කඩාකප්පල්කාරීන්ට ඉඩ නොදිය යුත්තේ ඇයි?

“කම්කරු පංතිය රාජ්‍ය බලය දිනා ගැනීමට පෙරම එය අභ්‍යාස කළ යුතුය” යන්න අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයකි. රාජ්‍ය බලය ඉලක්ක කොට ගත් වාමවාදි දේශපාලන ව්‍යපාරයකට මෙකී ප්‍රකාශය අත්නොහළ හැකි හා යුතු පාඩමකි. මන්ද ලෝක ඉතිහාසය පුරාම වාම දේශපාලන කඳවුරු බිඳවැටීම හෝ අසමත්වීමේ ප්‍රධානතම සාධකය බවට මෙම අභ්‍යාසය හේතු සාධක වී ඇති බැවිනි.

ලංකාව සම්බන්ධයෙන් ගත්කළ මෙම ප්‍රකාශයේ වලංගුභාව පිළිබඳ නැවත කල්පනා කළයුතු යැයි හැඟේ. මන්ද ලංකාවේ කම්කරු පංතියක් වටා ගොනුවූ නිර්ධන පංති ව්‍යාපාරයක් නොමැති බැවිනි. ලංකාවේ නිර්ධන හෝ වාම යැයි කියාගන්නා බොහෝ කල්ලි කණ්ඩායම් නිර්මිත වී ඇත්තේ බොහෝ විට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් හා මධ්‍යම පාංතික වෘත්තීය සමිතිකාරයන්ගෙනි. මෙයින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු අදාළ කාලය පියමං කිරීම හෝ අනාගතයේ පුද්ගලික සිවිල් බලයක් සහිත චරිතයක් වීමේ අරමුණින් එකී දේශපාලනය තෝරා ගන්නවා විනා කිසිදු විටෙක පූර්ණකාලීනව වාම දේශපාලනයේ කොටස්කරුවකු වීමට උත්සාහ නොකරයි. එහෙත් මධ්‍යම පාංතික නැඹුරුවක් සහිත වෘත්තීය සමිතිකාරයන් යනු සිය රැකියා ස්ථානයේ සිවිල් බලයක් සහිත පොරත්වයක් ආරෝපණය කරගැනීමේ නොනිත් ආශාව මත සහ අයුතු ලාභ උපයාගැනීමේ මාර්ගයක් ලෙස වාම යැයි කියාගන්නා දේශපාලනයේ පූර්ණකාලීන කොටස්කාරයකු විය හැක.

කෙසේ නමුත් මේ පිරිස් අතරින් කවරෙකුට හෝ වාම දේශපාලනය පිළිබඳ සැලකියයුතු අවබෝධයක් හෝ දැනුමක්, අනාගතය පිළිබඳ සිහින උටෝපියාවක් මිස ප්‍රායෝගික දැක්මක් ඔවුන් සතුව නොමැති බවට සැක නැත. මන්ද ඔවුන් සිය පක්ෂයේ හෝ කණ්ඩායමේ අරමුණ හා සිය පුද්ගලික වාසි අස්ථානය සමපාත වන සෑම විටකම, අනෙකා ගැන කිසිදු වගවිභාගයකින් හෝ සැලකිලිමත් වීමකින් තොරව ක්‍රියාකරන අයුරු දැක ඇති නිසාවෙනි. එම නිසා රට ගැන හෝ රටවැසියා ගැන කිසිදු වගවීමක් ඔවුන්ට නැත. ඔවුන්ට අත්තේ, සිය අරමුණ දිනාගත හැක්කේ කෙසේද ? ඒ සඳහා කළයුත්තේ කුමක් ද? යන්න පමණි. ඒ අනුව ඔවුන් සිය වෘත්තීය දේශපාලනය තුළ ක්‍රියාත්මක වනු පෙනේ. එහිදී අනෙකාට අත්වන පාඩුව, හානිය හෝ අවධානම වම්මුන්ට අදාළ නැත. අද මේ රට තුළ අත්දැකිය හැකි ප්‍රායෝගික සත්‍ය එයම නොවේද?

රුසියානු පාඩමක් සහ අන්තරේ

සියල්ලට විරුද්ධ වීම හැර විකල්ප ගොඩනැංවීමක් පිළිබඳ කිසිදු අදහසක් නැති වාමංශිකයා හෝ අරගලකරුවා යනු සහමුලින්ම කඩාකප්පල්කාරයෙකි. එය ලංකාවේ ඉතිහාසය පුරාම අත්දුටු සත්‍යක් බව දේශපාලන ඉතිහාසය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් සහිත සියල්ලෝම සැකයකින් තොරව පිළිගනිති. එම නිසාම ලංකාවේ ක්‍රියාකාරී වාමාංශිකයා යැයි කියාගන්නා අයවලුන්ට ඇති බරපතල චෝදනාවක් වන්නේ ද ‘කඩාකප්පල්කාරීන්‘ යන්නය. එහෙත් එදා මෙදා තුර ඊට සැලකියයුතු පිළිතුරක් සමාජගත කිරීමට ඔවුන් අසමත්වීම යනු දැනුවත්ව ඔවුන් එය නොලසකා කටයුතු කරන බැවිනි. එසේ නොමැතිනම් ඔවුන් එය පවතින ක්‍රමයට එරෙහි තමන්ගේ ප්‍රමුඛතම කාර්යය කොට සලකන බැවිනි.

