මංගල නැතිව රනිල් තනියම

ප්‍රේල් මාසයේ විසි එක් වෙනිදා. තවත් කාලයක් යනතුරු අපි කාටවත් අමතක නොවන දිනයක් වේවි. ඒ 2019 වර්ෂයේ අප්‍රේල් විසි එක ඒ සාහසික ජාතිවාදයෙත් ආගම්වාදයෙත් නරුමකම එක්තැන් කොට පුපුරුවා හළ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය, මේ රටේ සියලු‍ මිනිසුන්ගේ හදවත් වේදනාවෙන් කම්පනයට පත් වූ නිසාය. එවැනි ඛේදවාචක මේ රටේ සිදු නොවිය යුතු යැයි විශ්වාස කළ, ඒ වෙනුවෙන් සිය ජීවිතයම කැපකරමින් දශක තුනකට අධික කාලයක් ජාති ආගමික අන්තවාදී චින්තනයන්ට එරෙහිව, නොබිඳුණු ප්‍රතිපත්තියක් මත දේශපාලනය කළ විශිෂ්ට දේශපාලනඥයකුගේ ඡන්ම දිනය ද අප්‍රේල් විසි එක දිනයම වීම අමතක නොකළ යුතු යැයි හැඟේ. ඔහු දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීරය.

මංගල හිටියා නම්… යැයි අද ප්‍රශ්න නගන්නට සිදුව ඇත්තේ, මංගල නැති හිස්කමක් තවමත් දැනෙන බැවිනි. මුළු ලොවේම දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මරණයේ ගොදුරු බවට පත්කළ කොරෝනා වසංගතයේ තවත් එක් ගොදුරක්ව මංගල ද දිවි සැරියෙන් සමුගෙන ගිය නමුත් ජීවත්ව සිටි මංගලට වඩා ප්‍රබලව මරණයට පත් වූ මංගල මේ රටේ සුවහසක් මිනිසුන්ගේ හදවත් තුළ ජීවත් වන අයුරු ඔහුගේ මරණයත් සමග මාධ්‍ය, සමාජ මාධ්‍ය තුළ පළවූ විවිධ සටහන් තුළින් කියා පෑවේය.

ඒ හරහා මංගලගේ දේශපාලනය පිළිබඳ තොරතෝංචියක් නැති කතා මැද අද මංගල නැති අඩුවක් රටට දැනෙමින් ඇති බව පැහැදිලිය. අදත් මංගල ජීවත්ව සිටියා නම් කුමක් කරනු ඇද්ද? යන්න බොහෝ දෙනෙකු සිතන්නට පෙළඹී ඇති ගැටලු‍වකි. එය එක්තරා ආකාරයක විකාර සහගත ප්‍රශ්නයකි. සැබෑ නොවන හිතලු‍වකි. අදේශපාලනික වාදයකි. නමුත් මේ පිළිබඳව මංගලගේ දේශපාලන භාවිතාව ඇතුළෙ කියවා ගැනීම හෙට දවසට යම් වටිනාකමක් එක්කරනු ඇත.

මංගලගේ දේශපාලනය

1956 වර්ෂයේ අප්‍රේල් මස 21 දා මහනාම සමරවීර සහ ඛේමා සමරවීර දෙපළට දාව මෙලොව එළිය දුටු මංගල සමරවීර 1988 මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අත්පොත් තැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. නිදහස් පක්ෂය යනු ලංකා දේශපාලනයේ ජාතිවාදයට ආගම්වාදයට රාජ්‍ය මැදිහත්වීමක් හරහා නිල භාවයක් ලබාදුන් පක්ෂයයි.

එපමණක් නොව පැරණි වැඩවසම් සමාජ ක්‍රමයන් තුළ ක්‍රියාත්මක වූ යල්පැනගිය සමාජ කුල, බල, ප්‍රභූ ධුරාවලි සිය දේශපාලන වැඩපිළිවෙල හරහා අලු‍ත් වටයකින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ලෙස සමාජය තුළ නැවත ස්ථාපිත කිරීමට කටයුතු කළ පක්ෂයයි. එකී පක්ෂයෙන් සිය දේශපාලනය අරඹන මංගල ජාතිවාදයට විරුද්ධය. ආගම්වාදයට විරුද්ධය. ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂය, නිදහස් වෙළඳපොල ආර්ථිකයට පක්ෂය. 1989 පෙබරවාරි 15 දින පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත්‍රීවරයකු ලෙස සිදුකළ මංගල කතාවේදීම, රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලන භාවිතාව දැඩිව විවේචනය කරමින් ද ජේආර්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අගයකරමින් ද සිය ස්ථාවරය පැහැදිලි කළේය. ඒ බවට හැන්සාඩ් වාර්තා සාක්ෂි දරයි. (1989/04/21)

