දේශපාලන පරිවර්තන යුගයකට මග හදන ජන සභා

ශ්‍රී ලංකාවේ දේශපාලනය අනාදිමත් කාලයක සිට පැවැතියේ සාමාන්‍ය ජනතාවට ඉහළින්, සමීප විය නොහැකි තරම් දුරකින් සිටි ප්‍රභූ පැලැන්තියක උරුමයක් ලෙසය. ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් පිහිටවූ රට ලෙස ශ්‍රී ලංකාව පැවැතියත් මේ ආණ්ඩු කෙරුවාව ජනතා සහභාගිත්වයෙන් තීන්දු තීරණ ගන්නා තැනක් වූයේ නැත. ජනතාව එයින් ඈත් කරවීමේ දේශපාලන ජඩකම් හැමදාම සිදු විය. එහි කෙලවරක් විය යුතු බවට ජනතාව වෙතින් විශාල හඬක් පැන නැගුනේ පසුගිය අරගල සමයේදීය. දෙසිය විසිපහම එපා.., පාර්ලිමේන්තුවෙන් පිටත මහජන බලයක් ගොඩනැගිය යුතුය.. ආදී වශයෙන් වූ සටන් පාඨවලට වලංගු භාවයක් ලැබුණේ ඒ අනුවය. මෙම ගැටලු‍ව මෙරට තුළ පැන නගින බව කාලන්තරයක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වෙමින් ද තිබිණි. එක් එක් කාලවල ජනතාවගේ සහභාගීත්වය ආණ්ඩුකරණයට සමීප කරවීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග වූවද ඒවා හිතු තරම් සාර්ථක වුයේ නැත. නැතිනම් සාර්ථක වන්නට ප්‍රභූ දේශපාලනය විසින් ඉඩ තැබුවේ නැත.

අරගල සමයත් සමඟ පැන නැඟුනු තත්වයන් විසින් මේ වෙනුවෙන් නව යෝජනා ඉදිරිපත් විය. විශේෂයෙන්ම සාධාරණ ජන සමාජයක් වෙනුවෙන් වන ව්‍යාපාරය විසින් මේ වන විටත් ඉන්දියාවේ ක්‍රියාත්මක ජනසභා ක්‍රමයට සමීප යෝජනාවක් ගෙන අවේ ඒ අනුවය. සාමාන්‍ය ජනතාවගේ අදහස් සාකච්ඡා කොට ඒවා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් සඳහා වන ව්‍යුහයක් ගොඩනැගිමේ මෙම ජන සභා ක්‍රමය පිළිබඳ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කරන ලදුව ඊට කැබිනට් අනුමැතියද හිමි විය. ඒ අනුව එම වැඩපිළිවෙල මෙරට නීතියක් බවට පත් කිරීමට අදාල පනත් කෙටුම් පත ඉදිරි දින කිහිපය තුළදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව ඇත. එමෙන්ම මේ වන විටත් ජන සභා ක්‍රමය සංවර්ධනය කිරීමත් එම ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමත් අරමුණු කරගෙන ජාතික ජන සභා ලේකම් කාර්යාලය පිහිටුවා ඇති අතර එහි නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද ආරම්භ කර ඇත.

කොහොම නමුත් අතීතය තුළත් ජන සභා ක්‍රමයට සමීප ආකෘති කිහිපයක්ම මෙරට ක්‍රියාත්මකව තිබු නමුත් ඒවා දිර්ග කාලිනව පවත්වාගෙන යාමට නොහැකි විය. ඊට හේතුවක් වුවේ රටේ සංවර්ධන ගමනට සමගාමීව යාවත්කාලීන වෙමින් එම ව්‍යුහයන් සංවර්ධනය කරගැනීමට නොහැකිවීම හා විවිධ දේශපාලනික වුවමණාවන් මත සිදු කෙරුණු ක්‍රියාමාර්ග නිසා ඒ අහෝසි වෙන තැනට කටයුතු සිදු වීමය.

