සජබ ලොක්කට හර්ෂ ශුවර් නෑලු !
පළාත් පාලන ජන්දයට කස්ටිය දැන් ඉඳලා සූට් මහගෙන ඉන්නේ. ඔය අස්සේ මැතිවරණ කොමිසමත් රත්වෙලා ඉන්නේ, චාල්ස් නෝනගේ ඉල්ලා අස්වීම එක්ක. කොමිසමේ ප්‍රකාශකයන් කියාගත්තු උදවිය ඒ ඉල්ලා අස්වීම ගැන දක්වපු ප්‍රතිචාරය අනුව නම් මැතිවරණ කොමිසමේ පැහැදිළි බෙදිල්ලක් තියනවා කියලයි විචාරක ටයිප් එකේ උදවිය සෝෂල් මීඩියා වල කියලා තිබුණේ.
ඔය විදිහට කොමිසම රත්වෙනකොට ජන්දයක් දියෝ ජන්දයක් දියෝ කියලා හන්දි ගානේ කෑගහපු සජබ ඇතුළෙත් පොඩි පොඩියට තිබුණ අංකොන් ලොකුවෙලා එළියට එන්න අරගෙන. සජබ නායක තැනත් ටිකාක් විතර පැනික් වෙලාලු ඉන්නේ. ඒ ගැනත් එක එක කතා යනවා. පැනික් ගතිය කොච්චරද කියනවා නම් සජබ ලොක්කට සැරට කඩේ ගිය උදවියට පවා පොඩ්ඩ එහා මෙහා වෙන්න බෑලු.
හොඳම සීන් එක සෙට් වෙලා තියෙන්නේ ” සජබ ලොක්කා කවදාහරි වැරදිලාවත් ජනාධිපති වුණොත්, මුදල් වගකීම් දෙනවා කියලා කියපු හර්ෂ ආචාරියාටලු. ඒ තමයි ඉන්දියාවේ විදේශ ඇමති ජයශංකර් ලොක්කා ලංකාවට ආපු වෙලාවේ එයාව හම්බෙන්න හර්ෂ මාර ට්‍රයි එකක් දීලා. කොහොමටත් හිටපු නියෝජ්‍ය ඇමතිනේ. ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේ ලොක්කෙකුටත් කතා කරකා වැඩේ ගැන කියලලු තිබුණේ. හර්ෂ වැඩිපුර බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙන්නේ විපක්ෂ නායක වෙච්ච සජබ ලොක්කත් ජයශංකර් මහත්තයාව හම්බෙන්න තිබුණ නිසා. ඒ නිසා එතනටත් පණිවිඩ කිහිපයක්ම තියලා, ”සර් එක්ක යන්න මමත් එනවා” කියලා. වැඩේ කියන්නේ සජබ ලොක්කා ජයශංකර් මහත්තයා හම්බෙන්න ගියේ හර්ෂව හලලා තනියමලු. කරපු වැඩේ අන්තිම පහත් , කොච්චර කළත් අන්තිමට ඔච්චර තමයි කියලලු මේ දවස් වල හර්ෂත් දන්න කියන උදවිය එක්ක කියලා හිත හදාගෙන ඉන්නවා කියන්නේ.
සිද්ධ වෙච්ච වැඩේ ගැන හර්ෂ ඉන්නේ මළෙන් කියලා, ටිකෙන් ටික ලොක්කගේ සමීපතම යාලුවන්ට එහෙමත් ආරංචි වෙලා. එතකොට නම් ඒ උදවිය කිව්වා කියන්නේ, ”ලොක්කට කොච්චර වුණත් හර්ෂව ෂුවර් නෑ. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්නේ කියලලු. ඒ විතරක් නෙවෙයි, ඔය වෙනදා එක්කගෙන යන කබීර්ව එතකොට කිරිඇල්ලව පවා නැතුව තමයි ලොක්කා ගියේ” කියලත් එයාලා කියලා.
හැබැයි හර්ෂත් නිකං හිටියේ නෑ, පහුගිය 23 තිබුන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත්කරන ලද මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රතිසංස්කරණ වලට උපරිම සහය දෙන බව කියලා. ඒ වෙනුවෙන් අපක්ෂපාතීව පෙනී සිටිනවා කියලත් කියලා. හර්ෂ තමයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති. ඉතිං එයා දුන්න මේ ටෝක් එක ආරංචි වෙලා සජබ ලොක්කගේ නළලේ තවත් රැල්ලක් වැඩි වෙලාලු.
