දියුණුවට හොඳම ආයෝජනය භූමියයි
කුරුන්දියේ ඉඩම් හබය
මුලතිව් කුරුන්දි විහාරකාරකාදීන් විසින් ජනතාවගේ ඉඩම් බලහත්කාරීව අල්ලාගෙන නිදහස් නොකරනවා යැයි සභාව හමුවේ එල්ල වූ චෝදනාව පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සහ පුරාවිද්‍යා කොමසාරිස්වරයා අතර සිදුවූ සංවාදයේ වැදගත් කරුණු කිහිපයක් අනාවරණය විය. එය මෙසේය.
“අක්කර කීයක් තියෙනවද?”
“දැනට 72ක් තියෙනවා. තව දෙසිය හැත්තෑ ගාණක් ඉල්ලලා තියෙනවා. එතනින් මිනිස්සු වගාකරන ඉඩම් තියෙන්නෙ අක්කර 5යි. ”
“ඒ අක්කර 5 මිනිස්සුන්ට දෙන්න පුළුවන්ද? ”
“ඒක තියෙන්නෙ පුරාවිද්‍යා එක යටතේ නෙමෙයි. වන රක්ෂිතය යටතේ”
මේ කියාපාන්නේ, ලංකාවේ දීර්ඝ කාලීනව සිදුවූ ඉඩම් අපහරණයේ තවත් එක් පැතිකඩකි. එසේම ඉඩම් පරිභෝජනයේ ගැටලුවය. ඉඩම් හිමිකමේ ඇති ප්‍රශ්නකාරී බවය. අක්කර 300ක් වැනි විශාල ඉඩම් ප්‍රමාණයකින් වගා ඉඩම් ප්‍රමාණය අක්කර 5ක් යනු මිනිස් පරිභෝජනය, ආහාර සුරක්ෂිතතාව, රටේ සංවර්ධනය ආදී සෑම පැතිකඩකින්ම අනර්ථකාරී ඛේදවාචකයකි. තවද එකී වගා ඉඩම් ප්‍රමාණයවත් මිනිසුන්ට බෙදා දීමට නොහැකි වන තැනට කටයුතු සිදුවී තිබීම තවත් අභාවාචකයකි. මූලික මිනිස් අයිතිය පවා සාහසික ලෙස කොල්ලකා ඇති බවය.
ඒ බව ජනාධිපතිවරයාගේ ඊළඟ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වන්නේය. එනම් “ඒ ස්ථානය ආරක්ෂා කරන්න ඕන. ඒක වැදගත්. එච්චර ඉඩම් ප්‍රමාණයක් වුවමනාද කියන එක තමයි ප්‍රශ්නය…” මේ කියන්නේ ඵෙතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වන කුරුන්දි විහාරය සුරක්ෂිත කිරීම කිසිදු ගැටලුවක් නොවන නමුත් ඒ සඳහා මෙසා විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය ඇයිද යන්න පැහැදිලි නැති බවය.
“මහරජ මේ පොළොවෙහි සිටින සියලු මනුෂ්‍යයන්ට ද, සතා සිව්පාවුන්ට ද, අහසේ සිටින කුරුල්ලන්ට ද මිහිතලය මත ජීවත්වීමට ද, කැමති තැනකට යාමට ඒමට ද සමාන අයිතියක් ඇත. මෙම භූමිය අයිති වන්නේ මෙහි වෙසෙන මනුෂ්‍යයන්ට හා සත්වයින්ට ය. එබැවින් ඔබ මෙම භූමියේ අයිතිකරු නොව භාරකරු පමණි.” මිහිඳු හිමියන්ගේ මෙම ප්‍රකාශය පසුගිය කාලයක් පුරා අපේ රටේ ඉඩම් ප්‍රතිසංස්කරණ ගැන කතා කළ සෑම අවස්තාවකදීම පුද්ගලික දේපල අයිතිය හා නිශ්ක්‍රිය ඉඩම් රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් භාවිත කිරීමට එරෙහිව හඬ නැගූ බොහෝ දෙනාගේ උදාන වාක්‍ය බවට පත්ව තිබිණි.
