රනිල්ගේ ක්‍රමයට දැන් වැඩකරන්න
“අපරාධයක් සිදුවූ ස්ථානයක සියලු සාක්ෂි පැහැදිලිව ප්‍රදර්ශනය වේ නම්, එම අපරාධය සිදුව ඇත්තේ වෙනත් ස්ථානයකය…” – ෂර්ලොක් හෝම්ස් ප්‍රකට රහස් පරීක්ෂක කතා මාලාවක් වන ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ එන එක් කතාවක හොම්ස් මේ අදහස පළ කරයි. මේ කියන්නේ අපරාධයක සුල මුල වසා දැමීමට, පරීක්ෂණ නොමඟ යැවීමට අපරාධකරුවන් භාවිත කරන සරළ උපක්‍රමයක් පිළිබඳය. විශේෂයෙන්ම වෘත්තීය අපරාධකරුවෝ මේ වැඩේට දක්ෂය. ඇත්ත සාක්ෂි සැඟවීම මඟින් සිදුවන විමර්ශන ප්‍රමාදය නිසා තමන්ට තවත් කාලයක් සිය අපරාධමය ජීවිතය නඩත්තු කරගෙන යෑමේ හැකියාව ඔවුන්ට ලැබේ. නමුත් හෝම්ස් කියන කතාවේ වෙනත් අරුතක්ද ඇත. එනම් අපරාධ සිදුවීමට හේතුකාරක වන තවත් ප්‍රබල සාධක අන් තැනක තිබෙන බවය.
ශ්‍රී ලංකාව ගැන මොන තරම් වගාඩම්බර කතා තිබුණත් මෙය දූෂිතබවේ ඉහත්තාවටම ගිය රාජ්‍යයක්ව තිබිණි. තවමත් ඒ තත්වයන් දකින්නට ලැබේ. ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තේ පාලකයාද පාලිතයාද කියා වෙන් කළ නොහැකි තරමට තත්වයන් ඔඩු දුවා තිබේ. එහෙත් “ගුරා හිටගෙන හුජ්ජ කරන විට ගෝලයො දුව දුව හුජ්ජ කරනවා” යැයි කියන්නා සේ මේ දුෂිත තත්වයන් පාලනය නොවෙන්නේ ඉහළින් ලැබිය යුතු ආදර්ශය නොලැබෙන තැනය. ලංකාවේ ආණ්ඩුකරණ දේශපාලකයෝ වෘත්තීය අපරාධකරුවන් තරමටම දක්ෂය. ඇතැම් විට දේශපාලකයන්ද වෘත්තීය අපරාධකරුවන් ලෙස සැලකීමට තරම් අපරාධ සිදු කර තිබේ. ඒ සඳහා ඇති තරම් උදාහරණ පෙන්වා දිය හැකිය. සිය දේශපාලන බලය අවභාවිත කරමින් හොරකම් වංචා දූෂණ ආදියෙහි යෙදෙන දේශපාලකයා ඒවා හෙළිදරව්වීම වැලැක්වීම වෙනුවෙන්ද දේශපාලන බලය පාවිච්චි කරයි. නීතියේ තිබෙන සිදුරුවලින් රිංගා යයි. නීතිය දෙකට තුනට නවා බල රහිත කරයි. ඇතැම් විට විමර්ශනය කරන පොලිසියට සහ පැමිණිලිකාර පාර්ශ්වයන්ටද බලපෑම් සිදු කරයි. විශේෂයෙන්ම රජයට සම්බන්ධ කරුණක් නම් ඒ නඩු පැවැරීම සිදු කරන නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් සිදුකර නඩු අහක යන ලෙස වැඩේ පිළිවෙලක් කරගැනීමට මේ දේශපාලකයන්ට හැකියාව