ගෙවල් ගිනි තියන්න බලපත්‍ර ඔ්න කියලද ඉල්ලන්නේ?

එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන සම්න්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක නීති පද්ධතිය නව “විකාශන අධිකාරි පනත” මඟින් මෙරටට නීතියට ඇතුළත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා (15) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරිමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අවධාරණය කළේය. එහිදී නව පනත එක්සත් රාජධානි පනතෙහි අඩංගු වචනවලින්ම සඳහන් කරන ලෙසත් නීතිපතිවරයාට උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා

අපේ විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත කිරිමේ වැඩසටහන අද අපි ආරම්භ කලා. මේකට සාමාන්‍ය වශයෙන් කියනවා නම් ඔන්ලයින් පාස්පෝට් එක. මේ සමඟ රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්. ඊළග වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්‍රයකම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.

අපි දියුණු රටක් ලෙස ඉදිරියට ගමන් කරනවා නම් ඩිජිටල්කරණය අත්‍යාවශ්‍යයි. එහි ආරම්භය අද මෙම ස්ථානයේ දී සිදුවනවා. ඇතැම් දෙපාර්තමේන්තු තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇතැම් දෙපාර්තමේන්තු මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමට කැමතියි, කුමන හෝ හේතුවක් නිසා ඇතැම් දෙපාර්තමේන්තු සහ ආයතන මේ කටයුත්තට අකමැතියි. නමුත් මේ සියලු‍දෙනා එක මට්ටමකට ගෙන ඒමයි අපේ අපේක්ෂාව වන්නේ. මේ වගකීම මුලින්ම ආරම්භ කළ ටිරාන් අලස් මැතිතුමාට සහ එම අමාත්‍යාංශයට මම ස්තූතිවන්ත වෙනවා.

මාතෘ නිවාසයේ සිට සුසාන භූමිය දක්වා තිබෙන ලියකියවිලි කටයුතු එක අමාත්‍යාංශයකට මම භාරදී තිබෙනවා. ආගමන, විගමන බලපත්‍ර, ජාතික හැදුනුම්පත් ලබාදීම මේ සියල්ල අපේ ජීවිතයට අදාළ කරුණු. ඒ නිසා ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය ඒ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මේ දෙපාර්තුමේන්තු ටික අවශ්‍යයි පොලිසියට ක්‍රියාකරන්න. ලියාපදිංචි කිරීම ගමන් බලපත්‍ර ආගමන විගමන ජාතික හැදුනුම්පත් නිකුත් කිරිම වැනි මේ හැම එකේම තියෙන්නේ විශේෂයෙන්ම අපේ ජීවිතයට අදාල කරුණු. ඒ හින්දා අපේ බලාපොරොත්තුව තියෙනවා එතුමා ඒක ඉෂ්ඨ කරාවි කියලා. අපිට තියෙන්නේ ඒ සදහා එකතුවෙලා ස්වදේශ කටයුතු වැනි අමාත්‍යාංශ එක්ක එකතුවෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යන්න.

ඉතිං මෙම කටයුත්ත පැවැත්වෙන්නේ හෝමාගම ප්‍රදේශයේ නිසා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහභාගිවෙලා සිටිනවා. මං බය උනා එතුමා ළඟ වාඩිවෙන්න. මොකද මම හිතුවා මාධ්‍යවේදීන් මෙතනට ඇවිත්
“අපේ මාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය නැති කරන්න යනවා, උතුරු කොරියාව වගේ තත්ත්වයක් ඇති කරන්න යනවා” කියලා විරෝධය දක්වයි කියලා.
මම දන්නේ නැහැ ඇයි මාධ්‍ය මෙවැනි වැඩපිළිවෙළක් ගෙනියන්නේ කියලා. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාස නීතිය තිබුණා. මම එය ඉවත් කළා. මම හිතන්නේ නැහැ වෙන කොහෙවත් ඒක ඉවත් කරලා තියෙනවා කියලා. අපේ කලාපෙවත් ආසියානු කලාපයේ කිසිදු රටක එය ඉවත් කර තිබෙනවා කියලා. ඉතින් ඒක ඉවත් කළා නම් මේ මාධ්‍යයෙන් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ආරක්ෂා කළා නම් ඇයි දැන් ඒක නැති කරන්න හදන්නේ. කිසිවෙකුට එය ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. මේ සියලු‍දෙනාට වඩා මට තිබෙනවා මාධ්‍ය සමඟ සම්බන්ධතාවක්. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නැති කරන්න අපි කාටවත් අවශ්‍ය නැහැ. අපේ ඇමතිතුමාටවත් ඒ වගේ උවමනාවක් නෑ. මෙතන තියෙන්නේ ඒ ප්‍රශ්නය නෙමෙයි. ලෝකයේ සෑම රටකම විද්‍යුත් මාධ්‍ය මගින් යම් අගතියක් සිදු වූ විට ඒ අයට සහනයක් ලබා ගැනීමට මාර්ගයක් වැඩපිළිවෙළක් තිබෙනවා.

