ජනක රත්නායකට එරෙහි චෝදනා එළියට
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අදාළ තනතුරින් ඉවත් කිරීමට අදාළ චෝදනා 05කින් යුතු චෝදනා පත්‍රයක් මේ වන විට පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් වී ඇත. අදාළ චෝදනා පහත පරිදි වේ.
- මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස එහි බහුතර සාමාජිකයන්ගේ එකඟතාවයකින් තොරව තම පෞදගිලක මතය තුල මහජන උපයෝගිතා කොමිසම ලෙස අධිකරණ කටයුත්තකට ඉදිරිපත් වී මහජන උපයෝගිතා කොමිසමේ මුදල් වලින් කොමිසම විසින් අනුමත නොකරන ලද පෞද්ගලික නීතීඥයන්ට මුදල් ගෙවීමට කටයුතු කිරීම කොමිසමේ වගන්තිවලට පටහැනිය.
- 2023 පෙබරවාරි 10 වන දින අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය අනුව ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිසමේ මූලික වගන්ති උල්ලංඝනය කරමින් ස්වාධීනව කටයුතු කර නොමැති බවත් වෙනත් පෞද්ගලික මතයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇති බවත් තීරණය කර ඇත. එමෙන්ම ඔහු කොමිසමේ බහුතර මතයට ගරු නොකර ඒකාධිපතියකු ලෙස කටයුතු කරමින් ස්වාධීන කොමිසම් සභා වල තිබිය යුතු යහපාලන ගුණාංගය උල්ලංගණය කර ඇති බව අධිකරණය නිගමනය කර ඇති අතර කොමිසම් සභාව මගින් ගෙවූ අධිකරණ කටයුතුවලට අදාල නීති ගාස්තු ඔහුගේ පුද්ගලික මුදලින් ගෙවීමට ද ඒ පිළිබඳව විගණනාධිපතිවරයා යටතේ පරීක්ෂණයක් කිරීමටද අධිකරණය නියෝග කොට ඇත.
- විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කරන විදුලිය බෙදාහැරීමේ බලපත්‍රයක් ජනක රත්නායකට අයත් M/S Trillium Property Management & Service (Pvt) Ltd ආයතනයට ලබා ඇත. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට හෝ සාමාජිකයෙකුට විදුලිය බෙදාහැරීමේ බලපත්‍රයක් හිමි සමාගමක කොටස්කරුවකු හෝ හිමිකාරත්වය දරමින් විදුලිය බෙදාහැරීමට සම්බන්ධ ව්‍යාපාරයක විදුලිබල මණ්ඩලය සමග යෙදීම කොමිසමේ වගන්ති උල්ලංඝනය කිරීමකි.
- විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි විදුලිබිල සංශෝධනය කිරීමේ යෝජනාව ලැබුණු පසු කිසිඳු අධ්‍යනයකින්, නිසි ක්‍රමවේදය භාවිතා කරමින් පිළිතුරු සැපයීමක් හෝ කොමිසමේ අනෙකුත් සාමාජිකයින්ගේ මතය විමසීමකින් තොරව ජනක රත්නායක විසින් ප්‍රසිද්ධියේ එයට විරුද්ධ බව එයට පෙර සිටම ප්‍රකාශ කිරීමත්, එමෙන්ම විදුලි බිල සංශෝධනය කිරීමට කිසි ලෙසට ඉඩ නොදෙන බවට එම යෝජනාව ලැබූ පසු ප්‍රසිද්ධියේ මාධ්‍යයේ ප්‍රකාශ නිකුත් කර ඇත. එය මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධිනත්වට, අරමුණු හා කාර්යයන්ට පටහැනිය.
- ජනක රත්නායක කොමිෂන් සභාවේ සභාපතිධුරය දරමින් සිටින කාලය තුළදී, මහජන උපයෝගිතා කොමිසම ලෙස පෙනී සිටිමින් තමන්ගේ පෞද්ගලික මතය මගින් රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිලිවෙල විවේචනය කිරීම හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් ද වෛරී සහගත ප්‍රකාශ නිකුත් කිරීම මහජන උපයෝගිතා කොමිෂන් පනත උල්ලංඝනය කිරීමක් සහ එහි ස්වාධීනත්වය උල්ලංගණය කිරීමක්.
ජනක රත්නායක මහතා පුද්ගලික දේශපාලන අරමුණකින් හෝ වෙනත් කඩාකප්පල්කාරී අරමුණකින් සිදුකළ යම් යම් ප්‍රකාශ හේතුවෙන් මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීනත්වයට බරපතල හානි සිදුවිය. ඔහු මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වූ හෙයින් ඔහුගේ පුද්ගලික මතය මහජන උපයෝගිතා කොමිසමේ මතය ලෙස ප්‍රකාශ කිරීම කොමිසමට එල්ල වූ බරපතල හානියකි.