තිබේ. තවත් විටෙක අධිකරණයට බලපෑම් කළ අවස්ථා ගැනද අසන්නට ලැබ තිබේ. කොහොම නමුත් මෙලෙස චෝදනාවලට ලක්වූවන් බොහොමයක් දෙනා නිදොස්වී නිදහස්වීම සිදුව ඇත්තේම නඩු පවත්වාගෙන යෑමට නොහැකිවීමේ ඊනියා තාක්ෂණික ප්‍රශ්න මුල් කරගෙන මිසක් නඩු විභාග කර අධිකරණයෙන් නිදොස්වීම මත නොවේ. ඒ අර කිව් දේශපාලන බලය පාවිච්චි කර ගැලවීමේ මාර්ග සකසා ගැනීමට ඇති හැකියාව අනුවය. මෙම තත්වය මේ රටේ කාලාන්තරයක් තිස්සේ පවතින යථා ස්වභාවයයි. දේශපාලකයාට පමණක් නොව බොහෝ විට රාජ්‍ය නිලධාරියකුට හෝ එල්ල වන චෝදනා සාක්ෂි සහිතව හෙළිදරව් වී තිබුණත් අධිකරණයන් හරහා දඬුවමක් ලැබුණා නම් ඒ කලාතුරකිනි. එයත් බොහෝ විට සිදු වූයේ පවතින දේශපාලන බල අධිකාරිත්වයට එරෙහිවීමේ ප්‍රතිපලයක් ලෙසය. එලෙසම බොරු අපරාධ චෝදනා ගොනු කර සිදු කෙරෙන දේශපාලන පළිගැනීම් වලද අඩුවක් නැත. පොලිසියත්, නීතියත්, අධිකරණයත් තමන්ට ඇවැසි ලෙස මෙහෙයවා ගත හැකි නම් මේ බලවත් චූදිතයන්ට නීතියෙන් ගැලවීම සිම්පල් වැඩකි.
මේ නිසා දේශපාලකයන්ට අපරාධය නීතිගත කළ විෂයක්ද? යනුවෙන් අසන්නට පුලුවන් තරමට මේ රටේ දේශපාලකයන් අපරාධවල නියැලී වගේ වගක් නැතිව සිටී. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමද තනිකර ජෝක් එකකි. කොහොම නමුත් රටේ සාමාන්‍ය ජනයාට බලපවත්වන නීතිය ප්‍රකාරව වංචා දූෂණ අපරාධ ආදී නොපනත්කම් දේශපාලකයන්ගේ සාතිශය බහුතරයකට එල්ලව තිබේ. මේ චෝදනා ඇත්ත නැත්ත වුවත් ඒ ඇත්ත නැත්ත කුමක්ද කියා විභාග කර බැලීමක්වත් සිදු නොවීම නිසා පොදුවේ සියලු දේශපාලකයන් හොරුන්ය කීවාට වරදක් නැති ගානට පත්ව තිබේ. ඒ නිසා දේශපාලකයා හොරෙක් නොවීම සාමාන්‍ය ජනතාවට ඇති වැදගත්කමක්ද නැත. දේශපාලනයේදී දුෂණයට වංචාවට එරෙහිව නැගෙන විශාල ඝෝෂාව දේශපාලන වේදිකා දෙදරවන්න සමත් වූවත් ඒවා මැතිවරණ ආදියේදී බල රහිත වන්නෙත් බහුතර ජනතාවට එයින් වැඩක් නැති නිසාය. මේ නිසා නරකම තත්වයේ හොරෙකුට වැඩිම ඡන්ද ලැබීම සිදුවේ. කුමක් හෝ වටවංගුවක් ගසා තමන්ගේ වැඩේ කරගත හැක්කේ ඒ ජාතියේ දේශපාලකයකු බලයට පත් කිරීමෙන් බව මේ ඡන්දදායකයා කල්පනා කරනවාද විය හැකිය.