මෙතන රාජ්‍ය සේවකයෝ සිටිනවා. කීදෙනෙකුට විද්‍යුත් මාධ්‍ය මඟින් දොස් නගා තිබෙනවද, ඇතැම් විට කරුණු රහිතව කී දෙනෙක් ගැන විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රකාශ සිදු කරනවද. වැරදි කරුණු. දැන් ඒ අයට තිබෙන සහනය මොකක්ද, කොහොමද සහනයක් හොයා ගන්නේ. සාමාන්‍ය අයට පමණක් නෙවෙයි මටත් එම ගැටලු‍ව තිබෙනවා.

දැන් කුරුන්දි විහාරය ගැන එක එක ප්‍රකාශ සිදු කරනවා. මම එහි දෙමළ ජනතාව පදිංචි කරන්න යනවා කියලත් කියනවා. මම එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේට දැනුම් දුන්නා මේ රජයේ ඉඩම්. ඒවායේ අපි දෙමළ, සිංහල හෝ මුස්ලිම් ජනතාව පදිංචි කරවන්නේ නැහැ කියලා ඔවුන්ට දැනුම් දෙන්න කියලා.
අනිත් පැත්තෙන් කෑ ගහනවා තිරියාය කඩලා එතන ගොඩනැගිල්ලක් හදන්න යනවා කියලා. එලෙස කිසිවක් නැහැ. ඒ ගැන ටිකක් හොයලා බැලු‍වොත් 2018 පාර්ලිමේන්තු කමිටුවකින් මේ පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉඩම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට කමිටුවක් පත් කරන ලෙස මම උපදෙස් දුන්නා. මේ ගැන ටිකක් හොයලා බැලු‍වා නම් හොදයි. ඒ ඉඩම් ගැන පොඩ්ඩක් හොයලා වාර්තා කරන්න.

විශේෂයෙන් මට මේ ගැන සොයා බලන්න බැරි නම් කොහොමද සාමාන්‍ය පුද්ගලයෙක් එම සහනය ලබා ගන්නේ. මෙතන ඉන්න කාටහරි වැරද්දක් කිවුවොත් මොකක්ද තියෙන සහනේ? එම සහනය ලබාදීමට පමණයි අපි කටයුතු කරන්නේ. තවම මෙම කෙටුම්පත් එකක්වත් අවසන් කර නැහැ. මම උපදෙස් දී තිබෙන්නේ එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන මේ සදහා ඇතුළත් කිරීමට. කාගෙන් හරි හානියක් සිදුවුනොත්, තමන් ගැන අසත්‍යයක් ප්‍රකාශ කළොත්, එයින් තමන්ගේ චරිතයට හානියක් සිදු වුණොත්, කී දෙනෙක්ට නඩු කියන්න පුළුවන්ද? ඉතින් මේ ආයතනය පිහිටුවීමෙන් එම ආයතනයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී මාධ්‍යයට අවාසියක් සිදු නොවීමට අවශ්‍ය මාර්ගෝපදේශන තිබෙනවා. එම මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතුයි.

මම නීතිපතිතුමාට දැනුම් දී තිබෙන්නේ, අපේ ඇමතිතුමත් කතා කරලා ඇති. මං කියලා තියෙන්නේ මේක එක්සත් රාජධානියේ වචනවලින්ම සඳහන් කරන්න කියලා. මොකද තීරණ ලබාදීමේදී පූර්වාදර්ශයන් එහිදී අපට ලබාගත හැකියි. නඩු කටයුතුවලට ඒ වැඩකටයුත්ත කරන්න පුළුවන්. දැන් මේකේ තියෙන්නේ සහනය ලබාදෙන්න විතරයි. මම දන්නේ නෑ විරුද්ධ වෙන්න හේතුව මොකක්ද කියලා.