මුජිබර්ට ගේම දුන්නේ මරියා !
ඊළඟට සජබ ලොක්කා ෂොට් එක දුන්නේ මුජිබර්ට. දැන් මුජිබර් ජන්දයක් ඉල්ලලා මරාගෙන මැරෙන සයිස් එකේ ඉන්නේ. මොකද කොළඹ පුරපති වෙන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලා අස්වුණානේ. හැබැයි සජබ ඇත්තෝ දැන් මුජිබර් ගැන කතා වෙන්නේ, ” මුජියා පව් නේද මචං ? මොනවා හරි වෙලා ජන්දය එහෙම කල් ගියොත් ගෙදරට වෙලා ලපන් ගහගෙන ඉන්න වෙන්නේ කියලලු.
ඒ අස්සේ යන තවත් කතාවක් තමයි, මුජිබර් ඉල්ලා අස්වුණේ කැමැත්තෙන් නෙවෙයි, සජිත්ගේ බලපෑමට කියලා. මොකද මීට කාලෙකට කලින් මුජිබර් කියලා තිබුණලු පළාත් පාලන ජන්දය ආවොත්, කොළඹ පුරපති අපේක්ෂකයා වෙලා එජාප බලය බිඳින්න එයා ලෑස්තියි කියලා. හැබැයි පස්සේ මේ මෑතක ඒ අදහස වෙනස් වෙලා තිබිලා තියෙන්නේ. ඒ ජන්දේ කල් ගියොත් එහෙම මන්ත්‍රී ධූරයත් නැතුව, උක් යායට ගිය ලොම්බා වගේ වෙන නිසා. ඒත් එක පාරටම සජබ ලොක්කා කොළඹ මහ නගර සභාවට මුජිබර්ව නම් කළා.
ඒ වෙලාවේ නම් මුජිබර්ට ෆුල් අවුල්ලු. ඉල්ලා අස්වෙන වෙලාවේ පාර්ලිමන්ට් යන්න කලින් ලොක්කා හම්බෙලා කතා කරලා ඇහුවලු, මම මෙහෙමම ඉන්නම්, වෙන කෙනෙක් දාමුද කියලා. ඒ වෙලාවේ සජබ ලොක්කට අසූහාරදහට නැග්ගලු.
“ මොනවද මුජිබර් මේ කියන්නේ . ඔයා කොළඹට ඉල්ලනවා කියල මම එනවුන්ස් කරලා ඉවරයිනේ.. දැන් ඒක නෑ කිව්වොත් මට මොකද වෙන්නේ.. .. ඔය ජේවීපී කාරයෝ මාව නැති කරාවි.. මට එහෙම පාච්චල් වෙන්න බෑ . දැන් ඔයාට ඉල්ලන්නම වෙනවා. හරි .., චන්දෙ නොතිව්වොත් මම තිස්සව අයින් කරලා ඔයාව පක්ෂයේ ජාතික සංවිධායක කරනවා..” ඔන්න ඔහොම තව මොනවද, මොනවද , කියාගෙන කියාගෙන ගියා ලු.. “
සජබ ලොක්කගේ සහ මුජිබර් අතර වෙච්ච මේ කතාව ගැන තලතාත් සාක්ෂි කියලයි කියන්නේ. ඒ වෙලාවේ මුජිබර් ගේ මූන ඇද වුණාලු.
කොහොම නමුත් මීට කලින් මුජිබර් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම ගැන සජබ ලොක්කා හිටියා කියන්නේ වෙනස් ස්ථාවරයක. ඒ මුජිබර් ඉල්ලා අස්වුනොත් ඊළඟට ඇතුළට එන්නේ එච්එම් ෆවුසි නිසා. මොකද ෆවුසි අනිවාර්යයෙන් රාජිත ලොක්කා එක්ක ආණ්ඩුවට යන සීන් එකේ ඉන්නේ කියලා සජබ ලොක්කට ලැබුණ තොරතුරක් නිසාලු.
