අන්තරේ ප්‍රජාතන්තරේ

ශිෂ්‍යයා වනාහි විප්ලවයේ ගිණි සිළුවය. විප්ලවයේ ගාමක බලවේගයය. වාමාංශික දේශපාලනය තුළ ශිෂ්‍යයා ස්ථාන ගත වූයේ එතැනය. විශේෂයෙන්ම මේ ශිෂ්‍ය දේශපාලනය යනු විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගත් ශිෂ්‍ය සංගම් හරහා රටේ දේශපාලනයට කරන මැදිහත්වීමය. එය සමන්‍යයෙන් ලෝකයේ කොයි රටෙත් එක හා සමානව වන ජව සම්පන්න අධි ක්‍රියකාරිත්වයකි. මෙරට ශිෂ්‍ය දේශපාලන ඉතිහාසයද මේ තත්වයන් නිරන්තරයෙන්ම ප්‍රකට කර ඇත. ශිෂ්‍ය දේශපාලනයේ මතවාදයන් ආකල්ප හරි හෝ වැරදි හෝ වේවා එය රටේ දේශාපලනය වෙනස් කිරීමට තරම් බලවත්ය. මේ නිසා මෙම ශිෂ්‍ය දේශපාලනය තමන්ගේ අතකොළුවක් කර ගැනීමට රටේ දේශපාලන බලවේග නිරන්තරයෙන් උත්සහ ගැනීම සිදුවෙයි. ඒ අනුව මෙරට ක්‍රියත්මක බලවත්ම ශිෂ්‍ය සංගම් එකතුව වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය බලමණ්ඩලය තමන්ගේ පාලනය යටත්ට ගැනීම වෙනුවෙන් මෙරට වාමාංශික ප්‍රවාහයේ ක්‍රියාකාරී පක්ෂ සිය පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයේ වැදගත්ම ඉඩ කඩක් ඊට ලබා දී ඇත.

1968 ආරම්භ වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය බලමණ්ඩලය හෙවත් අන්තරේ යනු මෙරට ඉතිහාසය පුරාම දේශපාලන ප්‍රවාහයේ අතිශය ක්‍රියාකාරීව කටයුතු කළ කණ්ඩායමකි. අදටත් එය එසේම සිදු කරමින් පවතී. 1978 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක වූ හා වත්මනේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන යාන්ත්‍රණය ලෙස ක්‍රියාත්මක වෙයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 1978 වසරේ සිටම ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් ලෙස කටයුතු කළ අතර, එදා සිට 2010 දක්වාම අන්තරේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ සියලුදෙනා කැඳවුම්කරු තනතුරෙන් ඉවත්වීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු ලෙස සමාජගත විය.
1968 ජුනි 18 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ආරම්භ වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පළමු කැඳවුම්කරු වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මැල්කම් විජේසිංහය. අනතුරුව 1972 වසරේදී අන්තරේ බලය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය විසින් හිමිකර ගත් අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය විසින් 1978 වසර දක්වා අන්තරේ මෙහෙයවීම සිදු කෙරිණි. 1976දී රෝහණ වීරසූරියගේ ඝාතනයත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ විසින් අන්තරේ බලය හිමිකර ගත් අතර, 2010 වසර දක්වා අන්තරේ බලය ජනතා විමුක්ති පෙරමුණ හිමි විය. 2011 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමක් එයින් වෙන්ව ගොස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කිරීමෙන් පසු 2012 වසරේ සිට අන්තරේ බලය පෙරටුගාමී සමාජවාදී පක්ෂය සතු විය.

