මංගල හිටිය නම්
” මංගල හිටියනම්ල කියල මංගල ගැන දන්න සහ නොදන්න බොහෝ දෙනෙක් සිය සටහන් තබල තිබුන. කවුරුන් හෝ වෙන්ව ගිය කෙනෙක් ලහිටියනම්ල කියල හිතෙනව කියන්නෙම, ඔහු ඉතිහාසය තුල සැලකිවයුතු සටහනක් තබපු නිසා.
ජීවත් වුන මංගලගෙ කරේ අතදාගන්න බය උන බොහෝ දෙනෙක් මිය ගිය මංගලගෙ කරේ අත දාගන්නෙ හරියට අර ලුවර් මියුසියම් එකෙන් අතුරු දහන්වුන මොනාලිසා චිත්‍රය තිබුනු හිස් බිත්තිය බලන්න ගිහින් සෙල්ෆි ගහපු අය වගේ
කොහොම උනත් මංගලගෙයි මගෙයි ඇසුරුකම හෝරා ගනනකට අඩුයි. ඒ අතරින් අන්තිම හමුවීමෙදි ( මුදල් අමාත්‍යාංශයෙදි ) මංගල මට ඇගිල්ල දිගු කරල කිව්ව, ඬරුවන්ට කියන්න, කරවල කෑල්ලද , මාලූ කෑල්ලද කියල බල බල ඉන්න එපා, තෝර ගැනීමක් කරන්න කියල.
ඒ මොහොතෙ නිහඩව හිටපු මම, පසුව මංගලට කෙටි සටහනක් ලිව්ව මගේ තේරීම සහ මංගලගෙ තේරීම ගැන,
මංගලට වැරදුනා
ඒ වැරදීමට පසුත් මම මංගල ගැන ආයෙ මෙහෙම ලිව්ව
ලංකාවෙ දේශපාලනයෙ අපේ යුගයේ හමුවන අවසාන රැඩිකල් ලිබරල්වාදියා මංගල
අවසාන ක්ලැසිකල් ලිබරල්වාදියා රනිල් කියල..
ජාතිවාදය, ආගම්වාදය පසුගාමී සංස්කෘතික සීමා වලට එරෙහිව සැබෑ රැඩිකල්වාදියෙකුවූ මංගලට කුලවාදයෙන් තමන්ගෙ දේශපාලනය ගලවගන්න බැරිවුනා.
කොමියුනිස්ට් පක්ෂෙට වගේ මංගලටත් මාතර වාදයෙන් ගැලවෙන්න බැරිඋනා..
ඒ සියලූ අඩුපාඩු මැදත් මංගල අපේ යුගයෙ අවසාන රැඩිකල් ලිබරල්වාදියා.. ඒ මංගල මියගිය නිසා.. ජීවත්ව හිටියනම් මංගල මගෙ ඒ හැදින්වීම වෙනස් වෙන්නත් තිබුන. මොකද මංගල අවසාන රැඩිකල් ලිබරල්වාදියා කියන විටම, අවසාන ක්ලැසිකල් ලිබරල්වාදියා කියල මා හැදින්වූ රනිල් අද තමාගේ තිබූ ක්ලැසිකල් ලිබරල්වාදී භූමිකාවට සිය පූර්වජයන්ගේ උරුමයේ තිබූ කොන්සර්වේටිවාදී ලක්ෂණ බොහොමයක් නැවත එකතු කරගනිමින් සිටිනව.
දේශපාලනය යනු එයයි. පරමාදර්ෂ මෙන්ම නිමේෂයේ භූමිකාව අල්ලා ගැනීමත් අවශ්‍යයි..
ඒ නිසා මංගල හිටියනම්
කියල වැලපෙනවට වඩා වැදගත් මේ මොහොතේ කලයුතුදේ කිරීම,,.
මංගල හිටියනම්,මීට වඩා අමුතු දෙයක් වෙන්නෙ නෑ..
