසන්නේ මැතිවරණ ඉලක්ක කොට සහන පැකේජ දීමට ආණ්ඩුව කටයුතු කරන බව කියමිනි. එහෙත් ලබා දෙන සහනය ලබා දෙන අයුරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කර සිටියේ මෙසේයි. ” දැන් අපට තිබෙන්නේ වී කිලෝ එක රුපියල් 100ක මට්ටමේ පවත්වාගෙන යාමට.
ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. ඊට පෙර වෙන් කළේ රුපියල් බිලියන 05ක වගේ මුදලක්. මීට පෙර සිදු වුණේ මේ වී අතිරික්තය අළෙවි කිරීමයි. ඒත් අපි එසේ සිදු කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේ සහල් ජනතාවට සහන සැලසීම සදහා ලබා දෙන බවයි.
නිදහස් දිනය නිමිතිකරගෙන දියත් වන වැඩපිළිවෙල මෙපරිද්දෙන් ආරම්භ වුවත් මෙහි දිගුව වසර ගණනාවක සැලසුමකි. එමෙන්ම නිදහසින් පසු 75 වසරක් ගත වී ඇති මොහොතක නිදහසේ 100 වන සැමරුම වන විට මේ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ආයතන ගණනාවක් ඇති කිරීමට පියවර ගෙන ඇති බවත් දක්වමිනි.
මෙහිදී ඉතිහාසය අමතක කර, නොතකා හැර කටයුතු කිරීමෙහි විපාක අද සමාජයක් විදිහට බුක්ති විඳිමින් තිබීම සලකා බලා මෙරට ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. එසේම ආර්ථික විද්‍යා හා වෙළෙඳ ආයතනයක් ස්ථාපිත කරන බවත් මේ සම්බන්ධයෙන් ලෝකයේ රටවල විවිධ ආයතන ඇති බවත් ජනාධිපතිවරයා සදහන් කර සිටියේය.
කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනයක් පළමු වතාවට අපේ රටේ ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ වගේම අපේ නිලධාරින්ගේ පුහුණු කටයුතු සඳහා රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය ඇති ඇති කිරීමට පියවර ගන්නා බවත් පවසයි.
අපේ කෘෂිකර්මාන්තයේ නවීකරණයක් සිදු කිරීම සදහා කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඇති කරන බවත් දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇති කිරීමට අපි පියවර ගන්නා අතර ඒ සඳහා සහාය ලබාදෙන බවට විදේශ රටවල් සමග දැනටමත් ප්‍රකාශ කර ඇති බවත් ජනාධිපතිවරයා සදහන් කොට සිටියේය.
75 වන නිදහස් දිනය තවත් කැලැන්ඩර් දිනයක් නොවන්නේ මේ නිසා බව දැන් පැහැදිලිය. ක්‍රියාවලියක පදනම ශක්තිමක් වන විට එම ක්‍රියාවලියේ ප්රතිඵලයන් අනාගතයට නම් එම අනාගත පරම්පාරව කොතරම් තෘප්තිමත් වනු ඇතිද? මේ ක්‍රියාත්මක වන්නේ එහෙව් වැඩපිළිවෙලක් නොවේද? යන්න සිතන ජනතාවක් සිටී නම් ඔවුන් තරම් නිදහසක් විදින ජාතියක් තවක් නොමැති බව කිව යුතුය. නිදහස් දිනයට සමගාමීව ඉදිරිය සැකසෙන තාරුණ්‍යයේ වැඩ පිළිවෙලක්ද මෙහි තිබීම අතිශය වැදගත් කරුණකි.
ඒවා අතර ජාත්‍යන්තර මට්ටමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන යාම වෙනුවෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇති කිරීම ද තිබේ. ඔහු වැඩිදුරටත් මේ වැඩපිළිවෙල 75 වන නිදහස් සැමරුම සමග සම්බන්ධ කොට දන්වා ඇත්තේ අනාගත වැඩපිළිවෙලක් පියවරෙන් පියවර දියත් වනවා විනා ඉන් මෙපිටට ගමන් නොවන සේ සැලසුම් කිරීම රජයේ වගකීම බවත් මේවා ශක්තිමත් කිරීම සදහා නව නීති කිහිපයක් ගෙන ඒමට කටයුතු කරන බවය.
ඒවා අතර වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත වැනි පනත් ගෙන ඒමෙන් පසුව දකුණු ආසියාවේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉහළම පියවර ගෙන තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත් වන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
නිදහසින් පසු 75 වසරක් ගෙවුණු තැන පරිසරය වෙනුවෙන් වැදගත් පියවර ගනනාවක් ගෙන තිබේ. දේශගුණික විපර්යාස පිළිබඳ පනත, වනාන්තර ප්රතිරෝපණය සහ වෘක්ෂ ආවරණ පනත් ගෙන ඒමත් ජීවමාන අස්ථිත්ව පනත මඟින් මහවැලි ගඟ, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය, හෝර්ටන් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම යන ස්ථානවලටත් ජීවමාන අයිතිය ලබාදීමත් සිදුකරන අතර සාගර සම්පත් ගවේෂණය සහ කළමනාකරණය සඳහා නීති, මුතුරාජවෙල (සංරක්ෂණ) පනත මේ සියල්ල තුළින් මේ කලාපයේ හොඳම පරිසර නීති තිබෙන රට බවට පත් කිරීමත් අනාගත පරපුර වෙනුවෙන් ඒවා සුරැකීම විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
එමෙන්ම මෙහිදී සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත හඳුන්වා දීමෙන් සමාජ සාධාරණත්ව ඇති කිරීම සදහා පියවර ගැනීමට කටයුතු කිරීම මූලික වේ.
මේ අතරම මේ වසරේදී නාගරික වනාත්තර 75ක් ඇති කිරීම වෙනුවෙන් හා ජාතික තරුණ වේදිකාව පිළිබඳ ව්‍යාපෘතියේ වැඩසටහන් වෙනුවෙන් මුදල් යෙදවිය යුතු බවත් කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සදහා නිවාස 1996ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා 75 වන නිදහස් දින සැමරුමෙන් ඔබ්බට වන අනාගත ක්‍රියාදාමය පැහැදිලි කරමින් සදහන් කර සිටියේය.
මේ අලුත් දේශපාලනයේ සහ අලුත් රටක සංවර්ධනයේ නවමු නිදහස් දින පෙරළියයි. නිදහස් දින සැමරුම යටත් විජිත යුගයෙන් පසු ගොඩ නැගෙන මහා සංවර්ධනීය පියවරයන් ජනතාවගේ මූලික අයිතීන් හා ආර්ථික දියුනුව ඉලක්ක කරමින් සිදුවන බව දැන් පැහැදිලිය.
මෙය අප ලබන ඇත්ත නිදහසයි. එබැවින් කකුලෙන් ඇදීමේ සාම්ප්‍රදායික දේශපාලන සටකපටකම් සිදු කිරීමෙන් මේ වැඩපිලිවෙලට අකුල් හෙලීමෙන් ඵලක් නැත. එබැවින් කළ යුතු වන්නේ පටු දේශපාලනයන් ඉවත ලා එකාවන්ව මේ අභියෝග හමුවේ රට සැබෑ නිදහස් ආර්ථිකයක් සංවර්ධනයක් කරා ගෙන යාමය. අප ලබාගත් නිදහස සැබෑ නිදහසක් වන්නේ එවිටය.
කේ.පී.අයි. ප්‍රියංගනී