මංගලගේ දේශපාලන ගමනේ පළමු පියවර වූයේ, එවකට සමස්ත සමාජයම වෙලාගෙන තිබූ රාජ්‍ය භීෂණයට, පුද්ගල අතුරුදන් කිරීම්වලට එරෙහිව “‍මව් පෙරමුණ”‍ ගොඩනැගීමය. ඒ මහින්ද රාජපක්ෂ හා සම සංවිධායක ධුර දරමිනි. ජීවත්වීම මිනිස් අයිතියක් බව යළි යළිත් සමාජයට ඒත්තු ගැන්වීම වෙනුවෙන් ”‍අහිංසකයන්ගේ ආරාමය”‍ ගොඩනගා මානව නිදහස සමාජය තුළ තහවුරු කිරීමේ සටන පුද්ගලබද්ධ සටනක් නොව සමස්ත සමාජයේම සටනක් බව සනාථ කලේය.

එතැන් පටන් එවකට එක්සත් ජාතික පක්ෂයේ ත්‍රාඩ පාලනය දැඩිව විවේචනය කළ ක්‍රියාශීලි තරුණ දේශපාලකයකු වූ මංගල 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව ගොඩ නැගීම වෙනුවෙන් “‍දාහත් වසරක සාපය නිමා කරමු”‍, “‍විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්”‍ යන සටන් පාඨ ඔස්සේ සිය දේශපාලන ගමන සවිමත් කරගත්තේය. අමාත්‍යවරයකු ලෙස ඔහුට පැවරුණු වගකීම් මනාසේ ඉටුකිරීමට දැඩි උත්සාහයක් ගත් මංගල, හැමවිටම විශ්වාස කළේ, ලංකාවේ ජාතික ගැටලු‍වට විසඳුමක් ලබා නොදෙන තාක් රට සංවර්ධනයේ මාවතක ගෙන යා නොහැකි බවය. ඒ නිසාම ඔහුගේ මූලිකත්වයෙන් මේ රටේ සාමය යළි තහවුරු කිරීමේ අරමුණින් ”‍සුදුනෙළුම් ව්‍යාපාරය”‍ දියත් කරන ලදී. ඒ 1995 – 1997 කාලයේය.

තැපැල් හා විදුලි සංදේශ ඇමතිවරයාව සිටිය දී ලංකාවේ දුරකථන ව්‍යාප්තිය කඩිනම් කිරීමට අවශ්‍ය පියවරගත් මංගල සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට එහා යමින් රාජ්‍ය ව්‍යවසායක්ව පැවැති ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමට කටයුතු කළේය. ඒ ඔහු විශ්වාස කළ ආර්ථික ක්‍රමවේදයයි.

2007 වර්ෂයේ දී සිය පක්ෂ නායකයාගේ ජාතිවාදී සහ රැවටිලිකාර දේශපාලන ගමන දැඩිව විවේචනය කරමින් කටයුතු කළ ඇමති මංගලව, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කළේය. කිසිදා යුදවාදියෙකු නොවූ මානවවාදය තදින් විශ්වාස කළ මංගල මහින්දට ආයුබෝවන් කියන්නේ, වසර 20කට ආසන්න කාලයක් සිය දේශපාලනයේ තිඹිරිගෙය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද සමුදෙමිනි.

මංගලට රනිල් හමුවීම

සිය ප්‍රතිපත්ති ගරුක දේශපාලනයට සුදුසුම තැන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය යැයි තීරණය කළ මංගල සිය ගමන රනිල් සමග නැවත අලු‍ත් වටයකින් දේශපාලනය ඇරඹීය. එතැන් පටන් සිය දැක්මට අනුව දේශපාලන ගමන ඇරඹූ මංගල 2015 යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව තිබු ජාත්‍යන්තර මතය වෙනස් කර යළි රටේ අභිමානය ගොඩ නැංවීමට ක්‍රියා කළේ කලු‍ රට සුදු කිරීමේ කාර්යය තමන්ගේ වගකීමක් කොට ගෙනය.