ඔවුන්ගේ තර්කයට අනුව ගත් කල කුරුන්දි විහාරයේ හිමිකාරීත්වය දරන ස්වාමීන් වහන්සේ හෝ වහන්සේලා විසින් සිදුකර ඇත්තේ ද “එහි වෙසෙන මනුෂ්‍යයන්ට හා සත්වයින්ට අයිති භූමිය” තමන්ගේ පුද්ගලික දේපලක් සේ සලකා හිමිකාරීත්වය පවරාගෙන කටයුතු කිරීමය. ශානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීමට අනුව කුරුන්දි විහාරය විසින් එම භූමියේ භාරකාරීත්වය පසෙකලා අයිතිකරුවන් වෙමින් එකී ඉඩම් අදාළ ප්‍රදේශයේ ජනතාවට බදු දීමට යෝජනා කිරීමය.
මෙකී කරුණු දෙස බැලීමේ දී 75 වසරක් පුරා අපේ රටේ මිනිස්සුන්ට සංවර්ධනය ගැන කතා කර කර ඉන්න වෙලා තියෙන හේතුව අපැහැදිලි නැත. මන්ද රටක් සංවර්ධනය කිරීමට නම් මිනිස් පරිභෝජනයට ගත හැකි සියලු ඉඩම් සක්‍රීය ප්‍රයෝජනයට යොදා ගනිමින් පුරවැසි ජීවනය උසස් කරලීමට කටයුතු කිරීමය. නමුත් සිදුව ඇත්තේ විවිධ ආගමික් ස්ථාන විසින් පුරාවිද්‍යා ද, වනජීවි රක්ෂිතයේ ද, වන සංරක්ෂණයේ ද හෝ වෙනත් කුමන රජයේ ආයතනයකට අයත් ඉඩම් වුවද සිය සිද්ධස්ථාන අවට සහ වෙනත් ඉඩම් තමන්ගේ බූදලයක් හෝ දේපලක් ලෙස හිමිකම් පවරා ගෙන හෝ නැතුව ඌණ පරිභෝජනයට හෝ අවපරිභෝජනයට ගෙන තිබීමය. ශාසනාරක්ෂාව නාමයෙන් ඉඩම් දේපල රැකීමට දිවිහිමියෙන් සිල්රෙදි දරණ ඇත්තන්ගෙන් මේ රටේ බුදු දහමේ උන්නතියට කිසිදු සේවාවක් නොවන අතර එමඟින් රටේ සංවර්ධනයට සිදුවන මෙහෙය කවරේ දැයි විමසා බැලීම ද නිෂ්ඵලය.
රටේ සංවර්ධනයට ඉඩම්
භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය රටක සංවර්ධනය තීරණය කරනු ලබන මූලික සාධකයන් ය. මෙම සාධක සංවර්ධනය කිරීම හා ප්‍රතිපාදනය, අයෝජනය කිරීම තුළින් සංවර්ධන ඉලක්ක ජයගැනීමට අවශ්‍ය මං පාදා ගත හැකිය. නමුත් ආර්ථික සංවර්ධන සාධයකයක් වශයෙන් ශ්‍රමයට දක්වන උනන්දුව භූමියට ලබා නොදීමට අපේ රටේ පැවැති සෑම ආණ්ඩුවක්ම පාහේ කටයුතු කර තිබීම, රට වැසියන්ගේ අභාග්‍යයකි. ඊට බලපෑ සමාජ සංස්කෘතික සහ විශේෂයෙන් ආගමික බලපෑම් ද වෙයි.
“පෘථිවියේ හොඳම ආයෝජනය භූමියයි.” ඇමරිකානු සුප්‍රසිද්ධ අයෝජකයකු වූ ලුවී ග්ලික්මන් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සංවර්ධනට අවශ්‍ය මූලිකම පදනමම ඉංදියානු සාගර කලාපය තුළ මේ දූපත් රාජ්‍යයේ භූමි පිහිටුම ස්වභාව ධර්මයා විසින් ගොඩනගා දී තිබුණත් එයින් මෙතෙක් හරි හමන් ප්‍රයෝජනයක් අත්පත් කරගැනීමට සමත්ව නැත. ඒ හැර රටක් වශයෙන් ලංකාව තුළ ‘භූමිය’ නම් සංවර්ධන මූලය ආයෝජන මූලාශ්‍රයක් ලෙස අදටත් නොසලකා කටයුතු කර තිබීම, සංවර්ධන සීමාවට හෝ රට ගෙනඒමට නොහැකිවීමේ ප්‍රමුඛතම සාධකයක් සේ පෙන්වා දිය හැකිය.