එලෙස අතීතයේ ශ්‍රී ලංකාවේ පැවැති ගම් සභා ක්‍රමය ජනතාවට සමීප වු ප්‍රාදේශිය යහපත් ආණ්ඩු ආකෘතියක් විය. නියෝජිත මැතිවරණ මූලධර්ම පදනම් කරගෙන එය ක්‍රියාත්මක වූ නමුත් 1980දී එය අහෝසි කර ඒ වෙනුවට 1991දී ප්‍රාදේශීය සභා ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි. මේ වන විට ප්‍රාදේශිය සභා ක්‍රමයද අසාර්ථක සහ දුෂිත ආයතන පද්ධතියක්ව ජනතාවගෙන් දුරස් වී ඇත. මේ තත්වය මත යළි පැරණි ගම්සභා ක්‍රමයට සමාන දේශපාලන ක්‍රමවේදයක් ලෙසත් “ජනසභා” ක්‍රමය ඉස්මතුව ඇත. නුතන ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ ආණ්ඩුකරණයට ජනතාව හැකි තරම් සහභාගී කර ගැනීමය. නමුත් මෙය ශ්‍රී ලංකාවය අලු‍ත් දෙයක් නොවේ.
මෙරට දීර්ග කාලයක් රජකම් කළ පණ්ඩුකාභය රජු සාමන්‍යයෙන් හැඳින්වෙන්නේ මහජන සම්මතයෙන් රජකමට පත් වූ සහ මහජන සහභාගිත්වය සහිත පාලනයක් පවත්වා ගෙන ගිය රාජ්‍ය සමයක් ලෙසය. එම රජ සමයේ ගම් සභා ක්‍රමයක් පවත්වාගෙන ගොස් ඇත. මේ පිළිබඳ මූලාශ්‍ර ඌව පළාතේ දොඹගහවෙල, රුහුණු ජාතික උද්‍යානය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන වැනි දිවයිනේ විවිධ ප්‍ර‍දේශවලට සම්බන්ධ ශිලා ලේඛනවලින් හමු වී තිබේ.

නිදහසෙන් පසු යුගයේදී සහහාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් යෝජනා 1955 චොක්සි කමිටු වාර්තාව, 1968 ජයසූරිය කමිටු වාර්තාව, 1970 සිත්තම්පලම් කමිටු වාර්තාව, 1979 මොරගොඩ කමිටු වාර්තාව, 1980 වික්ටර් තෙන්නකෝන් කමිටු වාර්තාව සහ 1986 එච්.ඒ.පී. අභයවර්ධන කමිටු වාර්තා යන වාර්තා සියල්ලේ ම පාහේ අන්තර්ගතව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළාත් පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව සිදු කරන ලද 1999 ජනාධිපති කොමිෂන් සභා වාර්තාව තුළ ද සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබේ.

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ගන්නා ලද තවත් වැදගත් උත්සාහයක් වන්නේ 1981 ජූලි මස 01 වැනිදා ආරම්භ කරන ලද දිස්ත්‍රික් සංවර්ධන සභා හඳුන්වා දුන් දිස්ත්‍රික් සංවර්ධන සභා පනතයි. එම පනතේ 17 වන වගන්තියෙන් ග්‍රාමෝදය මණ්ඩල හඳුන්වා දෙන ලදි. බිම් මට්ටමේ ජනතාවගේ සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා සංවර්ධන සභාවලට අතිරේකව ප්‍රාදේශීය මණ්ඩල සහ ග්‍රාමෝදය මණ්ඩල පිහිටුවන ලදි. එමෙන්ම 2016 වසරේදී එළිදක්වන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවෙන් ද ග්‍රාම රාජ්‍ය සංකල්පය පිළිබඳව සාකච්ඡා කර ඇත.

වත්මන් ජනසභා ක්‍රමය යනු කුමක් ද?

ජනසභා ක්‍රමය යනු ගමක මිනිසුන්ට තමන්ගේ ගමේ සංවර්ධනය සිදුවිය යුතු ආකාරය තමන්ටම තීරණය කිරීමට අවස්ථාව ලබා දෙන ක්‍රමවේදයකි. සෑම ගමකම ගොඩනැගෙන ජනසභාවට තමන්ගේ ගමට අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති මොනවදැයි තීරණය කිරීමටත් එවැනි ව්‍යාපෘති ප්‍රමුඛතා අනුව පෙළගස්වා
නිසි කාල රාමුවක් තුළ රජය මඟින් ඉටු කර ගැනීමටත් අවස්ථාව ලැබේ. එපමණක් නොව, සුබසාධන සහන අවශ්‍යතා ඉටු කිරීමටත්, මහජන ගැටලු‍ වඩා සාධාරණ ක්‍රමවේදයකට විසඳා ගැනීමටත්, ජනසභා ක්‍රමය තුළින් ජනතාවට අවස්ථාව ලැබේ.