නමුත් අන්තිමට කොහොම හරි මුජිබර්ට ඉල්ලන්න කියන තැනට සජබ ලොක්කා හිත වෙනස් කරගෙන. සජබ ඇතුලේ යන කතාව නම් මුජිබර්ව බ්ලාන්ස් යැව්වේ මරික්කාර් කියලා. මොකද ගිය ටිකේ මරික්කාර් අසාමාන්‍ය විදිහට සජබ ලොක්කව ගොඩදාගෙන හිටියේ. ඒ නිසානේ නියෝජ්‍ය ජාතික සංවිධායක කියලා පට්ටමකුත් ලැබුණේ. දැන් මුජිබර් පාර්ලිමේන්තුවේ නැති නිසා කොළඹ ඉන්න සජබ එකම මුස්ලීම් පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් විතරයි. ජන්දය කල් යන්න යන්න මුජිබර් වාෂ්ප වෙනවා, මරික්කාර් උඩ එනවා. ඔය වැඩේට මරික්කාර් සම්බන්ධ නිසාලු, මුජිබර්ගේ හිත හදන්න , ජන්දය කල් ගියොත් ඔයාව මම තිස්සව අයින් කරලා , සජබ ජාතික සංවිධායක කරන්නම් කියලා, සජබ ලොක්කටත් කියවුණේ.
කොහොම හරි සජබ ලොක්කගේ වැඩ නිසා ඔන්න මුජිබර් මේ දවස් වල හූල්ල හූල්ල ඉන්නවා කියන්නේ.
මනෝගේ මල්ලිට කුණු බැනුම් !
ඔය අස්සේ මනෝගේ මල්ලි වේලු කුමාරටත් සජබ ලොක්කා ටිපර් පාර්ක් කරලා. ඒ මහනුවරට වෙනම ලැයිස්තුවක් දැම්මා කියලා. ” බැන්නලු බැනිල්ලක් කෑලි හැලෙන්න. බලු වැඩ කරන්න එපා අයිසේ කියලත් කියලා. කොහොම නමුත් හරි හැටි දේවල් හොයන්නේ නැතුව බැනපු බැනිල්ලට වේලුත් මළෙන් ඉන්නවා කියලයි ආරංචිය. වෙලාව ආවහම බලාගමුකෝ කියලලු එයත් හිතවතුන්ට කියනවා කියන්නේ.
මාතරට හිරු පායන්න දුම් දාන ගේමක් දීලා !
ඒ අස්සේ තවත් හුටස්පරයක්. ඒ සජබ ආර්යාව කියන විදිහට වැඩකරන සජබ නෝනෙක් , මහරගම නගරාධිපතිනිය වෙන්න හිතාගෙන වැඩ කළාට ඒ වැඩේ ගැස්සුනා. ඒ පක්ෂය ඇතුළෙන්ම ආපු කචල් නිසා. අන්තිමට ආර්යාව කිව්වලු මහරගම නැති කළාට මම කොළඹ අරගෙන දෙන්නම් කියලා. ඒ වචනෙට සළකලා සජබ නෝනත් නොසෑහෙන්න සෙල්ලම් දැම්මලු. ආණ්ඩුවට ගැහුවා, ගේම ඉල්ලුවා. කුණුහරප පවා ප්‍රසිද්ධියේ කිව්වේ ආර්යාවගේ හිත තවත් දිනාගන්නලු. ඒත් අන්තිමට ඒ කරපු වැඩ නිසා කොළඹත් දෙන්න එපා කියලා මරික්කාර්ලා සජබ ලොක්කට ප්‍රෙෂර් කරලා.
ඔන්න එයා දැන් ආර්යාවගේ මග පෙන්වීමෙන් මාතරට බහින්නලු යන්නේ. ඔය කතා අස්සේ මතකද දුරකථන පාටියේ දකුණ පැත්තේ ඉතා බුද්ධිමත් කඩිසර හාදයෙක්ගේ දුරකථන සංවාද වගයක් ප්‍රචාරය වුණා. මේක අහම්බයක් වගේ දැක්කට වැඩේ ටිකක් සීරියස් කියලයි පක්ෂයේ ඇතුළේ අය කතා වෙන්නේ.