1981දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එච්.බී. හේරත්, 1982දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඩී.එම්. ආනන්ද, හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කේ.ඩබ්ලිව්.එස්. අමරසිරි, 1983දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එච්.එම්. මහින්ද පුෂ්පකුමාර, 1984දී කැළණිය විශ්වවිද්‍යාලයේ උපාලි ජයවීර කටයුතු කළ අතර, එවකට එම තනතුර අන්තරේ සභාපති තනතුර ලෙස හැඳින්වින. 1988දී ශිෂ්‍ය සංගම් තහනම රජය විසින් ඉවත් කිරීමෙන් පසු නිල වශයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නැවත වරක් ස්ථාපිත කරන ලද්දේ 1994 දීය.

මේ අතුරින් සුනිල් හදුන්නෙත්ති (1995), චන්දන බණ්ඩාර (1997), කලවැල්ලගල චන්දාලෝක හිමි (1998), ධම්මික මදුරප්පෙරුම (1999) චමිර කොස්වත්ත (2000), රවින්ද්‍ර මුදලිගේ (2001), දුමින්ද නාගමුව (2004) උදුල් ප්‍රේමරත්න (2006) සංජීව බණ්ඩාර (2009), නජිත් ඉන්දික (2014), ළහිරු වීරසේකර (2015) හා අනතුරුව වසන්ත මුදලිගේ ද පත්විය. මෙම නම් ලැයිස්තුවේ සියලුදෙනා මේ වන විට ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන තනතුරු හොබවා ඇති අතර, වසන්ත මුදලිගේ ද නුදුරේදීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධානයක නායකයෙකු ලෙස කළ එළි බසිනු නොඅනුමානය.

මේ අයුරින් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සිය පක්ෂයට පූර්ණ කාලීන සාමාජිකයින් බඳවා ගන්නා තිඹිරිගෙය ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය හැඳින්වුවද වරදක් නැත. ඒ වෙනුවෙන් අන්තරේ බලය තහවුරු කර ගැනීම සඳහා මොවුන් නොගන්නා වෙහෙසක් නැත.

ඒ කෙහොම නමුත් සාමාන්‍යයෙන් කළහකාරීව හැසිරෙමින්, පොදු දේපලට හානි කරමින්, පොදු ජනතාවට හිරිහැරවන පරිදි හා අවහිරවන පරිදි කටයුතු කරන ශිෂ්‍ය දේශපාලනයේ ප්‍රධානතම සටන් මෙවලම වන්නේ වීදි උද්ඝෝෂණයයි. එදා සිට අද දක්වාම නොවනස් සාම්ප්‍රදායික ක්‍රියාපිළිවෙතක නියැලී සිටින අන්තරේ ප්‍රධාන සටන් පාඨය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම යි.
කෙසේ වෙතත් “කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරේ” යැයි කියන්නා සේ පසුගියදා අන්තරේ ප්‍රජාතන්ත්‍රවාදය රටටම හෙළි වූයේ අන්තරේ ඇඳිවත ගලවා දමමිනි. ඒ මෑතක අන්තරේ කැඳවුම්කරු ධුරයේ කටයුතු කළ වසන්ත මුදලිගේ එම තනතුරින් ඉවත්ව නව කැඳවුම්කරුවෙකු පත් කර ගැනීමත් සමඟය. පසුගිය 14 වැනිදා වන විට වසන්ත මුදලිගේගේ ධුර කාලය අවසන් වූ බවත්, ඒ හේතුවෙන් නව කැඳවුම්කරුවෙකු පත් කර ගන්නා බවත් වාර්තා විය.

ඒ අනුව පසුගිය 20 වැනි දින රජරට විශ්වවිද්‍යාලයේදී පැවැති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ රැස්වීම අතරතුර නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ ඉගෙනුම ලබන මධුෂාන් චන්ද්‍රජිත් තෝරා පත් කර ගත් බව මාධ්‍ය වෙත දැනුම් දුනි.

