මෝඩාභිමානය II – ටෙලිකොම් රකින ජාතික ආරක්ෂාව
ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභාව විසින් පසුගිය සිකුරදා (09) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම මැයෙන් වාර්තාවක් නිකුත් කර ඇත. එම වාර්තාවේ නිර්දේශය වී ඇත්තේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමට නිර්දේශ නොකරන බවය.
මේ වාර්තාවේ අඩංගුව අනුව “ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේය” කියන්න එකතු කරගෙන ඇති තොරතුරු සහ “එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්ය” කියන්න ගොතන තර්කයන් සලකා බැලු විට ඊට පශ්චාත් බාගයෙන් හිනාවීම හැර වෙන කියන්න දෙයක් නැත. අධෝ වාතයක් තරම්වත් ගණන් ගත යුතු දේ එහි අඩංගු නොවේ. නමුත් මෙය එහෙම බැහැර කළ නොහැක. මන්ද මේ වාර්තාවට පදනම වන ඊනියා ජාතිකවාදී චින්තනය තවදුරටත් රටට හානිකරමින් පවතින බව මෙයින් ප්‍රකාශ වන නිසාය. ජාතික ආරක්ෂාව… ජාතික ආරක්ෂාව… යනුවෙන් පසුගිය කාලයේ මර හඬ
තලමින් නහයෙන් හඬමින් ගෙන ගිය ජාතිවාදී ආගම්වාදී ගෝත්‍රික දේශපාලන ව්‍යාපෘතියේම තවත් පච ප්‍රචාරකට වඩා දෙයක් මෙහි නැත. මේ කාරක සභාවේ සභාපතිවරයා වන්නේ හිටපු හමුදා නිලධාරියකු මෙන්ම ජාතිවාදී ප්රකාශනයේ පෙරමුණේ ගමරාළ කෙනෙකු වූ ‘සරත් වීරසේකර’ය. එදා ඔවුන් ගෙන ගිය ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතිය තුළ කළ කී දේ මත පදනම්ව මෙම වාර්තාව ඔහු ඉදිරිපත් කර ඇත. මෙය මොහුගේ පෞද්ගලික මතය අනුව සිදු කළා යැයි සිතෙන තරමට වීරසේකරලාගේ ජාතිවාදී මතයන් හා මෙම වාර්තාව සමාන්තරව තිබේ. එහෙත් මේ ආංශික කාරක සභාවේ සෙසු සාමාජිකයන් පිළිබඳ සොයා බැලීමේදී එහි බහුතරයකුත් ජාතිවාදී ව්‍යාපෘතියෙම කොටස්කාරයන්ව සිටි අයය. ඒ නිසා මෙය මෙසේ වීම පුදුමයකුත් නොවේ.
විශේෂයෙන්ම මිලිටරි නිලධාරීන් දේශපාලනයට එන විට ඔවුන් කල්පනා කරන්නේම තුවක්කුවෙන්, බෝම්බයෙන්, යුද්ධයෙන් රට ජාතිය රකින විදිහ ගැනය. ඔවුන්ට අනුව ජාතික ආරක්ෂව යනු එයය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේ යැයි නිරන්තර බියකින් පසුවීම මෙසේ කල්පනා කිරීමට හේතුව විය හැකිය. මෙය මානසික ලෙඩක් කිව්වාට වැරදි නැත. අනෙක් කාරණය මේ අය ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන සටන් පාඨය කරගෙන පසුගිය යහපාලනය පෙරළා දමා ජාතික ආරක්ෂාවේ දෙවියන් වහන්සේ ලෙස හඳුන්වා බලයට ගෙන ආ ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ පාලනය විසින් ජාතික ආරක්ෂාවේ නාමයෙන් රටට කළ හරිය අමුතුවෙන් යළි පැහැදිලි කළ යුතු නැත. ජාතික ආරක්ෂාව, ජාතික සම්පත්, ජාතික දේපොළ ජාතික… ජාතික… කියමින් රට ලෝකයෙන් වෙන් කරමින් සිය රට දේ සිරි සැප දේ කියමින් කළ හරියේ වන්දිය තවම රට ගෙවමින් තිබේ. තවත් වසර හතඅටක්වත් යන තුරු හරි හැටි දෙපයින් නැගීටීමට බැරි තරමට රට බංකොලොත් කර විනාශ කර දැමුවේය. මෙයාලාගේ ජාතික ආරක්ෂාවෙන් රටට කළ හරිය එසේ තිබියදී යළි රට ගොඩනැගුමට ගන්නා දැවන්ත උත්සාහය කඩාකප්පල් කර ඊනියා ජාතික ආරක්ෂාවේ පාලනයක් බිහිකර ගැනීමට කරන දැඟලිල්ලක් ද මෑතක සිට යළි පෙනෙන්නට තිබේ. රටට වින කරන මේ අවස්ථාවාදී ගෝත්රවාදී වර්ගවාදී මතවාදයන් පරාජය කර සුනු විසුනු කිරීමට අද නොහැකි වුවහොත් තව වැඩිකල් යන්නට පෙර යලිත් රට බේරාගන්නට එන ගෝත්‍රිකයන් ජාතික ආරක්ෂාවේ නාමයෙන් රටට කෙළවනු ඇත.