ලෝකයේ සෑම සංවර්ධිත රටක්ම සිය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් සිය රටවල් සතු වැඩිදියුණු කර භාවිතයට ගත හැකි සෑම බිම් අඟලක්ම උපරිමයෙන් ආර්ථික කාර්යය සඳහා යොදා ගැනීමට කටයුතු කර තිබිණි. එසේ නොවන්නට අදටත් එකී රටවල් අප මෙන් සංවර්ධනය වන රටවල් ලෙස වර්ගීකරණය වන බවට සැකයක් නැත. එසේම පසුගිය දශක දෙක තුන ඇතුළේ නැගෙනහිර ආසියාවේ රටවල් ද වේගවත් ආර්ථික සමෘද්ධිය ළඟාකර ගත්තේය. එකී රටවල සංවර්ධනයේ ප්‍රමුඛතම සාධකය වශයෙන් එම රටවල සාර්ථකව ක්‍රියාත්මක වූ “ඉඩම් ප්‍රතිසංස්කරණ” සැලකේ. එසේම ඒ ආදර්ශයට අනුව යමින් මෑතක දී ඉන්දියාව ද රජය සතු ඉඩම් වත්කම් සඳහා මුදල් ඉපැයීමේ සැලසුම් කඩිනම් කිරීමේ අරමුණින් යුතුව ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් “ජාතික ඉඩම් මූල්‍යකරණ පනත” හරහා හඳුන්වා දුන්නේය. ඊට එරෙහිව ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක කුලවාදී, ආගම්වාදී මූලයන් පදනම් කරගෙන දේශපාලනික වි රෝධතා පැනනැගුණ ද මෝදි රජය විසින් ජාතික ඉඩම් මූල්‍යකරණ සංස්ථාව (භඛඵක්) පිහිටුවා ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්ය සිදුකරමින් සිටී.
ලංකාවේ ඉඩම්
ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 50%කට ආසන්න භූමි ප්‍රමාණයක් වනාන්තර, රක්ෂිත, කඩොලාන, වගුරු සහ ජලය සහිත භූමි ප්‍රදේශයන් වේ. ඉතිරි ප්‍රමාණයෙන් කෘෂිකර්මික හෝ වෙනත් ආර්ථික වගාවන් සඳහා යොදවා ඇත්තේ 23%ක තරම් ඉඩම් ප්‍රමාණයකි. ඉතිරි 27% ජනාවාස, නාගරික සහ ඌණ උපයෝජනය සහිතය.
ඉතිහාසයේ රටේ සමස්ත ඉඩම් රජු සතුව පැවති අතර කාලයත් සමග සිදුකරන ලද විවිධ ප්‍රතිසංස්කරණ හමුවේ රජය, පුරවැසියා අතර ඉඩම් බෙදී ගොස් ඇත. අදවන විට ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් නිරවුල් නීති රාමුවක් හෝ පැහැදිලි අයිතියක් හඳුනාගත නොහැකි ලෙස ව්‍යාකූල තත්ත්වයක් ගොඩනැගී තිබේ. අවස්ථා ගණනාවක දී රටේ පරිභෝජනය නොකරන හෝ ඌන පරිභෝජනය සහිත ඉඩම් මහජනතාව අතර බෙදා හැරීම වෙනුවෙන් විවිධ ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වුවද ඒ කිසිවක් රටේ අවශ්‍යතාවයට අනුව සාර්ථක වූවා යැයි සැලකිය නොහැකිය.
පුද්ගලික ඉඩම් හිමිකම වගේම ඉඩමේ පරිභෝජනය ද රටේ ආර්ථික වෘද්ධිය වෙනුවෙන් ඉවහල් වන ප්‍රබල සාධකයක් ය. ඒ අර්ථයෙන් අද රටේ ඉඩම් හිමිකම ඇතත් එකී ඉඩම් කිසිඳු ආර්ථිකමය අයෝජනයකට භාවිත නොකර තිබීම බරපතල ගැටලුවකි. ඉඩම් හිමිකම ලැබීමෙන් කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නංවාලිය හැකිය. එසේම සින්නක්කර අයිතිවාසිකම් සමඟ, ඉඩම නැවත වගා කිරීමට හා වැඩිදියුණු කිරීමට හිමිකරුවන්ට ප්‍රබල දිරිගැන්වීමක් හිමි වේ. තවද ණය ලබා ගැනීම, උගස් තැබීම වැනි හදිසි අවස්ථාවලදී ඇපකරයක් ලෙස භාවිත කිරීමට ද වඩා යහපත් අයෝජන අවස්ථාවන් වෙනුවෙන් ඉඩම විකිණීමට ද පුද්ගලයාට අවශ්‍ය නිදහස ලැබීම මෙහි වැදගත්ම සාධකයකි. එසේම ඉඩම් පරිභෝජනයට ද අවස්ථාව තිබිය යුතුය. නමුත් බොහෝ ඉඩම් ආයෝජන කාර්යයන් වෙනුවෙන් යෙදවීමට ගත් උත්සායන්ට අපේ රටේ අවසරය නොදීමට සමාජ සංස්කෘතික හා ආගමික බලපෑම් හමුවේ නීති අණපනත් ද නිර්මාණය වී තිබීම, රටේ සංවර්ධන පරිහානියේ සැලකිය යුතු සාධකයකි.