ඒකට හේතුව තමයි, මේ දුරකථන සංවාදයේ ඉන්න ගෑනු පාර්ශ්වය අලිපාටියේ මහැදුරුතුමාට විරුද්ධව කතාකරන කාන්තාව නිසාත්, ඒ කාන්තාව ගෙනාවේ කොළඹ හිරු මෙන් ඉන්න කෙනා නිසාත්ලු. ඇත්තටම ගොඩක් අය කියන්නේ මේක හිරු වගේ ඉන්න කෙනාගේ වැඩක් කියලා.
වැඩේ ලීක් කළේ එයා කියලා කියන්නේ නිකන් නෙමේලු. හේතුව එයා ඔය දකුණු පළාතෙ අර කඩිසර හාදයගේ පැත්තෙන් ඡන්දය ඉල්ලන්න යන නිසා කියලයි ආරංචිය.
කොළඹ දාලා එයා යන්නේ එයාගේ මුදුන් මුල් එහේ තියෙන නිසාලු. කොහොම වුණත් එයා යන්න කලින් හැමදාම ඡන්දය දිනුව කඩිසර හාදයා අනාථ කරන්න හිතාගෙන එයා අර කාන්තා පරාණයේ ෆෝන් එකේ තිබ්බ හඬපට ලීක් කළා කියලයි ඇතුළේ කතාව.
ඔය මේ දවස් වල සජබ ලොක්කගේ ලෝකය තමයි. එයා දැන් ෆුල් ටයිම් වැඩ කරන්නේ මේ ප්‍රශ්න බැලන්ස් කරන්නලු.
සජබ නාවට රාජිත ඇවිත්
ඔය අස්සේ ජනාධිපතිත් සංහිඳියාව වෙනුවෙන් සර්ව පාක්ෂික හමුව පහුගිය 26 වෙනිදත් කැක්ෂෙව්වා. හැබැයි සජබ වගේම ජාජබ මේ අවස්ථාව වර්ජනය කළා. ඩලස් පවා ආවේ නෑ. මේ ගැන අවධානය යොමුකළ දේශපාලනය ගැන උනන්දු කට්ටිය කතා වුණේ, මේ උදවිය ජාතික සමගිය ඇතිකරන වට විරුද්ධයි ද කියලා. කොහොම නමුත් මේ වැඩේට සජබ ප්‍රබලයෙක් වෙච්ච රාජිත සේනාරත්න ඇවිත් හිටියා. ඒ විතරක් නෙවෙයි, 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන ස්ථාවරය වෙනුවෙන් සැරටම පෙනී ඉඳලත් තියෙනවා.
ඔන්න සජබ ලොක්කා නැති වුණාට රාජිත නම් ගිහින්.. ඒ කියන්නේ ඉතිං.. හිතා ගන්න පුළුවන් නේද ?
කොහොම හරි මේ සර්ව පාක්ෂික හමුවේ හොඳටම ස්කෝර් කළේ ජනාධිපති රනිල් කියලයි ආරංචිය.
ආය වටින් ගොඩින් නැතුව , 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ රටේ තිබෙන නීතිය ක්‍රියාත්මක කිරීමට විධායක ජනාධිපති විදිහට තමන්ට තියන බලය අනුව බවත් එසේ නොමැති නම් පාර්ලිමේන්තුව හරහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවත් ජනාධිපතිවරයා කියලා.
ඒ විතරක් නෙවෙයි, 13 ට විරුද්ධ නම් ඒක අහෝසි කරන්න ඕනම මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි කියලා අයිඩියා එකත් දීලා. ජනාධිපතිගේ කතාවට ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ජාතිවාදීන්ටත් මීක් නැතිවුණා කියලයි කියන්නේ. මෙන්න මෙහෙමලු එදා කතාව.
13 ගැන ජනාධිපති තද තීන්දුවක !
විධායකය ලෙස මට පැවරී තිබෙන්නේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමයි. 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වසර 37ක පමණ කාලයක සිට තිබෙනවා. මම එය ක්‍රියාත්මක කළ යුතුයි. මම එය ක්‍රියාත්මක නොකරන්න නම් කවුරුන් හෝ 22 වෙනි සංශෝධනයක් ගෙනවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. එසේ නොමැති නම් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙත් නෑ, අහෝසි කරන්නෙත් නෑ කියලා අපට මැදක සිටිය නොහැකියි. ඕනෑම අයෙකුට හැකියාව තිබෙනවා පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනැවිත් 13 වෙනි සංශෝධනය අහෝසි කරන්න කියලා ඉදිරිපත් කරන්න. ඊට බහුතරයක් අකමැති වුණොත් මොකද කරන්නේ. එවිට 13වන සංශෝධනය ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා.