මධුෂාන් චන්ද්‍රජිත් සම්බන්ධයෙන් ඒ වන විටත් විවිධ තොරතුරු වාර්තා වී තිබූ අතර, ඒ අතරින් ප්‍රධාන කාරණාව වූයේ මේ වන විටත් මධුෂාන් චන්ද්‍රජිත් විශ්වවිද්‍යාලයේ පන්ති තහනමකට ලක්ව ඇති ශිෂ්‍යයෙකු බවයි. ඔහුගේ පන්ති තහනමට හේතුව වී ඇත්තේ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදීමයි. මෙම චෝදනාවට ලක්ව මධුෂාන්ට පන්ති තහනමක් පනවා මේ වන විට වසර දෙකකට අධික කාලයක් ගතව ඇති අතර, මේ සම්බන්ධයෙන් මධුෂාන්ගේ පියා විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරය වෙත කළ අභියාචනයක් විභාග කිරීමට පසුගිය
19 වැනි දින නියමව තිබූ නමුත් ඒ සඳහා මධුෂාන් සහභාගී වී නොමැත. මේ හේතුවෙන් මධුෂාන්ගේ පන්ති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වන තුරුත් විශ්වවිද්‍යාල පාලනාධිකාරය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර, ඔහුගේ පන්ති තහනම අදටත් ක්‍රියාත්මකය.

මේ අතර ප්‍රසිද්ධියට පත්ව ඇති තවත් කරුණක් වන්නේ මධුෂාන් චන්ද්‍රජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙකු නොවන බවයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට කැඳවුම්කරුවෙකු පත් කර ගැනීමේ සාමාන්‍ය සම්ප්‍රදාය නම් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා එක්ව කටයුතු කරන විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරුන් අතරින් කෙනෙකු තෝරා පත් කර ගැනීමයි. මෙවර එම සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කිසිදු තනතුරක් නොදරන මධුෂාන් චන්ද්‍රජිත් පත් කිරීම මේ වන විට විවාදයට තුඩු දී ඇති කාරණාවක් බවට පත්ව ඇත.

මෙම තත්වය වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙහෙයවනු ලබන හා මේ වන විට එහි බලය සතු කර ගෙන සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. නිලවරණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් බලය නතු කර ගෙන ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් කිහිපයක් මෙම නිලවරණය පැවැත්වෙන සැසිවාරයට සහභාගීවීම වළක්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිතවාදී ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කඳවුම්කරු පත් කර ගැනීමට කටයුතු සලසා ඇත. ඒ අනුව නව කැඳවුම්කරු පත් කර ගන්නා අන්තරේ සැසිවාරය කැළණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන බවට දන්වා තිබියදී හදිසියේම සැසිවාරය පැවැත්වෙන ස්ථානය වෙනස් කර එම සැසිවාරය රජරට විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සලසා ඇත. මෙලෙස සැසිවාරය පැවැත්වෙන ස්ථානය වෙනස් වු බව අනෙකුත් ශිෂ්‍ය සංගම් වෙත දන්වා ඇත්තේ ද සැසිවාරය පැවැත්වූ 20 වැනි දින අළුයමය.

මේ අතර හදිසියේ නව කැඳවුම්කරුවෙකු පත් කර ගැනීමට සම්බන්ධයෙන් බොහෝ විශ්වවිද්‍යාලවලින් වෙනත් නම් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, අදාල නාම යෝජනා ප්‍රතික්ෂේප කර මධුෂාන් චන්ද්‍රජිත් පත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩකටයුතු සලසා ඇත. ඒ අනුව අන්තරේ වැඩබලන කැඳවුම්කරු ලෙස කටයුතු කළ ටෙරන්ස් රොද්‍රිගු හා කොබෙයිතුඩුවේ සමිත හිමි මෙම සැසිවාරයට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු සලසා ඇති අතර, ඒ හරහා මධුෂාන් චන්ද්‍රජිත් නාම යෝජනාව පමණක් අදාල සැසිවාරයට යෝජනාවීමට අදාල වටපිටාව සකසා ඇත.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා රුහුණ විශ්වවිද්‍යාලය කැඳවුම්කරු පත් කර ගැනීමේ සැසිවාරයට සහභාගීවීම වැළැක්වීමට පෙරටුගාමී
සමාජවාදී පක්ෂය ක්‍රියාකිරීම මත ඊට විරෝධය පළ කරමින් කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංමය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් මෙම සැසිවාරය වර්ජනය කර ඇත. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාල සහභාගී කර නොගැනීමට තීරණය කර ඇත්තේ මධුෂාන් චන්ද්‍රජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නිලධාරියෙකු නොවීම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඇති විය හැකි විරෝධය වැළැක්වීමටය.