කොහොම නමුත් මේ ආකල්පයන්ගෙන් සහ දුෂිත ක්‍රමවේදයෙන් රට මුදවාගැනීම කාලින අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. ඒ රටම බංකොලොත්වීමෙන් පසුව යළි ගොඩ ඒමක් ගැන හිතන්න සිදුව තිබෙන නිසාය. දූෂණය වංචාව අහවර කළැයි කියා එය රටක් ගොඩදැමීමට ප්‍රමාණවත් නොවන නමුත් නිවැරදි ප්‍රතිපත්ති සැලසුම් ක්‍රමවේද ඔස්සේ රටක් යළි ගොඩනැගීමට නම් එය අවශ්‍ය වෙනු ඇත. විශේෂයෙන්ම දේශපාලනයේදී සදාචාරභාවය සහ විනය කියන එක වැදගත්ය. එය නීතියෙන් රීතියෙන් හෝ ආවරණය වී සැකසීම විය යුතුය. ඉහළ තැනින් ඒ ආදර්ශය ලැබෙන විට පහළටත් එය රකින්නට සිදුවෙයි.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ආණ්ඩු පාක්ෂිකයකු ලෙස සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අලි සබි්‍ර රහීම් නැමැති මන්ත්‍රීවරයා නිත්‍යානුකූල පිළිවෙතින් බැහැරව මෙරටට රත්‍රන් තොගයක් සහ ජංගම දුරකතන තොගයක් රැගෙන ඒමේදී අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබිණි. දැනට සිදු කෙරී ඇති පරීක්ෂණ අනුව එම ජාවාරම දීර්ග කාලයක් තිස්සේ සිදු කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ. කොහොම නමුත් කලින් වතාවන්හිදී ඒ ජාවාරම් හෙළිදරව් කරගැනීමට නොහැකි වී ඇත. එය පුදුමයට කරුණක් නමුත් එය සිදු නොවුයේ කෙසේද යන්න ගැන යම් උපකල්පනයකට පැමිණිය හැකිය. මීට දින කිහිපයකට පෙර මෙරටට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඇතුලුවීමට උත්සාහ කළ චීන ජාතිකයකු අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණි. ඔහු ආයෝජකයකු යැයි කියමින් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ඔහුව මුදා ගැනීමට දැඩි බලපෑමක් පොලිසියට සිදු කර තිබිණි. මෙම සිදුවීම සලකා බැලීමේදී පෙර සිදුවීමට අදාලව ජාවාරම හෙළි නොවීම, දේශපාලන බලය යම් ලෙසකින් යොදාගැනීම මත සිදුව තිබුණාද කියන සාධාරණ සැකය මතු වේ. කොහොම නමුත් මේ කියන චීන ජාතිකයා රටින් පිටුවහල් කිරීමට රජය මේ වන විට ක්‍රියාත්මක වී ඇති නමුත් පුත්තලම මන්ත්‍රීවරයා සම්බන්ධ පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු වෙමින් තිබේ ද යන සැකය නම් මතුව තිබේ. මන්ද ඔහු පසුගිය 24 වෙනිදා පාර්ලිමේන්තු පැමිණ සිටි අතර එහිදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමත් සිදුව තිබුණ බැවිනි. එහිදී තමන්ගේ ජාවාරම් කරගෙන යෑමට ඉඩ නොදීම ගැන උරණව මන්ත්‍රීවරයා ආණ්ඩුවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ බව මන්ත්‍රීවරයාම ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් පුත්තලම මන්ත්‍රීවරයා චෝදනාවෙන් නිදහස් කරගැනීම වෙනුවෙන් ආණ්ඩුවේම ප්‍රබලයන් දේශපාලනික බලපෑම් සිදු කළ බවටත් ඇතැම් වාර්තා පළවෙමින් තිබෙනවා වුවත් එම පරීක්ෂණ නිසි පරිදි සිදු වූ බවත් ආණ්ඩු පාර්ශ්වයේ මතය වේ. ඒ අනුව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩයක් ගෙවා වරදින් නිදහස් වූ බවත් වාර්තා විය. කොහොම නමුත් මේ සිදුවීම් දෙකෙනුත් පැහැදිලි වන්නේ දේශපාලන බලය අයථා ලෙස යොදාගන්නා බවය.