ඒ වගේම මෙතන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඇතැම් මාධ්‍යවලට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටවත් බලපත්‍ර ලබාදී නැහැ. ඇතැම් අයට තිබෙන්නේ අධ්‍යාපන බලපත්‍ර. මේ සියල්ල නිවැරදි කිරීම තමයි අපේ අරමුණ. එසේ නැතිව වෙන කිසිවක් නැහැ.

දැනටමත් විකාශන බලපත්‍ර අහෝසි කිරීමට අමාත්‍යවරයාට බලයක් තිබෙනවා. මේ පනතින් යෝජනා කරන්නේ ඕනෑම කෙනෙකුට අධිකරණය වෙත ගොස් සහනයක් ලබා ගන්න අවස්ථාව සැලසීමයි. අධිකරණයට යන යෝජනාවට විරුද්ධ නම් ඇමතිතුමාට ඒ බලය තියා ගන්න කියන්න. අපි උත්සාහ කරන්නේ යම් කිසි ක්‍රමවේදයක් අනුව මෙය ඉදිරියට ගෙන යාමටයි.

මම බැලු‍වේ එක්සත් රාජධානිය වගේ අනිත් රටවල් ගෙනයන ක්‍රමවේදයකින් මේක ගෙනියන්න. අනික ඇතැම් රටවල වසර දහයෙන් දහය බලපත්‍රය අලු‍ත් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි අදායමක් ලබා ගැනීම සඳහායි. අපේ වගේ රටක් මේ ගැන හිතන්න අවශ්‍යයි. අවුරුදු 10න් 10ට නෙමෙයි ඒකට විටින් විට අලු‍තින් මුදල් ගෙවන්න අවශ්‍යයි. අපි මේ හැම බලපත්‍රයක්ම නොමිලේ ලබාදුන්නා. එය ලබාගත් ඇතැම් අය එය විකිණුවා. ලාභය ලැබුණේ රටට නෙවෙයි ඔවුන්ගේ සාක්කුවටයි.

ඉතිං ඒ නිසා මේ ඇමතිතුමා මේ එකක්වත් පාලනය කරන්න යන්නේ නෑ. එතුමා කිවුවා මාධ්‍ය අයිතිකරුවන්ට කර්තෘවරුන්ට එතුමාව මුණගැහෙන්න කියලා. ලයිසන් එකකට ඔච්චර බය ඇයි? මොකක්ද හේතුව? එච්චරයි මං අහන්නේ. මේ අය ඔක්කොටම වඩා මං දන්නවනේ. මෙම ක්‍රමවේදය ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ. විද්‍යුත් මාධ්‍ය මගේ ගෙදර ගිනි තැබුවා පමණක් නෙවෙයි වටිනා පොත් 3000ක් විතර නැති කළා. ඒක රටට උනු පාඩුවක්. ඒක මට වුණු පාඩුවක්. දැන් මේ ඉල්ලා සිටින්නේ ගෙවල් ගිනි තියන බලපත්‍රය ඕන කියලද?

දැන් මං මේක කිවුවට පස්සේ (මාධ්‍ය) පාරේ ඉන්න කාගෙන්හරි අහයි, “මේ ජනාධිපති කිවුවා මේ රටේ මාධ්‍යවලට ගෙවල් ගිනි තියෙන අයිතිය දෙන්න අවශ්‍යය නෑ කියලා…“ අනේ නෑ කියයි. ඒ මිනිහට රුපියල් 1000ක් දුන්නම, “අනේ
සර් ජනාධිපතිතුමා මොනවද මේ කතා කරන්නේ? ඔබතුමාලට ගෙවල් ගිණි තියන්න අයිතිය තියෙන්න අවශ්‍යයි” කියාවි. ඒකද ඉල්ලන්නේ? මට ඒකට විසදුමක් දෙන්න. මේ හැම ජනමාධ්‍යයම කියන්න එහෙම උනාම අපි මොකක්ද කරන්න අවශ්‍ය කියලා? එච්චරයි මං අහන්නේ.

අද මෙම ස්ථානයට බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇවිත් ඉන්නවා. දැන් මෙතන උද්ඝොෂණයකුත් නෑ. මම විශේෂයෙන් එතුමාට ස්තූති කළ යුතුයි මේ හෝමාගම දියුණු කිරීමට එතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව. මාධ්‍යයට මම කියනවා කිසිදු බියක් තබා ගන්න එපා. ඕනෑම ගැටලු‍වක් ජනමාධ්‍ය අමාත්‍යවරයා සමඟ කතා’කරන්න’කියලා.

  • සටහන සුදේශ් මුතුකුඩ