ලංකාවේ ඈත අතීතයේ සිටම ගම් මට්ටමේ තීන්දු තීරණ ගැනීමේ විවිධ යාන්ත්‍රණයන් පැවතිණ. එය කාලයක් තිස්සේ ක්‍රියාත්මක වී නතර වුණු ගම් මට්ටමේ තීන්දු තීරණ ගැනීමේ යාන්ත්‍රණයන්ගේ අඩුපාඩු සහ දුර්වලතා හඳුනාගෙන ඒ දුර්වලතා මඟහරවා ජනතාවට සක්‍රීයව සහභාගී විය හැකි වඩාත් සුමට ක්‍රමයක් ලෙස මෙම යෝජිත ජනසභා ක්‍රමය ඉදිරිපත් කර ඇත. මෙම ජනසභා ක්‍රමය මෙන් ජන සහභාගීත්ව ක්‍රම අසල්වැසි ඉන්දියාව, අයර්ලන්තය, ඉන්දුනීසියාව ඇතුළු ලොව බොහෝ රටවල සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

ජන සභා ක්‍රමයේ මූලික අරමුණු

සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ට කිසිදු අයුරකින් වෙනස්කොට සැලකීමට ලක් නොවී ගම පිළිබඳව, තමාගේ රට පිළිබඳව, ප්‍රතිපත්ති සම්පාදනයට දායකවීම සඳහා සමාන ඉඩප්‍රස්ථා සහිත සම බිමක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම සැකසීම ජනසභා ක්‍රමයේ මූලික අරමුණක්ව තිබේ.

ජන සභාව හැදෙන්නේ කොහොමද ?

ග්‍රාම සේවා නිලධාරී වසමක ජීවත් වන වයස අවුරුදු 16ට වැඩි සියළු දෙනාගේම එකමුතුවෙන් ගමේ ජන සභාව නිර්මාණය කෙරෙයි.

ජන සභාවට මොනවද කරන්න පුළුවන්?

ග්‍රාම සේවා වසමට අදාලව පවතින භෞතික, මානව, ස්වභාවික සහ වෙනත් සම්පත් හඳුනා ගනිමින් ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීම සහ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීම.

ග්‍රාම සේවා වසමට අදාලව පවතින සුබසාධන සහන අවශ්‍යතා හඳුනා ගැනීම හා එම සහන බෙදා දිය යුතුවඩාත් සාධාරණ හා යුක්ති සහගත ප්‍රමුඛතාව නිරීක්ෂණය කිරීම.

ග්‍රාම සේවා වසමට අදාලව පවතින මහජන දුක්ගැනවිලි කළමනාකරණය සඳහා මැදිහත්වීම.

ජන සභාවට බලයක් තියනවාද?

මෙම ජනසභා ක්‍රමය ඉදිරියේ දී පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය වීමට නියමිතයි. ඒ අනුව ග්‍රාමීය කටයුතු සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදනයට ජනසභාවට විශාල බලයක් හිමි වේ. එමෙන්ම අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට ග්‍රාමීය කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ජන සභාව සමඟ සහයෝගීව කටයුතු කරන්න අවස්ථාව ලැබේ.

ජනසභාවේ ග්‍රාමීය සැලසුම් ක්‍රියාත්මකවීම

ජනසභාවේ මිනිසුන් එකතුව හදන ජනතා සැලසුම් ක්‍රමානුකූලව ඉහළට ගලාගෙන යන විධිමත් ක්‍රමවේදයක් ජනසභා ක්‍රමයෙන් ගොඩ නැගෙයි. මේ නිසා ගමේ ජනතාවගේ සැබෑ සංවර්ධන සහ සුබසාධන අවශ්‍යතා වගේම ඉල්ලීම් ඉටු කරගන්න තව දුරටත් රස්තියාදුවෙන්න අවශ්‍ය නෑ. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් සභා සහ රාජ්‍ය අමාත්‍ය යන ආයතන මට්ටමෙන් මෙම ජනසභා ක්‍රමය තුළින් මතූවන සංවර්ධන සැලසුම්, ප්‍රතිපත්ති, යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වගකීමක් සහිත ක්‍රමවේදයක් සහිත කමිටු ක්‍රමයක් යෝජනාකොට තිබේ.