දූෂිත රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරවත් අපකීර්තියට ලක්ව තිබෙන රට ඒ අවලාදවලින් ගලවාගැනීම යුගයේ අත්‍යාවශ්‍ය කාර්යභාරයක්ව තිබේ. නමුත් ආණ්ඩු පාර්ශ්වයේම පිරිස් දුෂිත ක්‍රියාමාර්ගවලට අවතීරණයවීම එම ක්‍රියාදාමය ආපසු හරවන්නකි. එය මේ මොහොතේ රටට කරන ද්‍රෝහීකමකි. කොටින්ම රාජ්‍ය ද්‍රෝහී කටයුත්තක් ලෙස නෛතිකමය ලෙස හැඳින්විය හැකි ජඩ වැඩකි. අපරාධ නීතියේ විශාලම අපරාධය මිනිමැරුම නොව රාජ්‍යද්‍රෝහීත්වය ලෙස සලකන්නේ ඒ වරද සියල්ලට වඩා බරපතල බැවිනි. එම විශාලම අපරාධය වැලැක්වීම වෙනුවෙන් රට ක්‍රියාත්මක නොවන්නේ නම් රටේ නීතියක් හෝ නීතිය මත පාලනයක් තිබේ ද යන ගැටලුව මතු කරන්නකි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට සහය ලබා දීමේ එක් ප්‍රබල කොන්දේසියක් වුයේ රටේ සිදුවන දුෂණය වලක්වා ගැනීම වෙනුවෙන් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුවීමය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැදිහත්ව පවතින නීති රීතිවල දුර්වලතා අවම කිරීම වෙනුවෙන් නව දුෂණ විරෝධී පනත ගෙන ආවේත් ඒ වෙනුවෙනි. රජයේ මුල්‍ය කලමණාකරණය විධිමත් කර දුෂණය වංචාව නාස්තිය අවම කිරීම වෙනුවෙන් තවත් නව පනත් සහ නව නීති රෙගුලාසි ගණනාවක් ද පසුගිය කාලයේ ගෙන එනු ලැබීය. පැවැති දුෂිත ක්‍රමවේද වෙනුවට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේද ගණනාවක් හදුන්වා දෙනු ලැබීය. පොලිසිය ශක්තිමත් කරන්නත් අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සහ ඒ උත්තරීතරත්වය ශක්තිමක් කරන්නත් අවශ්‍ය පියවරද ගනු ලැබීය. ජනාධිපතිවරයා මේ ආදී පියවරයන් රැසක් කඩිනමින් ගත්තේ මේ රට දුෂිත රාජ්‍යයක්ය කියන ජාත්‍යන්තර හංවඩුවෙන් ගලවා ගැනීමත් රට යළි ගොඩනැගිම සඳහා දුෂණයෙන් තොර රාජ්‍ය පද්ධතියක අවශ්‍යතාවය අනිවාර්යයක් වන නිසාය.
කවර රාජ්‍යයක හෝ වේවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපාලනය නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම උදෙසා විධායකයක්, ව්‍යවස්‌ථාදායකයක්, අධිකරණයක් මෙන්ම දුෂණයෙන් තොර ශක්තිමත් රාජ්‍ය සේවයක් පවත්වා ගැනීම අනිවාර්යය. ඕනෑම රටක පාලනය සිදුවන්නේ රටවැසියා පිළිගෙන සම්මත කරගන්නා ලද මහජන සම්මුති අනුවය. නීති පද්ධතිය කියන්නේ එවැනි සම්මුතියකි. ඒ අනුව නීතියක් රීතියක් සම්ප්‍රදායක් මඟින් සියල්ල පාලනයවීමකින් තොරව රටක පාලනය පවත්වාගෙන යෑම කළ නොහැකිය. ත්‍රාඩ ඒකාධිපතියකුට නම් ඒ නොතකා කටයුතු කළ හැකිය. එහෙමත් කාල වකවානු මෑත ඉතිහාසයේ තිබිණි.
