අපේක්ෂකයන් 82,000ක් ගම හදන්න ඉදිරිපත් වෙලා…
මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත්පාලන මැතිවරණය සඳහා ප්‍රාදේශීය සභා 340ක ආසන 8,771ක් සඳහා දේශපාලන පක්ෂ 30කට අධික සංඛ්‍යාවක් සහ ස්වාධීන කණ්ඩායම් විශාල ප්‍රමාණයකින් අපේක්ෂකයන් 82,000ක් පමණ තරග වදිනු ඇත.
මෙම අපේක්ෂකයින් 82,000ට අදාළ තොරතුරු, ඔවුන්ගේ පක්ෂ නම් සහ ලාංඡන භාෂා තුනෙන්ම නිවැරදිව අද (29) පස්වරු 2.00 වනවිට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට දැනුම් දී තිබේ. එම නිවේදනයට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අත්සන් තබා ඇති අතර එම තොරතුරු හෙට ගැසට් මගින් මුද්‍රණය කිරීමට එවන බව ප්‍රකාශ කළේය.
ඡන්ද දැන්වීම් පත්‍රිකා නිකුත් කිරීම පෙබරවාරි 25 සහ 26 යන දිනවල සිදු කෙරේ.
මේ අතර, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් තම ‘අනුමැතියට යටත්ව’ මැතිවරණ සූදානම සඳහා අනුමැතිය ලබාදීමට ගත් තීරණය, පිළිබඳව එවැනි අනුමැතියක් ලබාදිය හැකිද යන්න ගැන ප්‍රශ්නයක් මතුව ඇති අතර ඒ සම්බන්ධ විවේචනය ද පළවී තිබේ.
මැතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය මෙතේක් නිකුත් කර නොමැත. මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල වීම බරපතල කරුණක්ව තිබේ. මැතිවරණ කොමිසමේ සාමාජික එම්.එම්. මොහොමඩ් මහතාට සිකුරාදා රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට තනතුරෙන් ඉවත් වන ලෙස තර්ජනය කළ අතර මන්ත්‍රී එස්.බී. දිවාරත්න මහතාට සිය තනතුරෙන් ඉවත් වන ලෙසට Whatsapp පණිවිඩයක් ද ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ පවත්වන අතරතුර පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව ඔහු පැවසීය.
දිවාරත්න මහතාට ඉල්ලා අස්වන ලෙස දුරකතනයෙන් තර්ජන එල්ල වූ දෙවැනි අවස්ථාව මෙය විය. මීට පෙර තවත් සාමාජිකයෙකු වන විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණටද එවැනිම තර්ජනයක් එල්ල විය. මෙම තර්ජනාත්මක පණිවිඩ විදේශ රටක් සිට නිකුත් කර ඇති බන මේ වන විට අනාවරණය කරගෙන ඇති බව ද වාර්තා වෙයි.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා තර්ජන සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇත.
ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පුංචිහේවා මහතා ලිපියක් යවමින් මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් නිර්මාණය කර දෙන ලෙසත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මරණ තර්ජන බාධාවක් බවත් ඔහු ජනාධිපතිවරයාගේන ඉල්ලීමක් කර ඇතැයිද වාර්ථා වේ.
මේ අතර කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇති නමුත් එය පිළිගැනීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයිද මාධ්‍ය වාර්තා පලවී තිබිණි.
මේ අතර මැතිවරණ කොමිසන් සභාව සහ තවත් කොමිසන් සභා කිහිපයක් සඳහා නව සාමාජිකයන් පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව සුදානම් වෙමින් තිබේ. ඒ කොසේ වුවත් මේ වන විට කැඳවා ඇති මැතිවරණය කල් දැමීමක් සිදු නොවනු ඇත බව ඒ සම්බන්ධ විෂය ප්‍රාමාණිකයන්ගේ අදහසය. මැතිවරණය පැවැත්වීම කල් පසු කරන ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණට යොමු කර තිබෙන පෙත්සම අනුව අධිකරණය විසින් ඊට පක්ෂව තීන්දුවක් දීමෙන් හැර මැතිවරණය කල් දැමිය හැක්කේ පාර්ලිමේන්තු යෝජනාවක් මඟින් පමණක් බවක් පැවැසේ.
මේ අතර ජනාධිපතිවරයා ඇමැතිවරු පිරිසක් සමඟ පවසා ඇත්තතේ මැතිවරණය කල් තබන බවට තමන් කිසිවිටෙක ප්‍රකාශ කර නැති බවය. එසේම මැතිවරණය පැවැත්වීම හෝ නැවැත්වීම තමන්ගේ කටයුත්තක් නොවන බවත් ඒ තීරණය කොමිසම විසින් ගනු ලබන ඇති බවත්ය.