අද රටට අවශ්‍යව ඇත්තේ රට ලෝකයෙන් වහන් කරන ඊනියා ජාතික ආරක්ෂාව නොව ජාත්‍යන්තර ආරක්ෂාවය. ඊනියා ජාතික ආරක්ෂකයෝ විසින් කෙළවා දැමු රට යළි මාස කිහිපයක් ඇතුලත යන්තම් ගොඩ දා ගත්තේ ජාත්‍යන්තරයේ ආරක්ෂාව රටට ලැබුණු බැවිනි. තවදුරටත් ඒ ජාත්‍යන්තර ආරක්ෂාව රටට අවශ්‍යව තිබේ. 2048 සංවර්ධන සිහිනය සැබෑ කරගත හැක්කේ ජාත්‍යන්තරයේ ආරක්ෂාව රටට ලැබීම මතය. මන්ද ජාතික… ජාතික… කියා රැක ගත් බම්බුවකින් කළ හැකි බිබික්කමක් රටේ නැති බැවිනි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන අරමුදල, පැරිස් සමාජය, යුරෝපා සංගමය, මෙන්ම ආසියානු සංවිධානය, සාර්ක් සංවිධානය, ආදී කලාපීය රාජ්‍ය සංවිධාන, කලාපීය රාජ්‍යයන් ප්රමුඛව ලෝකයේ ප්‍රබල රාජ්‍යයන් විසින් ද අතහිත නොදුන්නා නම් අද මේ රටේ පුරවැසියන් ජාතික ආරක්ෂාවේ නාමයෙන් බාගෙට බාගයක් වැළලී ගොස් අවසන්ය.
තවත් කරුණක් වන්නේ මේ වන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් යනු පෞද්ගලිකකරණය කළ ආයතනයක් වීමය. එය පෞද්ගලිකකරණය කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති යුගයේදී ඇමති මංගල සමරවීර කටයුතු නොකරන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් යනුවෙන් දීප ව්‍යාප්ත දැවැන්ත ආයතනයක් රටේ නැත. පාඩු ලබමින් එලෝ මෙලෝ දියුණුවක් නැතිව තිබු මේ ආයතනය වැසෙන්න ඉඩ නොදී එය පෞද්ගලික අංශයේ ආයෝජන සහිතව මේ තිබෙන තත්වයට දියුණු නොකර, එදා ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියා කල්පනා කර, ජාතික සම්පතක් කියා රැකගෙන සිටියා නම් අද සරත් වීරසේකරලාට කතා කරන්න වෙන්නේ එහෙන් මෙහෙන් ඇද ඇති පැටලුන දුරකතන වයර් ගොඩක් ගැන පමණි. ඒ වයර් කෑලි තඹ ඇලුමිනියම් හොරුන්ගෙන් ආරක්ෂා කරගන්නා හැටි ගැනය.
එසේම ටෙලිකොම් පෞද්ගලිකකරණය කිරීම ජාතික අරක්ෂාවට හානියක් වෙනවා නම් දැනටමත් රටේ ඇත්තේ ඒ ජාතික ආරක්ෂාවෙන් භාගයකි. මන්ද රජයට ඇත්තේ ටෙලිකොම්හි අයිතියෙන් භාගයක් නිසාය. මේවා තනිකර පිස්සු කතාය. විදුලි සංදේශ ක්ෂේත්රය නැතිනම් සයිබර් තොරතුරු තාක්ෂණික කලාපයන් රාජ්‍ය ආරක්ෂාවට දායකවන්නේ යම් ලෙසකින්ද ඊට හානියක් කර නොගෙන “ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම” සිදු කිරීමේ හැකියාව තිබේ. ප්‍රතිව්‍යුහගත කිරීමෙන් සිදු කරන්නේ ගෙඩිය පිටින්ම කාට හෝ විකුණා දැමීමක් නොවේ. රාජ්‍යයේ ආරක්ෂාවට ඇවැසි කොටස රාජ්‍ය සතුව තබාගෙන ඊට අවශ්‍ය ආරක්ෂාව සහතික කරගැනීමකින් අනතුරුවය. සත්‍ය ලෙසම මේ ආංශික කාරක සභාව වෙතින් විය යුතුව තිබුණේ’එම කාරණාව ගැන කතා කිරීමය.