ග්‍රාමීය ප්‍රභූවාදය අවසන් කිරීම

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනසභා පනත් කෙටුම්පත මගින් යෝජනා කරන ජන සභා ක්‍රමය මගින් පරිධියේ ජනතාව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගීවීම වලක්වන පහත පවුරු පදනම් වලින් ඔවුන් මුදා ගැනීමට අපේක්ෂා කරයි. ඒවා නම්;

  1. ග්‍රාමීය ප්‍රභූවාදය
  2. ප්‍රදේශීය දේශපාලන අධිකාරීවාදය
  3. නිලධාරීවාදය
    යන පවුරු පදනම් ත්‍රිත්වයයි.

මේ අනුව වරප්‍රසාදිත තත්වයන්ගෙන් තොරව ජනතාවට සමානාත්මතාවයෙන් යුතුව පහත සඳහන් කාර්යයන් සඳහා සහභාගීවීමට යෝජිත ජනසභා ක්‍රමය මගින් ඉඩප්‍රස්ථාව සලසා දීමට නියමිතය. ඒවා නම් ;

  1. ග්‍රාමීය සංවර්ධන සැලසුම්කරණය
  2. ග්‍රාමීය සංවර්ධන ප්‍රමුඛතා තීරණය කිරීම
  3. ග්‍රාමීය සම්පත් හඳුනාගැනීම
  4. ග්‍රාමීය සුබ සාධන අවශ්‍යතා හඳුනා ගැනීම සහ සුබ සාධන ප්‍රමුඛතා තීරණය කිරීම
  5. ග්‍රාමීය මහජන දුක්ගැනවිලි අදාළ අධිකාරීන් වෙත යොමු කරවීම සඳහා මැදිහත්වීම

ජනසභා ක්‍රමයේ ලක්ෂණ

සෑම ග්‍රාම සේවා වසමකටම එක් ජනසභාවක්.

වයස අවුරුදු 16 ට වැඩි සියලු‍ දෙනාට ජනසභාවට සහභාගීවීමේ අවස්ථාව.
5-ත් 25 ත් අතර සංඛ්‍යාවකින් යුත් කාරක සභාවක් කාරක සභා සාමාජිකයින් ස්වේච්ඡා පදනමින් ධූරයන් දැරිය යුතුයි.
කාරක සභාව තුළ 30% ක කාන්තා හා 25%ක තරුණ ඉඩප්‍රස්ථා සහතක කිරීමක්.
කාරක සභාව තෝරා ගැනීම ජනසම්මුතියෙන් හෝ ලොතරැයි ක්‍රමයකින් ග්‍රාමසේවා වසමකටම අදාළ නිලධාරීන්ගේ උපරිම දායකත්වය ජනසභාවේ කාර්යයන් පවත්වාගෙන යාම සඳහා ලබා ගැනීම වෙනුවෙන් සෑම වසමකටම නිලධාරී කමිටුවක්.

ජනසභා ක්‍රමය විධිමත්ව පවත්වාගෙන යාම නියාමනය හා අධීක්ෂණය සඳහා ස්වාධීන කොමිසම් සභාවක්.

ජනසභා ලේකම් කාර්යාලය

ජාතික ජනසභා ලේකම් කාර්යාලය ජනසභා පිහිටුවීම අධීක්ෂණය සහ ප්‍රවර්ධනය පිළිබඳ වගකීම දරන ප්‍රධාන ආයතනයයි. එය සම්පූර්ණයෙන් ස්වාධීන ආයතනයක් වන අතර එමගින් පාර්ලිමේන්තුව හා ජනාධිපති කාර්යාලය අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම සියලු‍ම ග්‍රාමීය ජනසභා ලේකම්වරුන් අධීක්ෂණය, සුපරික්ෂණය සහ පුහුණුව පිළිබඳ වගකීමද හිමිවන්නේ එම ආයතනයටය.

මේ අනුව මෙරට සහහාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ජනසභා ක්‍රමය මෙරට දේශපාලනයේ නව පරිවර්තන යුගයකට මග පාදනු ඇත. එමෙන්ම මේ වන විට 2048 ඉලක්ක කර ගත් ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට මෙරට සියළු පුරවැසියන් දායක කරගැනීමත් එය පුරවැසි වගකීමක් බවට පත් කිරීමත් මේ ජනසභා ක්‍රමයෙන් සිදු වෙනු ඇත.

  • රිද්ම අනුරාධ ගමගේ