වර්තමානයේ ලොව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය මිනිස් ශිෂ්ඨත්වයේ අග්‍රතම ඵලය ලෙස හැඳින්විය හැකිය. මූලික නීතිය නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය දියත් වේ. එය උල්ලංඝනය කළ නොහැකි සේම සියලු පුරවැසියා ව්‍යවස්ථාව මඟින් පිහිටුවනු ලැබූ නීතියට යටත්ය. නීතියේ ආධිපත්‍යය සියලු පුරවැසියා පිළිගත යුතුය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට අරාජිකකරණ කුමන්ත්‍රණකාරී ප්‍රචණ්ඩ අරගලය පරාජය කර රැකගත්තේ ඒ ශිෂ්ඨත්වයේ අග්‍රතම ඵලය වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ ක්‍රම පද්ධතියය.
මෑතක් වන තුරුම තමන්ගේ බලය පවත්වාගෙන යෑමට නැතිනම් දුෂිත පාලනය වෙනුවෙන් රටේ නීතිය බල්ලට දමා තමන්ට අවශ්‍ය ලෙස අධිකරණ තීන්දු, පාර්ලිමේන්තු තීන්දු, විධායකයේ තීන්දු ක්‍රියාත්මක කිරීම ගැන උදාහරණ ඇති පදම් මෙරට තිබිණි. එහෙම පාලකයන් එළවා දැමීමෙන් මේ ගැටළු නිරාකරණය වුයේ නැති බවත් ඇත්තකි. මන්ද ආණ්ඩු රැකීම හෝ වෙනස් කිරීමේ පක්ෂ දේශපාලනය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින වැරදි නිවැරදි කරගැනීම යනු කාරණා දෙකක් නිසාය. අද ජනාධිපතිවරයා මැදිහත්ව සිටින්නේ දෙවනුව කිව් කරුණ වෙනුවෙනි. ක්‍රම පද්ධතියේ වෙනසක් නැතිනම් සිස්ටම් චේන්ජ් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ ඒ නිසාය. ඒ තුළ දුෂණයට වංචාවට ඉඩක් තිබිය නොහැක. නීතියේ ආධිපත්‍යය සහතික කෙරෙන විනය ගරුක දේශපාලන ක්‍රමයක්, විශිෂ්ට රාජ්‍ය සේවා යාන්ත්‍රණයක් සහ ගුණ යහපත් ජන සමාජයක් බිහිකළ යුතුව තිබේ. කොහොම නමුත් නීතියේ ආධිපත්‍යය තහවුරු වන්නේ නීතිය ලේඛනගතව පුස්තක ලෙස පැවැතීම මගින් නොවේ. නීතිය ක්‍රියාත්මකවීම තුළ පමණය. රනිල් ක්‍රමය වන්නේ රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමය. ඊට අනුගත නොවීම යළි අනවශ්‍ය ගැටළු මතු කරන්නකි. විශේෂයෙන්ම ආණ්ඩු පාර්ශ්වයට සම්බන්ධ දේශපාලකයන් සේම රාජ්‍ය සේවා යාන්ත්‍රණයත් අනීතික නොවෙන්න වගබලා ගත යුතුය. නැතිනම් නැවත නැවත වෙන්නේ සමස්ත සමාජයමත් යළි දුෂිත වීමය. රට අපරාධකාරී රටක් වීමය. “අපරාධයක් සිදුවූ ස්ථානයක සියලු සාක්ෂි පැහැදිලිව ප්‍රදර්ශනය වේ නම්, එම අපරාධය සිදුව ඇත්තේ වෙනත් ස්ථානයකය…” යැයි ෂර්ලොක් හෝම්ස් කිව් කතාවේ තේරුම යළි සිහිපත් කොළොත් අපරාධවීමට බලපවත්වන බලගතු සාධක වෙනත් තැනක තිබෙන විට අපරාධ හෙළිදරව් කර නිතිමය ක්‍රියා මාර්ග ගැනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසදෙන බවය. එනම් අපරාධවලට මඟ පෑදෙන ක්‍රමය වෙනස් කළ යුතුවීමය.
– ජයතුංග බණ්ඩා