ජාතික ආරක්ෂාවට, සයිබර් ආරක්ෂාව වැදගත් බව ඇත්තකි. නමුත් සයිබර් ආරක්ෂාව කියන්නේ ජාතික ආරක්ෂාව නොවේ. එය වෙන වැඩකි. සයිබර් ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි පිළියම් ඕනෑ තරම් තිබේ. නුතන තාක්ෂණය විසින් දේවල් නිපදවනවා සේම ඊට එරෙහිව වන දේත් නිපදවයි. ඒවායේ ආරක්ෂාව වෙනුවෙනුත් දේවල් නිපදවයි. ලෝකය එක තැනක තියෙන්නේ නැත. එය නිරන්තරයෙන් වෙනස් වෙමින් අලුත් අලුත් තත්වයන් නිර්මාණය කරයි. තාක්ෂණයත් හැම තප්පරයක් පාසාම අලුත් වෙමින් වර්ධනය වෙයි. ඒ නිසා මීට දශක ගණනාවකට පෙර තිබූ තත්වයන් සමග සයිබර් ආරක්ෂාව හෝ ජාතික ආරක්ෂාව ගැන හෝ කතා කිරීම හණමිටි කරගහගෙන යෑමකි. වීරසේකරගේ වාර්තාව අනුව තවමත් ඔවුන් සිටින්නේ ග්‍රීක යුගයේය. අනෙක ජාතික ආරක්ෂාව කියන සංකල්පයත් ජාතික රාජ්‍ය ඇතිවූ කාලය දක්වාම පරණය. අද තිබෙන්නේ ජාතික රාජ්‍යයන් නොවෙ ගෝලීය රාජ්‍යයන්ය. එනම් ගෝලීය වශයෙන් එකිනෙකට ගැට ගැසුණු බ්ලොක් චේන් එකක කොටස් ලෙසය. අද දැවන්ත රාජ්‍යයකට වූව ජාතික ආරක්ෂාව කියා රකින්න තිබෙන දේ සීමිතය. ශ්‍රී ලංකාව වැනි රටකට එහෙමමවත් කිසිවක් නැතැයි කීවත් එතරම් අවුලක් නැත. මන්ද ජාතික කිය කියා රකින්න යමක් ඉතිරිව ඇත්තේ ජාතිකවාදී ගෝත්‍රික මානසිකත්වය අනුව හදා ගත් බහුභූත මතවාදයන් ගොඩකි. මේවා සමඟ පසුගිය දශකවල ජීවත් වීම නිසා හදාගත් මානසිකත්වය අනුව මවාගෙන තිබෙන හිතලු ගොඩක් පමණය.
රට ලෝකය හා සමාන්තරව ගමනක් යෑම වෙනුවෙන් නව ගොඩනැංවීම් කරන විට ජාතිකවාදිනුත් එහිම නිවුන් සහෝදරයා කිව හැකි වාමාංශික ගෝත්‍රිකයනුත් ඉදිරියට ගන්නා සටන් පාඨය වී ඇත්තේ මේ ඊනියා ජාතික සම්පත් සහ ජාතික ආරක්ෂාවය. මේ දෙගොල්ල එකතුවෙලා රට ඔළුව උස්සන්න හදපු සෑම මොහොතකම මේ ජාතික පොල්ලෙන් ගසා ඔළුව කුඩු කර දැමීම සිදුකර රට හතර ගාතෙන් වට්ටවා ඇත. ජාතික ආරක්ෂාව නමින් ගෙන ආ පසුගිය පාලනය විසින් මරණාසන්න වෙන තුරු රටට වින කළේය. කොළඹ වාරයට විදේශ ආයෝජකයන් ගෙන එන විට එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියා කඩාකප්පල් කළේය. ත්‍රිකුණාමලයේ නිකම් මලකඩ කකා තිබෙන තෙල් ටැංකි සඳහා ආයෝජකයන් ගෙනෙන විට ජාතික ආරක්ෂාවට තර්ජනයක් කීවේය. ඇමරිකාව විසින් ඵක්‍ක් ආධාර ලබාදෙන්න හදන විට එය රට දෙකඩ කරන ඇමරිකන් කුමන්ත්‍රණයක් විය. ඛනිජ තෙල් සංස්ථාවට විදේශ අයෝජනය ගෙනෙන විටත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කීවේය. මෙවැනි තවත් උදාහරණ තිබේ. මේ ජාතික පිස්සුව විසින් රටට කෙළවා දැමීම හැර වෙන කළ දෙයක් නැත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආංශික කාරක සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වූයේ නව අදහස් නව සංකල්ප සමඟින් රටේ අභිවෘද්ධිය පිණිස පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අදහස් උකහා ගැනීමට මිස යළි රට ගෝත්‍රික යුගයකට දැක්කීමට නොවේ. ආංශික කාරක සභාවලින් විය යුත්තේ රජයේ ප්‍රතිපත්තිමය කාරණා වැඩපිළිවෙල වඩා යහපත් ලෙස රටට ජනතාවට වාසිදායක ලෙස යොදාගැනීම ගැන නිර්දේශයන් දීමටය. එහෙත් අතිශය පසුගාමී ජාතිවාදී ගෝත්රවාදී පසුගාමී අදහස්වලින් රාජ්‍යයේ අභිවෘද්ධියට අවශ්‍ය දෑ වන්නේ නැත. එමෙන්ම තමන් නොදන්නා ක්ෂෙත්රයක් ගැන සාකච්ඡා කළ යුතු නම්, ඒ ගැන නිර්දේශයක් දිය යුතු නම්, අදාල ක්ෂේත්රය ගැන යාවත්කාලින නූතන දැනුම ඇති, එම ක්ෂේත්රයේ වෘත්තීමය වශයෙන් නියැලෙන, ජාත්‍යන්තර අත්දැකීම ඇති විශේෂඥයන් සමග වන සාකච්ඡා ආදියෙන් පසුව මෙවැනි වාර්තාවක් පිළිගත හැකි තාක්ෂණික කරුණු සහිතව ඉදිරිපත් කළ යුතුව තිබිණි. නමුත් මෙහි තිබෙන්නේ එහෙන් මෙහෙන් අහුලා ගන්නා ලද පරණ යල් පැන ගිය කතන්දර තොගයක් සහ පටු අවස්ථාවාදී වෘත්තීය සමිති විසින් සමාජගත කරමින් තිබෙන යාන්හෑලි සමඟ තමන්ගේ පටු ජාතිවාදී දේශපාලනික වුවමනාවන් ප්‍රකාශයට පත් කිරීමක් පමණි.
ටෙලිකොම් පෞද්ගලිකකරණයට විරුද්ධ වන්නට නම් මෙවැනි හිතලුවලට වඩා සාධාරණ කරුණු ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම එමගින් වන අවාසියක් රටට වේ නම් ඒවා නිරාකරණය කරගැනීමට නිවැරදිම ක්‍රමවේදයන් යොදා ගත යුතුය. නමුත් මේ නන්දොඩවන ජාතිකවාදී කතන්දරවලට දිය හැකි එකම සාධාරණ උත්තරය වන්නේ මේවා කසල ගොඩකට දැමීම පමණි.
අද ලෝකය පිවිසෙමින් තිබෙන්නේ කෘත්‍රිම බුද්ධියේ යුගයටය. ලෝකයම එකම පද්ධතියකට එකතු වෙමින් තිබේ. මධ්‍යගත වීම හැරදා එය විසිරුවමින් විමධ්‍යගත වෙමින් තිබේ. ලෝකයේ පාලනය ද්විත්ව ධ්රැවීයකරණයෙන් ඉවත් වෙමින් නව බල කඳවුරු රැසකට වෙන් වෙමින් තිබේ.
ඒ අතර සම්බන්ධතා පසමිතුරු වෙනවා වෙනුවට අන්‍යෝන්‍ය සහයෝගය මත යැපීම පදනම් කරගනිමින් තිබේ. කොටින්ම ලෝකය තනි යායක් වෙමින් තිබේ. අපට පියනගන්න තිබෙන්නේ ඒ ලෝකය සමග මිස මේ දුපත තාප්පයකින් වටකරගෙන ආරක්ෂා කරගත යුතු යුගයකට නොවේ. දුපත් මානසිකත්වයෙන් ගෝත්‍රික මානසිකත්වයෙන් රට විfඳව්වා හොඳටම ඇතිය. මේ තාප්පය කඩා දමා අප ලෝකයට විවෘත විය යුතුය. ඊට යමෙක් එරෙහි වන්නේ නම් ඒ රටේ ද්‍රෝහියකු කියනවා මිස වෙන කියන්න දෙයක් නැත. තවත් ලෙසකින් කිව්වොත් යම් යම් ත්රස්තවාදීන්, ත්‍රස්ත සංවිධාන විසින් මේ රට විටින් විට කළ හානියට වඩා අති දැවැන්ත හානියක් මේ ඊනියා ජාතිකවාදීන් සහ ගෝත්‍රික වාමාංශිකයන් මෙ රටට සිදු කර තිබේ. ඒ අනුව නියම ත්රස්තවාදීන් වන්නේ ඔවුන්ය. සත්‍ය ලෙසම අද ජාතික ආරක්ෂාව නාමයෙන් යමක් සිදු කළ යුතු නම් මේ ත්රස්තයන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම වුව රටේ ආරක්ෂාවට ප්රමාණවත්ය.
- ප්‍රභාත් ජයසුමන
chatham street Journal – 2023-06-11