ආර්ථිකයට ලොකුම හානිය කළ ජවිපෙ ජනතාවගෙන් සමාව ගත යුතුයි – නීතිවේදි අජිත් සෙනෙවිරත්න
නිදහසින් පසු 74 වසරක් රට පාලනය කළ පාලකයන් ආර්ථිකය කාබාසිනිය කළේ යැයි චෝදනා නඟන ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ අවස්ථා දෙකකදී මෙරට ආර්ථිකයේ දියුණුවට දරුණුතම හානිය සිදු කළ පිරිසක් බවත්, ඔවුන් ජනතාවගෙන් සමාව ගත යුතු බවත්, ඔවුන් කළ හානිය පිළිබඳ අදටත් වචනයක් හෝ නොකීම පුදුමයට කරුණක් බවත් ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක නීතිවේදී අජිත් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.
නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැට්ටවීමට දායක වූවෝ කවුරුන් ද මැයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආචාර්යවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අජිත් සෙනෙවිරත්න මහතා… ‘බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබී ශ්‍රී ලංකාව 75 වැනි සංවත්සරය මේමස 04 වෙනිදා සමරනවා. එදා මෙදාතුර කාලයේ රටේ ආර්ථිකය විනාශකාරී තැනකට ගෙනආවේ පාලකයන් බවට ජනතා විමුක්ති පෙරමුණ අතීත නායකයන්ට දොස් කියනවා.
නමුත් වසර 1971 සහ 1988/89 කාලයේ භීෂණයන් දෙකක් ඇති කරමින් රටේ ආර්ථික දියුණුව සහ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීමට, විනාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. ඔවුන් රජයේ ගොඩනැඟිලි, බස්රථ, විදුලි ට්‍රාන්ස්ෆෝමර ගිනි තැබුවා. මාර්ග පාලම්, බෝක්කු විනාශ කළා. එපමණක් නොවේ අහිංසක මහජනතාවගේ ජීවිත නැති කළා. ශාරීරික වද හිංසා කළා. මේ සියල්ලක්ම හරහා රටේ ආර්ථිකයේත්, සාමාන්‍ය ජන ජීවිතයේත් විශාල පසුබෑමක් ඇති වුණා. මේ පසුබෑම මිල කරන්න බැරි එකක්.
රටේ ජනතාවගේ ඡන්ද අයිතිය, මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කළ ජනතා විමුක්ති පෙරමුණ අද ප්රජාතන්ත්රවාදයේ මුරදේවතාවන් ලෙසට පෙනී සිටීමට උත්සාහ දරනවා. එය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුයි. ඔවුන් රටේ ආර්ථික පසුබෑමට, සාමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීමට කළ අකටයුතුකම් පිළිබඳ ජනතාවගෙන් සමාව ගත යුතු යැයි ද අජිත් සෙනෙවිරත්න මහතා කීය.
උපුටා ගැනීම – දිණමින පුවත්පත