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් ලෙස සිටි මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරු, සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ස්වාධීනව කටයුතු කිරීමට ඇති නොහැකියාව සහ ස්වාධීන අදහස් දරණ කොමිසමේ සාමාජිකයන්ට සිදුවන බලපෑම නිසා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව සහ බහුතර මතය වෙනුවට තනි මතයට කටයුතු කරන බවට ලිඛිතව ප්‍රකාශ කරමින් ඉල්ලා අස්විය.
පිරිවැය පදනම් කර ගනිමින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ලබාදුන් යෝජනාව ජනක රත්නායක විසින් දිගින් දිගටම ප්‍රමාද කිරීම මගින් ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට තිබූ නව අය ක්‍රමය ක්‍රියාත්මක වීම පෙබරවාරි මස 16 දක්වා කල්ගත විය.
එම නිසා,
- IMF වැඩසටහන සඳහා අවශ්‍ය එකඟතාවය ලබා ගැනීම ප්‍රමාද විය.
- විදුලිබල මණ්ඩලයට ජනවාරි 01 සිට පෙබරවාරි 16 දක්වා අය ක්‍රමය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා සිදු වූ පාඩුව රු. බිලියන 32 කට ආසන්නය.
- ජනවාරි 1වනදා සිට අඛණ්ඩව විදුලි බලය ලබාදීමේ රජයේ වැඩසටහන නිසි කලට ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. එමගින් උසස් පෙළ සිසුන් මෙන්ම අනෙකුත් සියලු පාර්ශව අපහසුතාවයට පත් වීම.
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට තිබූ ණය ගෙවා ගත නොහැකි වූ අතර තවත් ණය පදනම මත ඉන්ධන ලබා ගැනීමට සිදු විය.
- පුනර්ජනනීය සැපයුම් කරුවන්ට සහ විදුලිබල මණ්ඩලයට සේවා සැපයූ සපයුමකරුවන්ට මුදල් ලබාදීමට නොහැකි වීම.
- ගල් අඟුරු සඳහා මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ අතර බැංකු පද්ධතිය තුළින් ද ණය පහසුකම් ලබාගත නොහැකි වූ නිසා විදුලි ජනනය පිළිබඳව ගැටළු ඇති වීම. ගාස්තු සංශෝධනයෙන් පසු පමණක් බැංකු මගින් ණය පහසුකම් ලැබීම නිසා අවශ්‍ය ගල් අඟුරු අවසාන මොහොතේ මහත් පරිශ්‍රමයකින් ලබා ගැනීමට හැකි වීම.
- පසුගිය වසරේදී ඉල්ලුම් කල නව ගෘහස්ථ විදුලි සම්බන්ධතා 36,000 ක් ලබා දීමට නොහැකි වීම. කර්මාන්ත වෙනුවෙන් ඉල්ලුම් කල තොග සැපයුම් 1,400ක් ලබා දීමට නොහැකි වීම.
- නව අය ක්‍රමයට යටත්ව විදුලිබල මණ්ඩල සැපයුම් කරුවන්ට මුදල් ගෙවීම් දැන් සිදු වෙමින් පවතී.
- මහජන උපයෝගීතා කොමිසමේ සම්පත් පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කිරීම සහ තමන්ගේ පෞද්ගලික රථය කුලී පදනම මත කොමිසම් සභාවේ සභාපතිවරයාගේ භාවිතයට ප්‍රසම්පාදන ක්‍රියාවලියට බැහැරව ලබා ගැනීම සහ එයට කොමිසමේ මුදල් ගෙවා ඇති බව කෝප් කමිටුවේ අනාවරණය වීම.
- තමන් දේශපාලන සුදුසුකම් මත ස්වාධීන කොමිසම් සභාවට පත් වූ බව කෝප් කාරක සභාවේදී පිළිගැනීම.
- ස්වාධීන කොමිසමක සාමාජිකයකු ලෙස දේශපාලනය නොකළ යුතු වුවත් තමන්ගේ දේශපාලන බලාපොරොත්තු පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකශ කිරීම.
- ස්වාධීන කොමිසමක සාමාජිකයකු ලෙස අනුගමනය කල යුතු නීතිමය ක්‍රියාවලියෙන් බැහැරව රජයේ ප්‍රතිපත්ති තීරණ විවේචනය කිරීම.
- තම මතයට එකඟ නොවූ අනෙකුත් කොමිසමේ සාමාජිකයන්ට වෙනත් පාර්ශව යොදවා කොමිෂන් සභාව තුල මරණීය තර්ජන ඇති කිරීම