මම කටයුතු කරන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විනිශ්චයකාර මණ්ඩලය ලබා දී ඇති තීන්දුව අනුවයි. විශේෂයෙන් පාලින්ද රණසිංහ අග්‍රවිනිශ්චයකාරතුමාගේ තීන්දුව. එතනට සීමා වුවහොත් ඇත්ත වශයෙන්ම අපි ඒකීය රාජ්‍යයකයි ඉන්නේ. මම ෆෙඩරල් රාජ්‍යයකට විරුද්ධයි. නමුත් බලතල බෙදා දීමට එකඟයි. දැන් අප පිහිටුවාගෙන තිබෙන පළාත් සභාවට ලන්ඩන් නගර සභාවට තිබෙන බලතලවත් නෑ. ලන්ඩන් නගර සභාවට මීට වඩා බලතල තිබෙනවා. එහෙම නම් මෙය ෆෙඩරල් රාජ්‍යයක් කියා කෙසේවත් කිව නොහැකියි.
මෙය ෆෙඩරල් රාජ්‍යයක් නොකරන්න ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා, නීතිඥවරු එක්ව බොහෝ දේ සිදු කළා. මෙතෙක් සිටි හැම ජනාධිපතිවරයෙක්ම 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. තවදුරටත් එය ක්‍රියාත්මක නොකරනවා නම් අප එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි.
යුද්ධය අවසන් වන විට විශාල ඉඩම් ප්‍රමාණයක් රජය යටතේ තිබුණා. ඉන්පසු මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරු යටතේ ඉඩම් නැවත ජනතාවට බාර දෙනු ලැබුවා. යාපනයේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් නැවත ජනතාව වෙත ලබා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේදීයි. ඒ අනුව මේ වන විට ඉතිරිව තිබෙන්නේ තවත් අක්කර 3000ක වගේ ප්‍රමාණයක් පමණයි.
ආරක්ෂක කටයුතුවලට බාධා නොවන ආකාරයට එම ඉඩම් ප්‍රමාණයත් නිදහස් කරන කටයුත්ත ආරක්ෂක අංශවලට භාර දිය යුතුයි.
මෙම කටයුතු සම්බන්ධව අප ගනු ලබන පියවර පිළිබඳ මම පෙබරවාරි 08 වනදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ යෝජනා තිබෙනවා නම් 04 වෙනිදාට පෙර ලබා දුන්නොත් ඒවාත් ඇතුළත් කරගෙන අපි ඉදිරියට යමු.
මේ රට බෙදීමට මම සූදානම් නෑ. අපි කවුරුවත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන්ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක්වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවා නම් දමිළ, මුස්ලිම් , බර්ගර් ඇතුළු ලංකාවේ අනෙක් කණ්ඩායම් සමඟත් එකට ජීවත් විය යුතුයි. මට විශ්වාසයි අපේ ජාතික ගීයේ සඳහන් “ එක මවකගේ දරුවෝ” යන්න අපි ආරක්ෂා කළහොත් අපේ රටේ එකමුතුකමත් රැකගෙන ඉදිරියට යා හැකි බව.
දේශපාලන සහ ආර්ථික ප්‍රශ්න සියලු දෙනාට එකඟ විය හැකි ආකාරයට පියවරෙන් පියවර අපි විසඳා ගනිමු. මීට පෙර අපි සියලුදෙනා එකඟ වූ ආකාරයට අපි මේ ප්රශ්නයේ හිර වෙන්නේ නැතිව ක්‍රියාත්මක වෙමු. අපි කිසිවෙක් පාවා දෙන්නෙත් නෑ. නැති වෙන්නෙත් නෑ. රට බෙදෙන්නෙත් නෑ. අද රට එකතු වෙලා තිබෙන්නේ.
ඔන්න ඔහොමයි ඉතින් සජබ ලොක්කා විපක්ෂ නායක වෙලා පක්ෂයේ සංහිඳියාව ඇතිකරන්න වැඩ කරනකොට ජනාධිපති රනිල් රටේ සංහිඳියාව ඇති කරන්න වැඩ කරන්නේ.
කුසල් ජයම්පති