මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලූස් කනේක්ෂන් එකක්.

දැනට පැය කිහිපයක හෝ කප්පාදුවක් සහිතව අඛණ්ඩව විදුලි බලය ලබා දීමට නම් විදුලිය බල මණ්ඩලය පාඩු නොවී පවත්වා ගැනීම වෙනුවෙන් විදුලි බිල වැඩිකළ යුතු බවට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවට එරෙහිව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක දිගින් දිගටම ප්‍රකාශ නිකුත් කරමින් සිටියේ කිසිසේතම කැබිනට් මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඉඩ නොදෙන බව කියමිනි.

එහෙත් පාර්ලිමේන්තු ජාතික සභාවට ජනක රත්නායක සහ කොමිසමේ අනිත් සාමාජිකයන් වන චතුරිකා විජේසිංහ , මොහාන් සමරනායක , උදේනි වික්‍රමසිංහ කැඳවා තිබුණේ විදුලි බිල වැඩිකිරීමේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කර විසඳමකට පැමිණිම වෙනුවෙනි. එසේම විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ විදුලි බල මණ්ඩලේ වගකිවයුතු ඉහළ නිලධාරීන් ද ජාතික සභාවට කැඳවා තිබිණි.

ජාතික සභාව වෙනුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන්. ක්‍ඪ චානක , ඉන්දික අනුරාධ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , ටිරාන් අලස් , චම්පික රණවක මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම සාකච්ඡාව පටන්ගත් ඇමති කාංචන විජේසේකර, මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවට බාධා කරමින් මෙලෙස කටයුතු කරන්නේ ඇයිද යන ප්‍රශ්නය නගා තිබිණි. ? එසේම මේ වෙලාවේ විදුලි බිල වැඩි නොකළොත් දැනට විතරක් පැය 7-8 ක විදුලි කප්පාදුවකට යන්න වන බවත් කොමිසම කටයුතු කරන්නේ රට එතැනට තල්ලු කරන්නද ? යන්න සෘජුව විමසා ඇත. නීතිපතිවරයා පවා කැබිනට් මණ්ඩල තීන්දුව අනුමත කරලා තිබියදී ඇයි මහජන උපයෝගීතා කොමිසම මේ ආකාරයෙන් රජය අපහසුතාවට පත්කිරීම ගැන ප්‍රශ්න කර ඇත.

එමෙන්ම මෙහිදී විදුලි ඉංජිනේරුවන් ද පනසා ඇත්තේ මේ මොහොතේ අනිවාර්යයෙන් 50% කින් විදුලි බිල ඉහළ දැමිය යුතු බවය. අපොස උසස් පෙළ විභාගයට සහ ඉදිරි මැතිවරණ කටයුතු වෙනුවෙන් පැය 24 ම විදුලිය ලබා දීමේ හැකියාවක් නොමැති වනු ඇති බවත් ඉංජිනේරුවන් අවධාරණය කර තිබිණි.

මේ කවර කරුණු කාරණා අවධාරණය කළත් සාමාන්‍යයෙන් කොමිසමේ සභාපතිවරයා සිටින්නේ ඔහුම සොයාගත්, ඔහුම පමණක් දන්නා සංඛ්‍යා දත්ත මත පදනම්ව ඔහු තනිවම ගන්නා තීන්දු තීරණ වල බව පසුගිය කාලය තුළ පැහැදිලි වූ කරුණකි. ඔහු ගන්නා තීන්දු තීරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයන් දැන ගන්නේත් ඒ මාධ්‍යවල වාර්තා වූ පසුය.

කොහොම නමුත් මේ සාකච්ඡාවේදී හිටපු විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයකු වන චම්පික රණවක මැදිහත් වී සභාපතිවරයාගේ පැත්ත ගෙන කියා තිබුණේ 50% කින් විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාවට තමන්ද විරුද්ධ බවය.

මේ වෙලාවේ 50%කින් බිල වැඩි කලොත් ලොකු කැරලිකාරී තත්ත්වයක් ඇතිවන බවත් 50%කින් බිල වැඩි කළහොත් පහළ මට්ටමේ විදුලි පාරිභෝගිකයන් ගේ බිල 260% කින් ඉහළ යන බවත් කියා තිබිණි. විදුලි පාරිභෝගිකයන් පෙර පුරුද ලෙස ඉවක් බවක් නැතිව විදුලිය පාවිච්චි කරන්නේ නම් චම්පික කියන ලෙස ගැටලුවක් ඇති විය හැකිය. නමුත් මේ අර්බුද මොහොතේ විය යුත්තේ විදුලිය පාවිච්චි කිරීම හැකි තරම් අවම කිරීමය. රට ගැන වගවීමක් ඇති දේශපාලනඥයකු නම් පෙනී සිටිය යුත්තේ විදුලි පාරිභොජනය අධෛර්යමත් කරන යෝජනාවක් සමඟය. නමුත් දේශපාලන වාසි තකා අධි පාරිභෝජනවාදී වුවමණාවන් වෙනුවෙන් පෙනී සිටීම රටට කරන හානියකි. අනෙක් කාරණය යම් කරුණක් ගැන තීන්දු ගැනීමට කොමිසන් සභාවක් පත් කරන්නේ එක් පාර්ශ්වක් හෝ යම් පාර්ශ්වයක් පැත්ත ගෙන තීන්දු ගැනීමට නොවේ, සියළු පාර්ශ්වල වලට සාධාරණයක් වන ලෙස කටයුතු කිරීමටය. නමුත් මෙහිදී සිදුව ඇත්තේ කොමිසමේ සභාපතිවරයාගේ තනි මතයක් ප්‍රකාශවීමක් පමණක් බවද හෙළිව තිබිණි.

මෙහිදී ඇමැති කාංචන කොමිසමේ අනිත් සාමාජිකයන් ගේ අදහසුත් මෙහිදී විමසා ඇති අතර ඔවුන් මුලින්ම පවසා ඇත්තේ කොමිසමේ මතය ලෙස මෙතුවක් කල් සභාපතිවරයා ප්‍රකාශකර ඇත්තේ ඔහුගේ තනි මතය පමණත් බවය. කිසිඳු කාරණයක් ගැන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අනෙක් සාමාජිකයන් ව නිල වශයෙන් ලිඛිතව කිසිම දැනුම්දීමක් සිදුකර නොමැති බවත් කොමිසමේ සභාපති කියන කරන කිසිදු දෙයක් ගැන තමන්ගේ සම්බන්ධයක් නැති බවත් ඔවුන් ප්‍රකාශ කර තිබිණි.

මේ අනුව මේ කොමිසමේ සභාපතිවරයා නටන නාඩගමෙන් විය හැකිව තිබෙන්නේ යළි පැය ගනනාවක් විදුලි කප්පාදුවක් සිදුවීම පමණය.

මේ තත්වය මත අවසානයේදී මහජන උපයෝගීතා කොමිසමේ සියළු සාමාජිකයන් සහ විදුලි බල මණ්ඩලය එක මේසයක් වාඩී වී විදුලි බිල වැඩිකිරීම ගැන එක තීන්දුවක් ගෙන දැනුම් දෙන් ලෙස විදුලි බල ඇමැතිවරයා දැනුම් දී ඇත.

කුසල් ජයම්පති

Chatham Street Journal පුවත්පතේ 2023.01.22 දින පළ වූ ලිපියකි.