පසුව මුදල් ඇමැතිවරයා ලෙස වගකීම් බාරගත් මංගල, රට සංවර්ධන කිරීමට නම් රට තුළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයැයි විශ්වාස කළ, එහිදී සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කිරීමේ වුවමනාව වෙනුවෙන් දැඩිව පෙනී සිටි, ඒ වෙනුවෙන් කටයුතු කළ මංගල සමාජ වෙළඳපොල ආර්ථික දර්ශනය සිය ආර්ථික ප්‍රතිපත්තිය යැයි 2017 දී රටට විවෘතව පැවසීය. ඒ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොහොසත් රටක් යන දැක්ම ඇතිව ඩසිසදබ 2025 වැඩපිළිවෙල නිර්මාණය කළේය. ”‍ගම්පෙරළිය”‍ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය වගේම ”‍එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා”‍ නව ව්‍යවසායකයින් සොයා ගමන ඇරඹුවේය. දැක්ම සහ භාවිතාව එක්කරමින් රට හරි පාරට ගත්තේය.

අද දවසේ ජනපති රනිල්ගේ ආර්ථික දර්ශනය එදා මංගල විශ්වාස කළ ආර්ථික දර්ශනයමය. එදා මංගල, ජේආර් වගේම රනිල්ව ද නිවැරදිව කියවාගෙන තිබූ බව ඒ අනුව පැහැදිලිය. එදා එක්සත් ජාතික පක්ෂයේ ජේආර්, ප්‍රේමදාස පමණක් නොව රනිල්ව ද දැඩිව විවේචනය කළ නිදහස් පක්ෂයේ මංගල, තමන්ගේ දේශපාලන ආර්ථික දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි තැන, රනිල් සිටින තැන යැයි විශ්වාස කළ දා පටන් රනිල්ව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටියේ, දේශපාලනයේ සදාකාලී මිතුරෝද සතුරෝද නැතිබව යළි යළිත් සනාථ කරමිනි. දේශපාලනයේදී වැදගත්ම ශිෂ්ඨ භාවිතාව වන්නේ නිවැරදි ප්‍රතිපත්ති වෙනුවෙන් ක්‍රියාත්මක වීම මිස පක්ෂ දේශපාලනය නොවේ. මංගල සිටියේ එතැනය.

එජාප නායක රනිල්ගේ නිවරදි ගමනට බාධා කරනවා යැයි හැඟු‍ණු පළමු මොහොත්ම සජිත් ප්‍රේමදාසට එරෙහිව කුරුඳු පොලු‍ අතට ගත්තේ ද මංගලය. 2019 දී රනිල්ව අගමැති ධුරයෙන් නෙරපා මහින්දට අගමැතිකම පිදූ ජනපති සිරිසේන එරෙහිව තදින් ක්‍රියාත්මක වූයේ ද මංගලය.

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව නැමැති කුළුණු මත සංවර්ධනය ගොඩනැගිය යුතු යැයි තදින් විශ්වාස කළේය. ඊට එරෙහි වූ කවරෙකුට වුව ද තරාතිරම නොබලා පහර දීමට ද මංගල නොපසුබට වූ බව නොරහසකි. එය ආගම්වාදී, ජාතිවාදී හෝ වාමවාදී යන කවර ස්වරූපයෙන් පැනනැගුණ ද ඊට එරෙහිව තනිවම හෝ සිටගත්තේ මංගලය. සිය දේශපාලන ජීවිතයට කෙතරම් අවාසි සහගත වුව ද ගැරහුම් ලැබුණ ද රටේ අභිවෘද්ධිය වෙනුවෙන් නොබියව තීරණ ගත්තේ ද මංගලය. අද රනිල්ගේ දේශපාලනය ද එසේමය.

පැහැලිදි දැක්මකින් යුතු සක්‍රීය වැඩපිළිවෙලකට රට නිවැරදිව සංවර්ධන මාවතක ගෙන යා හැකි යැයි ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නූ ලිබරල්වාදී මංගල අද මළවුන් අතරය. එහෙත් ලිබරල්වාදී රනිල් වික්‍රමසිංහ එකී දැක්ම අද ක්‍රියාවට නංවා ඉදිරියට ගෙනයාමේ වෙහෙසර කාර්යයට උරදී සිටින්නේ ය. ගෙවුණු මාස කිහිපයේ මේ රටේ සමාජ ආර්ථික සන්දර්භය තුළ සිදුවූ වෙනස්කම් ඊට සාක්ෂි දරනු ඇත. ඒ නිසාවෙන් හෙට දවසේ රටේ උන්නතිය වෙනුවෙන් එය කෙසේ හෝ සාර්ථක කරගත යුතුය. මංගලගේ පැතුම ද එයමය. දේදුනු අන්තයේ සිට මංගල දුටු සිහිනය ද එයමය.

  • නවන් පතිරත්න