එහෙත් වාම දේශපාලනය තුළ උගත් පාඩම් ගොන්නෙන් ඔවුන්ට මගහැරුණු මූලික පාඩමක් මෙහිදී සිහිපත් කිරීම වටී. එය ද ධනේශ්වර හෝ බටහිර රටවලින් කියාදුන්නක් නොව ඔවුන්ගේ ඵෙතිහාසික දේශපාලන ගුරුවරයා වූ සෝවියට් රුසියාවෙනි. 1917 සෝවියට් රුසියානු විප්ලවයෙන් අනතුරුව ඒ පිළිබඳ ලියවී ඇති ලේඛන හා පරිවර්ථන ප්‍රකාරව, කිසියම් රටක රාජ්‍ය බලය අපෙක්ෂා කරන වාමාංශික ව්‍යාපාරයක් සතුව මූලික කරුණු දෙකක් අත්‍යවශ්‍ය බැව් දැක්වේ. එනම්, සංවිධානාත්මක පක්ෂ ව්‍යූහයක් ගොඩනැගීම සහ කම්කරු, ගොවි සහ සොල්දාදුවන්ගෙන් සැදුම්ලත් ස්වාධීන නියෝජන ආයතන ගොඩනැංවීමයි.

ලංකාවේ වාමාංශික ව්‍යාපාර ලෙස පෙනී සිටින පෙරටුගාමී හෝ ජනතා විමුක්ති පෙරමුණ ගත් කළ මෙහි පළමු පාඩම වූ සංවිධානාත්මක පක්ෂ ව්‍යූහයක් ගොඩනැංවීම කෙරේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දැඩි උනන්දුවකින් සහ අවධානයකින් කටයුතු කරමින් සිටිනු දැකිය හැකිය. එහෙත් ස්වාධීන නියෝජන ආයතන ගොඩනැංවීම කෙරේ කිසිදු සැලකිල්ලක් ඔවුන් කෙරෙන් මෙතෙක් පෙන්නුම් කොට නැත. නියෝජන ආයතන ලෙස ඔවුන් ගොඩනංවා ඇති කම්කරු වෘත්තීය සමිති, ගොවි වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල හෝ පාසල් ශිෂ්‍ය සංගම් සහ භික්ෂු සංගම් කිසි විටෙක ස්වාධීන නොකිරීමට ඔවුන් වගබලා ගනිති. ඒ සෑම අනු ආයතනයකම වැඩපිළිවෙළ සහ ක්‍රියාකාරීත්වයේ තීරකයා පක්ෂ නියෝජිතයා හෝ පක්ෂය වෙති.

ශිෂ්‍ය අයිතීන්ට එහා ගිය රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන කරුණු සම්බන්ධයෙන් වැඩි නැඹුරුතාවයක් බලපෑමක් හෝ විරුද්ධ වීමේ අභ්‍යාසය, සිය වෘත්තීය පැවැත්ම කොටගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යනු කිසිවිටක එහි කැඳවුම්කරුගේ හෝ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ දේශපාලන භාවිතව යැයි වරදවා වටහා නොගත යුතුය. මන්ද ඉතිහාසය පුරාම අන්තරේ යනු වාම දේශපාලන පක්ෂයක පාලිත නියෝජන ආයතනයක් වන බැවිනි. එය මේ මොහොතට අදාළව ගතහොත් පෙසප දේශපාලනයේ ප්‍රධාන ගාමක බලවේගය ලෙස පවතී.

කඩාකප්පල්කාරයෝ

දියුණුව කරා පියනැගිය හැක්කේ, ඉතිහාසයේ කලින් සිදු වූ දේම නැවත සිදු කිරීමෙන් නොව අලුතින් යමක් සිදු කිරීමෙනි. ඒ සඳහා මුතුන් මිත්තන් ඉතිරි කර ගිය දේට අප විසින් අලුතින් යමක් එකතු කළ යුතු යැයි බි්‍රතාන්‍ය ජාතික පාමර්ස්ටන් සාමිවරයා වරෙක පවසා තිබේ. මෙකී ප්‍රකාශය අදාළ වන්නේ, රටේ දියුණුව ගැන කල්පනා කරන අයවලුන්ට විනා රටට කුමක් වුවද තමන්ගේ පැවැත්ම සාර්ථක කරගැනීම උත්සාහ කරන අයවලුන්ට නොවේ.