ඒ අනුව මෙම සැසිවාරය සඳහා අග්නිදිග විශ්වවිද්‍යාලය, නැගෙනහිරි විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය හා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් හා පීඨ ශිෂ්‍ය සංගම් කිහිපයක් සහභාගී වී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙසේ සහභාගී වී ඇති මහා ශිෂ්‍ය සංගම් හා පීඨ ශිෂ්‍ය සංගම් සියල්ල පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධව කටයුතු කරන ශිෂ්‍ය සංගම්වීමයි.

මෙහි විශේෂත්වය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම ක්‍රියාවලිය වෙනුවෙන් සිය සෘජු මැදිහත්වීම සිදු කරන අතර තුර, ඒ වෙනුවෙන් සමගි ජන බලවේගයට සහය දක්වන ශිෂ්‍ය සංගම්වල සහය ද ලබා ගැනීමයි. එසේම අවසන් කැඳවුම්කරු ලෙස කටයුතු කළ වසන්ත මුදලිගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන බැවින් එම පක්ෂයේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කිරීම හේතුවෙන් සිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට වැඩි පහසුවක් ලැබී ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම සමඟ ඇති අනෙක් හාස්‍යයට කාරණාව වන්නේ මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දක්වන විරෝධයයි. මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පත්කර ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණ සම්ප්‍රදායක ප්‍රතිපලයක් බවයි. එමෙන්ම පසුගිය කාලය පුරාවටම මෙම ක්‍රමන්ත්‍රණය ක්‍රියාත්මක වූ බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය. ජවිපෙ අන්තරෙ බලය රැක ගත්තේද මේ කියන පන්නයේ ක්‍රමන්ත්‍රණ මගින්මය. එසේම දැන් බලය ඩැහැ ගැනීමටද උත්සහ කරන්නේත් කුමන්ත්‍රණ මගිනි. නමුත් මෙවරත් ඔවුන්ගේ කුමන්ත්‍රණය පරාජයට පත් විය. බිමල්ගේ මුවින් පිට වූයේ ඒ වේදනාවය.

කො‌හොම නමුත් රට පුරා විරෝධතා සංවිධානය කරමින්, පාරවල් අවහිර කරමින්, පොදු ජන ජීවිතයට බලපෑම් කරමින් පසුගිය කාලය පුරාමත් අදත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අන්තරේ නියෝජිතයින් විසින් රූපවාහිනී සංවාදවලදී හා සමාජ මාධ්‍ය අදහස් පළ කිරීම්වලදී දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිවීමක් පිළිබද ප්‍රශ්නයය. නමුත් ඔවුන්ගේ ත්‍රාඩ කියුම් කෙරුම්වලට ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ලැබී තිබෙන බව කියන්නේ නැත.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයම ඉල්ලා සිටින, ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් සිය දේශපාලනය පවත්වාගෙන යන අන්තරේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම නව කැඳවුම්කරු පත් කිරීමේ සිදුවීම සමග සමාජයට හෙළදරව් වී ඇත. එහි වහන්න දෙයක් දැන් නැත. එබැවින් අන්තරෙන් අපට ඉල්ලා සිටීමට ඇත්තෙ ඔබ තවත් ඉල්ලන අමුතු ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද යන්න කරුණාකර භාවිතයෙන් ආදර්ශයෙන් පෙන්වා දෙන ලෙසය.

  • අකලංක ගනේගමආරච්චි