හිමිකම් ඇති හෝ නැති වගා නොකරන හෝ මුඩු හෝ කැලෑ බවට පත්ව ඇති පරිහරණයට සුදුසු ඉඩම් ඉහළම ප්‍රතිලාභය ලැබිය හැකි ආයෝජන අවස්ථාවන්ට යෙදවීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොකර තවදුරටත් ඵෙතිහාසික බව නිසා හෝ වෙනත් ඕනෑම කරුණක් නිසා පෙර පැවැති අයුරින්ම පවත්වාගෙන යාමට හෝ රක්ෂා කිරීමට කටයුතු කිරීමෙන් මෙතෙක් සිදුවූවා සේම අනාගතයේ ද සිදුවන බරපතල අලාභය, අවාසිය වන්නෙ, මේ රටේ සමස්ත පුරවැසියාට මිස ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන එන පුද්ගලයාට නොවේ.
මෑත ඉතිහාසය පුරාම සංවර්ධනය යන්න භාෂිත වචනයක් මිස සැබෑවක් නොවන සිහිනයක් බවට පත් කිරීමේ ප්‍රබලම සාධකයක් වන්නේ ඉඩම් උපයෝජනයට අවස්ථාව අහිමි කිරීමය. තවද මේ රටේ ශ්‍රම සාධකය හේතුවෙන් ගොඩනැගෙන විරැකියාව පිළිබඳව කතාකරන, විරෝධතා දක්වන කිසිවකු පරිභෝජනයට නොගන්නා ඉඩම් අපරාදේ නාස්ති වෙනවා යැයි කියන්නේ නැත. එය සංස්කෘතිකය, ආගමිකය, දේශපාලනිකය. වාමවාදීන්ට ද මේ නාස්තිකාර ජාතිකවාදී චින්තන ධාරාවෙන් ගැලවෙන්නට නොහැකි වී ඇත්තේ ද ඔවුහු ද ඊට අනුගතව ඇති බැවිනි.
අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉලක්කගත වැඩපිළිවෙලක් සහිතව මේ රට 2048 සංවර්ධිත රටක් බවට පරිවර්ථනය කිරීමේ අරමුණින් මේ දියත් කර ඇති වැඩපිළිවෙලේ සාර්ථකත්වය අත්කර ගැනීමට නම් මේ රටේ ඉඩම් ප්‍රතිසංස්කරණයක් යුහුසුළුව සිදුකළ යුතුය. නව තාක්ෂණය යොදාගෙන ඩිජිටල්කරණයට යොමුකළ යුතුය. ඒ ඒ ඉඩම්වල වටිනාකම් අනුව වඩාත් සුදුසුම ආයෝජන අවස්ථාවන් සඳහා යොදාගත යුතුය.
ඒ වගේම රටේ ජනතාවගේ පමණක් නොව සියලූ ජීවීන්ගේ පොදු භාවිත සම්පත් වන ජලය, වාතය, පස, වනාන්තර, භූමිය ඇතුළු සියලූ ම ස්වාභාවික සම්පත් සෑම ජීවියෙකුට ම උපරිම අයුරින් හිමි කරදීමේ නව සමාජ වෙළඳපොල ලිබරල් ආර්ථික සැලසුම් ඉතා ම ප්‍රබල ලෙස අප රට තුළ ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම වහ වහා ආරම්භ කළ යුතුව ඇත. ඒ වෙනුවෙන් අදටත් භාවිතයට නොගන්නා, ඌන උපයෝජනය හෝ මුට්ට කාසි දේපළක් ලෙස අපහරණය කරනු ලබන අති විශාල ඉඩම් රටේ සමස්ත ජනතාවගේ උන්නතිය වෙනුවෙන් සංවර්ධන කාර්යයට යොදාගැනීම අත්‍යවශ්‍ය වන්නේය.
– නවන් පතිරත්න