ඒ අනුව, මේ මොහොතට අදාළව ගතහොත් මේ රටේ පුරවැසියන් කොටස් දෙකකි. එකක් රටේ දියණුව ප්‍රාර්ථනා කරන, ඒ වෙනුවෙන් වෙහෙසන කණ්ඩායමයි. අනෙක් කණ්ඩායම පවතින ක්‍රමය වෙනස් කළයුතු යැයි කියන, එහෙත් දියුණුව හෝ සංවර්ධනය මිරිඟුවක් යැයි කල්පනා කරන, ඊට බාධා කරන කඩාකප්පල්කාරී පිරිසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසා බැලීමේ දී පැහැදිලිව පෙනෙන දෙය නම්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ මොහොතේ වෙහෙස නොබලා කටයුතු කරන බවයි. රනිල් ඉලක්ක සහගතව බලය, දැනුම, අද්දැකීම සහ තත්වයන් නිවැරදිව මැන ගනිමින් දේශපාලනය කරන බව තෙල්- ගෑස් පෝලිම්, විදුලිය කප්පාදුව, පොහොර හිඟකම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකම විසින් රට තුළ නිර්මාණය කර තිබූ අඳුරු කළුවළාව අද දවසේ සෙවනැල්ලක්වත් නොමැතිව තුරන් වී ඇති තත්වයක් යටතේ පැහැදිලිව හඳුනාගත හැකිය. රනිල්ගේ එකම අරමුණ රටේ ආර්ථිකය යථාවත් කිරීමය. ඒ වෙනුවෙන් රනිල් උපායමාර්ගිකව මැදිහත්වීම් සිදුකරමින් සිටී.

ඒ වගේම රනිල් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන සෑම වැඩපිළිවෙලකටම බාධා කරන, විවේචනය කරන, විරෝධය පාන නමුත් විකල්ප යෝජනාවක් ඉදිරිපත් නොකරන කණ්ඩායම රටේ දියුණුවට බාධාකරන්නන් හෙවත් කඩාකප්පල්කාරීන් ලෙස පෙන්වා දිය හැක. මෙකී කඩාකප්පල්කාරීන්ගේ භාවිතාව ඉතිහාසය පුරාම ඒකාකාරීය. කිසිදු අලුත් බවක් පෙන්වා නැත. කිසිවිටක යහපතක් නොදකී. විවේචනය, විරෝධය හැර කිසිදු සාධනීය යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන් මේතාක් අසමත්ය. (රුසියානු උගත් පාඩම් මග හැර යාම) දුප්පතා සදාකාලික දුප්පතෙක් ලෙස කල්ගෙවීම ඔවුන්ගේ පැවැත්මේ ඵෙන්ද්‍රීය සාධකය කොට සලකයි.

ජේ.ආර්ගෙන් පස්සෙ….

ජේආර් ජයවර්ධන මේ රටේ අගමැති වූ වහාම කල්පනා කළේ රටතුළ පවතින ආර්ථික ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යාමෙන් රටට අනාගතයක් දියුණුවක් අත් නොවන බවයි. ඒ අනුව හැකි ඉක්මණින් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා ආර්ථිකය විවෘත කිරීමටත් ඊට සමගාමීව යල්පිනූ ප්‍රතිපත්ති හරහා අතිශයින්ම රාජ්‍ය ආධිපත්‍යයට යටත් කොට තිබූ ශ්‍රී ලංකා ආර්ථික ඉන් මුදවා ගැනීමටත් කටයුතු කරන ලදී. එහිදී හුදු විවේචනය හා විරෝධතා දැක්වූ කඩාකප්පල්කාරීන්ට රාජ්‍ය බලය යොදවා මැඩලීමටත් කටයුතු කළේය. එය එසේ නොවී කඩාකප්පල්කාරීන්ගේ වුවනාවට එදා ජේ ආර්ගේ වැඩපිළිවෙළ අකුලා ගැනීමට සිදුවූයේ නම්, අද අපේ රට කෙසේ වනු ඇද්දැයි කල්පනා කළ යුතුය. සිරිමා ආණ්ඩුවේ හාල්,පොල්, සීනී , භූමිතෙල් කූපන් එකේ සිට ලාවුලා රෝටි පුච්චපු තැටියේ සිට කල්පනා කළ යුතුය.

හෙට දවසේ ද එසේ කල්පනා නොකරන්නට නම් අද ජනපති රනිල්ගේ වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුය. ආර්ථික ප්‍රතිසංස්කරණ යථාවත් කළ යුතුය. රටේ දියුණුව ඇත්තේ එතැනය. ගෙවුණු කෙටි කාලය තුළ එය මැනවින් ඔප්පු කොට ඇත. එසේම එදා ජේආර් මෙන් අද රනිල් ද නිවැරදි තීන්දු නිවැරදි වෙලාවේ ගැනීමට පසුබට නොවිය යුතුය. ඒ හුදු විරෝධතාවය පමණක් සිය ජීවිකාව කොටගත් වෘත්තීය කඩාකප්පල්කාරීන්ට මේ රට නැවතත් අඳුරු ආගාධය වෙත ඇදගෙන යාමට ඉඩ නොදිය යුතු බැවිනි.