මේ මම මංගල සජිත් එක්ක එකතු වෙනකොට ලියපු සටහන
” ආදර” ය මංගල,
දේශපාලන ජීවිතයේ දී අපට බොහෝ දුෂ්ඨයන් මුණගැසී ඇත. ඒ අතර ඉඳහිට වීරයන්ද මුණගැසී ඇත. බොහෝ අනුගාමිකයන් අතර ඉඳහිට හෝ මඟ පෙන්වන්නන් මුණගැසී ඇත. නිමක් නැති දොඩවන්නන් අතර සවන්දෙන්නන් අතලොස්සක් මුණගැසී ඇත. එහෙත් හිතපුරා සුන්දර මිනිසෙකුයි කිවහැකි අය ඒ සියල්ලන්ටම වඩා දුලබය.
මංගල සටන්කාමියෙකි, නායකයෙකි, උපායමාර්ගික විශේෂඥයෙකි. ඒ සියල්ලන්ටම වඩා සුන්දර මිනිසෙකි. මේ සුන්දර මිනිසාගේ නිවස අසළින් වක් වන බොල්ගොඩ ගඟේ භූ දර්ශනය අතිශය සුන්දරය. එසේම එය දේශපාලනිකය.
ඔහුගේ සාලයේ සෝපාව මත හිඳ ඉදු දිග සොයා දිවෙන බොල්ගොඩ ගඟ දෙස බලා හෙට දවස ගැන දොඬමලූ වන විට ඔහු විසල් දෑස් විහිදා අසා සිටී. එකවනම විරුද්ධ වෙයි. නිමක් නොවුනද වෙහෙසකර වූ එම කතිකාව අවසන් වන්නේ බලාපොරොත්තු සහගතවය.
ඒ සෑම කතාවකම අවසානයේ, බොල්ගොඩ ගඟ දිගේ හිරු කිරණ අතුරන , ඈත සැඟවුනු හිරු සොයා දුර ගමනක් යමුදැයි යෝජනාවක් විය. අනන්ත අනාගතයක් දෙස තිස්වසරක් බලා සිට බොරපැහැ ගැහුණු ඇස් වලින් එම ගමන අපට නිමා කළ නොහැකි බව කියවුන ද ? මුවින් ඔව් අපි යමු යැයි පවසමින් සිය දුම් වැටියේ අලූ කඩන්නට බොල් ගොඩ ගඟෙන් නෙත් ආපසු ගන්නා මංගලගේ දෑස මොහොතකට නතර වන්නේ පිටුපස බිත්තියේ ඇති ජගත් වීරසිංහගේ ඬසූරියකන්දඬ සිතුවමිනි. එය මංගල ම ඔහුට එදිරිව ඇටවූ උගුලකි.ආපහු හැරෙන්නට සිතන හැම විටම අඳුරු ,බියකරු අතීතය සිහිගන්වන එම සිතුවමින් හැගීම්බරව නෙත් ඉවතට ගන්නා මංගල යළි ගඟ දියමතින් අනාගතය දෙසම බලයි.
ඒ අප දන්නා මංගලය.
ඒ මංගල අද අපට නොතේරෙන ප්‍රවේශයකය.
රැඩිකල් ලිබරල්වාදියෙකුට වාමාංශිකයෙකු සමඟ උපක්‍රමික ගමනක් පැවතිය හැක. ඔහුට ජාතිකවාදියෙකු සමඟ සටන් බිමක කෙටි සමාදානයක් හෝ පැවතිය හැක. එහෙත් කිසිඳු මතයක් නැති මෝඩයෙකු සමÛ ගමනක් තබා සටනක් පවා නැත.
ඉතිං මංගල කියන්න,
අප නොදන්නා මඟක්
ඔබට ඇත් ද?
නැත්නම් ඔබට වැරදී ඇත් ද?
අපේ යෝජනාව
මංගල සූරියකන්ද සිතුවම දෙස
වරක් නොව දෙවරක්
බලන්න ………..
ආපහු හැරෙන්න”
- වරුණ රාජපක්ෂ